මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට සහ ආන්ඩු-විරෝධී උද්ඝෝෂකයන්ට එරෙහි රාජ්‍ය දඩයම නතර කරනු!

ශ්‍රී ලංකාවේ මතු වී ඇති ගැඹුරු දේශපාලනික සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට, මානව අයිතීන් පිලිබඳ ක්‍රියාධරයින්ට සහ ආන්ඩු-විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විසින් තීව්‍ර කෙරෙමින් පවතින මැර ප්‍රහාර සහ දඩයම්, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව පිලිකුලෙන් යුතුව හෙලා දකී.

මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයේ මෑතම පියවර වන්නේ, ජුනි 28වනදා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පොලිස් අපරාධ විමර්ශන ඒකකයට කැඳවීමයි. එහිදී ඔහු විසින් පවත්වාගෙන යන යූටියුබ් චැනලයයේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙරී තිබුනි.

ඊට පෙරාතුව ජූනි 20 දා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනි. කාර්යාලයේ පිවිසුම් දොරටු අවහිර වනසේ විරෝධතා දැක්වීම නිසා එම කාර්යාලවල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන්ට මෙන්ම අවශ්‍යතා සඳහා පැමිනි ජනතාවට කාර්යාලය තුලට පිවිසිමට හා පිටතට යාමට නොහැකි තත්ත්වයක් උදාකලේ යැයි පොලීසිය ඔවුනට එරෙහිව චෝදනා ඉදිරිපත්කොට ඇත.


රතිඳු සෞම්‍ය සේනාරත්න (ඡායාරූපය: ෆේස්බුක්)

ඊට දින ගනනකට පෙර, පොලිස් මූලස්ථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවන්හි නිරතවීම හේතුවෙන්, වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, එරංග ගුනසේකර, ජගත් මනුවර්න, ජෙහාන් අප්පුහාමි, රතිදු සේනාරත්න (රැට්ටා) ඇතුලු නව දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරන නියෝගයක් නිකුත් කෙරින. 'නොසන්සුන්කාරී ලෙස හැසිරීම' සම්බන්ධයෙන් පොලීසිය ඔවුනට චෝදනා කරයි.

අනෙකුත් මෑත වින්දිතයින් වනුයේ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු ඔහුගේ සහචරයින් විසින් අවුලන ලදුව මැයි 09 දා ගාලු මුවදොර විරෝධතාවට එල්ල කෙරුනු මැර ප්‍රහාරයට එරෙහිව දිවයින පුරා පැනනැගි විරෝධතා උද්ඝෝෂන මධ්‍යයේ සිදු කෙරුනු නොයෙකුත් දේපල හානි දඩමීමා කරගනිමින්, දිවයිනේ විවිධ පලාත් වලින් අත්අඩංගුවට ගැනුනු 2000 කට අධික සංඛ්‍යාවකි.

කලාකාරිනියක් සහ ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වූ පාරමී රනසිංහ ජනාධිපති විවේචනය කරමින් තම මුහුනුපොතේ සටහනක් යෙදීම හේතුවෙන්, ඇයගේ රැකියාව තහනම් කෙරිනි.

තිසර අනුරුද්ධ බන්ඩාර නමැති සමාජ ක්‍රියාධරයෙකු. අප්‍රේල් 1 දා මධ්‍යම රාත්‍රියේ මෝදර පොලිසියෙන් යැයි කියාගත් පිරිසක් විසින් ඔහුගේ ගම්පහ ඇත්ගල පිහිටි නිවසට පැමින පැහැරගෙන ඇත. පසුව ඔහු ඇප මත නිදහස් කෙරිනි.

නිදහස් මාධ්‍යවේදියකු සහ කතෝලික ආගමික ක්‍රියාධරයකු වන ෂෙහාන් මාලක ගමගේ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය පිලිබඳ තොරතුරු හෙලිදරව් කිරීම නිසා පෙබරවාරි 14 දා අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරිනි. එදිනම අලුයම, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට වෑන් රථයකින් මුහුනු ආවරනය කරගෙන පැමිනි නාදුනන පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කර පලා ගියහ.

'බුදුන්ගේ රස්තියාදුව' නමැති කෘතිය පලකල එහි කර්තෘ ශ්‍රීනාත් චතුරංග සහ උපුල් ශාන්ත සන්නස්ගල යන දෙදෙනාට එරෙහිව, 'බුදු දහමට අපහාස' කලේ යැයි චෝදනා කරමින් ඇමති විජයදාස රාජපක්ෂ විසින් ගොනුකල පැමිනිල්ලක් අනුව, ඔවුන් දෙදෙනා මැයි 20 දින අධිකරනයට කැඳවීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලදී.

2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 16 දෙනෙකු පමන ඝාතනය කර ඇති අතර, පසුගිය දශකය තුල මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට පහරදීම් 138ක් සිදුව ඇති බව මාධ්‍යවේදීන් සුරැකීමේ ජාත්‍යන්තර කමිටුව පවසයි. සියලුම නඩු නොවිසඳී පවතින අතර අපරාධකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව මාර්තු 18 ucanews.com වෙබ් අඩවිය වාර්තා කලේය.

භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමට අනුප්‍රාප්තික ආන්ඩු විසින් නිරන්තරව යොදා ගැනෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ), 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්), පරිගනක අපරාධ පනත, වැනි මර්දනකාරී පනත් යටතේ, ව්‍යාජ චෝදනා මත දඩයමට ලක්වූවන් අතර අහ්නාෆ් ජසීම් කවියා, ශක්තික සත්කුමාර ලේඛකයා, රම්සි රාසික් සහ මානව හිමිකම් නීතිවේදී හෙජාස් හිස්බුල්ලා ද සිටිති.

භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන මෙම ප්‍රහාරවලින් පෙන්නුම් කෙරෙන්නේ, අර්බූද-ග්‍රස්ථ රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු සමස්ත සංස්ථාපිතය නාමික විවේචන පවා මඩිමින්, ආඥාදායක පාලන රූපයන් වෙත වේගයෙන් මාරුවෙමින් සිටින බවයි.

ආන්ඩුවේ මෙම ආඥාදායක ගමනට තුඩුදී ඇති ප්‍රධාන හේතු වන්නේ, කොවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේනය මැදිකර ගනිමින් රුසියාවට එරෙහිව එක්සත් ජනපදය සහ නැටෝව ගෙනයන යුද්ධයෙන් තීව්‍ර කෙරී ඇති ගෝලීය ආර්ථික අර්බුදය මගින්, ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය වඩාත් ගැඹුරු කිරීමයි. මහජනතාවගේ අතිමූලික ප්‍රශ්න කිසිවක් විසදීමට අසමත් ධනපති පාලක පංතියට, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මුලුමනින්ම පාගා දැමීම හැර අන් විකල්පයක් නැත.

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැවැන්ත හිඟය හා අහස උසට නගින ඒවායේ මිල ගනන්, දිනපතා පැය ගනන් පවතින විදුලි කප්පාදු වැනි කිසිසේත් ම ඉවසිය නොහැකි කොන්දේසි වලට එරෙහිව අරගලයට ඇදෙන මහජනතාව මැඩීම සඳහා මැයි 9 දා විරෝධතා වහා ඩැහැගත් ජනාධිපති රාජපක්ෂ, “කැරලිකරුවන්ට එරෙහි ව නීතිය අකුරට ම ක්‍රියාත්මක කිරීමේ” නියෝග දෙමින් රටපුරා මිලිටරිය බලගන්වා ඊට දුටු තැන වෙඩි තැබීමේ බලය ලබා දුන්නේය.

ලංකාව තුල තීව්‍ර කෙරී ඇති මෙම මර්දනය ගෝලීය ප්‍රපංචයක් වන අතර, විශේෂයෙන්ම ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය ඇතුලු කලාපයේ සියලුම රටවල මෙම ප්‍රහාරයන් ගැඹුරු කෙරෙමින් පවතී. ඉන්දියාවේ, 'දේශද්‍රෝහීත්වය' ට එරෙහි නීති, ත්‍රස්තවාදය වැලැක්වීමේ අනපනත් සහ ජාතික ආරක්ෂක නීති; බංගලිදේශයේ ඩිජිටල් ආරක්ෂක පනත (Digital Security Act) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂන පනත (ICT Act 2006) මෙම රුදුරු මර්දනය සඳහා නිරතුරුව යොදා ගැනේ.

ඇමරිකා එක්සත් ජනපදය සහ නැටෝව විසින් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය මධ්‍යයේ විශේෂයෙන්ම රුසියානු කලාකරුවන්ට එරෙහිව ඇමරිකාව, කැනඩාව, යුරෝපය ඇතුලු රටවල් ගනනාවකම රුසියානු-විරෝධී උන්මාදය අවුස්සනු ලැබ ඇත.

පුටින් පාලන තන්ත්‍රයේ යුක්‍රේන ආක්‍රමනයට එරෙහිව ප්‍රමානවත් තරම් හඬක් නැගුවේ නැත යන පදනම මත රුසියානු ඩීජේ සහ රංගන ශිල්පිනී නිනා ක්‍රවිස්ට (Nina Kraviz) ඇමරිකාවේ ඩෙට්‍රොයිට් හි; නෙදර්ලන්තයේ හේග්හි; සහ ජර්මනියේ ඩෝට්මුන්ඩ් හි සංගීත උත්සව තුනක් තහනම් කරනු ලැබ ඇත.

කැනඩාවේ වැන්කුවර් රෙසිටල් සොසයිටි විසින් මොන්ට්‍රියල් හි මාර්තු මුල පැවැත්වීමට නියමිතව තිබූ රුසියානු පියානෝ වාදක ඇලෙක්සැන්ඩර් මලෝෆීව් මැලෝෆීව්ගේ ප්‍රසංගය විවිධ දක්ෂිනාංශිකයින්ගේ පීඩනය යටතේ අවලංගු කෙරුනි. ක්‍රීඩකයින්ද මෙම දඩයමට ගොදුරු වී ඇත.

මෙම දඩයම් සිහියට නංවන්නේ දෙවන ලෝක යුද්ධය අභියස යුරෝපයේත් විශේෂයෙන්ම ජර්මනියේ යුදෙව් කම්කරුවන්ට, බුද්ධිමතුන්ට, කලාකරුවන් ඇතුලු සමස්ත යුදෙව් ජනතාවට එරෙහිව දියත් කෙරුනු රුදුරු මර්දනයයි.

එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ස්වීඩනයේ සහ ඕස්ට්‍රේලියාවේ ආන්ඩුවල ඒකාබද්ධ රුදුරු දඩයමට ගොදුරු වී ඇති ප්‍රමූඛ පෙලේ මාධ්‍යවේදියා වන විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ අනතුරේ සිටී. එලෙස උදර්පනය කරනු ලැබුවහොත්, එක්සත් ජනපද පාලනයෙන් ඔහුට එරෙහිව නගා ඇති ව්‍යාජ චෝදනා මත රුදුරු දඬුවම් මාලාවකට අසාන්ජ් යටත් කෙරෙනු ඇත.

2019 අප්‍රේල් ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් එලියට ඇද දමා ජුලියන් අසාන්ජ්ව අත්තඩංගුවට ගත් අවස්ථාව [Photo: Facebook]

ගෝලීය ධනවාදයේ පද්ධතිගත අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාරයන් පරාජය කල හැක්කේ, කම්කරු පංතිය ජාත්‍යන්තරව එක්සත් වෙමින්, ධනවාදයට එරෙහි ස්වාධීන දේශපාලන අරගලයක්, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක් දියත් කිරීමෙන් පමනි. ධනවාදයේ ආරක්ෂකයන් වන වෘත්තීය සමිති වලින්, ධනපති ආන්ඩුවලට බලපෑම් යෙදීමෙන් සමාජ සහ ප්‍රජාත්න්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගත හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරන ව්‍යාජ-වාම සංවිධාන වලින් ද බිඳී ලොවපුරා කම්කරුවන් ගොඩනගා ගන්නා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් තුලින් මෙම සටන ඉදිරියට ගෙන යා හැක.

එහි කොටසක් ලෙස, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව ගොඩනැගීම සඳහා එක්වෙන ලෙස අපි කම්කරුවන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් හා තරුනයන් ට ආරාධනා කර සිටිමු.

  • අත්අඩංගුවට ගත් සියලුම විරෝධතාකරුවන් වහා නිදහස් කරනු!
  • මාධ්‍යවේදීන්ටත්, කලාකරුවන්ටත්, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිකයන්ටත්, මානව අයිතීන් ක්‍රියාධරයින්ටත් එරෙහිව ඇති චෝදනා, නඩු ඉල්ලා අස්කරගනු!
Loading