රාජපක්ෂ ආන්ඩුවට එරෙහි විරෝධතාවන්හි යෙදෙන ශිෂ්‍යයෝ සහ කම්කරුවෝ ලෝස‌වෙඅ වෙත කතා කරති

දක්ෂිනාංශික, සිංහල ස්වෝත්තමවාදී රාජපක්ෂ තන්ත්‍රයට වහා ඉල්ලා අස් වන ලෙස බල කරමින් දිවයින පුරා පැන නැගුනු මහජන විරෝධතා අඛන්ඩ ව ඉදිරියට ඇදෙමින් පවතී. ආන්ඩුවේ දැඩි මර්දනය නොතකා ඊයේ දිනයේ ද කොලඹ ඇතුලු දිවයිනේ ප්‍රධාන නගරයන්හි, ග්‍රාමීය ප්‍රදේශයන්හි සහ විශ්ව විද්‍යාල ඉදිරිපිට, තැනෙක දහස් ගනනින් ද තවත් තැනෙක සිය ගනනින් ද ආදී වශයෙන් එක් රැස්වූ කම්කරුවෝ, ශිෂ්‍යයෝ, ගොවියෝ සහ ගෘහනියෝ පෙලපාලි ඇතුලු විරෝධතාවන්හි නිරත වූහ.

තංගල්ලේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික නිවාසය ඉදිරිපිට මෙන්ම, වඩාත් ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ ඉරිදා සන්ධ්‍යාවේ තම තනතුරු වලින් ඉල්ලා අස්වූ කැබිනට් ඇමතිවරුන්ගේ නිවෙස් ඉදිරිපිට ද රැස්වූ මහජනයා විවිධාකාරයෙන් තම විරෝධය පල කලහ.

පුපුරා යමින් පවතින්නේ, ආහාර හා ඉන්ධනවල අහස උසට නැගි මිල ගනන්, දීර්ඝ විදුලිබල කප්පාදු, ඖෂධ ඇතුලු වෛද්‍යමය සැපයුම්වල උග්‍ර හිඟය හේතුවෙන් දරා සිටිය නොහෙන මට්ටමකට නැඟුනු තම ජීවන කොන්දේසි සම්බන්ධයෙන් මහජනයා අතර වැඩී ඇති අතිමහත් සමාජ කෝපයයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබ) නායකත්වයෙන් ඊයේ මහරගම නගරයේ පැවති ශිෂ්‍ය විරෝධතාවට දහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) තම සටන්පාඨ පුවරු සහිතව විරෝධතාවට මැදිහත්වූහ. එම සටන්පාඨ මෙසේ විය: 'ආන්ඩුවේ රුදුරු ධනපති කප්පාදු වැඩපිලිවෙල පරාජය කරනු! ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! අන්තර්වාර ආන්ඩු ප්‍රතික්ශේප කරනු! ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධව විදේශ නය අහෝසි කරනු! සමාජවාදී කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩනගනු!'

සසජාතශි සාමාජිකයන් සටන්පාඨ පුවරු සහිතව සාකච්ඡාවල යෙදෙමින් [ලෝසවෙඅ]

සසජාතශි සාමාජිකයන් සමග කතා කල කොලඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන රවින් මෙසේ විමසා සිටියේය: 'සසප ඉදිරි දර්ශනයේ සඳහන් කර ඇති පරිදි වි‌දේශ වලින් ගත් නය ගෙවීම ප්‍රතික්ෂේප කරලා රටක් විදියට අපිට පුලුවන් ද මේ ගෝලිය ආර්ථිකයක රැකෙන්න.”

සසජාතශි සාමාජිකයන් ඔහුට පෙන්වා දුන්නේ එය ධනපති ක්‍රමය ලෝක පරිමානව පෙරලා දමා ගෝලීය ආර්ථිකය සමාජවාදී පිලිවෙත් මත ප්‍රතිසංවිධානය කර ගැනීමේ වැඩපිලිවෙල සමග බැඳී ඇති බවයි. ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් වැදීම තීරනාත්මක බව ඔහුට පෙන්වා දුනි.

එවන් වැඩපිලිවෙලක් තර්කානුකූල බව පැවසූ රවීන්, ඊට “තවත් සංවිධානාත්මක විය යුතු නැද්ද” යනුවෙනුත් විමසා සිටියේය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ක්‍රියාවට දමා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර සන්ධානය එහි තිර්‍රනාත්මක අංගයක් බව සසජාතශි පෙන්වා දුන්නේය.

සසජාතශි සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ අර්බුදයට කම්කරු පන්තික ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරමින් [ලෝසවෙඅ]

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙක් ද විදේශ නය ප්‍රතික්ෂේප කිරීමේ සසප සංක්‍රමන ඉල්ලීම පිලිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කලේය. “නය අහෝසි කිරීම කල නොහැකියි. ප්‍රතිව්‍යූහගත කරන්නයි ඕන” යනුවෙන් ඔහු ආරම්භයේදී කියා සිටියේය. “නය වාරික ගෙවන්න තියෙන කාලය දික්කරන්නයි ඕනි. වාරිකයකට ගෙවන්න තියෙන ප්‍රමානය අඩු කරගන්න ඕනි. නය ගෙවන්නෙ නැතුව හිටියොත් අපි බ්ලැක්ලිස්ට් වෙනවා” යැයි ඔහු තවදුරයත් පැවසීය.

සසජාතශි ඔහුට පෙන්වා දුන්නේ නය ප්‍රතිව්‍යූහගත කිරීම කුමන අකාරයෙන් සිදු කලත් ඒවායෙ කොන්දේසි තීන්දු කරන්නේ නය දුන් ආයතනය බවයි. එම නිසා මෙම නය ගෙවනවා නම්, අනිවාර්යෙන්ම මහජනතාව තවත් දරිද්‍රතාවයට ඇද දමන කොන්දේසි පිලිගෙන ඒවා ක්‍රියාවට දැමීමට සිදුවන ඇති බව ඔහුට පැහැදිලි කෙරිනි. විදේශ නය අහෝසි කිරීම ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාව හරහා ධනපති ක්‍රමය පෙරලීමෙන් පමනක් කල හැක්කක් බව ඔහුට පෙන්වා දුනි.

ඔහු එම විශ්ලේශනයට එකඟ විය. අප ඔහුට පෙන්වා දුන්නේ මෙම සංක්‍රමන ඉල්ලීම් කම්කරු පංතිය ප්‍රමුඛ මහජනතාවගේ විඥාන මට්ටම ඉහල නංවන බවයි. දැනට උද්ඝෝෂන තුල ප්‍රමුඛත්වය ගෙනඇති 'ගෝ ගෝඨා ගෝ' වැනි සටන් පාඨ වෙනුවට මෙම සටන් පාඨ අරගලය තුල ඉදිරිපත් විය යුතු බව ඔහු පිලි ගත්තේය.

හලාවත ප්‍රදේශයේ තරුනයෙක් වන රසික සඳහන් කලේ තමන්ද 'ගෝ ගෝඨා ගෝ හෝම්' යනුවෙන් සංවිධානය කර ඇති විරෝධතාවලට ගියද හෙට දවසේ රාජපක්ෂ ආන්ඩුව ගෙදර ගියහොත් ඉන් පසු කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තමාට විශාල ව්‍යාකූලත්වයක් ඇති බවයි. 2015 දී මෙවනි තන්ත්‍ර මාරුවක් සිදු කලද ඉන් පසුව පැමිනි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පියවර ඉදිරියට ගෙනගිය බවත්, එය රාජපක්ෂ තන්ත්‍රයට බලයට පැමිනීමට පාර කැපූ බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. 'එය තීරනාත්මක පාඩමක්' බව රසික පැවසීය,

ලංකාව තුල මහජනතාව මුහුන දෙන ප්‍රශ්න ලෝක යුද්ධය සහ වසංගතය මගින් ත්‍රීව්‍ර කෙරී ඇති ජාත්‍යන්තර ප්‍රශ්න සමග ගැට ගැසී ඇති බව පිලිගත් ඔහු, ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව පිලිබඳව සසප සහ සසජාතශි මතු කරන අදහස ඉතා වැදගත් බව පැවසීය. ' මේ අර්ථයෙන් ගත්තම විප්ලවවාදී පක්ෂයේ මැදිහත්වීම වැදගත්. මහජනතාවට ඉදිරිදර්ශනයක් නෑ. අපි මේ විප්ලවවාදී ඉදිරි දර්ශනය හැකි තාක් මහජනතාව අතරට ගෙන යා යුතුව තියෙනවා. මහජනතාව අතරෙ තියෙන ව්‍යාකූලතා නැති කරන්න ඕන.'

ඇඳිරි නීතිය මධ්‍යයේ සෙනසුරාදා රාත්‍රියේ හෝමාගම නගරයේ පැවති විරෝධතාවට සියගනනක් සහභාගි වී සිටි අතර, ඒ අතරින් බහුතරය තරුනයෝ වූහ. පැය දෙකකට අධික කාලයක් විරෝධතාවේ නියැලුනු ඔවුන් පසුකර ගිය රථවාහන පැදවූවෝ නලා නාද කරමින් තම සහාය පල කලහ.

'අපේ අනාගතය විනාශ කලා', 'රට විනාසයි, හැමෝම එකතු වෙන්න', 'මේ වෙලාවේ මුන් ඔක්කොම අපි පන්නමු' ආදී සටන්පාඨ තරුනයෝ හඩ නැගූහ.

උද්ඝෝෂනයට සම්බන්ධව සිටි පනාගොඩ පදිංචි රෝද රථ රියදුරෙක් ලෝසවෙඅ ට මෙසේ පැවසීය: 'අපිට තියෙන රැකියාවක් කරගන්න බෑ, රැකියාවෙන් ජීවත් වෙන්න බෑ, දරුවන්ව පාසල් යවන්න බෑ, බෙහෙත් පෙත්තක් සල්ලි දීලාවත් ගන්න තැනක් නෑ. ඒකයි මම මෙම විරෝධතාවට ආවෙ.'

'අපි ආන්ඩුව පත් කරන ඡන්දෙ දුන්න තමයි ඒ උනාට කවදාවත් හිතුවේ නෑ මේ විදියට ජනාධිපති රාජපක්ෂ හැසිරෙයි කියල අපි දැකපු අපි අහපු ආන්ඩුවලින් මේ තරම් ජරා ආන්ඩුවක් නෑ.'

ආන්ඩුව පලවා හැරිය ද, පත් කර ගන්නේ කිනම් ආන්ඩුවක් ද?, එම ආන්ඩුව තම ප්‍රශ්න විසදන්නේ කෙසේද? යන්න පිලිබදව ඔහුට පැවතියේ ව්‍යාකූලත්වයකි. ප්‍රශ්න විසදා ගැනීමට නම්, කම්කරු පන්තියේ හා ග්‍රාමීය ජනයාගේ විප්ලවවාදී දේශපාලන බලමුලු ගැන්වීමක් හරහා ධනේශ්වර පාලක පන්තියේ ධනය අත්පත් කර ගත යුතු බවත්, ගම්බද දුගීන් සමඟ සන්ධානගතව කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවා ගැනීම හරහා ධනේශ්වරය දේශපාලන බලයෙන් නෙරපා හල යුතු බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ.