ආන්ඩුව හමුදාව යොදවයි, විරෝධතාකරුවන්ට එරෙහි පොලිස් වෙඩි තැබීම ආරක්ෂා කරයි

[මෙය Sri Lankan government deploys military, defends police shooting of protesters මැයෙන් 2022 අප්‍රේල් 21 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව, ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පෑ නිරායුධ මිනිසුන් දහස් ගනනකට මේ සතියේ කල පොලිස් වෙඩි තැබීම සාධාරනීකරනය කරයි. රඹුක්කන ප්‍රදේශයේදී අඟහරුවාදා සිදුවූ පොලිස් ප්‍රහාරයෙන් කේ.බී. චමින්ද ලක්ෂාන් මියගිය අතර තවත් දුසිම් දෙකක් පමන තුවාල ලබා ඇත.

පෙට්‍රල් බෙදාහැරීම් ප්‍රමාද වීම සහ සඳුදා ප්‍රකාශයට පත් කල පෙට්‍රල් සහ ඩීසල්වල තියුනු ලෙස මිල ඉහල දැමීම සම්බන්ධයෙන් රඹුක්කන විරෝධතා ඇවිලී ගියේය. අඟහරුවාදා පෙලපාලිකරුවන් ප්‍රධාන මහාමාර්ග සහ දුම්රිය මාර්ගයක් අවහිර කලහ. පොලිසිය, දහවල් වන විට දහස් ගනන් විරෝධතාකරුවන්ට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර අනතුරු ඇඟවීමකින් තොරව හදිසියේම ජීව උන්ඩලින් වෙඩි තැබීය.

මරා දැමුනු ලක්ෂාන්, රඹුක්කනට නුදුරින් පිහිටි නාරන්බැද්ද ගම්මානයේ පදිංචි, 40 හැවිරිදි දෙදරු පියෙකි. කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මිය ගියේය. අඟහරුවාදා සවස මුලු ප්‍රදේශයටම පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඊයේ උදෑසන ඉවත් කෙරුනි.

2022 අප්‍රේල් 19 වැනි අඟහරුවාදා, රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට පොලිස් වෙඩි තැබීම හෙලා දකිමින් පැවති රාත්‍රී විරෝධතාවයකදී ශ්‍රී ලාංකිකයන් තම ජංගම දුරකථන විදුලි පන්දම් අල්ලාගෙන සිටිති. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

රඹුක්කන විරෝධතාව, පසුගිය සති දෙක පුරා දිවයින පුරා පැතිර ගිය ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව සහ තරුනයින් සම්බන්ධ කරගනිමින් සිදුවෙමින් පවතින ආන්ඩු විරෝධී පෙලපාලිවල කොටසකි. අරගල යනු, ඉහල යන උද්ධමනය, ආහාර, ඖෂධ සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ දෛනික විදුලිය ඇනහිටීම් වලට ප්‍රතිචාරයකි.

වසංගතය සහ යුක්‍රේන යුද අර්බුදය විසින් ඇති කරන ලද පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ බර, කම්කරු පන්තිය සහ ග්‍රාමීය හා නාගරික දුගීන් මත පැටවීමට ශ්‍රී ලංකා ආන්ඩුව උත්සාහ කරයි. ප්‍රධාන විරෝධතා මධ්‍යස්ථානය ලෙස පවතින කොලඹ ගාලු මුවදොර පිටියට රැස්ව සිටි 10,000 ක පමන ජනතාවක් සමඟින් රටපුරා පෙලපාලි බලකර සිටින්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවට යි.

ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (22) පැවැත්වෙන්නේ, ජනතාව බිය ගැන්වීමේ අරමුනින් සිදුකර ඇති දැවැන්ත හමුදා බලමුලු ගැන්වීමක් මධ්‍යයේ ය. මහජන ආරක්‍ෂක ආඥාපනත යටතේ තම බලය පාවිච්චි කරමින්, ජනාධිපති රාජපක්ෂ බදාදා රාත්‍රියේ හමුදාවෙන්, නාවික හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඉල්ලා සිටියේ, අප්‍රේ‍ල් 23 දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ යාබද ප‍්‍රදේශවල “සාමය පවත්වාගෙන යාමට” පොලිසියට සහාය වන ලෙසයි.

බදාදා රාත්‍රියේ ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් රාජපක්ෂ නරුම ලෙස කියා සිටියේ, රඹුක්කන සිද්ධියෙන් තමා “දැඩි ශෝකයට පත්වන” බවත්, “විරෝධතා දක්වන විට ප්‍රචන්ඩත්වයෙන් වලකින ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින” බවත් ය.

චමින්ද ලක්ෂාන් (ඡායාරූපය: ෆේස්බුක්)

මෙය ප්‍රතිරාවය කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ද, “රඹුක්කන ඛේදවාචකයෙන් පසුව තමන් දැඩි ලෙස ශෝකයට පත්ව සිටින” බවත්, “විධිමත්, අපක්ෂපාතී පරීක්ෂනයක්” පවත්වනු ඇති බවත් පැවසීය. පොලිසිය 'සෑම විටම ශ්‍රී ලංකාවට ඉතා ගෞරවයෙන් සේවය කර ඇති' බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය. නොසැඟවූ තර්ජනයක් එල්ල කරමින්, විරෝධතාකරුවන් 'ඔවුන්ගේ ප්‍රජා අයිතිය, සමාන ගෞරවයෙන් හා බහුමානයෙන් පාවිච්චි කල යුතු' බවට රාජපක්ෂ ඉල්ලා සිටියේය.

මෙය සිදු වූයේ, 1980 ගනන්වල දී කොලඹ, ආන්ඩු විරෝධී විරෝධතා තලා දැමූ ආකාරය සහ දශක ගනනාවක් දිග්ගැස්සුනු වාර්ගික යුද්ධය තුල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව දැවැන්ත මිලිටරි බලය යෙදවූ ආකාරය අගමැති රාජපක්ෂ ශ්‍රී ලාංකිකයන්ට 'මතක් කල' පසුගිය සතියේ බියජනක ජාතිය ඇමතීමෙන් පසුව ය.

මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය ප්‍රසන්න රනතුංග, රඹුක්කන විරෝධතාකරුවන් සෘජුවම හෙලා දකිමින්, 'අවසාන විසඳුම' ලෙස පොලිසිය වෙඩි තැබීමට සිදු වූ බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේය. ඔහු, උද්ඝෝෂකයින් පෙට්‍රල් ටැංකියකට ගිනි තැබීමට තැත් කල බවට සාවද්‍ය පොලිස් ප්‍රකාශයන් පුන පුනා කී අතර, එයින් විශාල ව්‍යසනයක් ඇති විය හැකිව තිබූ බව කියා සිටියේය.

රඹුක්කනදී සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට රාජපක්ෂ ආන්ඩුව කමිටු කිහිපයක් පත්කර ඇත. ජ්‍යෙෂ්ඨ අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂනයක් පවත්වන බව පොලිස්පති (අයිජීපී) චන්දන වික්‍රමරත්න ඉක්මනින් ප්‍රකාශ කලේය. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව තවත් පරීක්ෂනයක් පවත්වන බව ඔහු ඊයේ නිවේදනය කලේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ස්වාධීන පරීක්ෂන මන්ඩලයක් ද පත් කර ඇති අතර තවත් එකක් නීත්‍යානුකූලව දත් හැලුනු ආයතනයක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පැවැත්වීමට නියමිතය.

අතීතයේ දී මෙන්, මෙම විමර්ෂන, පොලිස් ම්ලේච්ඡත්වය අඩු කර පෙන්වීම සහ වසන් කිරීම අරමුනු කරගත් ව්‍යාජයක් වනු ඇත. සත්‍ය වසන් කිරීමට නොහැකි වන්නේ නම්, මේ පරීක්‍ෂනවලින් උත්සාහ කරනු ඇත්තේ බිල්ලක් හෝ දෙකක් සොයා ගැනීමටය.

ප්‍රචන්ඩ පෙලපාලි හෝ ප්‍රවාහනය අවහිර කරන විරෝධතාකරුවන් පිලිබඳ අසත්‍ය ප්‍රකාශ, ආන්ඩුව විසින් මිලිටරිය බලමුලු ගැන්වීම යුක්ති සහගත කිරීමට යොදා ගනී.

ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව 'ප්‍රවාහනය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහාය වීම සඳහා' අප්‍රේල් 20 සිට හමුදාව සහ අනෙකුත් හමුදා භටයන් යොදවා ඇති බවයි. මිලිටරිය දැනට තෙල් ටැංකි ට්‍රක් රථ සඳහා 'ආරක්ෂාව' සපයයි.

ආන්ඩු විරෝධී උද්ඝෝෂනවලට, හමුදාව 'අද වන විටත් කිසිදු බාධාවක් කර නැති' බව සිල්වා පැවසීය. කෙසේ වෙතත්, ඔහු සාවද්‍ය ලෙස වැඩිදුරටත් සඳහන් කලේ, “පසුගිය දින කිහිපය තුල එම ස්ථානවල පෙනී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකු විශේෂයෙන් මාර්ග ගමනාගමනය අවහිර කරමින් සහ දිවයින පුරා විවිධ ප්‍රදේශවලට ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සහ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරමින් සිටිනු දක්නට ලැබුනි.'

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වික්‍රමරත්න කියා සිටියේ රඹුක්කන විරෝධතාවයේ දී ඉන්ධන ලීටර් 30,000 ක් සහිත ටැංකියකට ගිනි තැබීමට උත්සාහ කල කන්ඩායමක් නැවැත්වීමට සහ විශාල හානියක් වලක්වා ගැනීම සඳහා “අවම බලය” යෙදවීමට පොලිසියට සිදු වූ බවයි.

විරෝධතාකරුවන් ටැංකියට ගිනි තැබීමට උත්සාහ කල බවට සහ 'අවම බලය' යෙදවූ බවට වික්‍රමරත්න කරන ලද ප්‍රකාශයන් රඹුක්කන ප්‍රදේශයේ ඇසින් දුටු බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කර ඇත. ජීව උන්ඩ භාවිතය 'අවම බලය' යෙදවීමක් වූයේ කෙසේදැයි පොලිස් නිලධාරියා පැහැදිලි කර නැත. නිරායුධ පුද්ගලයන්ට එල්ල වූ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය පිලිබඳ වාර්තා දැන් මතුවෙමින් තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ ජීව උන්ඩවලින් තුවාල ලබා කෑගල්ල රෝහලේ ශල්‍ය වාට්ටුවලට ඇතුලත් කර ඇති පුද්ගලයන් 15 දෙනෙකු සිටින බව එම සංගමයේ සාමාජිකයින් අනාවරනය කර ඇති බවයි. පුද්ගලයින් තිදෙනෙකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (අයිසීයූ) ප්‍රතිකාර ලබමින් සිටින අතර එක් රෝගියෙකුගේ තත්වය බරපතල විය.

දැඩි සත්කාර ඒකකයේ රෝගීන් අතර, උදර කුහරයට තුවාල වූ 37 හැවිරිදි පුද්ගලයෙක්, පපුවේ සහ උදර කුහරයේ තුවාල ඇති 40 හැවිරිදි පුද්ගලයෙක් සහ උදර කුහරයේ තුවාල ඇති 18 හැවිරිදි පිරිමි ලමයෙකු විය.

කෑගල්ල රෝහලේ වෛද්‍යවරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ තුවාල ලැබූ සියලුම රෝගීන්ට පිටුපසින්, දනහිසට ඉහලින් සහ දුවද්දී වෙඩි වැදී ඇති බවයි. ලක්ෂාන් පපු තෙරපුම් ප්‍රතිකාරයක් කල යුතු තත්වයක් සමඟ ඇතුලත් කරන ලදී, එනම් ඔහු මිය යමින් සිටියේය. ලක්ෂාන් කෝකියෙකු ලෙස සේවය කර ඇති අතර නිවෙස්වල ඇතිකරන හීලෑ අලි ඇතුන්ට ආහාර සපයා දී අමතර ආදායමක් උපයා ඇත.

අඟහරුවාදා රඹුක්කන විරෝධතාවයේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පැවසුවේ, මධ්‍යම රාත්‍රිය වන විට ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයට ටැංකියක් පැමිනෙන බවත් පසුදා උදෑසන ඉන්ධන ලබා දෙන බවත් එහි කලමනාකරු පැවසූ නිසා රියදුරන් සඳුදා සවස ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයට රැස් වූ බවයි.

“ගෑස් හලෙන් පිටත පාර දෙපස වාහන 500 ක් පමන නවතා තිබුනා,” ඇසින් දුටු සාක්ෂිකරු පැවසීය. ටැංකිය නොපැමිනීමත් සමඟ පසුදා උදෑසන කෑගල්ල-රඹුක්කන ප්‍රධාන මාර්ගය සහ පසුව දුම්රිය මාර්ගය අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බව ඔහු පැවසීය.

“අඟහරුවාදා පෙරවරු 10 ට පමන ඉන්ධන පිරවුම්හලට ටැංකියක් පැමිනි නමුත් ප්‍රමානවත් ඉන්ධන නොමැති බව ජනතාව දැනගත්තා. ඔවුන් දිගින් දිගටම විරෝධතාවයේ නිරත වූ නමුත් එය ප්‍රචන්ඩකාරී නොවීය. පස්වරුවේ පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර වෙඩි තැබීමට පටන් ගත්තා,' ඔහු පැවසීය.

තවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කොලඹ රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාවකට පැවසුවේ පොලිස් ප්‍රකාශකයින් බොරු කියන බවයි. ජනතාව “ඉන්ධන ටැංකියට පහර දීම තබා බ්ලේඩ් තලයකින්වත් සන්නද්ධව සිටියේ නැත,” ඔහු පැවසීය. ඊට පෙර දිවා ආහාරය පවා ලබාදුන් නිරායුධ අහිංසක විරෝධතාකරුවන්ට පොලිසිය පහරදුන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

'ආන්ඩුව දිනපතාම මිනිසුන් භීතියට පත් කරමින් සිටී,' ඔහු පැවසීය. 'ඔවුන් දොස් පවරන්නේ පෙට්‍රල් හෝ ඩීසල් මිලදී ගැනීම සඳහා දින ගනන් කනස්සල්ලෙන් පෝලිම්වල සිටි අහිංසක මිනිසුන්ටය.'

රාජපක්ෂ ආන්ඩුවේ ඉහල මට්ටම් වලින් ගනු ලැබූ තීරනයක් වන රඹුක්කන ප‍්‍රචන්ඩ පොලිස් ප‍්‍රහාරය, රාජ්‍ය මර්දනය වඩාත් පුලුල් සහ ප‍්‍රචන්ඩ මට්ටමින් සූදානම් වෙමින් පවතින බවට පැහැදිලි ඇඟවීමකි.

විරෝධතා දැක්වීමේ අයිතිය ද ඇතුළුව මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පන්තියට තමන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන අවශ්‍ය වේ. සෑම වැඩපලකම, කම්හලකම සහ කම්කරු පන්තික නාගරිකයන් හි සියලුම ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප ඉල්ලා සිටින්නේ මේ නිසාය.

Loading