සටහන් පොතින්

විදේශ ආයෝජන ඌනතාව පිලිබඳ ජවිපෙ සමිති නායකයාගේ වැලපීම ගැන

රාජපක්ෂ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 28 දා පැවැති මහ වැඩවර්ජනයේ සහ විරෝධතා උද්ඝෝෂනයේ කොටසක් ලෙස, 2000 කට අධික පිරිසක සහභාගිත්වයෙන් හලාවත නගර මධ්‍යයේ කම්කරු පෙලපාලියක් සහ රැස්වීමක් පැවැත්වුනා.

මෙම සටහන, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් පුත්තලම් දිස්ත්‍රික් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමන් තෙලිසිංහ එම රැස්වීමෙදි කල කතාව ගැනයි.

රාජපක්ෂ ආන්ඩුවේ “දූෂන හා වංචා” පිලිබඳව ඉගි කරමින් “ඔවුන්ව එලවන තෙක්, ඔවුන්ට දඩුවම් දෙන තෙක් මේ අරගලය කර ගෙන යා යුතු” යයි පූච්චානම් ඇද බෑ තෙලිසිංහ, “දැන් මුන් මේක විනාශ කරලා ඉවරයි, හාල් කිලෝ එකක්, සබන් කෑල්ලක් ගන්න බැරි, විදේශ ආයෝජකයෙක් ගෙන්න ගන්න බැරි තැනකට මේ රට පත් කරලා ඉවරයි” කියමින් වැලපුනා.

තෙලිසිංහ ප්‍රකාශ කලේ, ආයෝජන ගෙන්වා ගැනීමට නො හැකි වීමෙන් ලංකාවේ විදේශ විනිමය අර්බූදය තවත් උග්‍රවීම පිලිබඳව ලංකාවේ ධනපති පන්තියේ නියෝජිතයන් තුල තියෙන පොදු කනස්සල්ල.

සමිති නායකයගෙ කතාවෙන් ජවිපෙ දේශපාලනයෙ වංචනික ස්වභාවය දෙයාකාරයකින් හෙලිදරවුවුනා: එකක් තමයි, කම්කරුවන් ඇතුලු පීඩිත කොටස් වෙනුවෙන් කැපවෙන බවක් පෙන්නුම් කරන ගමන්ම, ප්‍රාග්ධනයෙ වියගහට කම්කරු පන්තිය බැඳ තැබීමට ජවිපෙ දරන වෑයම. අනෙක, ඔවුන්ගෙ අධිරාජ්‍යවාද-විරෝධී මුහුනත් තහඩුවට යටින් අධිරාජ්‍යවාදයට දක්වන ගැත්තර බව.

වසංගතය ආරම්භයත් සමග ජවිපෙ හි මෙම ප්‍රාග්ධන හිතකාමී පිලිවෙත් වඩාත් හොඳින් පේන්න පටන් ගත්ත. වසංගතයෙ බලපෑමෙන් මහා ව්‍යාපාරිකයන් ගලවා ගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුව රුපියල් බිලියන ගනනින් සහන දෙන ගමන්, වර්ධනය වන අර්බූදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවද්දි, ජවිපෙ, ආන්ඩුව කැඳවු ඊනියා සර්ව පාර්ෂික සමුලුවලට රිංගගෙන එම ප්‍රහාරයන්ට පූර්න සහයෝගය ලබා දුන්න.

රාජපක්ෂ ආන්ඩුව, ලොව පුරා අනෙක් සහචර ආන්ඩු වගේම, මහා සමාගම්වල ලාභ ආරක්ෂා කරල දෙන්න වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දක්කන කොට, ජවිපෙ සහ එහි වෘත්තීය සමිති, 'රටේ ආර්ථිකය' ආරක්ෂා කිරීමේ මුවාවෙන් ඒ මිනීමරු පිලිවෙතටත් සහයෝගය දුන්න. දහස් ගනනක් කම්කරුවන් රැකියාවලින් දොට්ට දමල, දරුනු සූරාකෑමක් යටතෙ මහ ධනපති ව්‍යාපාරිකයො බිලියන ගනනින් ලාභ උපය ගත්තෙ ඒ සහායෙන්.

රැස්වීමෙදි තෙලිසිංහ කියපු දේවල් වැරදීමකින් කටින් පැන්න නෙවෙයි. ඒව ගලා එන්නෙ ජවිපෙ පංති ස්වභාවයෙන්. “සන්නද්ධ අරගලය” වගේම, සමාජවාදී හා මාක්ස්වාදී වාගාලාප ජවිපෙ අතහැරල බොහෝ කල්. දැන් එය ධනපති පන්තියේ හා එහි පන්ති පාලනයේ ආරක්ෂකයා ලෙස තමා ම ඉදිරියට දමාගනිමින් ඉන්නෙ. ලංකාවෙ ධනපති පංති පාලනය අස්ථාවර වූ හැම අවස්ථාවකම, සමහරවිට 'පරිවාස ආන්ඩු' පවා ගොඩ නගමින්, ජවිපෙ එහි ගැලවුම්කාරයෙක් විදියට ඉදිරිපත්වුනු ආකාරය, එහි නායක අනුර කුමාර දිසානායක පසුගිය මැයිදින රැලියෙ කල කතාවෙදි පෙන්නල දුන්න.

දිසානායක මෙම ගැලවුම්කාර අතීත වාර්තාව ඉදිරිපත් කලේ, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය වෙනුවෙන් ධනපති පාලනය ආරක්ෂා කර දීම පිනිස ඔහුගේ පක්ෂය සෑමවිට ම සූදානම් බව පාලක පන්තියට ඒත්තු ගන්නන්න. ආන්ඩුවට එරෙහිව වැඩී ඇති මහජන ව්‍යාපාරය සමස්ත ධනපති ක්‍රමයට අභියෝග කෙරෙන කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙයි කියල අනෙක් ධනපති කොටස් වගේම ජවිපෙ ත් බයේ බිරාන්ත වෙල ඉන්නෙ.

ඒ නිසාම තමයි, උතුරායන මහජන කෝපය ධනපති අන්තර්වාර ආන්ඩුවක් තුල ගාල් කරන්න ජවිපෙ වැඩට බැහැල ඉන්නෙ. ඒ ආන්ඩුව මගින් සිදු කෙරෙන්නෙ රාජපක්ෂ ආන්ඩුව දැනටමත් ආරම්භ කරල තියෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ රුදුරු කප්පාදු විධානයන් ඉදිරියටම ගෙනයාම.

තෙලිසිංහට අනුව, ලංකාවට විදේශ නය ගෙවා ගත නො හැකි තත්වයක් උද්ගතව තියෙන්නෙ රාජපක්ෂ ආන්ඩුවේ දූෂන නිසා. එයින් එන නිගමනය තමයි, “දූෂනයෙන් තොර” වෙනත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒම.

රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු පාලක පන්තියෙ දූෂිතභාවය සම්බන්ධයෙන් විවාදයක් නෑ. නමුත් ලංකාවේ වත්මන් ආර්ථික අර්බූදය හුදෙක් දූෂන වංචාවලට සිඳවීමේ නිශ්චිත අර්ථය, එහි සැබෑ මූලය වන ලෝක ධනේෂ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදය වසන්කොට ප්‍රාග්ධනයේ ප්‍රහාරයන්ට කම්කරු පීඩිත මහජනයා තවදුරටත් යට කිරීම.

Loading