ආන්ඩුව නව සමාජ ප්‍රහාර වටයක් තුල වැට් සහ අනෙකුත් බදු ඉහල දමයි

[මෙය Sri Lankan government increases VAT and other taxes in a new round of social attacks මැයෙන් 2022 ජූනි 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ආන්ඩුව, මැයි 31 දා, භාන්ඩ සිය ගනනක මිල වැඩිවන පරිදි බදු ගනනාවක් ම තියුනු ලෙස ඉහල දැමීය. මෙම ඉහල දැමීම්, පවතින උද්ධමන අනුපාත වඩාත් නරක අතට හරවනු ඇති අතර තවත් බොහෝ ජනයා සාගින්නට තල්ලු කරනු ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැනටමත් දරාගත නොහැකි මිල නිසා බොහෝ කම්කරුවන්ට සහ දුප්පතුන්ට අවම වශයෙන් දිනකට එක් ආහාර වේලක් හෝ මගහැරීමටත් මූලික ආහාරවල ගුනාත්මකභාවය සහ ප්‍රමානය අඩු කිරීමටත් බල කෙරී ඇත.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක් පිටුව] [Photo: United National Party Facebook]

මුදල් ඇමතිකම දරන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද, කැබිනට් අනුමැතිය ලත් යෝජනා මඟින්, එකතු කල අගය මත බද්ද (වැට්) සහ ආදායම් බදු වැඩි කෙරෙන අතර ඇතැම් භාන්ඩ සඳහා අධිභාර පනවනු ලැබේ.

අගමැති කාර්යාලය ඇස්තමේන්තු කරන්නේ, මෙම වැඩිවීම් මගින්, සිඳී ගිය රාජ්‍ය භාන්ඩාගාරයට වාර්ෂිකව රුපියල් බිලියන 300 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 836 ක්) එකතු වනු ඇති බවයි. එම මුදලෙන් අඩක් වැට් බද්ද වැඩි කිරීමෙන් අපේක්ෂා කෙරේ.

නව පියවර වලට ඇතුලත් වන්නේ:

*වැට් බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා ක්ෂනිකව වැඩි කිරීම. මෙය සියලුම නිෂ්පාදන සහ සේවා සඳහාම පාහේ අදාල වේ. වත්මන් වාර්ෂික වැට් බදු පිරිවැටුම් සීමාව, 2022 ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 300 සිට රුපියල් මිලියන 120 දක්වා අඩු කරනු ඇති අතර එය කුඩා ව්‍යාපාරවලට දැඩි පහරක් වනු ඇත.

* සියලු විදුලි සංදේශ කටයුතුවල පිරිවැය ඉහල නංවමින්, විදුලි සංදේශ සේවා සඳහා දැනට අය කරන බද්ද වහාම සියයට 11.25 සිට සියයට 15 දක්වා වැඩි කරන ලදී.

* විශ්‍රාමිකයන්ගේ තැන්පතු ඇතුලු, ඉතුරුම්වලින් ලැබෙන පොලී ගෙවීම් සඳහා සියයට 5 ක රඳවා ගැනීමේ බද්දක් පනවා තිබේ. වයස අවුරුදු 60 ට වැඩි විශ්‍රාමිකයින් නිදහස් කර ඇති නමුත්, ඒ ඔවුන්ගේ ඉතුරුම් රුපියල් මිලියන 1.5 නොඉක්මවන්නේ නම් පමනි.

* පුද්ගලික ආදායම් බදු සහන සඳහා දැනට පවතින රුපියල් මිලියන 3 ක වාර්ෂික ආදායම් සීමාව රුපියල් මිලියන 1.8 දක්වා කප්පාදු කෙරෙනු ඇත, එයින් අදහස් වන්නේ තවත් දස දහස් ගනන් කම්කරුවන්ට බදු ගෙවීමට සිදුවනු ඇති බවයි.

* දකුනු ආසියාවේ අනෙකුත් රටවල් හා සමගාමීව සමාගම් ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 30 දක්වා වැඩි කෙරේ, සමහර අංශ සඳහා අදාල වන සහනදායී සමාගම් බද්ද සියයට 14 සිට 15 දක්වා, සියයට 1 කින් ඉහල දැමේ.

* ආහාර ඇතුලු ආනයනික ද්‍රව්‍ය කිහිපයක් අත්‍යවශ්‍ය නොවන බවට නම් කර වෙනම ගැසට් පත්‍රයක් හරහා දැවැන්ත බදු වැඩි කිරීම් හෝ අධිභාර ද පැනවීය. බටර් සඳහා සියයට 850 ක, චීස් සඳහා සියයට 250 ක සහ අනෙකුත් කිරි නිෂ්පාදන සඳහා සියයට 100 ක, චොකලට් සඳහා සියයට 200 ක සහ පලතුරු යුෂ, මධ්‍යසාර සහ දුම්කොල සඳහා සියයට 100 ක බදු එයට ඇතුලත් වේ. ආනයනික ඇපල්, දොඩම්, රටඉඳි වැනි පලතුරුවල මිල වර්තමාන මිලට වඩා දෙතුන් ගුනයකින් වැඩි වනු ඇත.

රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා සියයට 75 ක ද පාවහන් සහ අනෙකුත් ආනයනික භාන්ඩ සඳහා සියයට 25 ත් 50 ත් අතර ද අධිභාරයක් පනවා ඇති අතර ජංගම දුරකතන, රයිස් කුකර් සහ ශීතකරන වැනි මූලික විදුලි උපකරන සඳහා සියයට 100 ක බද්දක් දැන් අය කෙරේ.

දරුනු නව පියවර සාධාරනීකරනය කරමින් වික්‍රමසිංහ, වැට්, පුද්ගලික ආදායම් සහ සමාගම් බදු අඩු කිරීම සහ බදු සහන වැඩි කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ජනාධිපති රාජපක්ෂගේ පසුගිය ආන්ඩුවට දොස් පැවරීය. මෙම අඩු කිරීම්, රාජ්‍ය භාන්ඩාගාරයට වාර්ෂිකව බිලියන 600 ත් 800 ත් අතර ආදායම් අහිමි වීමට හේතු වූ බව ඔහු පැවසීය.

2019 නොවැම්බරයේදී තේරී පත් වූ පසු, ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව මහා ව්‍යාපාරිකයන්ට දැවැන්ත බදු සහන ලබා දෙමින් සීමිත ජනතාවාදී පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කලේය. මෙම පියවර විදේශ ආයෝජන ආකර්ශනය කර ගනිමින් ආර්ථිකය 'පුනර්ජීවනය' කරනු ඇතැයි රාජපක්ෂ කියා සිටියේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ආර්ථිකය කොවිඩ්-19 වසංගතයෙන් බැට කද්දී, සංචාරක ආදායම කඩා වැටීමකට ලක් වූ අතර, ප්‍රේෂන සහ අපනයන ඉපැයීම් තියුනු ලෙස පහත වැටුනි. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ යුද්ධයත් සමඟ ආර්ථික අර්බුදය මේ වසර මුලදී නරක අතට හැරුනු අතර එහි ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල, ආහාර හිඟය සහ සැපයුම් දාම බිඳ වැටීම ඉහල ගියේය. මැයි 18 දා, ශ්‍රී ලංකාව ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 78 ක පොලී ගෙවීම පැහැර හරිමින්, දශක දෙකක් තුල එසේ කල පලමු රට බවට පත් විය.

බදු වැඩි කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය හිඟය කපා හැරීම සඳහා වන වික්‍රමසිංහගේ රුදුරු උත්සාහයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝගවලට අනුකූල වේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රභූවේ හඬ වන ඩේලි එෆ්ටී, “ඔබ දුප්පත් වුවත් මෙය ආපසු ගෙවීමේ කාලයයි” යනුවෙන් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහගේ ඉහල බදු පැනවීම් අගය කලේය.

නව පියවර ප්‍රකාශයට පත් කරන ලද්දේ නවතම නිල උද්ධමන අනුපාතයන් නිකුත් කල දිනයේදීම ය. මැයි මාසයේ වාර්ෂික උද්ධමන අනුපාතිකය, පෙර මාසයේ පැවති සියයට 28 සිට සියයට 39 දක්වා ඉහල ගිය අතර ආහාර උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 45 සිට සියයට 57 දක්වා ඉහල ගියේය.

බ්ලූම්බර්ග් සහ අනෙකුත් ජාත්‍යන්තර ව්‍යාපාරික මාධ්‍ය ආයතන සඳහන් කර ඇති පරිදි, වික්‍රමසිංහගේ කප්පාදු පියවර පනවනු ලැබුවේ ඩොලර් බිලියන 3 ක ඇප නයක් සඳහා මේ මස මුලදී ජාමූඅ සමග ඊලඟ සාකච්ඡා වටයට සූදානම් වීම සඳහා ය.

ලබන අඟහරුවාදා, වික්‍රමසිංහ විසින්, තව දුරටත් කප්පාදු පියවරයන් සමග, රුපියල් බිලියන 695 ක “ආදායම් එකතු කිරීමේ” පැකේජයක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි කාලය තුල විදුලි ගාස්තු තුන් ගුනයකින් වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කලේය. කැබිනට් මන්ඩලය ජල ගාස්තු වැඩි කිරීමට ද අපේක්ෂා කරයි.

ජාමූඅ ඉල්ලා සිටින්නේ රාජ්‍ය අංශය දැඩි ලෙස ප්‍රමානයෙන් සීමාකිරීම සහ පුද්ගලීකරනය මෙන්ම රාජ්‍ය අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට තවත් කප්පාදු ද ඇතුලත් සමාජ වැඩසටහන් කපා දැමීම්‍ ය. ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක් වන රාජ්‍ය සේවකයින් අඩකින් හෝ ඊටත් වැඩි ප්‍රමානයකින් අඩු කරන්නේ කෙසේද යන්න පිලිබඳව කැබිනට් මන්ඩලය මේ වන විට සාකච්ඡා කරමින් සිටී.

බ්‍රහස්පතින්දා, වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික කව නියෝජනය කරන ඒකාබද්ධ මන්ඩලයේ නායකත්වය හමුවිය. තම කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, වික්‍රමසිංහ කියා සිටියේ විදේශ නය ආපසු ගෙවීමට ද, තවත් ඩොලර් බිලියන 1 ක් රටේ සංචිත ඉහල නැංවී සඳහා ද වන ලෙස ඩොලර් බිලියන 5 ක් නැවත ලබා ගැනීමට ආන්ඩුව සැලසුම් කරන බවයි.

ශ්‍රී ලාංකීය මහජනතාවට එරෙහිව වඩාත් දරුනු සමාජ ප්‍රහාර සූදානම් වෙමින් පවතී. පසුගිය බදාදා, 'වොයිස් ඔෆ් ඇමරිකා' වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන ලද අදහස් වලට අනුව, ලෝක බැංකු ප්‍රකාශකයෙකු විසින් මෙම ක්‍රියාමාර්ග පිලිබඳ යම් ඇඟවීම් හෙලි කර තිබේ.

“[ශ්‍රී ලංකාවේ] දිග හැරෙන ආර්ථික අර්බුදයෙන් මානව සංවර්ධනයට සිදු වන බලපෑම දරුනු ය. අර්බුදය, ආර්ථික ක්‍රියාකාරකම් සහ ප්‍රමානවත් පෝෂනය ඇතුලු මූලික අවශ්‍යතා සපුරාලීමේ ලා කුටුම්භවලට ඇති හැකියාවට බාධා පමුනුවා ඇත… වඩාත් නරකම තත්වය වන්නේ, 2022 සහ 2023 දී ආර්ථික ක්‍රියාකාරකම්වල හැකිලීමේ ප්‍රතිශතය සියයට 11 කට වඩා වැඩි අගයක් බවට පරිවර්තනය වීමට ඇති ඉඩකඩ ය… ප්‍රතිඵලයක් ලෙස දරිද්‍රතා අනුපාතය 2023 දී සියයට 22 කට ආසන්න වනු ඇතැ'යි ඔහු පැවසීය.

මේ වසර මුලදී, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කලේ, 2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය “ඉතිහාසයේ වෙනත් කිසිම වසරකට වඩා ඉහල රේට්ටුවකින් හැකිලෙනු ඇති” බවයි.

අධිරාජ්‍ය ගැති රාජපක්ෂ සහ වික්‍රමසිංහ තන්ත්‍රය කම්කරු පන්තිය හා දුගීන් තව දුරටත් දරිද්‍රතාවයට හා සාගින්නට ඇද දමමින් සිටී. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන සහ දෙමල ජාතික සන්ධානය වැනි විරුද්ධ පක්ෂ, ජාමූඅ හි “ප්‍රතිසංස්කරන” වැඩපිලිවෙලට සහය දෙන අතර, කෝපයට පත් ජනතාව රැවටීම සඳහා ආන්ඩුව පිලිබඳ පුහු විවේචන දිගටම කරගෙන යයි.

ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලමින් කම්කරුවන්, තරුනයින් සහ දුගීන් සම්බන්ධ වූ විරෝධතා, නරක අතට හැරෙන සමාජ ව්‍යසනය මහජනයා නොඉවසන බව පැහැදිලි කරයි. අප්‍රේල් 28 සහ මැයි 6 වැනි දින පැවති එක් දින මහා වැඩවර්ජනය, කම්කරු පන්තියේ විරෝධයේ ගැඹුර සහ එහි සමාජ ශක්තිය බලගතු ලෙස පෙන්නුම් කලේය.

කෙසේ වෙතත්, ව්‍යාජ වාම කන්ඩායම් විසින් පිටුබලය ලැබූ වෘත්තීය සමිති විසින් මෙම ව්‍යාපාරය දේශපාලනිකව අවහිර කරන ලද අතර, එය නිල විරුද්ධ පක්ෂ දෙසට හා අන්තර්වාර පාර්ලිමේන්තු තන්ත්‍රයක් සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම් දෙසට යොමු කරන ලදී.

රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුවේ ගැඹුරු වන ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා, කම්කරු පන්තියට විකල්ප සමාජවාදී ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ. එවන් වැඩපිලිවෙලක් විස්තාරනය කර ඇති එකම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂයයි. ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම සහ මහජනතාවගේ සමාජ අවශ්‍යතා ආමන්ත්‍රනය කිරීම සඳහා විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, සියලුම ප්‍රධාන කර්මාන්ත, වතු සහ බැංකු, කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කිරීම සහ බිලියනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම සඳහා එය කැඳවුම් කරයි.

මේ සඳහාත්, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහාත් සටන් කිරීමට, වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, සෑම වැඩපලකම, වතු සහ කම්කරු පන්තික ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි.

Loading