ට්‍රොට්ස්කිවාදයේ නොසැලෙන සටන්කාරිනි, ජෙරානි රත්නායක වයස අවුරුදු 73 දී මිය යයි

[මෙය Jerani Ratnayake, intransigent fighter for Trotskyism, dies aged 72 යන මැයෙන් 2022 ජූලි 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) යාවජීව සාමාජිකාවක වූ ජෙරානි රත්නායක සහෝදරියගේ අකල් මරනය, අපි ඉමහත් සංවේගයෙන් යුතු ව වාර්තා කරමු.

ජෙරානි රත්නායක

කොවිඩ්-19 ආසාදිතව දින කිහිපයක් රෝහල්ගත ව සිටි ඇය, හෘදයාබාධයක් හේතුවෙන් ජූලි 8 සිකුරාදා අලුයම කොලඹ රෝහලක දී මිය ගියාය.

ජෙරානි, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ශ්‍රී ලංකාවේ ජාතික කර්තෘ කමලසිරි රත්නායකගේ බිරිඳ සහ යාවජීව සහකාරිය වූවාය. ඇය සිය පුත් ජයන් රත්නායක, දියනිය වනෙජා රත්නායක, ඔවුන්ගේ කලත්‍රයන් සහ මුනුබුරු මිනිබිරියන් හතර දෙනෙකු හැර ගියාය.

ජෙරානි, ස්වකීය අභිලාශයෙන්ම ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් දෘඩතර සටනක නිමග්න වූවාය. දිවයිනේ උතුරේ ප්‍රධාන නගරය වන දෙමල ජනතාව බහුල යාපනයේ දී, 1949 පෙබරවාරි 7 වැනිදා උපත ලද ඇය, පසුව සිය පවුල සමග කොලඹ පදිංචියට පැමිනියා ය. ඇගේ පියා කොලඹ මහ නගර සභාවේ සේවය කල අතර, ඔවුහු කොලඹ දකුනු මායිමේ පිහිටි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව සිටියහ. ජෙරානි ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා ය.

1948 බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය නිල වශයෙන් අවසන් වූ දා සිට, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු සෑම බරපතල දේශපාලන අර්බුදයකට ම ප්‍රතිචාර දක්වා ඇත්තේ වාර්ගික වෛරය අවුස්සමිනි. 1958 දී පලමු ප්‍රධාන දෙමල විරෝධී කෝලාහල ඇති වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආන්ඩුව යටතේ ය. එය 1956 දී බලයට පත් වූයේ—දිවයිනේ දෙමල සුලුතරය දෙවන පන්තියේ පුරවැසියන් බවට පත් කල ප්‍රතිපත්තියක් වූ—සිංහල භාෂාව රටේ එකම රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ වාර්ගික වැඩපිලිවෙල මතිනි.

1958 දෙමල විරෝධී කෝලාහලයෙන් පසු ජෙරානිගේ පියාට නැවත යාපනයට යාමට සිදු විය. ජෙරානිගේ පවුල ඇතුලු කොලඹ ප්‍රදේශයේ ජීවත් වූ සිය ගනනක් දෙමල ජනතාව නැවක නංවා යාපනයට යවන ලදී. දෙමල විශේෂ උපාධිය සඳහා කොලඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට පෙර, යාපනයේ ඉහල පිලිගැනීමක් ඇති වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ ඇය අධ්‍යාපනය ලැබුවාය. උපාධිය ලැබීමෙන් පසු ඇය 1973 දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂන දෙපාර්තමේන්තුවේ සේවය ඇරඹුවාය.

ජෙරානි මහ බැංකුවේදී සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සහෝදරවරුන් හමුවී පක්ෂයට බැඳුනි. එතැන් පටන් ඇය ට්‍රොට්ස්කිවාදයේ ඉදිරිදර්ශනයට ගැඹුරින් කැප වෙමින් මහ බැංකු සේවක සංගමයේ (මබැසේසං) විකොස කන්ඩායමේ වැදගත් චරිතයක් වූවා ය.

ධනවාදයේ ආරක්ෂකයින්ගේ සහ ඔවුන්ගේ “වාම” ගෝලබාලයන්ගේ විරුද්ධත්වය නොතකා, එහි අනවරත දේශපාලන අරගලය හරහා විකොස, මබැසේසංහි නායකත්වය දිනා ගත්තේය. ජෙරානි, මබැසේසංහි විධායක කමිටුවේ කිහිප වතාවක්ම වැඩ කල අතර සහකාර භාන්ඩාගාරික තනතුර ද දැරුවාය.

විකොසට බැඳීමට ජෙරානි ගත් තීරනය බොහෝ ආකාරවලින් වැදගත් විය. ශ්‍රී ලංකාව වැනි පසුගාමී රටක ක්‍රියාකාරී ව දේශපාලනයට සම්බන්ධ වීමට තිබූ සමාජ බාධක ජයගත් ඇය, පක්ෂයේ විප්ලවවාදී දේශපාලනයටත්, ජාතිය, භාෂාව සහ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කම්කරු පන්තියේ එකමුතුකම සඳහා වන අරගලය වෙත ආකර්ෂනය වූවා ය. මෙම ඉදිරිදර්ශනය සඳහා ඇයගේ සම්මුති විරහිත අරගලය බැංකු සේවකයන්ගේ ගෞරවය දිනා ගත්තේ ය. මබැසේසං රැස්වීම් වලදී ඇයගේ කථා අද දක්වාත් ඇයගේ හිටපු සහෝදර සේවකයින් විසින් සිහිපත් කරනු ලැබේ.

1970 ගනන්වල කොලඹ දී පැවති විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ උද්ඝෝෂනයක කොටසක්

විකොසට බැඳීමේ දී ඇය, සිරිමා බන්ඩාරනායකගේ සහ ඇයගේ ශ්‍රීලනිපයේ ධනේශ්වර සභාග ආන්ඩුවට ඇතුල් වෙමින්, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) විසින් 1964 දී සිදුකල පාවාදීමේ ප්‍රතිවිපාකයක් ලෙස 1970 ගනන්වල මතු වූ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය වැනි සුලු ධනේශ්වර දෙමල ජාතිකවාදී ව්‍යාපාරවල ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කලා ය.

ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදය අතහැර දමමින් ශ්‍රීලනිපයේ සිංහල ජනතාවාදයට අනුගත විය. 1970 ගනන්වල, ලසසප සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) සමග දෙවන බන්ඩාරනායක සභාග ආන්ඩුව, 1972 දී නව වර්ගවාදී ව්‍යවස්ථාවක් සහ දෙමල ජනයාට එරෙහි විශාල ලෙස වෙනස්කොට සැලකීමේ පියවර සම්මත කර ගත්තේ, දෙමල තරුනයින් අතර විරෝධතා රැල්ලක් අවුලුවාලමිනි.

ජෙරානි විකොස දෙමල පුවත්පත වන තොලිලාර් පාතෙයි (කම්කරු මාවත) හි දෙමල පරිවර්තන සඳහා ඇගේ කාලයෙන් විශාල කොටසක් කැප කලාය. ඇය 2002 දී මියගිය, පුවත්පතේ කතුවරයා වූ සබාරත්නම් රාසේන්ද්‍රන් සමඟ සමීප ව වැඩ කල අතර දෙමල ජාතිකවාදයට එරෙහි විකොස සටනේ ඉදිරියෙන්ම සිටියා ය. විකොස ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය ඇතුලු අය රැස්වීම්වල දී පවත්වන ලද දේශන, ප්‍රේක්ෂකාගාරයේ සිටින දෙමල ජනයා වෙනුවෙන් පරිවර්තනය කිරීමේ දී පක්ෂය ද ඇගේ දෙමල භාෂා ප්‍රවීනත්වය මත විශ්වාසය තැබී ය.

මහ බැංකුවේ සේවය කල කේ. රත්නායක, 1974 දී දෙවන බන්ඩාරනායක සභාග ආන්ඩුව සමයේ මබැසේසංහි සභාපති ලෙස තේරී පත් විය. එකල විකොස, සභාග ආන්ඩුවේ කුරිරු රාජ්‍ය මර්දනයට එරෙහි ව සටන් කල අතර එම ක්‍රියාවලිය තුල ලසසප වැනි “වාම” පක්ෂ ධනවාදයේ අතකොලු ලෙස හෙලිදරව් කලේ ය. පක්ෂය මබැසේසං දේශපාලනිකව මෙහෙයවමින්, කම්කරු පන්තියේ නාමයෙන් කතා කරන බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කල ලසසප හා කොපට සභාගයෙන් බිඳී සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් සටන් කරන ලෙස ඉල්ලා සිටියේය.

මබැසේසං ඇතුලේ විකොස කන්ඩායම, විශේෂයෙන්ම තුල්සිරි අන්ද්‍රාදි විසින් නායකත්වය දෙන 'වාම' මධ්‍යමිකවාදී කන්ඩායමේ විනාශකාරී දේශපාලන භූමිකාව හෙලිදරව් කලේය. සසප එහි සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් (ශ්‍රී ලංකාව) ලියවිල්ල තුල පැහැදිලි කල පරිදි:

“ලසසප හා කොප යන ප‍්‍රතිසංස්කරනවාදී පක්ෂ බලය ගතයුතු යයි ඉල්ලා සිටීම මගින් ඔවුන් පිලිබඳව මිත්‍යාවන් ගොඩනගන්නේ යයි අන්ද්‍රාදි විකොස විවේචනය කලේය. කෙසේ වෙතත් විකොස ඉල්ලීම එල්ල කලේ එම පක්ෂ නගා සිටුවීමට නොව, අකැමැත්තෙන් වුවත් තවමත් නායකත්වය සඳහා එම පක්ෂ දෙස නෙත් යොමුකර සිටි කම්කරු පන්තියේ සමාජවාදී-හිතැති කොටස් මත පවත්නා එම පක්ෂවල ග‍්‍රහනය බිඳීම සඳහා ය. වාම හඬක් සහිත අන්ද්‍රාදිගේ හෙලා දැකීම්, සැබවින්ම නම්, ලසසප හා කොප හෙලිදරව් කිරීමේ අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යය පැහැර හැරීම මගින් කම්කරුවන් එම පක්ෂවල අත යටටම තල්ලූ කිරීමක් විය.”

“ලසසප, කොප සහ ලසසප (ආර්) විසින් මෙම මහජන ව්‍යාපාරය පාවාදීම එජාපයට [එක්සත් ජාතික පක්ෂය] නැවත බලයට පැමිනීමට මග පෑදීය. 1977 ජූලි මැතිවරනයේදී සභාග පක්ෂ අන්ත පරාජයකට පත් විය: එක්සත් ජාතික පක්ෂය ආසන 168 න් 140 ක් දිනා ගත්තේය, ශ්‍රීලනිපයට ආසන 8 ක් පමනක් ඉතිරි විය, සමසමාජ පක්ෂයට සහ කොපයට ඔවුන්ගේ ආසන සියල්ල අහිමි විය.

තරුන ජෙරානි මෙම ප්‍රතිපත්තිගරුක දේශපාලන අරගලයේ පෙරටුගාමී සටන්කාමියෙකි. 1974 දී ඇය කේ රත්නායක සමඟ විවාහ වූ අතර ඔහුගේ යාවජීව සහකාරිය සහ සටන් සගයා බවට පත්විය. ඔවුන්ගේ දරුවන් 1976 සහ 1985 දී උපත ලැබූහ. ඔවුන් ජීවත් වූයේ කොලඹ මායිමේ පිහිටි කාර්මික ප්‍රදේශයක් වන රත්මලාන ප්‍රදේශයේ වන අතර එහිදී ඔවුන්ගේ නිවස පක්ෂ සහෝදරයින්ගේ දෙවන නිවසක් බවට පත්විය.

ජෙරානි සහ කමලසිරි රත්නායක

ලසසපයේ පාවාදීම සහ එහි සිංහල අධිපතිවාදය වැලඳ ගැනීම, 1976 ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවට එරෙහි කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනය පාවා දීමේ සහ 1977 දී ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජනපද ගැති එජාප ආන්ඩුව බලයට පැමිනීමේ ප්‍රධාන සාධක විය. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අසීමිත මෙහෙයුම් සඳහා රට විවෘත කිරීමේ වෙලඳපොල ගැති න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවූ එජාප ආන්ඩුව ලොව එසේ කල පලමුවැන්නන් අතරට එක් වේ.

වැඩි වැටුප් සඳහා වූ ඉල්ලීම මත කේන්ද්‍රගත වූ කම්කරු පන්තියේ පුලුල් පදනම් සහිත දෙවන මහා වැඩවර්ජන ව්‍යාපාරයක්, ජයවර්ධන ආන්ඩුවට එරෙහිව 1980 ජූලි මාසයේදී පුපුරා ගියේය. මහා වැඩ වර්ජනය ආන්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට විකොස සටන් කල අතර, අරගලය හුදෙක් වැටුප් ආරවුලක් බවට සිඳවූ ලසසප හා කොපයේ බොරු වම්මුන්ට සහ ඔවුන්ගේ මධ්‍යමිකවාදී ක්ෂමාලාපකයින්ට එය විරුද්ධ විය.

ජෙරානි සහෝදරිය අනෙකුත් විකොස සාමාජිකයන් සමග වර්ජනයට සහභාගී වූයේ, වර්ජනය නීති විරෝධී ලෙස ප්‍රකාශ කිරීමට ජයවර්ධනගේ තර්ජනය නොතකා ය. වැඩවර්ජනය හිතාමතාම සීමා කිරීමේ “වාම” පක්ෂවල ද්‍රෝහීකම, වැඩ වර්ජන කරන රාජ්‍ය අංශයේ කම්කරුවන් දස දහස් ගනනක් සේවයෙන් පහ කිරීමට ආන්ඩුවට දොර විවර කලේය.

සමූහ වශයෙන් දොට්ට දැමීම් කම්කරු පන්තියට එල්ල වූ දැඩි පහරක් විය. රත්නායක පවුලේ සාමාජිකයන් දෙදෙනාටම අනෙකුත් බොහෝ විකොස සාමාජිකයන්ට මෙන් රැකියා අහිමි වූ අතර, යන්තම් එදා වේල පිරිමසා ගන්නා ඉතා දුෂ්කර කාලයකට මුහුන දීමට සිදුවිය.

මහා වැඩවර්ජනයට ප්‍රතිචාර වශයෙන්, කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීමට එජාපය තියුනු ලෙස යොමු විය. එහි දෙමල-විරෝධී ප්‍රකෝප කිරීම් 1983 ජූලි මාසයේ බිහිසුනු දෙමල විරෝධී සංහාර වලින් කූටප්‍රාප්ත වූ අතර, එය ඉදිරි වසර 26 සඳහා දිවයින ගිලගත් එල්ටීටීඊයට එරෙහි ලේවැකි වර්ගවාදී යුද්ධයේ ආරම්භය සනිටුහන් කලේය.

1983 දෙමල විරෝධී සංහාරයේදී ආන්ඩුවට හිතවත් මැරයන් විසින් රත්නායකගේ නිවස ගිනි තබා විනාශ කල අතර එම පවුලට පාක්ෂිකයින්ගේ නිවෙස් වල සරන සෙවීමට සිදුවිය. ජෙරානි සහ ඔවුන්ගේ පුත් ජයන් කලක් විජේ ඩයස් සහෝදරයාගේ නිවසේ ජීවත් වූහ. මාස ගනනක් ගෙයින් ගෙට ගිය පසු, 1983 අවසානයේ ජෙරානි නවක සේවිකාවක් ලෙස මහ බැංකුවට ඇතුලු වූ අතර එම පවුල විසින් ඔවුන්ගේ ගිනිතබා විනාශ කල නිවස නැවත ගොඩනඟා ගත්හ.

අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් එල්ටීටීඊයට එරෙහිව දියත් කල වාර්ගික යුද්ධය පුරාවට ජෙරානි කම්කරු පන්තිය තුල විකොස ඉදිරිදර්ශනය සඳහා නිර්භීතව උද්ඝෝෂනය කලා ය. ඇය කම්කරු පන්තියේ ප්‍රචාරක ව්‍යාපාරවල දී කම්කරු පන්තික නිවස්නා ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් පක්ෂයේ පුවත්පත් වන කම්කරු මාවත සහ තොලිලාලර් පාතයි අලෙවි කලා ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) 1985-86 භේදය අතරතුර, බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) අවස්ථාවාදී හා ජාතිකවාදී ආස්ථානයන්ට එරෙහි තීරනාත්මක දේශපාලන අරගලයේ දී ජෙරානි ජාත්‍යන්තර කමිටුවේ දෘඩතර ආධාරකරුවෙකු විය. කවිපයේ පරාජයත් සමග ට්‍රොට්ස්කිවාදීන්ට ජාත්‍යන්තර කමිටුවේ පාලනය භාර ගැනීමට හැකි වූ අතර ශ්‍රී ලංකාවේ දුෂ්කර දේශපාලන අරගලවල තීරනාත්මක වූ අව්‍යාජ මාක්ස්වාදයේ මල් පල දැරීමකට තුඩු දුන්නේය.

1987 ජුලි මස අත්සන් කරන ලද ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ඉන්දීය ආන්ඩුව එල්ටීටීඊය මර්දනය කර සහ නිරායුධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උතුරට හමුදා එවීමට හැකි වූ අතර, රටේ දකුනේ සිංහල ග්‍රාමීය තරුනයින් අතර සමාජ නොසන්සුන්තාවයට එරෙහිව රාජ්‍ය මර්දනය මුදා හැරීමට ශ්‍රී ලංකා ආන්ඩුවට නිදහස ලබාදුන්නේය.

ආන්ඩු දෙකටම එරෙහිව, දෙමල හා සිංහල කම්කරුවන්ගේ එකමුතුකම සඳහා සටන් කිරීමේ පදනම මත විකොස ගිවිසුමට විරුද්ධ විය. ගිවිසුම අත්සන් කර යන්තම් සති දෙකකට පසුව, ඉන්දියානු හා ශ්‍රී ලංකා ආන්ඩු විසින් මුදා හරින ලද ඒකාබද්ධ මර්දනයට එරෙහිව කම්කරු පන්තික ඒකාබද්ධ විරුද්ධත්වයක් ඉල්ලා සිටිමින් පක්ෂය අගෝස්තු 16 දා නල්ලූර්හි (යාපනය අසල) නාවලර් ශාලාවේදී මහජන රැස්වීමක් පැවැත්වීය. කේ රත්නායක සහෝදරයාගේ ප්‍රධාන කතාව දෙමල භාෂාවට පරිවර්තනය කිරීමේදී ජෙරානි වැදගත් කාර්යභාරයක් ඉටු කලා ය. එය වාර්ගික මර්දනයට එරෙහි විකොස සටනේ සන්ධිස්ථානයක් වූ අතර එය යාපනයේ සහ දකුනු ඉන්දියාවේ මාධ්‍යවල ප්‍රමුඛ ලෙස වාර්තා විය.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ගිවිසුමට විරුද්ධ වූයේ, කම්කරු පන්තියේ ඒකාබද්ධතාවය මත නොව, ජාතියේ ඒකීයභාවය ආරක්ෂා කරමින්, සිංහල වර්ගවාදය පදනම් කරගෙන ය. ජවිපෙ තුවක්කුකරුවන් එහි ප්‍රතිගාමී ව්‍යාපාරයට විරුද්ධ වූ කම්කරුවන්, වෘත්තීය සමිතිවාදීන් සහ දේශපාලකයන්ට වෙඩි තබා මරා දැමූහ. 1988 නොවැම්බරයේදී, රාජ්‍ය මර්දනයට සහ ජවිපෙ ප්‍රහාරවලට එරෙහිව සංයුක්ත පියවර ගැනීම සඳහා කම්කරු පන්තියේ සියලුම පක්ෂ හා සංවිධානවල එක්සත් පෙරමුනක් සඳහා විකොස කැඳවුම් කලේය. පක්ෂය කම්කරු ආරක්ෂක භටකායන්, ක්‍රියාකාරී කමිටු සහ ඒකාබද්ධ පිකට් උද්ඝෝෂන ඉල්ලා සිටියේය. 1988-89 ෆැසිස්ට්වාදී ප්‍රහාරය අතරතුර ජවිපෙ මැරයන් විසින් විකොස සහෝදරවරු තිදෙනෙක් ඝාතනය කරන ලදී.

1988 දී විකොස යලිත් මබැසේසංහි නායකත්වය දිනා ගත්තේ එහි ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමෙනි. මහ බැංකුවේ විකොස කන්ඩායම එක්සත් පෙරමුන සඳහා වූ උද්ඝෝෂනයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය. ජෙරානි ඉතා ක්‍රියාශීලීව පත්‍රිකා බෙදාහැරීම, උද්ඝෝෂන සහ අවදානමට ලක්ව ඇති සංකීර්න දේශපාලන ප්‍රශ්න සහෝදර සේවකයින් අතර පැහැදිලි කිරීමෙහි නිරත විය.

1996 සිවිල් යුද්ධය මධ්‍යයේ එල්.ටී.ටී.ඊ.ය මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කලේය. අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් එදින සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිසා ජෙරානි බේරී තිබුනේ අනූ නවයෙනි. බෝම්බ ප්‍රහාරයෙන් විකොසට සහෝදරයන් කිහිප දෙනෙකු අහිමි විය. මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් මබැසේසංහි සටන්කාමී සාමාජිකයින් ය. ජෙරානි මේ සාහසික අපරාධයෙන් දැඩි ලෙස ශෝකයට පත් වූ අතර වෙහෙස නොබලා විපතට පත් වූවන්ගේ නිවෙස්වලට එකක් නෑර ගියාය.

2016 දී, ජාත්‍යන්තර කමිටුවේ ප්‍රංශ ශාඛාවේ ‘පාර්ටි ඩි ලීගලිටි සෝෂලිස්ට’ (පීඊඑස්) ආරම්භක සමුලුවට සහභාගී වූ කේ. රත්නායක සහෝදරයා සමඟ ජෙරානි සහෝදරිය පැරිසියට ගියාය. ප්‍රංශයේ සිටින ඇගේ සහෝදරයින් විසින් ඇයව සිහිපත් කරති, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පක්ෂය වෙත දිනාගත් දෙමල ජාතික පිටුවහල් වූවන් වන අතර, “ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදය සඳහා සටන් කිරීමට ඇය කැප කල ශක්තිය ප්‍රංශයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනැගීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වීම” පිලිබඳව ඇය සතුට පල කලාය.

ජෙරානි සංවේදී හා සංස්කෘතිකමය කාන්තාවක් වූවාය. සාහිත්‍යය සහ සංගීතය ඇගේ ජීවිතයේ කොටසක් විය. සෞන්දර්යාත්මක මනසක් ඇති ඇය, විවිධ වර්ගවල ශාස්ත්‍රීය සංගීතයට සවන් දීමෙන් සතුටක් ලැබුවාය. ඇය තම මව්බස වන දෙමල භාෂාවට අමතරව ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් කියවූ සම්භාව්‍ය නවකතා පිලිබඳ මනා දැනුමක් ඇති පාඨකයෙකි. ඇගේ නිදහස් කාලය ගත කලේ කියවීම සඳහා ය. චරිතාපදාන නවකතා සහ චිත්‍රපට විචාරවලට ඇය වඩාත් උනන්දු විය. ඇය විශේෂයෙන් ඓතිහාසික සහ තේමා පදනම් වූ චිත්‍රපට නැරඹීමට ප්‍රිය කලාය.

පක්ෂ සහෝදරවරුන් අතර, ජෙරානි ඇගේ ත්‍යාගශීලී ආගන්තුක සත්කාරය සහ සූපශාස්ත්‍ර කුසලතා සඳහා ආදරය දිනා ගත්තාය. විශේෂයෙන්ම රාජ්‍ය මර්දනය තීව්‍ර වූ දුෂ්කර කාලපරිච්ඡේදවලදී ඇගේ නිවස සහෘදයන් හමුවන ස්ථානයක් විය. සංඛ්‍යාව කුමක් වුවත්, සහෝදරවරුන්ට සැලකීමෙන් ඇය කිසිදා වෙහෙසට පත් නොවූවාය, එක් කාලසීමාවක් තුල පක්ෂ කාර්යාලය ද වූ ඇයගේ නිවස පක්ෂ කටයුතු සඳහා විවෘතව පැවතුනි.

2020 සිට ඇයගේ රෝගාබාධ නිසා දේශපාලන ක්‍රියාකාරකම් වලට සුපුරුදු ජවයෙන් හා සම්පත්දායකත්වයෙන් සහභාගිවීමට නොහැකි විය. ඇය කොවිඩ්-19 ආසාදිතව රෝහල් ගත කල අතර, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා ආන්ඩුවල සාපරාධී වූ “පැතිර යාමට ඉඩ හරිනු” ප්‍රතිපත්තිවල තවත් ගොදුරක් බවට පත්වීම ඛේදවාචකයකි.

ජෙරානි රත්නායක සහෝදරිය පිලිබඳ මතකයට සසප ආචාර කරයි.

Loading