තංගල්ලේ ගොවීහු ධනපති ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමට ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගති

ධනපති ආන්ඩුවෙන් තම ජීවන මාර්ගයන්ට එල්ලවෙන නිමක් නැති ප්‍රහාරවලට එරෙහිව සටන්වැදීම සඳහා, 2022 ජූලි 16දා තංගල්ල, පලාගොඩ ග්‍රාමයේ ගොවීහු ගොවිජන ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. එය, මෙරට පන්ති අරගලයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සලකුනු කරයි.

මෙම ආරම්භකත්වයෙන් ප්‍රකාශයට පත් කෙරෙනුයේ, මහජන නැගිටීම මධ්‍යයේ ධුරයෙන් පලායාමට බලකෙරුනු හිටපු ජනාධිපති රාජපක්ෂගේ පාලනය යටතේ එල්ල කෙරුනු ප්‍රහාරවලින් අතිශය දරුනු ලෙස බැට කෑ දසලක්ෂ සංඛ්‍යාත ගොවිජනයා, තමන්ගේ අයිතීන් දිනාගැනීම සඳහා සටන්වැදීමට ඇති අභිලාෂයන් ය.

දශක ගනනක් තිස්සේ මහජන අරගල ධනපති ක්‍රමයේ අතයටටම ගාල් කරන ද්‍රෝහී වෘත්තීය සමිති, ගොවි සංවිධාන හා අනෙකුත් ධනපති සංවිධානවලට එරෙහිව, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු පන්තික සන්ධානයක් සඳහා උද්ඝෝෂනයේ නිරත සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මඟපෙන්වීම යටතේ මෙය පිහිටුවීම දේශපාලනිකව අතිශයින් අර්ථභාරී ය.

හම්බන්තොට කෘෂිකාර්මික දිස්ත්‍රික්කයේ පිහිටි තංගල්ල නගරයේ සිට කිලෝමීටර් තුනක් පමන දුරින් වූ පලාගොඩ ග්‍රාමයේ අඳ ගොවීන් ලෙස ජීවිකාවේ යෙදෙන ගොවීහු 16 දෙනෙක් පමන ක්‍රියාකාරී කමිටුවේ සමාරම්භක රැස්වීමට පැමිනියෝ ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු වගාකටයුතුවලට යම් කාලයක් ගත කොට සෙසු කාලයේදී කුලීවැඩවල නිරත වෙති.

ගොවිතැන් කටයුතු සඳහා සියලු වියහියදම් මෙම ගොවීන් විසින් දරාගත යුතුවා පමනක් නොව, ඔවුන්ගේ අස්වැන්නෙන් හතරෙන් එකක් කුඹුරු හිමියාට ලබා දිය යුතු ය. වසරේ වැසිසහිත කාලපරිච්ඡේදයේදී ගංවතුරට යටවී සේසතම නැතිවීමේ අවදානමෙනුත්, රසායනික පොහොර නැතිකම, වගාකටයුතුවලදී යොදාගන්නා යන්ත්‍රවලට ඩීසල් නොමැතිකම යනාදී අනේක පීඩාවලිනුත් මෙම ගොවියෝ බැටකති. මේ අතර ගම්බද තරුනයෝ විශාල ගනනක් විරැකියාවෙන් පීඩා විඳිති.

මලලගම ගො වියන් අමතන අතර ඔහු අසල සිටින පද්මසිරි එයට අවධා නය යො මුකර සිටී

ක්‍රියාකාරී කමිටුවේ ආරම්භක රැස්වීමට මුලපුරමින්, එහි කැඳවුම්කරු ජී. බී. පද්මසිරි, ඔවුන් මත අධිකාරිය දරා සිටි පැරැනි සංවිධානවල බංකොලොත්කමත්, මේ තත්වය යටතේ, සසප යෝජනා කරන පරිදි නව සංවිධානවල අවශ්‍යතාවත් තීරනාත්මකව පැනනැගී ඇති ආකාරය සඳහන් කලේ ය. 'සහෝදරවරු හොඳින්ම දන්නා පරිදි, මේ දක්වා අපට තියෙන අත්දැකීම තමයි, නිල ගොවි සංවිධාන කැඳවූවිට නිලධාරීන් පැමිනෙනව, අනතුරුව ඔවුන් ඉදිරියේ ගොවීන් තම ගැටලු ඉදිරිපත් කර වාද විවාද සිදු කරනව. නමුත්, රැස්වීම අවසන් වීමෙන් පසු කිසිදු විසඳුමක් සාක්ෂාත් වෙන්නෙ නෑ.' පද්මසිරි පැවසීය.

ඔහු මෙසේද කියා සිටියේය: 'මේ අත්දැකීමෙන් අපි තේරුම් ගත්ත කාරනය තමයි, මෙම තත්ත්වය තුල ගොවි ජනතාවට තම ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට නව ආකාර සංවිධානයක් මෙන්ම වැඩ පිලිවෙලක් අවශ්‍යයි කියන එක.'

සසප වෙබ් අඩවිය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි මෙන්ම පක්ෂය විසින් පලකරන පොත්පත් ද කාලයක් තිස්සේ කියවා එය ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳව ස්වාධීන අදහසක් පද්මසිරි විසින් ඇති කරගෙන සිටියේ ය. වත්මන් අර්බුදයට එකම තථ්‍ය වැඩපිලිවෙල ලෙස සසප යෝජනා කරන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා අඩිතාලම දමන ක්‍රියාකාරී කමිටු පිලිබඳ අදහස වෙත පද්මසිරි ආකාර්ශනය වූයේ එමගිනි.

මෙම කෙටි හැඳින්වීමෙන් අනතුරුව, පද්මසිරි රැස්වීමට සහභාගිවීම සඳහා ආරධනා කර තිබූ, සසප කන්ඩායම නියෝජනය කරමින් අදහස් දැක්වීමට සසප දේශපාලන මන්ඩලයේ රත්නසිරි මලලගමට ආරාධනා කලේ ය.

වත්මන් ආර්ථික අර්බුදය මැද ගොවීන්ට මුහුනදීමට සිදුව ඇති ඛේදනීය තත්වය පිලිබඳ විස්තර කරමින් මලලගම තම අදහස් දැක්වීම ආරම්භ කලේ ය. අර්බුදය මගින් ගොවිතැන් කටයුතු මුලුමනින්ම අඩපන කර ඇති නමුත්, ගොවිතැන හැර අන් ජීවන මාර්ගයක් නැති ගොවිජනයාට එය අත්හැර දැමීමට ද නොහැකිවී ඇති ආකාරය මලලගම පැහැදිලි කලේ ය.

රාජපක්ෂ පාලනය විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය නතර කිරීමත් සමග මතුවූ දැවැන්ත ප්‍රශ්නය වෙත රත්නසිරි අවධානය යොමු කලේ ය. මෙම තහනම, වකුගඩු රෝගය වලක්වා ගැනීමේ අරමුනින් ක්‍රියාත්මක කල බව ආන්ඩුව කීවත් මෙය මෙය විදේශ සංචිත හිඳීයාම නිසා ආනයනයන් දැඩිලෙස සීමා කිරීමට ආන්ඩුව ගත් තීරනයේ සෘජු ප්‍රතිඵලයක් බව ඔහු පැහැදිලි කලේ ය.

'මේ නය අර්බුදය ඔබේ ජීවිත තුලින් ගමන් කරන්නේ කෙසේදැයි ඔබ දන්නවා. මේ තත්ත්වය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැඳවාගෙන ධනපති පන්ති පාලනය සොයන විසඳුම කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටින්නේ මහජනයා වෙනුවෙන් කල වියදම් කප්පාදු කර නය ගෙවීමට හැකි කොන්දේසි නිර්මානය කරන ලෙසයි. ඉන්ධන මිල ඉහල දැමීම ගෑස් සහ සියලු ආහාර ද්‍රව්‍ය මිල ඉහල දැමීම රෝහල් සේවාව බිඳ දැමීම, අධ්‍යාපනය කඩාකප්පල් කිරීම මේ කප්පාදු හරහා සිදු කෙරෙනවා' යැයි රත්නසිරි සඳහන් කලේ ය.

හැටනව ලක්ෂයක් තරම් අතිවිශාල ඡන්ද ප්‍රමානයක් ලබා ගෙන බලයට පැමිනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකල මහජන නැගිටීම තුලින් පෙන්නුම් කලේ, මේ විනාශය ට එරෙහිව ජන කොටස් තුල ඇතිවූ පෙරලිකාරීත්වය යැයි කථිකයා පැහැලිදි කලේ ය. දැන් සියලුම ධනපති පක්ෂ හා ව්‍යාජ වාම පක්ෂ ඒකාබද්ධව මේ මහජන නැගිටීම සර්වපාක්ෂික ආන්ඩුවක් යන උගුලක සිරකිරීමට වැඩට බැස තිබෙන බව රත්නසිරි කීවේ ය.

මේ අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සාධාරනීකරනය කරන සියලු විපක්ෂ එය ඉල්ලා සිටින කප්පාදුවලට තම පූර්න එකඟත්වය ප්‍රදර්ශනය කර ඇත. ගෝල්ෆේස් අරගල භූමියේ සිටින සංවිධායකයන් ද තරුනයන් යොමුකර ඇත්තේ මේ උගුලටම බවත් මලලගම පෙන්වා දුන්නේය. රුදුරු මර්දනය හරහා මහජන නැගිටීම තලා දැමීමට කල් ලබා ගනුවස් මෙම උගුල් ඇටවීම සිදු කරෙන බවද ඔහු පැහැදිලි කලේ ය.

මෙම ජනතා ව්‍යාපාරය මුදුනට පැනගෙන සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන මේ උගුලට කම්කරු-පීිඩිත මහජනතාව කොටු කිරීම සඳහා සෑම අතින්ම වැඩකටයුතුවල යෙදී සිටින බව පැහැදිලිය.

මෙම සමාජ ව්‍යසනය මෙරටට පමනක් සීමාවූ එකක් නොවන බව පැහැදිලි කල කථිකයා මෙයට උදාහරන ලෙස, ඉන්දියාවේ ලක්ෂ ගනනන් ගොවීන් අගමැති නරේන්ද්‍ර මෝදීගේ ධනපති ගැති ගොවි 'ප්‍රතිසංස්කරනවලට' එරෙහිව වසරක තරම් දීර්ඝ කාලයක් තිස්සේ එහි අගනුවර වන දිල්ලිය වටලා ගෙන ගිය අරගලයේ පසුබිම ගැන සදහන් කලේ ය.

ධනපති පන්තියේ මෙම දරුනු ප්‍රහාරවලට එරෙහිව සංවිධානයවීමේ අවශ්‍යතාව පෙන්නුම් කරමින් මේ අරගල මධ්‍යයේදී, සෞඛ්‍ය සේවකයන්, වතු කම්කරුවන් හා ගුරුවරුන් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ ආරම්භකත්වය ගෙන තිබෙන බව ඔහු සඳහන් කලේ ය

තංගල්ල ගොවිජනයා පිහිටුවාගත් මෙම ගොවිජන ක්‍රියාකාරී කමිටුව, කම්කරුවන් විසින් ගෙන ඇති එම ආරම්භයේම කොටසක් බව කථිකයා කීවේ ය.

ගොවිජනයා ඇතුලු ගම්බද පීඩිත ජනයාට මෙම කමිටු තුල ක්‍රියාශීලීව සහභාගී විය හැක. එම කමිටු තුල, තමන් මුහුන දෙන ගැටලු සාකච්ඡා කර ඒවා විසඳා ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ප්‍රජාතන්ත්‍රවාදීව තීරනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය වන නායකත්වය ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගැනීමටත් හැකිබව මලලගම පැහැදිලි කලේ ය.

කම්කරුවන් සහ ගොවි ජනයා අතර ගොඩනැගෙන ක්‍රියාකාරී කමිටු සන්ධානය, පහත ඉල්ලීම් මත සටන් වැදියයුතු බව ඔහු පෙන්වා දුන්නේය.

* මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා! බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

* බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

* දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු! වැඩවසම් අඳගොවි ක්‍රමය අහෝසි කරනු! අඳගොවියන්ට ඔවුන් වගා කරන ඉඩම් ලබාදෙනු!

* ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු! ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

අප්‍රේල් 07 දා සසප නිකුත් කල ප්‍රකාශයේ සඳහන් කෙරුනු පරිදි, 'මෙම ක්‍රියා මාර්ගය සඳහා වන සටන, කම්කරු පන්තියට ඉදිරි මාවතක් සම්පාදනය කරමින්, එහි ධාරිතාවන් පිලිබඳ විශ්වාසයකින් එය සන්නද්ධ කොට, එය වෙතට ගම්බද ජනයා අද්දවා, ක්‍රියාකාරී කමිටු ජාලයක් වර්ධනය කිරීම හරහා, කම්කරු පන්තිය අතට බලය ගෙන, සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කිරීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සංවිධානාත්මක පදනම් සම්පාදනය කරනු ඇත.'

මෙම ක්‍රියාපිලිවෙතට සමාජවාදී සමානතා පක්ෂය මුලුමනින්ම සහාය ලබා දෙන මලලගම අවසානයේදී පැවසීය. අනතුරුව සාකච්ඡාවක් ආරම්භවූ අතර එහිදී කෙරුනු පැහැදිලි කිරීම් සහභාගි වූ සියලුදෙනා අනුමත කලහ.

මෙහිදී, තමන් විසින් හදිසියේම විසඳාගත යුතු වන, තංගල්ල වෙල්යායේ ගොවිතැන් ඇරැඹීමට අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා මතුව ඇති අර්බුදය පිලිබඳව සාකච්ඡාවක් ආරම්භ විය. එලෙස වගාකටයුතු පමාවීමෙන් තමන්ට කෑමට අවශ්‍ය වී ටිකවත් වගාකිරීමට නොලැබෙනු ඇති බව ඔවුහු කීහ.

පසුගිය මැයි මස 20 දිනෙන් පසු ග්‍රාම නිලධාරී සහ කෘෂිකර්ම සහකාර නිලධාරීන් ඉන්ධන අවශ්‍යතාවය සහතික කර ලිපි ලබාදී ඇතත් ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඔවුන් මෙතෙක් පියවර ගෙන නැත. මේ ආකාරයෙන් හැම නිලධාරියෙක්ම සහ ආයතනයක්ම සිය වගකීම පැහැර හැර ඇති බව ගොවීන්ගේ අදහස විය. ආහාර හිඟයක් එන බව පවසා වගා කටයුතු ආරම්භ කිරීමට ආන්ඩුව දෙන උපදෙස හුදු රැවටීම් පමනක් බව ඔවුහු තවදුරටත් සඳහන් කලෝ ය.

ගොවීන් මුහුන දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ක්‍රියා මාර්ග ගැනීමට පලල් ක්‍රියාකාරී කමිටු ජාලයක් සෑදීමට මූලිකත්වය ගත යුතු බව රැස්වීමට සහභාගිවූවෝ තීන්දු කලහ. ඒ අනුව, තංගල්ල ගොවිජන ක්‍රියාකාරී කමිටුවේ මූලිකත්වය සහ මග පෙන්වීම යටතේ මෙවැනිම ක්‍රියාකාරී කමිටු අනෙකුත් පලාත්වල ගොඩනගා ගන්නා ලෙස ඉල්ලා සිටියයුතු බව තීරනය කෙරුනි.

සසප නියෝජිතයෝ සාකච්ඡාවට මැදිහත් වෙමින්, ගොවිජනයගේ ප්‍රශ්න විසඳාගැනීමේදී කම්කරු පන්තියේ සහාය ලබාගැනීම අනිවාර්ය බව පැහැදිලි කරමින් කම්කරු පන්තියේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ සහ ඒවා අතර ඒකාබද්ධතාවක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව අවධාරනය කලහ.

මෙම රැස්වීමට පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කර සාකච්ඡාවට යොමු කිරීමෙන් අනතුරුව, සියල්ලන්ගේම එකඟත්වයෙන් අනුමත විය.

'රට තුල අතිශයින්ම ගැඹුරුවන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දසලක්ෂ සංඛ්‍යාත මහජනයාගේ ජීවන තත්ත්වයන් දරුනු ලෙස බාදනයවී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් අනවනු ලැබ ක්‍රියාවට දමා ඇති ම්ලේච්ඡ ප්‍රහාර වලින් බැට කන ගොවිජනයා මේ ලෙස පීඩාවට පත්ව සිටින මහජනයාගේ කොටසකි.

'තංගල්ල ගොවිජන ක්‍රියාකාරී කමිටුව ගොවිජනතාව මුහුනදී සිටින ඉන්ධන නැතිකම පොහොර නැතිකම සහ අස්වැන්න සඳහා සාධාරන මිලක් නොලැබීම ඇතුලු නිමක් නැති ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් මත පාදකව සටන් වදිනු ඇත. ඒ සඳහා එවැනි කමිටු ජාලාවක් රටපුරා පිහිටුවා ගන්නා ලෙස සෙසු පලාත්වල ගොවි ජනතාවටද අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ඇතුලු පීඩිත ජනයාටද අපි ආරාධනා කරන්නෙමු.

මෙම ගොවිජන ක්‍රියාකාරී කමිටුව දශක ගනනාවක් තිස්සේ මහජනයා පීඩාවට පත් කල කිසිදු ධනපති දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නැත. එමෙන්ම සියලු ධනපති පක්ෂ එකතුවී ඇතිකිරීමට යන ඊනියා සර්වපාක්ෂික ආන්ඩුව ඊට පෙරාතුකාල පරිච්ඡේදයේ මහජනයාට එරෙහිව ගෙනගිය ප්‍රහාර එක දිගට ගෙන යනු ඇති බවත් ඒවා වඩාත් තීව්රකරනු ඇති බවත් අපි ඔවුන්ට අනතුරු අඟවමු. එවැනි ධනපති ආන්ඩුවකට අපි විරුද්ධ වෙමු.

ඒ වෙනුවට මහජනතාවගේ ප්‍රශ්න සඳහා සැබෑ විසඳුම් සම්පාදනය කල හැකි කම්කරුවන්ගේ හා ගොවියන්ගේ සමාජවාදී ආන්ඩුවක් ගොඩනැගීමේ එල්ලය ඇතිව සටන් වැදීම සඳහා පිහිටුවන ප්‍රජාතාන්ත්‍රික හා සමාජවාදී සම්මේලනයක් ගොඩ නැගීම සඳහා අප අපගේ පූර්න සහාය දෙන්නමු.'

Loading