ගෝල්ෆේස් නායකත්වයේ ඉල්ලීම් මාලාව: මහජන නැගිටීම පාර්ලිමේන්තු මාවත ඔස්සේ දියකර හැරීමේ උගුලක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දිවයින පුරා මිලියන සංඛ්‍යාත මහජනතාව ගෙනයන උද්ඝෝෂනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ගෝල්ෆේස් විරෝධතාවයේ නායකත්වය එහි අභ්‍යන්තර කුලල් කා ගැනීම් හේතුවෙන් කන්ඩායම් ගනනාවකට බෙදී ඇත. ඉන් එක් කන්ඩායමක්, මහජන 'අයිතීන් ආරක්ෂා කිරීමේ' ඉල්ලීම් මාලාවක් ප්‍රකාශයට පත්කොට තිබේ.

එම කන්ඩායම නියෝජනය කරමින් ඩේලිමිරර් පුවත්පතට කතාකල චමීර දෙද්දුවගේ සහ මනුරී පබසරී පවසා ඇත්තේ, සිවිල් සංවිධාන 60 ක් සමග කල සාකච්ඡාවන්හි දී ඉදිරිපත් කෙරුනු අදහස් මත සකස් කෙරුනු තම ඉල්ලීම් මාලාව නුදුරු දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන වල දැවැන්ත හිඟය ද, ඒවායේ ඉසිලිය නොහැකි මිල ගනන් සහ දෛනිකව පවත්නා දීර්ඝ විදුලි කප්පාදු ද හේතුවෙන් අප්‍රේල් මස මුල දී පුපුරා ගියේ, අනුප්‍රාප්තික ආන්ඩු යටතේ එල්ල වෙමින් පවත්නා ප්‍රහාර වලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩුනු දැවැන්ත විරෝධය යි. එම විරෝධය එල්ල වී ඇත්තේ, හුදෙක් රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව පමනක් නොව, සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයට එරෙහිව යි. විරෝධතාවයේ යෙදෙන මහජනතාව කියා සිටින්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම 'ගෙදර යා යුතු' බවයි.

ගාලු මුවදොර පිටියෙහි විරෝධතා පැවැත්වෙන ස්ථානයේ දී , ගෝඨා ගෙදර යනු, 2022 අප්‍රේල් 9 (ලෝසවෙඅ මාධ්‍ය) [Photo: WSWS]

නමුත් ගෝල්ෆේස් විරෝධතාවයේ නායකත්වය තම ඉල්ලීම් ඉදිරිපත් කරනුයේ, මහජනතාව දැඩිසේ ප්‍රතික්ෂේප කරන එම පාර්ලිමේන්තුවට සහ එහි අපකීර්තිමත් නියෝජිත සමූහයටම ය. ප්‍රජාතන්ත්‍රවාදී සාටෝප වලින් ඉල්ලීම් මාලාව සරසා ඇති නමුත් එහි විසකුරු එල්ලය වැඩී ඇති දැවැන්ත මහජන විරෝධය ධනපති පාර්ලිමේන්තු මාවතේ දියකර හැරීම යි.

ජනාධිපති රාජපක්ෂගේ තන්ත්‍රය බලයෙන් ඉවත්ව යායුතු යැයි ඉල්ලා සිටින ඔවුන් ඒ සැනින්ම කියා සිටින්නේ, 'ජාතිය ප්‍රකෘතියේ මාවතට හැරවීම සඳහා' මාස 18 කට නොවැඩි කාලයකට සීමාවන 'අන්තර්වාර ආන්ඩුවක්' පිහිටුවියයුතු බවයි. එම ආන්ඩුව වත්මන් අර්බුදය විසඳීම සඳහා 'වහා' පියවර ගතයුතු වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ අගමැතිත්වයෙන් මෙවන් 'අන්තර්වාර ආන්ඩුවක්' දැනටමත් පිහිටුවා ඇති අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත 'අර්බුදය විසඳීමේ' වැඩපිලිවෙල 'වහා' ක්‍රියාවට නංවා තිබේ. මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය ඇතුලු සමාජ වැඩසටහන් ක්ෂේත්‍රයන්හි දැවැන්ත කප්පාදු, පුද්ගලීකරනය ඇතුලු රාජ්‍ය ප්‍රතිව්‍යූහකරනය සහ වැට් ආදී ඝෘජු බදු සුවිසල් ලෙස ඉහල දැමීම ආදිය මෙම වැඩපිලිවෙලට අන්තර්ගත වේ. ඉදිරි කාලය මහජනතාව මුහුනදෙන 'දුෂ්කරම' කාලය විය හැකි බව අගමැති වික්‍රමසිංහ පසුගිය සතියේ පැවසුවේ ය.

කෝවිඩ් වසංගතයෙන් ගැඹුරු කෙරුනු ලෝක ධනේශ්වර අර්බුදය, එජ-නැටෝ බලයන් විසින් යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයෙන් වඩාත් තීව්‍ර කෙරී ඇත. මෙම තතු තුල, ලොවපුරා ධනපති ආන්ඩුවල පිලිවෙත වී ඇත්තේ තම අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමයි. ලංකාවේ රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව අනුයන්නේ ද එයයි. ගෝල්ෆේස් විරෝධතා නායකත්වය යෝජනා කරන වෙනත් 'අන්තර්වාර ආන්ඩුවක' හෝ අන් කවර ධනපති ආන්ඩුවක හෝ කාර්යභාරය එය වනු ඇත.

'20 A' ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති ධූරයට ගොනුකරදුන් අමතර බලතල ඉවත් කිරීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඑන ලෙස ගෝල්ෆේස් නායකයෝ ධනපති පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිති.

1978 දී ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් විධායක ජනාධිපති ධූරය ස්ථාපිත කරනු ලැබුවේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයට ඒකාග්‍ර කිරීමට ඔහු දැරූ ප්‍රයත්නයට එරෙහිව කම්කරු පංතියෙන් එල්ල වූ ප්‍රතිරෝධය මැඩීමේ එල්ලයෙනි. 1980 මහ වැඩවර්ජනය තලා දැමුවේ ද, කම්කරු පංතිය බෙදීම සඳහා 1983 දී වර්ගවාදී යුද්ධය දියත් කෙරුනේ ද, ජනාධිපති අනුප්‍රාප්තිකයන් විසින් වසර 26 ක් පුරා එම ලේවැකි යුද්ධය ගෙන ගියේ ද මෙම විධායක ජනාධිපති බලතල යොදා ගනිමිනි.

2008 න් ඇරැඹී ගැඹුරුවන ලෝක ධනේශ්වර අර්බුදයෙන් නිපන් ප්‍රහාරයන් හමුවේ රැඩිකලීකරනය වන කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් පීඩිතයන් මැඩීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත පාලක පංතීන් ගන්නා වේගවත් මාරුව ජාත්‍යන්තර ප්‍රපංචයකි. රාජපක්ෂ 2019 දී ජනාධිපති තනතුරට පත් වූ සැනින් කරන ලද '20 A' ව්‍යවස්ථා සංශෝධනය හරහා රුදුරු බලතල ගොනුකර ගත්තේ එම ප්‍රපංචයේ කොටසක් ලෙසිනි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවක් ව්‍යාජව පෙන්වන ගෝල්ෆේස් නායකයන්, ප්‍රජාතන්ත්‍ර-විරෝධී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා නොසිටින අතර ඔවුන් කියා සිටින්නේ, '20 A' සංශෝධනයෙන් පවරන ලද බලතල පමනක් ඉවත්කල යුතු බවයි.

'සියලු පුරවැසියන්ගේ අයිතීන්ට ගරු කෙරෙන පරිදි නීතිය ප්‍රතිස්ථාපනය' කරන ලෙසට ධනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඉල්ලීම ද ඒ තරමටම ව්‍යාජය.

නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත ලාභය සඳහා ධාවනය කෙරෙන ධනපති ක්‍රමය විසින් නිර්මිත දැවැන්ත සමාජ අසමානතාව තුල, 'සියලු පුරවැසියන්ගේ අයිතීන්' තහවුරු කිරීම යතාර්ථයේදී සාක්ෂාත් කල නොහැක්කකි; සමාජ අසමානතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය කවර ලෙසින් හෝ නොපෑහේ. ලෝක අසමානතා දත්ත ගොනුවට (World Inequality Database) අනුව, 2021 දී ලංකාවේ සමාජයේ ඉහල ම ධනවත් සියයට 10 දිවයිනේ ධනයෙන් සියයට 63.8ක යෝධ ප්‍රමානයක් අත්කර ගෙනසිටි අතර, පහල සියයට 50 සතුව තිබුනේ යන්තම් සියයට 4.3ක් පමනි.

'තේරී පත් වූ සහ පත් කරන ලද සියලුම නිලධාරීන් ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ කල යුතු අතර නීත්‍යානුකූල ක්‍රම මගින් නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් අත්අඩංගුවට ගැනීමට සහ අයකර ගැනීමට පරීක්ෂන සිදු කල යුතු' බවට තවත් ඉල්ලීමකි. මෙය, රාජපක්ෂ තන්ත්‍රය ප්‍රමුඛව ද, එම තන්ත්‍රයේ ව්‍යාපාරික සගයන් ද, පොදුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද දූෂිතයන් සහ මුල්‍ය වංචනිකයන් බවට මහජනතාව අතර ඇති පොදු මතය ගසාකෑමේ ඉල්ලීමකි.

සමාජයේ සෑම ක්ෂේත්‍රයක් තුලම මුල්‍ය ප්‍රාග්ධනය ආධිපත්‍යය දරන වත්මන් ධනපති ක්‍රමය තුල දූෂනය සහ වංචාව අහෝසි කල හැකි වෙතැයි යන්න ප්‍රලාපයකි. මුල්‍ය ප්‍රාග්ධන ආධිපත්‍යය තුල දූෂනය සහ වංචාව අනිවාර්ය අංගයෝ වෙති.

1800 ගනන්වල මැද භාගයේ ප්‍රංශයේ මතු වූ මුල්‍ය වංශාධිපතිත්වය ගැන කාල් මාක්ස් මෙසේ පවසයි:

'මුල්‍ය වංශාධිපතිත්වය, නීති සම්පාදනය කල හෙයින් ද රාජ්‍ය පරිපාලනයේ මුදුනතෙහි පිහිටි හෙයින් ද සංවිධිත පොදු අධිකාරයන් මත අන පැනවූ හෙයින් ද පවත්නා තත්වය මත සිය පාලනය මගින් ද පුවත් මාධ්‍ය මගින් සහ සැබෑ රාජ්‍ය කටයුතු තුලින් ද මහජන මතය මත ආධිපත්‍යය දරා සිටි හෙයින් ද සිදුව තිබුනේ, එකම ගනිකා වෘත්තිය, එකම නිර්ලජ්ජිත රැවටිල්ල සහ නිෂ්පාදනය තුලින් නොව, පවත්නා අන් සන්තක ධනය ගිල ගැනීමෙන් ඉක්මනට පොහොසත්වීමේ උමතුව රාජ සභාවේ පටන් 'කැෆේ බෝග්' (කඩ වීදිය) දක්වා පැතිර යාමය.' (කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස්, එකතු කල කෘති, 10 වෙලුම (නිව්යෝක්, ඉන්ටර්නැෂනල් පබ්ලිෂර්ස්, 1978), 50-51 පිටු)

ගෝල්ෆේස් හි ඊනියා නායකයන් මෙම ඉල්ලීම් මාලාව තුලින් යත්න දරන්නේ, පාර්ලිමේන්තුව හරහා ලංකාවේ ධනපති පංති පාලනය ශුද්ධ පවිත්‍රකොට, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ සමාජ අවශ්‍යතා තහවුරු කෙරෙන පාලනයක් බවට පරිවර්තනය කලහැකි වෙතැයි යන ම්ත්‍යාව කම්කරුවන්ට සහ තරුනයන්ට ගිල්ලා ධනපති ක්‍රමය ආරක්ෂා කර දීමටයි.

රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ අධිෂ්ඨානයෙන් ගෝල්ෆේස් පිටියට පැමිනි ලක්ෂ සංඛ්‍යාත තරුන-තරුනියන් සහ කම්කරුවන්, ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමට, මෙම ඊනියා නායකයෝ මුල සිටම විරුද්ධව සිටියහ.

කම්කරු පන්තිය, ගම්බද ගොවි ජනයා රැලිකර ගනිමින්, දියත් කරන ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ආ යුතු බවත්, එම ආන්ඩුව හරහා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීමෙන් කම්කරු-පීඩිත මහජනතාවගේ අවශ්‍යතා සපුරාගතහැකි බවත් පෙන්වා දෙමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කරන මැදිහත්වීමට එරෙහිව මෙම නායකයෝ කීප වරක්ම කඩා පැන්නාහ.

ඔවුහු සසප ට එරෙහි කඩා පැනීම සිදු කරන්නේ, 'නිර්පාක්ෂිභාවය' සහ 'දේශපාලනය එපා' යන ප්‍රතිගාමී කඩතුරාවන්ට මුවා වෙමිනි. එසේ වුව ද, ජනතා විමුක්ති පෙරමුනේ, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප), පෙසප විසින් නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ සහ අනෙකුත් ධනපති පක්ෂවල නායකයෝ බාධාවකින් තොරව ගෝල්ෆේස් හි තම දේශපාලනයේ යෙදෙති.

සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් උතුරේ මුල්ලිවයික්කාල් හි දී ඝාතනය කෙරුනු දහස් සංඛ්‍යාත දෙමල ජනයා සමරමින් ගෝල්ෆේස් හි බදාදා පැවති රැස්වීමට දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රාසමානික්කම් ශානඛ්‍යයන් සහභාගි කර ගැනීම මෙහි මෑතම ප්‍රකාශනය යි. පීඩිත දෙමල ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන බවක් ව්‍යාජව පෙන්නුම් කරන දෙජාස යේ අරමුන කොලඹ සමග කරන ගනුදෙනුවක් හරහා දෙමල ධනපති පංතියේ වරප්‍රසාද තරකර ගැනීමයි.

මේ සඳහා, වොෂින්ටනය සහ නවදිල්ලිය හරහා කොලඹට පීඩනය යෙදිය හැකි වෙතැයි සිතන දෙජාස එයට හිලවු වශයෙන් එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ චීනයට එරෙහි භූ මූලෝපායික වැඩකටයුතු වලට විවෘතව සහාය දක්වයි. එය ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට ද සහයෝගී ය. සසප ට එරෙහි වන ගෝල්ෆේස් 'නායකයන්' තම වේදීකාව සකසා දෙන්නේ මෙවන් ප්‍රතිගාමී ධනපති දේශපාලන පක්ෂ වලට, කම්කරුවන්ට එරෙහි කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරයට, කම්කරුවන් සහ තරුනයන් ධනපති ක්‍රමයට ඇදබැඳ තබන ඊනියා සිවිල් සංවිධානයන්ට සහ දක්ෂිනාංශික පූජක නඩයන්ට ය.

රාජපක්ෂ ආන්ඩුවට සහ ධනපති සංස්ථාපිතයට විරෝධය පල කරනුවස් ගෝල්ෆේස් පිටියට පැමිනෙන කම්කරුවන්ගේ සහ තරුන තරුනියන්ගේ කෝපය, කම්කරු පංතියේ සටන් ක්‍රම නොවන, පිරිත් සජ්ජායනා, දේව යාඥා සහ සාංඝික දාන ආදී ආගමික වතාවත් තුල දියකර හැරීමට මෙම 'නායකයෝ' දැනුවත්ව ක්‍රියා කරති.

'ශ්‍රී ලංකාවේ ආන්ඩුවට එරෙහිව නැගී ඇති විරෝධතා මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න' යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියෙන් පෙන්වා දුන් පරිදි, 'ගාලු මුවදොර පිටියේ විරෝධතාවල නායකයන් විසින් ඉදිරියට දමන ඉල්ලීම්වලින් නියෝජනය වන්නේ, සාපේක්ෂ ව කතා කල හොත්, සිය සුවපහසු තත්ත්වය වැඩි දියුනු කරගැනීම සඳහා ජාමූඅ හා ධනපති විරුද්ධ පක්ෂ මත විශ්වාසය තබන, ඉහල මධ්‍යම-පන්තික ස්ථරයක අවශ්‍යතා මිස, කම්කරු පන්තියේ හා දුගීන්ගේ අවශ්‍යතා නො වේ.'

ගෝල්ෆේස් විරෝධතා නායකත්වයේ පවත්නා මෙම මධ්‍යම පංතික ස්වභාවය නිසා ම වර්ධනය වූ අභ්‍යන්තර කුලල් කා ගැනීම් ඔවුන් පසමිතුරු කන්ඩායම් වලට බෙදා දමා ඇත. සමහර කන්ඩායම් විරෝධතා භූමියෙන් පලවා හැර ඇති අතර, තවත් කන්ඩායම් ඉවත්වගොස් ඇත. පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ එක් කන්ඩායමක් කියා සිටියේ, ඉහත ඉල්ලීම් මාලාව ඉදිරිපත් කල අය 'අරගල භූමියේ සැබෑ නායකයන් නොවන' බව සහ තමා එහි සැබෑ නායකයන් බවයි.

කෙසේ නමුත්, 'සැබෑ නායකයන්' යැයි කියාගත් කන්ඩායම නියෝජනය කල බලංගොඩ කස්සප නමැති බෞද්ධ භික්ෂුව කල පැහැදිලි කිරීම් වලින් අනාවරනය වූයේ මෙම කන්ඩායම්වල අවශ්‍යතා සහ ඉල්ලීම් අතර මූලික වෙනස්කම් කිසිවක් නොමැති බවයි.

මෙම ප්‍රතිගාමී නඩවල අත් යටට කම්කරු පංතිය සහ තරුන-තරුනියන් තල්ලු කිරීමේ ලා වෘත්තීය සමිති ඉටු කරන්නේ ප්‍රමුඛතම භූමිකාවකි. ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව කම්කරු පංතිය තුල වැඩී ඇති දැවැන්ත කෝපය, සීමිත වර්ජන සහ විරෝධතා තුල දියකර හැරීමට සමිති විසින් ගෙනයන වැඩකටයුතුවල කොටසක් ලෙස කොලඹ දී ඔවුන් පවත්වන විරෝධතා පෙලපාලි සිරිතක් ලෙස අවසන් කෙරෙනුයේ, ගෝල්ෆේස් විරෝධතා භූමියෙනි. තම පංති අවශ්‍යතාවන්ට හොඳින්ම ගැලපෙන එම වේදිකාවට ගොඩවදින සමිති නායකයෝ ඉන් වපුරන ප්‍රතිගාමී දේශපාලනයට තම වසුරු ද එක් කරති.

මොවුන් සියලුදෙනාම සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානයකට සහ ධනය බෙදා හැරීමට සැලකිය යුතු ලෙස බලපාන ඕනෑම පියවරකට විරුද්ධ ය.

ඊට ප්‍රතිකූලව, සමාජයේ සියලු ධනය නිෂ්පාදනය කරන කම්කරු පංතියට, අතිවිශාල විභව බලයක් ඇත. එහෙත් එයට ස්වකීය අවශ්‍යතා ඉදිරියට ගෙන යා හැක්කේ එය පන්ති අරගලය මත පදනම් වූ ධනේශ්වර විරෝධී හා සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වුවහොත් පමනි.

Loading