අලුතින් පත්කරන ලද අගමැති රුදුරු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙයි

[මෙය Newly appointed Sri Lankan PM pledges to implement brutal IMF program මැයෙන් 2022 මැයි 14 පලවූ ලිපියේ පරිවර්තනයයි]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු විධානයන් බලාත්මක කිරීම පිනිස, රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බ්‍රහස්පතින්දා පියවර ගත්තේ ය. ඉහල යන උද්ධමනය, අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන හා ඖෂධවල බරපතල හිඟයන් සහ දීර්ඝ දෛනික විදුලි කප්පාදු විසින් අවුලුවාලන ලදුව, සති ගනනක් තිස්සේ පැවැත්වෙන විරෝධතා හා වැඩ වර්ජන මැද වික්‍රමසිංහ ධූරය භාරගත්තේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ පත්වීම හෙලාදකිමින් 2022 මැයි 13 සිකුරදා කොලඹ දී පැවැත් වුනු විරෝධතා. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

කැබිනට්ටුවක් පත්කිරීමට හා පාර්ලිමේන්තු බහුතරයක් අටවා ගැනීමට ප්‍රමානවත් මන්ත්‍රීවරුන් ගනනක් එකතු කර ගැනීමට වික්‍රමසිංහ දැන් මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටී. ඔහු එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එක ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය. විරෝධතාවල නායකයන් හා 2020 දී එජාපයෙන් බිඳී ගිය, දැනට පාර්ලිමේන්තුවේ විශාලත ම විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) ඔහුගේ පත්වීමට විරෝධය පලකර ඇත.

නැවතත් දිනකට වේල් තුනක් අනුභව කරන ජාතියක් බවට පත් වීමට නම් අපට “අනෙකුත් රටවලින් හා ජාමූඅ වැනි ආයතනවලින් උදවු අවශ්‍ය” බව, වික්‍රමසිංහ මාධ්‍ය වෙත කීවේ ය. ඊලඟ දිනයේ ඔහු ඉන්දියාව, එක්සත් ජනපදය, චීනය හා ජපානය යන රටවල විදෙස් නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වී ය. කලින් අවස්ථාවල දී ද අගමැති ධූරය දරා ඇති වික්‍රමසිංහ, ජාමූඅ කප්පාදු ක්‍රියාත්මක කිරීම හා ඔහුගේ එක්සත් ජනපද-ගැති දිශාවනතිය ගැන කුප්‍රකට වාර්තාවක් ඇත්තෙකි.

බරපතල විදෙස් සංචිත හිඟයන්ට මුහුන දී සිටින මහ බැංකුව, ගෙවීමට තිබෙන අතිවිශාල විදේශ නය ගෙවීම තාවකාලික ව පැහැර හරින බව, පසුගිය මාසයේ දී ප්‍රකාශ කලේ ය. ජනාධිපතිගේ සහෝදර මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් කලින් ආන්ඩුව, හදිසි ඇප නයක් ලබාගැනීම සඳහා ඒ වන විටත් සාකච්ඡා ආරම්භ කොට තිබුනි.

ජාමූඅ සමග තාක්ෂනික මට්ටමේ සාකච්ඡාවල දෙවන වටයක් සඳුදා ආරම්භ විය. ශ්‍රී ලංකාව තුල “නය තිරසර භාවයක්” නැති නිසා, ඇප නය එකඟතාවකට පැමිනීමට නම් වහා ම ප්‍රතිපත්තිමය ආරම්භක පියවරයන් ක්‍රියාවට දැමිය යුතු බව ජාමූඅ කලින් කියා තිබුනි.

යම් අරමුදලක් ලබාගැනීමට නම්, වික්‍රමසිංහ මෙම සාකච්ඡා අඛන්ඩ ව පවත්වා ගනිමින්, ජාමූඅ ඉදිරිපත් කරන කප්පාදු වැඩසටහන ක්‍රියාවට දැමිය යුතු වනු ඇත. මෙම වැඩසටහනට අයත් වන්නේ:

  • පසුගිය වසරේ දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 දක්වා නැගුනු අයවැය පරතරය තියුනු ලෙස අඩු කිරීම.
  • රජයට අයත් ව්‍යවසායයන් වැඩිදුර පුද්ගලීකරනය හෝ වානිජකරනය.
  • එකතු කල අගය මත බද්ධ (වැට්) හා ඍජු බදු ඉහල දැමීම් හා බදු ජාලය පුලුල් කිරීම. මෙහි අරමුන වන්නේ දැනට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 8ක් වන යෝජිත රාජ්‍ය බදු ආදායම සියයට 14ක් දක්වා ඉහල නංවා ගැනීම වෙයි.
  • තෙල්වල වෙලඳපොල මිල පිලිබිඹු කරන පරිදි ඉන්ධන මිල ගනන් නියම කිරීම සහ පුද්ගලීකරනයට හා වානිජකරනයට සූදානම් කිරීම් වසයෙන් ජල සම්පාදනයට අයත් රජයට අයත් ආයතන ලාභ උපදවන සංගත බවට පරිවර්තනය කිරීමේ පියවරක් ලෙස ජල සම්පාදන තීරු බදු වැඩිකිරීම.

රාජ්‍ය අංශයේ රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප්වල ගැඹුරු කප්පාදු, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිදුර ඉහල නැංවීම් සහ අධ්‍යාපනය හා සෞඛ්‍යාරක්ෂනය ඇතුලු රාජ්‍ය සේවාවන් කපාදැමීම හරහා ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමෙනු ඇත.

ජාමූඅ විධානයන්ගේ විෂඝෝර ස්වභාවය අවධාරනය කරමින්, “රටෙහි ආර්ථිකය තීරනාත්මක මට්ටමක පවතින” බව මැයි 4දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල හිටපු මුදල් ඇමති අලි සබ්රි, “කවුරුන් බලයේ සිටියත් ඉදිරියට වේදනාකාරී ප්‍රතිසංස්කරන” ක්‍රියාවට දැමීමට සිදු වන බවට අනතුරු ඇඟවී ය.

ආර්ථික සංක්ෂෝබයෙන් ප්‍රකෘතිමත් වීමට ශ්‍රී ලංකාවට වසර දෙක තුනක් ගතවනු ඇතැයි සබ්රි සඳහන් කලේ ය. එහෙත් ශ්‍රී ලංකාව තුල සිදුවෙමින් පවතින්නේ, කෝවිඩ්-19 වසංගතය මගින් තීව්‍ර කරන ලද හා දැන් යුක්‍රේනය ඇමට යොදා ගෙන එක්සත් ජනපද-නැටෝ සන්ධානය රුසියාවට එරෙහි ව ගෙන යන වක්‍ර යුද්ධය විසින් නාටකාකාර ලෙස වේගවත් කරන ලද, ගැඹුරු වෙමින් පවතින ගෝලීය ධනවාදයේ අර්බුදයෙහි අතිශයින් ම තියුනු ප්‍රකාශනයකි.

රට සතුව තිබෙන යොදාගත හැකි විදෙස් සංචිත ප්‍රමානය වන්නේ, දෛනික ආනයනයන්වලට වත් ප්‍රමානවත් නො වන, එක්සත් ජනපද ඩොලර් මිලියන 50ට අඩු ප්‍රමානයක් බව, සබ්රි ප්‍රකාශ කලේ ය. “මහපොලොවේ නව යතාර්ථයන්ට” අනුව, ආන්ඩුවේ ආර්ථික පියවරයන් හා කප්පාදු අයවැය ගැලපිය යුතුව තිබෙන බවට ඔහු වැඩිදුරටත් පෙන්වා සිටියේ ය.

තමන්ට අවශ්‍ය වන්නේ, මහජනයාට දිනකට වේල් තුනක් කෑ හැකි කොන්දේසි නිර්මානය කිරීම බවට වික්‍රමසිංහ කරන ප්‍රකාශය, ලංකාවේ සමාජ අර්බුදයේ ගැඹුර පිලිබිඹු කරයි. බොහෝ වැඩකරන ජනයාට තමන්ට හා තම පවුල්වලට ප්‍රමානවත් ආහාර සම්පාදනය කරගත නො හැකි අතර, පොදු ප්‍රවාහනය භාවිතා කිරිමට හා තමන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට නො හැකි ව සිටිති.

ජාමූඅ පියවරයන් පැනවීම මෙම යෝධ සමාජ ව්‍යසනය ශමනය නො කරනු ඇති අතර එය තීව්‍ර කිරීම පමනක් කරනු ඇත.

“ගෝලීය නය අර්බුදයක දාම ඇද වැටීම් මාලාවක පලමු රට ශ්‍රී ලංකාවයි” යන හිසින් මැයි 9දා ගාඩියන් පුවත්පත පලකල මතවාදිමය ලිපියක්, සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුන දෙන ගැඹුරු අර්බුදය ගැන සඳහන් කල ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් ව උපුටා දැක්වී ය. “බලශක්තිය, පොහොර හා ආහාරවල ක්ෂනික මිල ඉහලයාම්වලට ඔවුහු මුහුන දෙමින් සිටිති. මේ සෑම දෙයක් ම ඒ රටවලට දැඩි ලෙස පහර දෙයි.”

සහයෝගය පතා ජාමූඅ වෙත හැරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැති බව, මාස ගනනක් තිස්සේ වික්‍රමසිංහ අවධාරනය කර ඇත. මාර්තු මුල දී විශ්ව විද්‍යාල සිසුන් අමතමින් ඔහු මෙසේ කීවේ ය: “1977 දී ආර්ථිකය බිඳවැටුනු විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය අපි, විවෘත ආර්ථිකයක් නිර්මානය කිරීමට ඔවුන්ගේ සහයෝගය ගැනීමට උත්සාහ කලා. අනෙකුත් රටවල් සහයෝගය දුන්නේ (ජාමූඅ) ආධාර ලැබීමෙන් පසුව පමනයි.”

1977 ගැන සඳහන් කිරීම අර්ථභාරී ය. ජාමූඅ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහයෝගය ලැබෙන අනුකම්පා විරහිත විවෘත වෙලඳපොල පිලිවෙත් කරා හැරුනු ලෝකයේ පලමු ආන්ඩුවලින් එකක් වූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව යි. ශ්‍රී ලංකාවේ ලාභ ශ්‍රමය සූරාකෑම සඳහා විදේශ ආයෝජකයන්ට දොර විවෘත කල එය, රජයට අයත් ව්‍යවසායයන් සංගතකරනයේ හා පුද්ගලීකරනයේ ක්‍රියා දාමය ආරම්භ කලේ ය. රැකියා දසදහස් ගනනක් විනාශ කිරීම හා සමාජ සහනාධාර කපා දැමීම එජාප ආන්ඩුව අධීක්ෂනය කලේ ය.

මෙම පිලිවෙත් කම්කරු පන්තිය තුල පලල් විරුද්ධත්වයක් ජනනය කල අතර, ජයවර්ධන ආන්ඩුව එම විරෝධය අනුකම්පා විරහිත ලෙස මර්දනය කලේ ය. කම්කරුවන් ලක්ෂයක් නෙරපමින්, එය 1980 දී රාජ්‍ය අංශයේ මහා වැඩ වර්ජනයක් තලා දැමී ය. පන්ති ආතතීන් වැඩිදියුනු වෙද්දී, කම්කරු පන්තිය බෙදීමට දෙමල-විරෝධී ස්වෝත්තමවාදයට එජාපය හැරුනේ 2009 ලේ වැකි අවසානයට මත්තෙන් ලක්ෂ ගනනක් ඝාතනය කරමින් හා දිවයින විනාශ කරමින් දෙමල සුලුතරයට එරෙහි ව ඇදී ගිය වර්ගවාදී යුද්ධය අවුලුවමිනි.

ජයවර්ධන ආන්ඩුවේ ඇමතිවරයෙක් වූ වික්‍රමසිංහ, එහි ප්‍රතිගාමී පිලිවෙත්වලට සම්පූර්න සහයෝගය දුන්නේ ය. ඉන් වසර හතලිහකට පසුව, අගමැති තනතුරට ඔහු පත්කරනු ලැබ තිබෙන්නේ, මහ ව්‍යාපාරිකයේ, විදේශ ආයෝජකයන්ගේ හා නය දෙන්නන්ගේ ලාභ ආරක්ෂා කිරීමට, වැඩකරන ජනයාගේ ජීවිත විනාශ කරනු ඇති ජාමූඅ වැඩසටහන මුදාහැරීමට ය. ඕනෑ ම විරුද්ධත්වයකට එරෙහි ව පොලිස්-රාජ්‍ය පියවරයන් යොදාගැනීමට ඔහු පසුබට නො වනු ඇත.

ආන්ඩුවක් තැනීමට වික්‍රමසිංහ සමත් වෙතත් නැතත්, විපක්ෂ සජබ හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය, මෙම කම්කරු පන්ති-විරෝධී න්‍යාය පත්‍රයට කැප වී සිටී.

එජාප මෙන් ම සජබ ද ජාමූඅ සමග සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනාධිපති රාජපක්ෂට කැඳවුම් කලේ ය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාග ආන්ඩුවට 2004 දී ඇතුල් වූ ජවිපෙ හා එහි ඇමතිවරු කුමාරතුංග ආන්ඩුවේ ජාමූඅ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උදවු වූ හ. නියමිත කලට පෙර මැතිවරනයක් අපේක්ෂාවෙන්, එම පක්ෂ දෙක ම අන්තර්වාර ආන්ඩුවක් බිහිකිරීමට දැන් ඉදිරිපත් වී ඇත.

මහ ව්‍යාපාරිකයේ ලාභවලට ඉහලින් වැඩකරන ජනයාගේ මූලික සමාජ අවශ්‍යතාවන්ට මුල් තැන දෙන සමාජවාදී විකල්පයක්, ජාමූඅ කප්පාදු වැඩසටහනට විරුද්ධ ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ඉදිරිපත් කර ඇත. පහත සඳහන් හදිසි පියවරයන් සඳහා අපි කැඳවුම් කරමු:

  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු විධානයන් ප්‍රතික්ෂේප කරනු!
  • සියලු අත්‍යවශ්‍ය භාන්ඩවල හා අනෙකුත් අත්‍යවශ්‍ය සම්පත්වල නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගනු! බැංකු, මහා සංගත, විශාල බැංකු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු!

මාසික පදනමකින් ජීවන වියදමට අනුව වැටුප් ඉහල දමමින් ද දුගී ගොවීන්ගේ හා ස්වයං-රැකියා නියුක්තිකයන්ගේ සියලු නය අහෝසි කරමින් ද කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්ත්වයන් ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබිය යුතු ය.

මෙම ඉදිරි දර්ශනයට සටන් කිරීම පිනිස, දිවයින පුරා කම්හල්, වැඩපොලවල්, වතු හා නිවහන් ප්‍රදේශවල, වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි. මෙම ක්‍රියාකාරී කමිටුවලට, සමාජවාදී ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන දේශපාලන අරගලයට පදනම දැමිය හැක.

එවන් ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කිරීමට ඉදිරිපත් වන කම්කරුවන්ට දේශපාලන සහයෝගය සම්පාදනය කිරීම සඳහා සසප සූදානම් ය.

Loading