රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමීම සඳහා වතු කම්කරුවෝ වැඩ වර්ජනය කොට විරෝධතා දක්වති

[පහත පලවන්නේ Sri Lankan plantation workers strike and demonstrate for overthrow of Rajapakse government මැයෙන් 2022 අප්‍රේල් 6 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව නෙරපා දමන ලෙස සහ කම්කරු-ගොවි ආන්ඩුවක් බිහිකරන ලෙස කැඳවුම් කරමින් පැවති වැඩ වර්ජනයකට, මධ්‍යම වතුකරයේ අප්කොට්හි ග්ලෙනුයිජ් වත්තේ තේ වතු කම්කරුවන් 300ක් පමන ඊයේ (අප්‍රේල් 5) සහභාගි වූහ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන සහයෝගය සහිත ව ගොඩනගන ලද ග්ලෙනුයිජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව (ජීඊඩබ්ලිව්ඒසී) විසින් වැඩ වර්ජනය කැඳවන ලදී.

ගම්බද දුගීන් සමග සන්ධානගත කම්කරුවන්ගේ ආන්ඩුවකින් රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කිරීම ඉල්ලා සිටීමට අමතර ව, වැඩ වර්ජනයේ ප්‍රධාන සටන් පාඨ පාර්ලිමේන්තු පක්ෂවල කිසිදු අන්තර්වාර ආන්ඩුවක් බිහිකිරීමට ද විරුද්ධ විය. “අන්තර්වාර ආන්ඩුව ප්‍රතික්ෂේප කරනු” හා “වෘත්තීය සමිතිවලින් බිඳී සෑම වත්තක ම හා වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගනු” යනාදිය සටන් පාඨවලට ඇතුලත් විය.

රාජපක්ෂ ආන්ඩුවේ රුදුරු කප්පාදු පියවරයන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අහස උසට නගින මිල, ඉන්ධන, පිසීමට ගන්නා ගෑස් හා ඖෂධවල හිඟයන් හා දීර්ඝ කරන ලද දෛනික විදුලි කප්පාදු හේතුවෙන්, එයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා වැඩෙන විරෝධතා මධ්‍යයේ, මෙම වැඩ වර්ජනය කැඳවන ලදී.

ග්ලෙනුයිජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවේ යෙදෙන වතු කම්කරුවෝ අප්කොට් නගරය වෙත පාගමනින් යති, 2022 අප්‍රේල් 5 (ලෝසවෙඅ මාධ්‍ය)

අප්‍රේල් 4දා රැස්වූ ජීඊඩබ්ලිව්ඒසී එක් දින වැඩ වර්ජනයක් සංවිධානය කොට විරෝධතාවක් පැවැත්වීමට තීරනය කලේ ය. වැඩ වර්ජන කැඳවුම් පිලිබඳ ව ගෙයින් ගෙට යමින් කම්කරුවන් දැනුවත් කිරීමට ජීඊඩබ්ලිව්ඒසී සාමාජිකයෝ පියවර ගත් හ. ආන්ඩුව කෙරෙහි වතු කම්කරුවන් අතර වර්ධනය වන විරෝධය පෙන්නුම් කරමින් ග්ලෙනුයිජ් කම්කරුවෝ එයට උද්‍යෝගයෙන් ප්‍රතිචාර දැක්වූහ.

ඊයේ උදෑසන, වැඩ වර්ජිත කම්කරුවෝ, වත්තේ කාර්යාලය පිහිටා ඇති මල්ලිහෙප්පු හන්දිය අසල දී ජීඊඩබ්ලිව්ඒසී විරෝධතාවට සහභාගි වූ හ. ආරම්භයේ දී 50ක් පමන විරෝධතාවට සහභාගි වූ අතර, අනෙකුත් කම්කරුවන් ද එක් වීමත් සමග එම සංඛ්‍යාව 100 ඉක්මවා ගියේ ය.

සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා හා ජීඊඩබ්ලිව්ඒසී ලේකම්, සසප සාමාජික කාන්ඩීපන් සටන් පාඨ හඬනැගීමට නායකත්වය දුන් හ. එම සටන් පාඨ අතරට, “රාජපක්ෂ ආන්ඩුව නෙරපා දමනු,” “අන්තර්වාර ආන්ඩුව ප්‍රතික්ෂේප කරනු,” “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කරනු,” “වෘත්තීය සමිතිවලින් බිඳෙනු” හා “ක්‍රියාකාරී කමිටු ගොඩනගනු” යනාදිය ඇතුලත් විය. කම්කරුවෝ ඒ හා සමාන සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කල හ.

ඊට අමතර ව, “ගෝඨාභය (රාජපක්ෂ) යා යුතු යි,” “සියලු රාජපක්ෂවරු යා යුතු යි” හා “ඔවුන් සියල්ලෝ ම හොරු” යන ඔවුන්ගේ ම සටන් පාඨ කම්කරුවෝ ඉස්මතු කල හ. අනෙකුත් සටන් පාඨ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඉහල යන මිල ගනන්වලට සම්බන්ධ ඒවා විය.

ග්ලෙනුයිජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවේ දී සටන් පාඨ පුවරු අතැති ව සිටින වතු කම්කරුවෝ, 2022 අප්‍රේල් 5 (ලෝසවෙඅ මාධ්‍ය)

අප්කොට් නගරය කරා වූ පෙලපාලියකින් විරෝධතාව සමාප්ත කිරීමට පෙර, කාන්ඩීපන් රැස්ව සිටි පිරිස ඇමතී ය. ඔහු මෙසේ කීවේ ය: “අහස උසට නගින ජීවන වියදමත් සමග වතු කම්කරුවන් දරාගත නො හැකි කොන්දේසිවලට මුහුන දෙනවා. අත්‍යවශ්‍ය භාන්ඩවල මිල දිනපතා ම පාහේ ඉහල යනවා. අපි දැන් මුහුන දෙන්නේ කුසගින්නෙන් දැවෙන කොන්දේසිවලට. අනෙකුත් කම්කරුවන් හා පීඩිත ජනයා සමගින් රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව සටන් කිරීමට වතු කම්කරුවන් පැමිනෙමින් සිටින්නේ මේ තත්ත්වය තුල යි.”

රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව ඉදිරියට යන මහජන ව්‍යාපාරය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නිහඬ ව සිටින බව කාන්ඩීපන් පෙන්වා දුන්නේ ය. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී, සෑම වත්තක ම හා වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බව ඔහු පැහැදිලි කලේ ය. රාජපක්ෂ ආන්ඩුව නෙරපා දමා, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ද ඔහු පැහැදිලි කලේ ය.

පැයක් පැවති විරෝධතාවෙන් අනතුරු ව, කම්කරුවෝ 150ක් පමන දෙනා සටන් පාඨ හඬනගමින්, වත්තේ ඩී-සයිඩ් කොටසේ තේ කම්හල දක්වා කිලෝමීටරයක් පමන පාගමනින් ගිය හ. විරෝධතාවට හා පෙලපාලියට එක් වුනු ඩී-සයිඩ් කොටසේ කම්කරුවෝ යලි මල්ලිහෙප්පු හන්දිය වෙත පැමින ඉන්පසු අප්කොට් නගරය වෙත ගිය හ. ඒ වන විට, කම්කරුවෝ 200ක් පමන පෙලපාලියට එක් ව සිටි අතර, එය නගරය අසලින් නිමාවට පත් විය.

පෙලපාලිය අවසානයේ දී කම්කරුවන් අමතමින් දේවරාජා මෙසේ සඳහන් කලේ ය: “ජීඊඩබ්ලිව්ඒසී ග්ලෙනුයිජ් කම්කරුවන්ගේ වැඩ වර්ජනය කැඳවා තිබෙන්නේ, සසප සහයෝගය සහිත ව මෙම මූලික සටන් පාඨ මත යි: ‘රාජපක්ෂ ආන්ඩුව පලවා හරිනු,’ ‘කිසිදු අන්තර්වාර ආන්ඩුවක් ප්‍රතික්ෂේප කරනු,’ ‘කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කරනු,’ ‘වෘත්තීය සමිතිවලින් බිඳී සෑම වත්තක ම හා වැඩපොලක ම ක්‍රියාකාරී ගොඩනගනු,’ හා ‘ලෝකයේ කම්කරුවනි එක්වවු.’

“රාජපක්ෂ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, උතුර හා නැගෙනහිර ඇතුලු ව සමස්ත රට පුරා යෝධ විරෝධතා පැවැත්වෙනවා. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා විකල්ප ස්වාධීන කම්කරු-පන්තික ක්‍රියා මාර්ගයක් මත පදනම් ව පවත්වන එක ම විරෝධතාව හා රැස්වීම මෙය යි.”

2022 අප්‍රේල් 4දා මහනුවර පැවති විරෝධතා පෙලපාලිය (ලෝසවෙඅ මාධ්‍ය)

රාජපක්ෂ පාලන තන්ත්‍රයට එරෙහි අරගලයේ දී, ලංකාවේ කම්කරුවන් ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුව ස්ථාපනය කරගැනීමේ අවශ්‍යතාව කථිකයා පැහැදිලි කලේ ය. ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය ලෙස, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලංකාවේ කම්කරුවන් වෙත ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය බලමුලුගැන්වීමට සටන් කරමින් සිටින බව ඔහු කීවේ ය.

දේවරාජා ලංකාවේ කම්කරුවන්ගේ කටුක ‌ඓතිහාසික අත්දැකීම් කැටිකොට දැක්වී ය. “ඊනියා නිදහසේ 74 වසරකට අධික කාලය තුල, ලංකාවේ අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු වැඩකරන ජනයාට විසඳුම් සම්පාදනය කර නැහැ. 30-අවුරුදු යුද්ධය සමයේ, උතුරේ හා නැගෙනහිර දෙමල වැසියන් දසදහස් ගනනක් මරා දැමූ අතර, 1988-89 කාලපරිච්ඡේදයේ දී දකුනේ සිංහල ගම්බද තරුනයන් දසදහස් ගනනක් මරා දැමුවා. නිදහසෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් අහෝසි කර දැම්මා” යි ඔහු කීවේ ය.

කෝවිඩ්-19 වසංගතයෙහි විනාශකාරී විපාක හා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ කුලීකාර යුද්ධය විසින් ඉස්මතු කරනු ලබන ලෝක යුද්ධයක අන්තරාය කථිකයා පෙන්වා දුන්නේ ය. “දැන්, මේ සියලු අත්දැකීම්වලින් පසුව, කම්කරුවන් හා පීඩිත ජනයා රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව වීදිවලට පැමින තිබෙනවා.1917 ඔක්තෝබරයේ දී රුසියානු කම්කරුවන් කලාක් මෙන්, කම්කරුවන් බලය අත් කරගත යුතු අවස්ථාව මෙයයි” යි ඔහු සඳහන් කලේ ය.

ග්ලෙනුයිජ් වත්තේ වැඩ වර්ජනය, ජාත්‍යන්තර ව වර්ධනය වෙමින් පවතින පන්ති අරගලවල කොටසක් ලෙස, වතුකරයේ හා ලංකාව පුරා වැඩෙන කම්කරුවන්ගේ ව්‍යාපාරය පිලිබඳ ඉඟියකි. වතු කම්කරුවෝ ලංකාවේ කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත කොටස් අතරට අයත් වෙති. වසංගතය විසින් ප්‍රේරනය කරන ලද රටෙහි සමාජ හා දේශපාලන අර්බුදය මධ්‍යයේ, වතු සමාගම් කම්කරුවන්ගේ කොන්දේසිවලට එල්ල කරන ප්‍රහාර ගැඹුරු කර, වැඩ බර ඉහල දමා තිබේ.

වෘත්තීය සමිති වතු සමාගම්වල හා ආන්ඩුවේ බලධාරීන්ගේ පාර්ශවය ගෙන ඇත. ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවේ පාර්ශවකරුවෙකු වූ ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ජීවන් තොන්ඩමන් රාජ්‍ය ඇමතිවරයෙකු විය. කොලඹ පාලනයට විරුද්ධ ව මහජනයා වීදිවලට පැමිනෙද්දී, තොන්ඩමන් ආන්ඩුවෙන් ඉල්ලා අස් විය. ඊයේ පාර්ලිමේන්තුවේ දී ඔහු ප්‍රකාශ කලේ, සීඩබ්ලිව්සී මන්ත්‍රීවරු දෙදෙනෙකු ආන්ඩුවෙන් ස්වාධීන ව කටයුතු කිරීමට තීරනය කර ඇති බව යි.

ලංකාව පුරා වතු කම්කරුවන්ගේ අප ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට, ග්ලෙනුයිජ් වත්තේ වැනි ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස හා සමාජවාදී පිලිවෙත් සඳහා වන පුලුල් අරගලයක දී කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග එකමුතු වන ලෙස යි.

Loading