ඉදිරිදර්ශන

ගෝලීය ආහාර අර්බුදය ජාත්‍යන්තර පන්ති අරගලයට ඉන්ධන සපයයි

[මෙය Global food crisis fuels international class struggle යන මැයෙන් 2022 අප්‍රේල් 02 වැනි දින පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

යුක්‍රේනය තුල එක්සත් ජනපද-නේටෝව සහ රුසියාව අතර යුද්ධය, ගෝලීය පන්ති අරගලයේ වෙඩිබෙහෙත් පීප්පයට ගිනි අවුලා තිබේ. යන්තම් සති කිහිපයක කාලය තුල, රුසියාවට එරෙහි යුද්ධය සහ පෙර නොවූ විරූ එක්සත් ජනපද හා යුරෝපා සංගමයේ සම්බාධක මගින්, දැනටමත් දුර්වලව පවතින ගෝලීය සැපයුම් දාම අවුල් සහගත තත්වයකට ඇද දමමින්, උද්ධමන ප්‍රවනතා ශක්තිමත් කරමින් සහ ගෝලීය ආහාර හා ගෑස් නිෂ්පාදනය අඩපන කරමින්, ලෝකයේ නිෂ්පාදන බලවේග දැඩි ලෙස අස්ථාවර කර ඇත.

2022 මාර්තු 22 වැනි දින ශ්‍රී ලංකාවේ මහනුවර, භූමිතෙල් සඳහා පෝලිමේ සිටින මිනිසුන් [අනුග්‍රහය: ලෝසවෙඅ මාධ්‍ය]

යුද්ධය ආරම්භ වීමට පෙර නරක අතට හැරෙමින් තිබූ සමාජ හා ආර්ථික අර්බුදයක් දැන් ව්‍යාප්ත වී ඇති අතර, බිලියන සංඛ්‍යාත ජනතාවක් දිලිඳුකමේ සහ සාගින්නේ ප්‍රපාතය අද්දරට ගෙනවිත් ඇත.

මෙය ම මහජනතා සටනට ඇද දමා ඇත. කොවිඩ්-19 වසංගතය පැතිර යාමට පෙර ම පැන නැගුනු විශාලතම සමාජ විරෝධතා රැල්ල තුල ලොව පුරා සැලකිය යුතු වැඩ වර්ජන සහ පෙලපාලි පුපුරා යමින් තිබේ.

යුද්ධය සඳහා සැලසුම් සකස් කිරීමට වසර ගනනාවක් ගත කල අධිරාජ්‍යවාදී දේශපාලඥයින් සහ භූ-මූලෝපායඥයින් සොයා ගනිමින් සිටින්නේ, ඔවුන්ගේ සියලු සුපරීක්ෂාකාරී සැලසුම් නොතකා, දැවැන්ත සමාජ පිපිරුම් රේඛාවක් මත තම ලේ වැකි සැලසුම් ක්‍රියාත්මක කල බවයි.

විරෝධතා, වාර්ගික හා ආගමික පසුබිම අනුව විෂමජාතීය නමුත් ව්‍යාප්තිය අතින් ජාත්‍යන්තර වන අතර වෙන කවරදාටත් වඩා විශාල, නාගරික සහ අන්තර් සම්බන්ධිත කම්කරු පන්තියක් මත පදනම් වේ. වඩා දියුනු සහ අඩු සංවර්ධිත රටවල එක සේ ම, විරෝධතා එක ම ඉල්ලීම වටා භ්‍රමනය වේ: ඉහල යන ජීවන වියදම දරාගත නොහැකි ය, තත්වයන් වෙනස් විය යුතුය, ඒවා දැන්ම වෙනස් විය යුතු ය.

ලෝක යුද්ධය දෙසට ධාවනය නැවැත්වීමට සහ න්‍යෂ්ටික ව්‍යසනය වැලැක්වීමට බලය ඇති සමාජ බලවේගය මෙයයි. මෙම ගෝලීය ව්‍යාපාරය පැයෙන් පැය දිග හැරෙමින් පවතී.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ, ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, කොලඹ උපනාගරික ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවසට යන මාර්ගය අවහිර කරමින් විශාල පෙලපාලියක් පැවැත්විනි. මහජනතාව ඖෂධ, ආහාර, කිරි සහ ගෑස් සොයා ගැනීමට අරගල කරන විට දක්ෂිනාංශික ආන්ඩුව අනුකම්පා විරහිත ජාමූඅහි කප්පාදු පියවර මාලාව ක්‍රියාවට දමමින් සිටියි.

ඩීසල් ඉන්ධන අවසන් වී ඇත, මුදල් හිඟය, දිගු විදුලිය ඇනහිටීම් රට අඳුරු කර තිබේ. මඩකලපුවේ 31 හැවිරිදි පාසල් ගුරුවරියක් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත පැවසුවේ, “මම ඉරිදා පාන්දර 4 සිට ගෑස් පෝලිමක සිටගෙන සිටියා. කිරිපිටි හිඟයක් තියෙනවා. හාලුයි පරිප්පුයි වෙනුවෙන් සටන් කරන්න වෙනවා. ඉටිපන්දම් නැති අතර බොහෝ ඖෂධ අතුරුදහන් වී ඇත. මට පඩියක් තියෙනවා, ඒත් අපිට සල්ලි කන්න පුලුවන්ද?' යනුවෙනි.

යුක්‍රේනය සහ රුසියාව විසින් තිරිඟු සහ පිසුම් තෙල් විශාල ප්‍රමානයක් සපයනු ලබන, ඉස්ලාමීයයන් නිරාහාරයේ සහ භෝජන සංග්‍රහයේ යෙදෙන රාමසාන් උත්සවය ආරම්භ වීමට නියමිත මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා ඒ හා සමාන ව්‍යාපාර වර්ධනය වෙමින් පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කලේ ආහාර හිඟය හේතුවෙන් කලාපය පුරා සමාජ තත්වයන් 'බිඳී යාමේ සීමාකාරී තත්ත්වයක' පවතින බවයි. නිව් යෝර්ක් ටයිම්ස් බ්‍රහස්පතින්දා ලිවුවේ, හිඟය සහ මිල වැඩි කිරීම, “ඉතිරි කිරීමට කිසිවක් නොමැති රටවල කුටුම්භවල සහ ආන්ඩුවේ අයවැය එක හා සමානව තලා දමයි. ආහාර මිල ඉහල යාමේ එක් ප්‍රතිඵලයක් ලෙස දශකයකට පෙර ආරම්භ වූ අරාබි වසන්තයේ විරෝධතා වලින් පසු නොදුටු ආකාරයේ මහජන නොසන්සුන්තාවයක විභවය ඉහල නංවයි.'

ටයිම්ස් නොසන්සුන් ලෙස සටහන් කලේ, ඊජිප්තුවේ “සාමාන්‍ය මිනිසුන් ආහාර මිල ගනන් ගැන කෝපය ප්‍රකාශ කරන වීඩියෝ ‘බඩගින්නන්ගේ විප්ලවය’ යන හෑෂ් ටැගය යටතේ සමාජ මාධ්‍යවල සංසරනය” වන බවයි.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන අල්-සිසි ආඥාදායකත්වය ආහාර බෙදා හැරීමට සහ පාන් සඳහා මිල පාලනය කිරීමට හමුදාව යොදවා ඇත. අල්-සිසි ජාතිය අමතමින් රාමසාන් සමයේ දී ආහාර පරිභෝජනය 'සලාක ක්‍රමයට' කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කම්කරුවන් ප්‍රථමයෙන් අරාබි වසන්තය ඇවිල වූ ටියුනීසියාවේ මිඩ්ල් ඊස්ට් අයි බ්‍රහස්පතින්දා ලියුවේ “පසුගිය සතියේ වැඩ වර්ජන තීව්‍ර වූ” බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන්, “සිවිල් ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජනපදයේ රාජ්‍ය උපලේකම් එස්‍රා සියා එම රටට පැමිනි” බවත් ය.

මිලියනයක ජනතාවක් මරා දැමූ එක්සත් ජනපද ආක්‍රමනයකින් සහ වාඩිලෑමෙන් තවමත් අවුල් වී තිබෙන ඉරාකය ආහාර සහ පිටිවල බරපතල හිඟයක ග්‍රහනයට පත් ව ඇති හෙයින්, දහස් ගනන් ජනයා සම්බන්ධ ආහාර කැරලි පසුගිය සතියේ එ රට පුරා වාර්තා විය.

විරෝධතා වර්ධනය වෙමින් පවතින අප්‍රිකානු රටවල මාග්‍රෙබ්ට දකුනින් ද කම්කරු පන්තිය ප්‍රමානයෙන් හා සමාජ බරින් පිපිරී ගොස් ඇති අතර ඔවුන්ගේ කොඳු නාරටිය වන බොහෝ තරුනයින් අත අන්තර්ජාල පහසුකම් සතු ය. සාමාන්‍ය උප-සහාරානු අප්‍රිකානුවෙක් තම කුටුම්භ ඉපැයීම්වලින් සියයට 65 ක් ආහාර සඳහා වැය කරයි. බදාදා, අප්‍රිකානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියා යුක්‍රේනයේ යුද්ධය නිසා ඇති වූ ආහාර මිල ඉහල යාම ගැන පැවසුවේ: 'අපි මෙය ඉතා ඉක්මනින් කලමනාකරනය නොකලහොත් එය මහාද්වීපය අස්ථාවර කරනු ඇත.' යනුවෙනි.

යුද්ධයෙන් නරක අතට හැරුනු හිඟතාවන් ඇති සුඩානයේ විරෝධතා, ගුරුවරුන්ගේ හා තරුනයන්ගේ බලගතු වැඩ වර්ජන සමග සමපාත වී ඇත. ජීවන වියදම ඉහල යාම නැවැත්වීමට මිලිටරි ආන්ඩුවට නොහැකි වීම සම්බන්ධයෙන් ඊයේ කාර්ටූම්හි මහජන විරෝධතාවක් පැවැත්වුනු අතර එහිදී 23 හැවිරිදි එක් විරෝධතාකරුවෙකු මරා දැමුනි.

අල් ජසීරා විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ, “කොවිඩ්-19 වසංගතයෙන් නරක අතට හැරුනු ඉන්ධන මිල ඉහල යාම සහ මෑත දී යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමනය, වැඩි වන සමාජ නොසන්සුන්තාව පිලිබඳ භීතිය අවුලුවා ඇති” අතර සමාජ කෝපය වැලැක්වීම සඳහා කැබිනට් මන්ඩලය සංශෝධනය කිරීමට ආන්ඩුවට සිදුව තිබේ.

පසුගිය ගිම්හානයේදී විශාල කැරලි ඇති වූ දකුනු අප්‍රිකාවේ, ප්‍රධාන ලාභ නොපතන සංවිධානයක තරුන ප්‍රධානියෙකු සමාජ තත්වය විස්තර කලේ “ඕනෑම මොහොතක අපගේ මුහුනට පුපුරා යා හැකි කාල බෝම්බයක්” ලෙස ය.

මෙම ව්‍යාපාරය ලෝකයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල ද වැඩි වර්ධනය වෙමින් පවතී. ස්පාඤ්ඤයේ ට්‍රක් රථ රියදුරන්ගේ සති ගනනාවක වැඩවර්ජනයක් හේතුවෙන් ජාත්‍යන්තර නැව් ගමනාගමනය ඇනහිට ඇති අතර ඉහල යන ජීවන වියදම සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල පුලුල් සහයෝගයක් ලැබී ඇත. පීඑස්ඕඊ-පොදෙමෝස් ආන්ඩුව, සිල්ලර ගබඩා සහ සිල්ලර වෙලෙන්දන්ට නියෝග කර ඇත්තේ, පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි දේ සීමා කරන ලෙස ය. ප්‍රධාන ව්‍යාපාරික සම්මේලන ආසන්න සමාජ පිපිරීමක් වැලැක්වීමට ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටී.

ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ දැන් ඩීසල් බෙදා හරින්නේ සලාක ක්‍රමයට ය. ජීවන වියදම පිලිබඳ විශාල පෙලපාලි පසුගිය මාසයේ ඇල්බේනියාවේ පැවැත්විනි.

ලෝක අධිරාජ්‍යවාදයේ නියමු කුටිය වන එක්සත් ජනපදය තුල නැගී එන වැඩ වර්ජන ව්‍යාපාරය සියල්ලටත් වඩා උද්ධමනය හා වැඩි වන ජීවන වියදම විසින් අවුලුවාලයි. මාර්තු මාසයේදී මිනසෝටාහි මිනියාපොලිස්හි ගුරුවරුන්ගේ සති දෙකක වැඩ වර්ජනයකින් පසු ව කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝහි ගුරුවරුන් පන්දහසක් වැඩ වර්ජනයක නිරත ව සිටිති.

කැලිෆෝනියාවේ රිච්මන්ඩ් හි තෙල් පිරිපහදු කම්කරුවන් 600 දෙනෙක් වැඩ වර්ජනයක නිරත ව සිටිති. තමන් පිරිපහදු කරන ගෑස්, තමන්ගේම මෝටර් රථවලට ලබා ගැනීමට කමන්ට නොහැකි බව කම්කරුවෝ පවසති.

කැලිෆෝනියාවේ සිල්ලර වෙලඳසැල් කම්කරුවන් පනස් දහසක් ඉදිරි දිනවලදී වැඩවර්ජන කිරීමට නියමිත අතර බටහිර වෙරලේ දස දහස් ගනනක් නැව් තටාක සේවකයින් සඳහා වූ කොන්ත්‍රාත්තුවක් සති කිහිපයකින් කල් ඉකුත් වේ.

එක්සත් ජනපදයේ සහ කැනඩාවේ, ආන්ඩුව විසින් බීඑන්එස්එෆ් සහ කැනේඩියන් පැසිෆික්හි දුම්රිය සේවකයින්ගේ ප්‍රධාන වැඩ වර්ජන තහනම් කර හෝ අවහිර කර හෝ ඇත.

යුද්ධය ඇදී යද්දී ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල මිල ඉහල යාම පන්ති අරගලය තීව්‍ර කරනු ඇත. බ්‍රහස්පතින්දා එක්සත් ජනපද වානිජ දෙපාර්තමේන්තු දත්ත වලට අනුව, උද්ධමනය නිසා කුටුම්භයන්ට සෑම මසක ම අමතර ඩොලර් 433 ක් සහ ඊලඟ වසරේ ඩොලර් 5,200 ක් වැය වේ. රටෙන් අඩකගේ හදිසි ඉතිරිකිරීම් ඩොලර් 500 ට වඩා අඩු බැවින්, හදිසි අවශ්‍යතා මත කම්කරුවන් අරගලයකට තල්ලු කරනු ඇත.

ජීවන තත්වයන් මත යුද්ධයේ බලපෑම ඉදිරි සතිවල දී සියලු ම රටවල නාටකාකාර ලෙස තීව්‍ර වනු ඇත. චීනය හැර අනෙකුත් සියලු ම රටවල උපායමාර්ගික ආහාර සංචිත, කනගාටුදායක ලෙස ප්‍රමානවත් නොවේ.

යුක්‍රේනය සහ රුසියාව ප්‍රධාන ආහාර සහ තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛ නිෂ්පාදකයින් වනවා පමනක් නොව, රුසියාව සහ බෙලෝරුසියාව බොහෝ පොහොර වර්ග නිෂ්පාදනයේ ලොව ඉදිරියෙන් සිටින අතර, එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ සම්බාධක වලට ප්‍රතිචාර වශයෙන් එය දැඩි අපනයන සීමාවන්ට යටත් කරන බවට පුටින් නිවේදනය කර තිබෙන්නේ තත්වය වඩාත් නරක අතට හරවමිනි. මෙය ගෝලීය බෝග අස්වැන්න අඩකින් අඩු කල හැකිය.

වසංගතයේ සහ ලෝක යුද්ධයේ තර්ජනයේ ක්ෂනික පසුබිම මත, ඓතිහාසික සමානුපාතිකයන් පිලිබඳ සමාජ ගනනය කිරීමක් සිදු කල යුතු ය. අරාබි වසන්තයේ සහ 2018-19 ගෝලීය විරෝධතාවල සිට, කොවිඩ්-19 වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය ජීවිතයට වඩා ලාභයට ප්‍රමුඛත්වය දී ඇති අතර මිලියන 20 ක මිනිසුන්ගේ මරනයට හේතු වී තිබේ.

යුද්ධය නැවැත්වීම යනු ධනවාදය අවසන් කිරීම වන අතර මේ සඳහා දේශපාලන නායකත්වය අවශ්‍ය වේ. පෙර කාලපරිච්ඡේදයේ මෙන් නොව, පවත්නා දරිද්‍රතාවයේ හා අසමානතාවයේ කොන්දේසිවලට සෘජු ව ම වගකිව යුතු යැයි සැලකෙන ස්ටැලින්වාදයේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ධනේශ්වර ජාතිකවාදයේ පක්ෂවලට ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල කිසිදු දේශපාලන පක්ෂපාතීත්වයක් නැත.

සෑම රටකම, වෘත්තීය සමිති මෙම වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරයට අවහිරයක් වන අතර, කම්කරුවන් හුදකලා කරමින්, ඔවුන් වැඩවර්ජන කිරීමෙන් වලක්වමින්, වැඩ කරන ජනතාවට අන්තරායන් කුමක් වුවත්, වියදම කුමක් වුවත්, එක්සත් ජනපද-නේටෝ යුද ධාවනයට සහය දෙන ලෙස ඉල්ලා සිටින ධනපති ආන්ඩුවලට සහ සංගතවලට සේවය කරයි.

කලක් සමාජවාදයට වාචික සහයෝගය ප්‍රකාශ කල මධ්‍යම පන්තික ව්‍යාජ වම්මුන්ගේ නියෝජිතයෝ දැන් නේටෝවේ යුද්ධ සඳහා ඔල්වරසන් දෙන්නන් සහ වෘත්තීය සමිතිවල උනන්දුකාමී ආරක්ෂකයින් වෙති.

ලෝක යුද්ධයේ අන්තරායන් විශාල නමුත් මෙම වෛෂයික ව්‍යාපාරය සමාජවාදී විප්ලවය සඳහා සවිඤ්ඤානික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ මාවත ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට විවෘත ය.

ස්වයංසිද්ධ විරෝධතා, කෙතරම් සටන්කාමී වුවද සමාජ තත්වයන් වෙනස් කිරීමට ප්‍රමානවත් නොවේ. සෑම රටකම සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගිය යුතු අතර, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම් ඔවුන් තුල සවිඤ්ඤානික සමාජවාදී හා යුද විරෝධී ස්වභාවයක් අත්පත් කර ගැනීම සඳහා වර්ධනය වන අරගල තුලට ගෙන ආ යුතුය. මෙම පදනම මත, සමාජවාදී විප්ලවයේ කම්කරු පන්ති මූලෝපායක් පාලක පන්තියේ අධිරාජ්‍යවාදී විනාශයේ මූලෝපායට වඩා වේගයෙන් වර්ධනය කල හැකි ය.

Loading