ලංකාවේ කම්කරුවෝ ඇඳිරි නීතියට සහ ආන්ඩුවේ සැලසුම් සහගත ප්‍රචන්ඩත්වයට එරෙහි වෙති

[මෙය Sri Lankan workers defy curfew, government-organised violence මැයෙන් 2022 මැයි 10 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

කොලඹ ගාලු මුවදොර පිටියේ කඳවුරුලාගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව, ආන්ඩුව විසින් සංවිධානය කොට මෙහෙයවන ලද සන්නද්ධ මැර ප්‍රහාරයෙහි අර්ථය වූයේ, මාසයක් පැවතී ඇති ආන්ඩු-විරෝධී විරෝධතා ව්‍යාපාරය පලල් පරිමානයෙන් මර්දනය කිරීම සඳහා වේදිකාවක් සකසා ගැනීම යි. දැන් එය ආපසු කැරකී ඇත.

ගාලු මුවදොර පිටියේ ප්‍රහාරයට එරෙහි ව 2022 මැයි 9දා රාගම දී විරෝධතාවේ යෙදෙන වෛද්‍ය සිසුන් සමග කම්කරුවෝ එක් වෙති (ඡායාරූපය: ලෝසවෙඅ)

ප්‍රචන්ඩකාරී ප්‍රහාරය කඩතුරාවක් ලෙස යොදා ගනිමින්, ජාතික පරිමාන ඇඳිරි නීතියක් පැනවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සන්නද්ධ භටයින් යොදවමින් මිලිටරිය බලමුලු ගන්වා ඇත්තේ දැනටමත් සීරුවෙන් තබා ඇති යෝධ පොලිස් බලකාය ශක්තිමත් කිරීම පිනිසයි.

විරෝධතා මර්දනය වීම වෙනුවට, ප්‍රචන්ඩ ප්‍රහාරය විසින් කෝපගන්වන ලද දහස් ගනන් මහජනයා, ඇඳිරි නීතියට හා විශාල ලෙස පොලිසිය සහ මිලිටරිය රැස් කිරීමට විරෝධය පලකරමින් ගාලු මුවදොරට ගලා ආවේ, ආන්ඩු-විරෝධී විරෝධතා වෙත ඔවුන්ගේ සහෝදරත්වය ප්‍රදර්ශනය කිරීම පිනිස ය. එලෙස, දිවයින පුරා ලක්ෂ ගනන් ජනයා එලෙස වීදිවලට පැමිනිය හ.

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කම්කරුවන් හා තැපැල් කම්කරුවන් ඇතුලු කම්කරු කොටස්, වහා ම වැඩ නැවැත්වූයේ ආන්ඩුවේ ක්‍රියාවන්ට විරුද්ධ ව ආස්ථානයක් ගැනීම සඳහා ය.

ජනාධිපතිට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත්, අහස උසට නගින මිල ගනන්, දීර්ඝ විදුලි කප්පාදු සහ මූලික ආහාර ද්‍රව්‍ය, ඉන්ධන හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් හේතුවෙන් වැඩකරන ජනයා මුහුන දෙන සමාජ ව්‍යසනය අවසානයකට ගෙන එන ලෙසත් බලකරමින්, පසුගිය මාසය තිස්සේ ලංකාව පුරා මහජන විරෝධතා පැවතී ඇත.

2022 මැයි 9දා කඳානේ දී භූමිතෙල් මිලට ගැනීමට මහජනයා පෙලගැසී සිටිති. (ඡායාරූපය: ලෝසවෙඅ)

වැඩකරන ජනයාට පැය ගනන් හා දින ගනන් පවා පෝලිම්වල බලා සිටීමට බල කෙරේ. තම පවුල්වලට ආහාර සපයාගැනීමේ දී ඉහල යන දුෂ්කරතාවන්ට මුහුන දෙමින් සිටින බොහෝ දෙනා, සෑම දිනක ම කෑම වේල් ගනන අඩු කරති. අත්‍යවශ්‍ය සේවාවන් ගැඹුරු ලෙස බිඳ වැටෙමින් පවතියි. රෝහල්වල ඖෂධ හා උපකරන අවසන් වෙමින් පවතී. ප්‍රවාහන පිරිවැය ඉතා අධික බවට පත්වෙමින් තිබේ.

කම්කරු පන්තිය තුල වැඩෙමින් පවතින විරෝධය, ආරම්භයේ දී කිසිත් නො කල වෘත්තීය සමිතිවලට අප්‍රේල් 28දා හා පසුගිය සිකුරාදා එක් දින මහා වැඩ වර්ජන කැඳවීමට බල කෙරුනි. හර්තාලයක්ද ඒකාබද්ධ කෙරුනු විසින් සිකුරාදා පැවති වැඩ වර්ජනය, ආර්ථිකය නවතා දැමුවේ ය. නිදහස් ආයෝජන කලාප, රෝහල්, පාසල්, රාජ්‍ය පරිපාලන කාර්යාල හා ප්‍රවාහනය ඇතුලු අංශවල මිලියන ගනන් කම්කරුවෝ දිවයින පුරා වැඩ වර්ජනය කලහ.

සිංහල හා දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු හා බෞද්ධ යන වාර්ගික රේඛා කපාගෙන, ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතා වටා, වැඩකරනජනයා ඒකාබද්ධ වීම නිසා, වැඩ වර්ජනය විශේෂයෙන් ම අර්ථභාරී විය. දශක ගනනාවක් පුරා, විශේෂයෙන් ම අර්බුද සමයන්හි දී, දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීමට ක්‍රියාකර ඇති කොලඹ දේශපාලකයෝ, වාර්ගික ප්‍රකෝපකරනයන් සංවිධානය කරමින්, කම්කරුවන් එකිනෙකාට විරුද්ධ ව බෙදීම සඳහා සංහාර ක්‍රියාවට දමා ඇත.

මහා වැඩ වර්ජනයට හා හර්තාලයට ලැබුනු බලගතු සහයෝගය, ආන්ඩුව හා විරුද්ධ පක්ෂය මෙන් ම, ලැබුනු සහයෝගයේ විශාලත්වය හේතුවෙන් පැහැදිලි ව ම හෙල්ලී ගිය වෘත්තීය සමිති ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය ම භීතියෙන් වෙවුලුම් කැවී ය.

සිකුරාදා රාත්‍රීයේ පසුභාගයේ, දැනට මත් විධායක ජනාධිපති ධූරයෙහි විස්තීර්න බලතල සතු ජනාධිපති රාජපක්ෂ, මිලිටරිය බලමුලු ගැන්වීමට, ඇඳිරි නීති හා වාරනයන් පැනවීමට, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් කිරීමට සහ වැඩ වර්ජන හා විරෝධතා තහනම් කිරීමට බලය ලැබෙන පරිදි හදිසි තත්වයක් ප්‍රකාශ කලේ ය.

ආන්ඩුව මිලිටරිය බලමුලු ගැන්වීමට සූදානම් වෙද්දී, මේ බදාදා ඇරඹීමට නියමිත ව තිබූ අඛන්ඩ මහා වැඩ වර්ජනයක් අවලංගු කල වෘත්තීය සමිති, කම්කරුවන් සිදු කරන සීමිත දිවා-ආහාර විවේක විරෝධතාවන් ආදේශ කල හ. කම්කරු පන්තිය නිරායුධ කිරීම මගින්, වෘත්තීය සමිති සිදුකලේ මංමුලා සහගත ආන්ඩුවකට ක්‍රියාත්මක වීමට ධෛර්යය ලබා දීම පමනි.

ජනාධිපතිගේ සහෝදරයා වන අගමැති මහින්ද රාජපක්ෂ, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ආධාරකරුවන් සිය ගනනක් ඊයේ කොලඹ පිහිටි ඔහුගේ නිල නිවසට දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් කැඳවා තිබුනු අතර, එම ආධාරකරුවන් බොහෝ දෙනෙකු බස් රථවලින් ගෙනැවිත් තිබුනි. හිතාමතා ම කල ප්‍රකෝපකාරී කතාවකින් පසුව, පොලු හා මුගුරුවලින් සන්නද්ධ ව ඔවුන් ව එලියට යවන ලද්දේ, පලමුව නිල නිවසින් පිටත සිටි විරෝධතාකරුවන්ටත්, ඉන් පසුව ඉන් කිලෝමීරයක් පමන දුරින් පිහිටි ගාලු මුවදොර පිටියේ වාඩිලාගෙන සිටියවුන්ටත් පහර දීම සඳහා ය.

කඳුලු ගෑස් හා ජල ප්‍රහාර සමගින් සන්නද්ධ ව සිටියත්, ගාලු මුවදොර පිටියේ ප්‍රචන්ඩ ප්‍රහාරය සම්පූර්න කරන තෙක් පොලීසිය එය නැවැත්වීමට කිසිවක් කලේ නැත. මැරයන් විසින් සිදු කරන ලද තුවාල හේතුවෙන් පුද්ගලයන් සියයට වැඩි පිරිසක් රෝහල්ගත කරනු ලැබී ය.

2022 මැයි 9 ප්‍රහාරයෙන් පසු ගාලු මුවදොර සිටින මහජනයා (ඡායාරූපය: ලෝසවෙඅ)

රාජපක්ෂ සහෝදරයන් සැලකිල්ලට නො ගත් දෙය වූයේ, ඇඳිරි නීතියට හා ආරක්ෂා හමුදාවන්ට විරෝධය පෑමට සූදානම් ව සිටින පලල් මහජන ස්ථරයන්ගේ කෝපී ප්‍රතික්‍රියාව යි. විරුද්ධත්වයේ විශාලත්වය පැහැදිලි වූ විට, මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූයේ, කැබිනට් මන්ඩලය විසුරුවා හරිමිනි.

රටෙහි පෙර නුවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා “ජාතික සමගි ආන්ඩුවක්” බිහිකිරීමට ආන්ඩුවේ හා විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු පක්ෂ කැඳවීමට දැන් ජනාධිපති ක්‍රියාකර ඇත. ඉන්ධන ඇතුලු ආනයනයන් මිල දී ගැනීමට අතිශය සීමිත අරමුදල් පමනක් ශේෂ කරමින්, රට තියුනු විදෙස් සංචිත අර්බුදයකට මුහුන දී සිටින අතර, සුවිශාල විදේශ නය ගෙවීම මත “තාවකාලික පැහැර හැරීමක්” ප්‍රකාශයට පත්කර ඇත. හදිසි ඇප නයක් සඳහා කොන්දේසි ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විෂඝෝර කප්පාදු අනවා ඇති අතර, එයින් සිදු වනු ඇත්තේ, වැඩකරන ජනයා මුහුන දෙන සමාජ අර්බුදය තවත් ගැඹුරු කිරීම පමනි.

කම්කරුවන්, තරුනයන් හා ගම්බද ජනයාගේ විරෝධතා නිරායුධ කිරීමට හෝ තලා දැමීමට යම් මාවතක් සොයාගැනීම පිනිස, අන්තර්වාර, ජාතික සමගි හෝ සර්ව-පාක්ෂික ආන්ඩුවක් තැනීම මත, විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති, සංගත නියෝජිතයන් හා මාධ්‍ය අටුවාකරුවන් ඇතුලු සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතය තම බලාපොරොත්තු රඳවමින් සිටී.

සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන ප්‍රධාන විරුද්ධ පක්ෂ මේ දක්වා අවධාරනය කර ඇත්තේ, නියමිත කලට පෙර මැතිවරනයකට සූදානම් වීම සඳහා වන අන්තර්වාර ආන්ඩුවකට සහභාගි වීම පිලිබඳ ව සලකා බැලීමට හෝ එවැන්නකට සහයෝගය දීමට නම්, ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව යි. පසුගිය දවස් කිහිපය තුල සිදු වූ සිදුවීම්වල බලපෑම යටතේ, ඔවුන් හොඳින් යලි සලකා බලනු ඇත. නිසැකයෙන් ම, එවන් ආන්ඩුවකට අන්ඩ දැමීම සඳහා, පාලක කවයන් තුල තිරයෙන් පිටුපස සිට උද්වේගකාරී සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා ඇත.

කිසිදු ධනපති අන්තර්වාර ආන්ඩුවක් කෙරෙහි විශ්වාසය නො තබන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට අනතුරු අඟවා ඇත. ජාමූඅ කප්පාදු විධානයන් පැටවීමේ වාර්තාවක් සහිත සජබ හා ජවිපෙ, අවස්ථාවක් ලද හොත්, වත්මන් රාජපක්ෂ පාලන තන්ත්‍රය තරම් ම අනුකම්පා විරහිත ලෙස එසේ කරනු ඇත.

තම පන්ති අවශ්‍යතා සඳහා ඒකාබද්ධ උද්ඝෝෂනයක් ගොඩනැගීමට, දිවයින පුරා වැඩපොලවල්, වතු හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරුවන්ට කල කැඳවුමේ හදිසි භාවය, ආන්ඩු-විරෝධී විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරය විසින් අවධාරනය කෙරේ.

සුපිරි ධනවතුන්‌ගේ ලාභ විධානයන් සන්තර්පනය කරනු වෙනුවට, වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතා සම්පූර්න කිරීම සඳහා සම්පත් යොදාගැනීම තහවුරු කිරීම පිනිස, මෙම ක්‍රියාකාරී කමිටුවලට සටන් වැදිය හැකි ඉල්ලීම් මාලාවක් සසප විස්තීරනය කර ඇත. අත්‍යවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීම අත් කරගැනීම, මිල පාලනයන් සහ මිල ඉහල දැමීම්වලට එරෙහි පියවරයන්, උද්ධමනයට අනුව ඉහල යන වැටුප්, රැකියා ආරක්ෂා කරගැනීම් සහ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම මෙම ඉල්ලීම්වලට අයත් වේ.

ක්‍රියාකාරී කමිටුවල ජාලයක් බිහිකිරීම සහ මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීම, අනිවාර්යයෙන් ම සමාජය සමාජවාදී රේඛා ඔස්සේ ප්‍රතිව්‍යුහගත කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන දේශපාලන අරගලයට යොමු වෙයි. ලංකාවේ අර්බුදය අතිශය තියුනු රූපාකාරයෙන් ප්‍රදර්ශනය කරන්නේ, කම්කරු පන්තියේ අතිශය මූලික අවශ්‍යතා පවා, ලාභ පද්ධතිය සමග නො පෑහෙන බව යි.

Loading