“ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමේ පාඩම්” මැයෙන් සසප ප්‍රසිද්ධ රැස්වීමක්

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය “ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමේ පාඩම්” යන මැයෙන් ජූලි 3 ඉරිදා සවස 4ට ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. සූම් තාක්ෂනය හරහා පවත්වන මෙම රැස්වීම, පක්ෂයේ ෆේස්බුක් පිටුව හරහා සජීවී ව විකාශය කෙරෙනු ඇත.

ධනවාදයේ ගෝලීය අර්බුදය විසින් නිෂ්පන්න කරන ලද දරාගත නො හැකි සමාජ කොන්දේසිවලට එරෙහි ව කැරලිකාරී වී ඇත්තාවූ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරන්නා වූ ද කම්කරුවන්, ගම්බද පීඩිතයින් හා තරුන ජනයා අප්‍රේල් මුල සිට පවත්වන මහජන විරෝධතා, පෙලපාලි හා වැඩ වර්ජන මගින් ලංකාව දෙදරුම් කවා ඇත.

සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික රේඛා හරහා කම්කරුවන් එක්සත් කල සහ කම්කරු පන්තියේ යෝධ සමාජීය බලය හෙලිදරවු කල, අප්‍රේල් 28 හා මැයි 6 දිනයන්හි පැවති එක්දින මහා වැඩ වර්ජන දෙක මෙම ව්‍යාපාරයෙහි වඩාත් ම වැදගත් වර්ධනය විය.

මේ සියල්ල තිබිය දී ම, කම්කරුවන් හා දුගීන් ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පෙර නුවූ විරූ ප්‍රහාරයන් එල්ල කරමින් ජනාධිපති රාජපක්ෂ තව දුරටත් බලයේ සිටී. රාජපක්ෂ එක්සත් ජනපද-ගැති එක්සත් ජාතික පක්ෂයේ එක ම මන්ත්‍රීවරයා වන රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කරන කප්පාදු පියවරයන් හා පන්ති යුද පිලිවෙත් පැටවීමට ය. තම පත්වීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, රාජ්‍ය අංශයේ රැකියා 800,000ක් කපා දමන බව, පුද්ගලීකරනය තීව්‍ර කරන බව හා සමාජ සුභසාධන තවදුර කප්පාදු කරන බව වික්‍රමසිංහ නිවේදනය කලේ ය.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සන්ධානය ඇතුලු විරුද්ධ පක්ෂවලට ආන්ඩුව සමග මූලික මතභේදයක් නැත. ඔවුහු ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට සහයෝගය දෙති.

රාජපක්ෂ-වික්‍රමසිංහ පාලන තන්ත්‍රයට එහි ප්‍රහාර මුදාහැරීමේ හැකියාව ලැබී ඇත්තේ, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය පීලි පන්නවා, එය ධනපති විරුද්ධ පක්ෂ පිටුපසට අපසරනය කිරීමට මාන බැලූ වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය නිසාවෙනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම කන්ඩායම්, වෘත්තීය සමිතිවලට සහයෝගය දෙමින්, කම්කරු පන්තියේ අරගල විප්ලවවාදී දිශාවක් ඔස්සේ වර්ධනය වීම වැලැක්වීමට වැඩ කරමින් සිටිති.

සසප හා සසජාතශි මෙම මහජන නැගිටීමට ක්‍රියාකාරී සමාජවාදී වැඩපිලිවෙලක් සමගින් බලගතු ලෙස මැදිහත් වී ඇත. වෘත්තීය සමිතිවලින් ස්වාධීන හා සමාජවාදී පිලිවෙත්වල පදනම මත සටන් කරන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි කැඳවුම් කරමු. ලංකාවේ කම්කරු පන්තියේ අරගලය, කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය විසින් ප්‍රේරනය කරන ලද ධනවාදයේ ගෝලීය අර්බුදයට ප්‍රතිචාර ලෙස, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වර්ධනය වන ව්‍යාපාරයෙහි කොටසකි.

රාජපක්ෂ පාලන තන්ත්‍රය හා පාලක පන්තිය විසින් සූදානම් කරනු ලබන ම්ලේච්ඡ ප්‍රහාරවල ඊලඟ වටයට එරෙහි ව සටන් වැදීම සඳහා, කම්කරුවන් හා තරුනයන් පසුගිය මාස තුනෙහි ආන්ඩු-විරෝධී වැඩ වර්ජන හා විරෝධතාවල දේශපාලන පාඩම් වහා ම උකහාගත යුතු ය. ජූලි 3 සවස 4ට පැවැත්වෙන මෙම ප්‍රසිද්ධ රැස්වීමට ලියාපදිංචි වන ලෙසත් මෙම වැදගත් සාකච්ඡාවට සහභාගි වන ලෙසත් අපි ඔබෙන් ඉල්ලමු.

ලියාපදිංචි වීම මෙතැනින්: https://chords-org-lk.zoom.us/meeting/register/tJcqcO-sqDopGNIOeLXWE4d1hK76OP8KYGHf

Loading