තරුනයින්ට සහ ශිෂ්‍යයින්ට තම අයිතීන් සඳහා සටන් කිරීමට සමාජවාදි ඉදිරි දර්ශනයක්

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ දැවැන්ත කප්පාදු සහ පුද්ගලීකරන ප්‍රහාර වලට එරෙහිව මහජනතාව අතර දැවැන්ත විරෝධයක් පැන නැගී ඇත. එම ප්‍රහාර වලින් වඩාත්ම බැට කන කොටසක් ලෙස තරුනයෝ සහ සහ ශිෂ්‍යයෝ සිය කෝපය ප්‍රකාශ කරමින් සිටිති.

රට පුරා විවිධ ස්ථානවල තරුනයින් කිහිප දෙනා සහ කන්ඩායම් වශයෙන් එක් රැස්ව ස්වාධීනව සංවිධානය වී විරෝධතා පවත්වන ආකාරය පසුගිය දින කිහිපයේ මාධ්‍ය තුල වාර්තා විය. මහරගම, කොල්ලුපිටීය, පිලියන්දල, කලුතර ආදී විවිධ ප්‍රදේශයන්හි නගර තුල මෙසේ විරෝධතා පැවැත්විනි. ඔවුහු “තව කොච්චර ඉවසන්නද”, “ගෝ්ඨා ගෙදර යනු” , “දැන් ඇති” ආදී පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් විරෝධතා වල නිරත වූහ.

තරුනයින්ගේ විරෝධතා ආරම්භක අවස්ථාවල පැවතුනද ඒවාට තිබුනු සුවිශේෂි ගුනය වූයේ දේශපාලන පක්ෂ වල මැදිහත්වීමෙන් තොරව ස්වයංසිද්ධව පැන නැගීමයි.

පුපුරා යමින් පවතින තරුන විරෝධයට බලපා ඇති ප්‍රමුඛතම සාධකය වනුයේ, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ක්ෂනිකව ඉහල නංවන ලද විරැකියාවයි. ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්මේන්තු වලට අනුව, 2021 පලමු කාර්තුවේ සිට දෙවන කාර්තුවට පැමිනෙන විට ශ්‍රී ලංකාවේ තරුන විරැකියාව, සියයට 28.1 සිට සියයට 30 දක්වා වැඩි වී ඇත. මෙය සියයට 6.8 ක වැඩිවීමකි. කෙසේ නමුත්, යතා තත්වය නිල දත්තයන් මගින් පෙන්නුම් කෙරෙන චිත්‍රයට වඩා දරුනු වන අතර, එකී දත්තයන් නිකුත් කිරීමෙන් පසු ගෙවීගිය දෙකාර්තුව තුල තත්වය වඩාත් උග්‍ර කෙරී පවතී.

වසංගත කාලය තුල අවශ්‍ය පහසුකම් සපයමින් විධිමත් අන්තර්ජාල අධ්‍යාපනයක් ලබාදීම රාජපක්ෂ ආන්ඩුව විසින් මුලුමනින්ම පැහැර හැරීම හේතුවෙන්, උසස්පෙල සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපනය මුලුමනින්ම කඩාකප්පල්වීම තරුන ආතතිය කෙරෙහි බලපා ඇති තවත් ප්‍රධාන සාධකයකි. විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු දසදහස් සංඛ්‍යාත තරුනයන්ට, තම වියදම් පිරිමසා ගැනීම සඳහා නිරතව සිටි අර්ධ-කාලීන රැකියා වසංගතය හේතුවෙන් අතුගා දැමී ඇත.

රසායනික පොහොර තහනම සහ සහනාධාර කපා දැමීම හේතුවෙන් ගොවිජනයාගේ ජීවන කොන්දේසි මුලුමනින්ම විනාශ කෙරුනු තතු යටතේ, ඉඩම් හිගයෙන් සහ විරැකියාවෙන් වෙලී සිටින ගම්බද තරුන ජනයාගේ කැරලිකාරිත්වය ඉමහත් වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

කම්කරුවන් සහ තරුනයන් මෙලෙස අගාදයට ඇදදමා ඇත්තේ අත්‍යවශ්‍ය භාන්ඩ සහ සේවාවන්හි මිල පිම්මේ ඉහල නගින තත්වයක් තුලය. 2022 පෙබරවාරි මස අවසන්වන විට ලංකාවේ උද්ධමන රේට්ටුව සියයට 15.1 ක්වන අතර එය 2008 න් මෙපිට පැවති ඉහලම අගයයි. 2022 ජනවාරි මාසය තුල ආහාර මිල වැඩිවීම සියයට 25 ක් වූ අතර, පෙබරවාරියේදී එය සියයට 25.7 ක් විය.

ක්‍රීඩා සහ කලා කටයුතුවල නියැලීමට තරුනයන්ට තිබූ සීමිත අවකාශයන් පවා පසුගිය දශක කීපය තුල ක්‍රමානුකූලව අහිමි කොට ඔවුන් සංස්කෘතික ජීවිතයෙන් වියෝකොට ඇත. අනාගතය පිලිබඳ අවිනිශ්චිතභාවයෙන් සමස්ත තරුන පරම්පරාව වෙලී සිටී.

මෙය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ලෝක කම්කරු සංවිධානයේ වාර්තාවන්ට අනුව 2020 වසර තුල සමස්ත ලෝකයේ තරුන රැකියා නියුක්තිය සියයට 8.7 කින් පහත වැටී ඇත. 2022 පෙබරවාරි මාසය තුල, එක්සත් ජනපදයේ වාර්ෂික උද්ධමනය පසුගිය දශක හතර තුල ඉහලම අගය වන සියයට 7.9 කරා වර්ධනය විය. යුධ ගැටුම් සමග මෙය යුරෝපය තුල උද්ධමනය 1997 න් පසු ඉහලම අගය වන සියයට 5.1 කරා ඉහල නැංගේය. රුසියාවට එරෙහි සම්බාධක සමග තෙල් ඇතුලු බලශක්ති වල මිල ඉහල යෑම සමස්ත ගෝලීය ආර්ථිකය මත ඉහල බලපෑමක් ඇති කරමින් පවතී.

වසංගතයෙන් සහ ලෝක යුධ ධාවනයෙන් උග්‍ර කර ඇති ධනපති අර්බුදයේ බර තම උරමත පැටවීමට එරෙහිව ලොවපුරා කම්කරුවන් නව අරගල රැල්ලකින් ප්‍රතිචාර දක්වමින් පෙරට පැමින ඇත. තරුනයින් අතරේ රැඩිකලීකරනය පැමිනෙන්නේ එහි කොටසක් ලෙසය.

පසුගිය වසර කිහිපය තුලම ධනපති ආන්ඩුවල මෙම ක්‍රියාමාර්ග වලට එරෙහිව කම්කරු පන්තිය සහ ශිෂ්‍යයින්, තරුනයින් අඩුවකින් තොරව අරගල වලට පැමින ඇත. නමුත් තීරනාත්මක ප්‍රශ්නය එම අරගල වලට නායකත්වය දෙන ඉදිරි දර්ශනය කුමක්ද යන්නයි.

අරගල වලට පැමිනෙන කම්කරුවන් වෘත්තිය සමිති විසින් අපගමනය කරන ආකාරයෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ඇතුලුව ශිෂ්‍ය සංගම් තරුනයින් අතරේ වපුරන මිථ්‍යාව වනුයේ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් මෙම ප්‍රහාර නැවතිය හැකිය යන්නයි. නමුත් පසුගිය දශක කිහිපය තුල තරුනයින් කම්කරුවන් අත් දැක ඇත්තේ එහි ප්‍රතිවිරුද්ධයයි. ඔවුන්ට තමන්ගේ ඉල්ලීම් ලැබී නැතිවාක් මෙන්ම මෙතෙක් භුක්ති විඳි අයිතීන් ද කප්පාදු කෙරී ඇත.

වැඩෙන අර්බුදය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 16 වනදා ජාතිය අමතමින් ප්‍රකාශ කලේ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(ජාමුඅ) සමග වැඩ කිරීමට” තීන්දු කර ඇති බවයි. ජාමුඅ දැනටමත් රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, පොලී අනුපාත ඉහල දැමීම ආදී කප්පාදු සහ පුද්ගලීකරන පියවර නියෝග කර ඇති අතර ඒවා මහජනතාව මුහුන දෙන කොන්දේසි වඩා උග්‍ර අතට හරවනු ඇත.

බිඳ වැටීමක් තුලින් ගමන් කරන ගෝලීය ධනේශ්වර පද්ධතිය තුල, කවර රටක හෝ කම්කරුවන්ට සහ තරුනයන්ට ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් අයිතීන් දිනාගැනීමට නොහැක. කම්කරුවන්ට මෙන්ම ශිෂ්‍යයන්ට සහ තරුනයන්ට තම අයිතීන් දිනාගත හැක්කේ, ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයකින් පමනි. තරුනයන්ට, සමාජයේ විප්ලවවාදී පන්තිය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට හැරී ඔවුන් සමග මෙම දේශපාලන අරගලයේ නිමග්නවීම හැර අන් විකල්පයක් නොමැත. සමාජවාදී සමානතා පක්ෂය සහ එහි ශිෂ්‍ය හා තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සටන් වදින්නේ එම ඉදිරි දර්ශනය සඳහාය.

කම්කරුවන් සහ තරුනයන් ඇතුලු රැඩිකලීකරනය වන කොටස් මෙම ඉදිරි දර්ශනය යටතේ බලමුලු ගැන්වෙතැයි ආන්ඩුව මෙන්ම, සියලු ධනපති පක්ෂ, ව්‍යාජ-වාම සංවිධාන සහ වෘත්තීය සමිති බියපත්ව සිටිති. මෙම සියලු සංවිධාන ලංකාව තුල වැඩෙන අර්බුදය හුදු ගෝඨාභය රාජපක්ෂගේ පිලිවෙත් නිසා සිදුවූවක් බවට ඌනනය කරමින් එම ආන්ඩුව එලවීමෙන් සියල්ල විසඳා ගත හැකි වෙතැයි යන මිත්‍යාව වපුරති.

ධනපති පක්ෂයක් වන ජවිපෙට අයත් සමාජවාදී තරුන සංගමය මාර්තු 17 මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආන්ඩුව පලවා හැරීමට මහජනතාවට වීදි බසින ලෙස කැඳවුම් කලේය. එහි සභාපති එරංග ගුනසේකර සඳහන් කලේ “අප මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතු නමුත් මෙම ආන්ඩුව පලවා හැරීම ක්ෂනික අවශ්‍යතාවය බවට පත්වී ඇති” බවයි.

පසු දින (මාර්තු 18) ඔවුන් “තෙල් පෝලිම් එපා!, ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු!!” යනුවෙන් ආන්ඩුවට බල කිරීම සඳහා විරෝධතා පාගමනක් සංවිධානය කලේය. මෙම පූච්චානම් තිබියදී, ඔවුනගේ විරෝධතාවය අවසන් කෙරුනේ, ජනාධිපතිට යොමු කෙරුනු ලිපියක් භාර දීමෙනි.

ව්‍යාජ වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) “ආන්ඩුවත් පන්නමු! දශක හතක සාපයත් නිමා කරමු! ජනතාවනි වීදි බසිව්! මහජන ව්‍යාපාරයකට පෙල ගැසෙව්!” යනුවෙන් උද්ඝෝෂන මාලාවක් කැඳවුම් කොට ඇත. මාර්තු 15 සමගි ජන බලවේගය මහජනතාව කොලඹට කැඳවා විරෝධතාවයක් පැවැත්වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කැඳවුම් කලේ “නැවත ජනාධිපතිවරනයක්” පවත්වන ලෙසය.

මෙම ආන්ඩුව 'පන්නා' දමා බලයට ගෙන එන්නේ කිනම් ආන්ඩුවක්ද? එය ක්‍රියාවට දමනු ඇත්තේ කිනම් වැඩපිලිවෙලක් ද?

ගැඹුරුවන ආර්ථික අර්බුදය මධ්‍යයේ මෙම ඊනියා විපක්ෂ, විශේෂයෙන්ම ජවිපෙ සහ සජබ, ආන්ඩුවට යෝජනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙතට හැරී එහි නිර්දේශ (විධාන) මත ක්‍රියාත්මක වන ලෙසයි. දැවැන්ත පරිමානයේ කප්පාදු හරහා ධනපති අර්බුදයේ බර මහජනතාව මත පැටවීම ජාමූඅ හි ප්‍රමුඛතම නිර්දේශය වේ.

ජාමූඅ වෙතට හැරී එම නිර්දේශ ක්‍රියාත්මක කලහොත්, තමාට එරෙහිව දැනටමත් වැඩී ඇති මහජන විරෝධය සමාජ පිපිරීමක් දෙසට වේගයෙන් වර්ධනය වෙතැයි යන උත්සුකය මත කල්මරමින් සිටි රාජපක්ෂ ආන්ඩුව, අවසානයේදී ජාමූඅ සමග සහයෝගයෙන් කටයුතු කරන බවට සහතික විය.

මෙම සියලු තතු පෙන්නුම් කරන්නේ, ආන්ඩුවේත්, එය පලවාහැර බලයට පත්වීමට වලිකන විපක්ෂවලත් ආර්ථික පිලිවෙත් අතර වෙනසක් නොමැති බවයි. තරුනයින් සහ සිසුන් මුහුන දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු අව්‍යාජ දේශපාලන ප්‍රකාශනයක් මෙම පක්ෂ තුලින් අත්පත් තරගත නොහැක.

කෙසේ නමුත්, ඉහත දැක්වූ තරුන විරෝධතාවන්හි දී ඔවුන් ඉදිරිපත්කල සටන්පාඨ කෙරෙහි, මෙම විපක්ෂ දේශපාලනයේ බලපෑමක් ඇති බවක් පෙනෙන්නට තිබුනි. මෙය ඉතාමත් අන්තරායකාරී වන අතර, තරුනයින් සහ ශිෂ්‍යයින් තමන් මුහුන දෙන ගැටලු වලට විසඳුම් සෙවීමේදී මූලිකම පියවර වන්නේ මෙම ධනපති සහ ව්‍යාජ-වාම සංවිධාන වලින් සහ ඔවුනගේ දේශපාලනයෙන් බිඳී ගැනීමයි.

ධනපති ප්‍රහාර වලට එරෙහිව ශිෂ්‍යයින් අතර වැඩෙන විරුද්ධත්වය ධනපති ක්‍රමයට එරෙහි විරෝධයක් දෙසට වැඩීම වලකාලීමේ ලා ප්‍රධානතම කර්තව්‍යය ඉටු කරනුයේ, පෙසප විසින් නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය යි. ආන්ඩුවලට බලපෑම් දැමීමේ තම දේශපාලනය තුල ශිෂ්‍යයන් සිරකොට ධනපති ක්‍රමය ආරක්ෂා කරදීම එහි භූමිකාවයි.

මේ සියලු සංවිධාන පසුගිය වසර දෙක තුල කටයුතු කලේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙමින් පැවති මහජන විරුද්ධත්වය යටපත් කිරීමටය. කොරෝනා වසංගතයේ ආරම්භයත් සමග මාර්තු මාසයේදී රාජපක්ෂ කැඳවූ සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වෙමින් ජවිපෙ සහ සජබ ඊට සහය දුන්හ. පෙසප සර්ව පාක්ෂික සමුලුවට ඇරයුම් නොලැබූ නමුත් එහි ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් අගමැතිට ලිපියක් යවමින් සඳහන් කලේ කොරෝනා වසංගතය 'මර්දනය කිරීමේ' ආන්ඩුවේ වැඩපිලිවෙලට “උපරිම සහාය දීමට” තම පක්ෂය සූදානම් බවයි.

රාජපක්ෂ ආන්ඩුවේ “කොවිඩ් සමග ජීවත් වීමේ” මිනීමරු පිලිවෙත සමග මුලුමනින්ම පෙල ගැසුනු ඔවුහු, වසංගතය මර්දනය කිරීමේ කඩතුරාව යටතේ ආන්ඩුව ගෙනගිය මිලිටරීකරන වැඩපිලිවෙලට කරබදු වූහ.

මහධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් ධාවනය වන ධනපති ක්‍රමයේ අර්බුදයට කම්කරුවන්, තරුනයින් හෝ පීඩිතයින් කිසිවෙක් කැප විය යුතු නැත. ධනපති පංතිය තම අර්බුදය වෙනුවෙන් මිලියන ගනන් මිනිස් ජීවිත කොරෝනා වසංගතයට බිලි දී ඇති අතර, දැන් ඔවුහු ලෝක මහජනතාව න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දෙසට ඇදගෙන යති.

මෙම ව්‍යසනයන්ගෙන් සහ තම අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ගෙන් කම්කරු-පීඩිත මහජනතාවට අත්මිදිය හැක්කේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ද, ජාතික රාජ්‍ය පද්ධතියක් තුල මුල්බැස ඇත්තාවූ ද, ලෝක ධනේශ්වර ක්‍රමය පෙරලා දමා, මානව අවශ්‍යතා සපුරාලන පරිදි ජාත්‍යන්තර සමාජවාදී පදනමක ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙනි.

එහි කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට කම්කරුවන් සමග එක්ව තරුනයන් සටන් කල යුතුය. එවන් ආන්ඩුවකට, ලාභ සඳහා මෙහෙයවන නිෂ්පාදන මාධ්‍ය -මහා බැංකු, වතු, ෆැක්ටරි- කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරමින්, සමස්ත විදේශ නය අහෝසි කොට, නිදහස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය, රැකියා උත්පාදනය සහ සංස්කෘතික කටයුතු සඳහා බිලියන ගනනින් මුදල් සම්පාදනය කලහැක.

සසජාතශි සටන් වදින්නේ ඒ සඳහාය. විශ්ව විද්‍යාල, පාසල් තුල සසජාතශි ව ශාඛා ගොඩනැගීමට එක්වන ලෙසත්, මෙම ව්‍යාපාරයට බැඳී ඉහත කර්තව්‍යයට උරදෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading