ඉදිරිදර්ශන

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

[මෙය For a Democratic and Socialist Congress of Workers and Rural Masses in Sri Lanka! මැයෙන් 2022 ජූලි 21දා පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

2022 ජූලි 9 සෙනසුරාදා කොලඹ ජනාධිපතිවරයාගේ නිල නිවසට යොමුවන වීදියක විරෝධතාකරුවෝ රැස්වෙති. (ඒපී ඡායාරූප/අමිත තෙන්නකෝන්) [AP Photo/Amitha Thennakoon]

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සඳහා පදනම් දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම පිනිස දිවයින පුරා වැඩපොල, කම්හල්, වතු, නිවහන් ප්‍රදේශ හා ගම්බද ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයින් විසින් ම ය. මෙම කමිටු වැඩකරන ජනයාගේ අභිලාෂයන්ට අව්‍යාජ හඬක් දීමට නම්, ඒවා ධනපති පන්තියේ සියලු පක්ෂවලින් හා ඒවායේ වෘත්තීය සමිති ආවතේවකරුවන්ගෙන් ස්වාධීන වීම අත්‍යවශ්‍ය ය.

සර්ව-පාක්ෂික අන්තර්-කාලීන ආන්ඩුවක් ස්ථාපිත කිරීමට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති එකම පක්ෂය සසප යි. පාලක පන්තිය, කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට විනාශකාරී ප්‍රහාරයක් සූදානම් කරන අතර, කාලය ලබාගැනීම සඳහා වන උපකරනයක් බවට ධනපති අන්තර්-කාලීන ආන්ඩුවක් පත්වනු ඇතැයි අපි අනතුරු අඟවා ඇත්තෙමු. ධනපති පන්තියට ආර්ථික අර්බුදයෙන් එලියට පවතින එකම මාවත වන්නේ, රැකියා, සේවා කොන්දේසි, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂනය හා මිල සහනාධාර වැනි, කම්කරුවන් දශක ගනනාවක් අරගල කොට දිනාගත්, සමාජ ජයග්‍රහනයන්ගේ ඉතුරු පහදු ද ඇතුලු, කම්කරු පංතියට වැදගත්වන සියල්ල විනාශ කිරීමේ පිලිවෙතකි.

ජාමූඅ කප්පාදු ක්‍රියාවට දැමීම සම්බන්ධයෙන් සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගැත්තෙකු ලෙස කුප්‍රකට වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ලෙස තෝරාගැනීම මගින්, ප්‍රතික්ෂේප කල නො හැකි ලෙස, සනාථ කෙරෙනුයේ, දේශපාලන පද්ධතිය වනාහි, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ජාමූඅ හා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තුල සිටින ඔවුන්ගේ ඒජන්තයන් විසින් මුලුමනින් ම පාලනය කරන දූෂිත හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යූහයක් බවයි.

එය අනතුරු ඇඟවීමක් ලෙස ද ගත යුතු ය. අපකීර්තිමත් හා වෛරයට පාත්‍රව සිටින එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එකම මන්ත්‍රීවරයා වන වික්‍රමසිංහ, ජනාධිපති ධූරය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කලේ, මහජනතාවගේ නො ව, ධනේශ්වර “පර්යායේ” නියෝජිතයා ලෙස ය. මහජන විරුද්ධත්වය රුදුරු ලෙස තලා දමා, කම්කරු පන්තියට එරෙහි ව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම පිනිස, විධායක ජනාධිපති ධූරයේ සියලු ඒකාධිපති බලතල ද, සුවිශාල මිලිටරි-රාජ්‍ය යාන්ත්‍රනයෙහි සම්පූර්න බලය ද යොදාගැනීමට සූදානමින් සිටින බව, “වැඩ බලන ජනාධිපති” ලෙස ඔහු සේවය කල දවස් හයේ දී ප්‍රකාශයට පත් කලේ ය.

සියලු විරෝධතා නීති-විරෝධී කිරීමේ, වාරනය පැනවීමේ හා චෝදනාවලින් තොර ව මහජනයා තොග පිටින් රඳවාගැනීමේ හැකියාව රාජ්‍ය බලධාරීන්ට ලබාදෙනුවස්, ජනාධිපති හා අගමැති ධූර දෙක ම දරමින් ඔහු හදිසිනීති බලතලවල පිහිට පැතීය. පාලනය යතා තත්ත්වයට පත්කරන ලෙස පොලීසියට හා මිලිටරියට නියෝග කල ඔහු, ගෝඨාභය රාජපක්ෂ නමැති අපරාධකාරයා හා පාලක පන්තියේ මැරයා බලයෙන් ඇද වැට්ටවූ මහජනයාට “ෆැසිස්ට්වාදීන්” ලෙස මඩ ගැසුවේ ය.

අන්තර්-කාලීන ආන්ඩුවක් තැනීම පිලිබඳ සාකච්ඡාවන්ට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමේ දී, ට්‍රොට්ස්කිවාදයේ සාරභූත දේශපාලන මූලධර්ම ලංකා සම සමාජ පක්ෂය (ලසසප) විසින් 1964 දී විනාශකාරී ලෙස පාවාදීමේ කටුක දේශපාලන පාඩම් මත සසප මෙහෙයවුනි. ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, කම්කරු පන්තියේ බලගතු “ඉල්ලීම් 21” ව්‍යාපාරයට මුහුන දෙමින් සිටි ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා අගමැතිනි සිරිමා බන්ඩාරනායක, ධනේශ්වර පාලනයට මුක්කුව ලබාගැනීම පිනිස, ලසසප නායකයන් වෙත හැරුනි. බන්ඩාරනායකගේ ධනේශ්වර “සිංහල පලමුව” ආන්ඩුවට ලසසපයේ ඇතුල් වීම සලකුනු කලේ හුදෙක් “ඉල්ලීම් 21” ව්‍යාපාරයෙහි අවසානය පමනක් නො වේ. මහජනතාව දිරිසුන් කරමින්, පන්ති අරගලයට ඉහලින් ජනවාර්ගික-භාෂාමය ගැටුම දිරිමත් කල එය, ප්‍රතිගාමී වාර්ගික දේශපාලනයට හා දශක ගනනක සිවිල් යුද්ධයට මාවත පාදා දුන්නේ ය.

සසප, ලසසපයේ පාවාදීමේ මාවතෙහි කිසිදිනක ගොස් නැති අතර, යන්නේ ද නැත. ධනපති ආන්ඩුවලට ලබා දෙන සියලු ඍජු හා වක්‍ර සහයෝගයන් අපි ප්‍රතික්ෂේප කරමු. කම්කරුවන්ගේ බලය සඳහා වන අරගලයෙහි කුලුනු වන සමාජවාදී ජාත්‍යන්තරවාදය හා පංති ස්වාධීනත්වයේ දේශපාලනය ලසසපය විසින් ප්‍රතික්ෂේප කිරීමට ඍජු ලෙස ප්‍රතිවිරුද්ධ ව, සසප පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය 1968 දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස පිහිටුවනු ලැබී ය.

වසර හැටකට පෙර පැවතියාට වඩා අද දින ලංකාවේ හා ගෝලීය ව ධනවාදයේ අර්බුදය ගැඹුරු ය. පසුගිය මාස තුනෙහි මහජන නැගිටීම ධනේශ්වර පාලනය අරටුවට ම සොලවා දමා ඇත. එහෙත් ලියොන් ට්‍රොට්ස්කි වරක් පැහැදිලි කල පරිදි, ධනේශ්වරයෙහි ශක්තිය වන්නේ එය එහි දුර්වලත්වය අවබෝධ කරගැනීම යි. දේශපාලන බලය ධනේශ්වරයේ හස්තයෙහි තැබුව හොත්, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය පනවමින් හා ඕනෑ ම මහජන විරුද්ධත්වයක් තලා දමමින්, එය එහි අවශ්‍යතා නිර්දය ව ආරක්ෂා කරනු ඇත.

කම්කරු පන්තියේ දුර්වලත්වය වන්නේ, එය එහි ශක්තිය අවබෝධ කර නො ගැනීම බව ද ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ය. මහා මහජන විරෝධතාවන්, දැවැන්ත සටන්කාමීත්වයක්, අධිෂ්ටානයක් හා ධෛර්යය සම්පන්න බවක් ප්‍රදර්ශනය කර ඇත. එහෙත් වැඩකරන ජනයා දේශපාලන සංස්ථාපිතයට ගැටගැසී, ධනපති අන්තර්-කාලීන ආන්ඩුවක් කෙරෙහි විශ්වාසය තැබුවහොත්, අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ විනාශයකි.

2011 පෙබරවාරියේ ඊජිප්තුවේ කයිරෝ නුවර තාහීර් චතුරස්‍රයේ ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවෝ (ඒපී ඡායාරූප/ ටාරා ටොඩ්‍රාස්-වයිට්හිල්)

මෙම තීරනාත්මක සන්ධිස්ථානයේ දී, 2011 අසාර්ථක වූ ඊජිප්තු විප්ලවයේ පාඩම්, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සඳහා තීරනාත්මක වැදගත්කමක් දරයි. 2011 ආරම්භයේ දී, යෝධ මහජන නැගිටීමක් පුපුරා ගිය අතර, එය සති ගනනක් ඇතුලත, හොස්නි මුබාරක්ගේ දශක ගනනක් පැවති මිලිටරි ආඥාදායකත්වය පෙරලා දැමුවේ ය. එහෙත් කම්කරු පන්තිය ස්වාධීන පන්ති ඉදිරි දර්ශනයකින් සන්නද්ධ නො වී සිටි නිසා, මහජන ව්‍යාපාරය මත ආධිපත්‍යය දැරුවේ, ධනපති පාලනයට එරෙහිව එන කවර හෝ අභියෝගයකට කටුක ලෙස විරුද්ධ බලවේග වූ ධනපති විපක්ෂය හා විවිධාකාර ධනවත් මධ්‍යම පන්තික කොටස් ය. ඔවුන්ට, “ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමේ” නාමයෙන්, කෙටි කලක් පැවති ධනපති මුස්ලිම් සහෝදරත්වයේ ආන්ඩුවට ද ඉන්පසුව මිලිටරියේ ඊනියා “ලිබරල්” කොටස්වලට ද සහයෝගය දෙන ඉල්ලා සිටි, විප්ලවීය සමාජවාදීන් වැනි ව්‍යාජ-වාම කන්ඩායම් ද ඇතුලත් විය.

ඊජිප්තුවේ මහජන ව්‍යාපාරය හීන වී යද්දී හා විසිරෙද්දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිත ව, මුබාරක්ගේ හිටපු ජනරාල් අබ්දෙල් ෆාටා අල්-සිසි නමැති දැන් සිටින ආඥාදායකයා යටතේ ලේවැකි කඩාපැනීමක් හා භීෂන සමයක් සඳහා, මිලිටරිය අවස්ථාව ඩැහැගත්තේ ය.

කම්කරු පන්තිය සඳහා මෙම ඛේදවාචී පරාජය දරා සිටින සාරභූත පාඩම් මොනවා ද? එයට, දේශපාලන ආරම්භකත්වය තම හස්තයෙන් ගිලිහී යාමට ඉඩ දිය නො හැකි ය. ධනේශ්වරයේ සියලු දේශපාලන පක්ෂවලින්, ඔවුන්ගේ ව්‍යාජ-වාම අන්තේවාසිකයන්ගෙන් හා වෘත්තීය සමිති යාන්ත්‍රනයන්ගෙන් එය බිඳී වෙන් වීම අවශ්‍ය ය. තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට හා බලය සඳහා සටන් කිරීමට, එය තමන්ගේ ම දේශපාලන උපකරන ස්ථාපිත කල යුතු ය. අන්තර්-කාලීන ආන්ඩුවක් සඳහා වන සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමේ දී, දේශපාලන සංස්ථාපිතයේ හා ධනපති රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී කුමන්ත්‍රනයන්ගෙන් ස්වාධීන, තමන්ගේ ම දේශපාලන බලයේ මධ්‍යස්ථානයක් කම්කරු පන්තිය විසින් ස්ථාපිත කරගත යුතු බව සසප අවබෝධ කරගත්තේ ය. කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන අපගේ කැඳවීමෙහි අර්ථභාරය එය යි.

සමස්ත පාර්ලිමේන්තු රාමුව කෙරෙහි ම, මහජනයා අතර පවතින පලල් හා ගැඹුරට ගිය අතෘප්තිය හා හතුරුකම, “225 ම භංග වේවා” -එනම් හුදෙක් රාජපක්ෂ හා වික්‍රමසිංහ පමනක් නො ව, සිය සුවපහසු පාර්ලිමේන්තු අසුන් දරා සිටින දූෂිත, ආත්මාර්ථකාමී දේශපාලඥයන් 225 ම එපා- යන ජනප්‍රිය සටන් පාඨය තුල දැනට මත් ප්‍රකාශ වී තිබේ. එහෙත්, වැඩකරන ජනයාට හුදෙක් පසෙක සිට විවේචනය කිරීම පමනක් කල නො හැකි අතර, ඔවුන්ගේ හඬ නැගීමට හා ඔවුන්ගේ ක්‍රියාවන් දැනවීමට දේශපාලන බලයේ ඔවුන්ගේ ම ස්වාධීන පදනම් තිබිය යුතු ය.

ලියොන් ට්‍රොට්ස්කි

1917 රුසියානු විප්ලවයේ දැවැන්ත දේශපාලන අත්දැකීම් උකහා ගත් ලියොන් ට්‍රොට්ස්කිට, විප්ලවීය ගතිකය පිලිබඳ ප්‍රගාඪ අවබෝධයක් තිබුනි. 1930 ගනන්වල ස්පාඤ්ඤ විප්ලවය පිලිබඳ ඔහුගේ රචනා, ශ්‍රී ලංකාවේ සිද්ධීන්වලට අත්‍යසාමාන්‍ය අදාලත්වයක් දරයි. ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

යතාර්ථයේ දී, අරගලයේ යෝධ පුලුල් පරාසය නො තකා, විප්ලවයේ ආත්මීය සාධක, එනම් පක්ෂය, මහජනයාගේ සංවිධිතභාවය සහ සටන් පාඨ, ව්‍යාපාරයෙහි කර්තව්‍යයන්ට වඩා අත්‍යසාමාන්‍ය ලෙස පිටුපසින් පවතින අතර, අද දින ප්‍රධාන අන්තරාය සමන්විත වන්නේ මෙම පසුගාමීත්වය තුල යි.

දඩයම් හා පරාජයන් ගෙනැවිත් ඇති හෝ කිසිවක් දිනා ගැනීමකින් තොර ව අවසන් වී ඇති වැඩ වර්ජන අර්ධ ස්වයං-සිද්ධ ලෙස පැතිර යාම, මහජනයා අවදි වීමේ, ඔවුන් බලමුලු ගැන්වීමේ හා ඔවුන් අරගලයට පිවිසීමේ කාල පරිච්ඡේදයක් වන, විප්ලවයේ නිසැකව ම මගහැර යා නො හැකි අවධියකි. එයට හේතුව වන්නේ, අරගලයට සහභාගි වන්නේ හුදෙක් කම්කරුවන්ගේ ඉස්තරම්ම කොටස පමනක් නො ව සමස්තයක් ලෙස මහජනයා වීමයි. හුදෙක් කම්හල් කම්කරුවෝ පමනක් නො ව, කාර්මික ශිල්පීහු, වෘත්තීය රියැදුරෝ හා බක්කරේලා, ගොඩනැගිලි, වාරිමාර්ග හා අවසානයේ කෘෂිකාර්මික කම්කරුවෝ ද වැඩ වරති. ප්‍රවීනයන් සිය පන්නර ගන්වද්දී, අලුතෙන් බැඳෙන අය ඉගෙන ගනිති. වැඩ වර්ජනවල මෙම මාධ්‍යය හරහා, පන්තිය තමන් පන්තියක් ලෙස හැඟීම ආරම්භ කරයි.

කෙසේ වෙතත්, ස්වයං-සිද්ධ භාවය- වර්තමාන අවධියේ දී ව්‍යාපාරයෙහි ශක්තිය සමන්විත වන්නේ මෙයිනි- අනාගතයේ දී එහි දුර්වලත්වයේ මූලාශ්‍රය විය හැකි ය. අනාගතයේ දී ද ව්‍යාපාරය පැහැදිලි ක්‍රියා මාර්ගයකින් හා එහි ම නායකත්වයකින් තොරව පවතිනු ඇතැයි උපකල්පනය කිරීම, අපේක්ෂා භංගත්වයේ ඉදිරි දර්ශනයක් උපකල්පනය කිරීමකට සමාන වනු ඇත. එයටහේතුව වන්නේ, මෙහි දී පරදුවට තැබී ඇති ප්‍රශ්නය බලය අල්ලා ගැනීම හැර අනෙකක් නො වන නිසා ය. වඩාත් ම ප්‍රචන්ඩ වැඩ වර්ජන පවා -විසුරුනු ඒවා මෙන් ම- මෙම ගැටලුව විසඳන්නේ නැත. තම කර්තව්‍යයන් හා විධික්‍රමයන් පැහැදිලි වන බවත්, සිය සේනාවන් ඒකාබද්ධ හා ශක්තිමත් වන බවත් ඉදිරියේ එලඹෙන මාසවල අරගලයේ ක්‍රියාදාමය තුල දී, නිර්ධන පන්තියට නො දැනෙන්නේ නම්, එහි ම සේනාවන් තුල ඛාදනයක් ජනනය විය හැකි ය...සත්‍ය වසයෙන් ම, තවමත් අපි එම ලක්ෂ්‍යයට බොහෝ ඈතින් සිටිමු. එහෙත්, කිසිදු කාලයක් අහිමි කර නො ගත යුතු ය. (“ස්පාඤ්ඤයේ විප්ලවය,” 1931 ජනවාරි 24, ස්පාඤ්ඤ විප්ලවය (1931-39), පාත්ෆයින්ඩර් ප්‍රකාශන, 88-89 පිටු)

සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් ව, වතු තුල, ගුරුවරුන් හා සෞඛ්‍ය කම්කරුවන් අතර ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාපත් කරගන්නා ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියට සසප ආරම්භකත්වය ගෙන ඇත්තේ මේ නිසා ය. එහෙත්, සමාජවාදී ඉදිරි දර්ශනයක් සාකච්ඡා කොට අනුමත කරගැනීම සඳහා, මෙම ක්‍රියාකාරී කමිටු දිවයින පුරා විස්තාරනය කොට, සම්බන්ධීකරනය කරමින් හා කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ සම්මේලනයකට නියෝජිතයන් තෝරාගැනීමේ පදනම් සංවිධාන බවට පත් කරගනු ලැබිය යුතු ය.

සසප යෝජනා කරන ක්‍රියාකාරී කමිටු, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් යෝජනා කරනු ලබන, සහන පතා අන්තර්වාර ආන්ඩුවලට පීඩනය යෙදීමේ “මහජන සභාවල” පරිපූර්න ප්‍රතිවිරුද්ධයයි. හිඟන පාත්තරයක් රැගෙන කිසිදු ධනපති ආන්ඩුවක් වෙත යාම අර්ථ විරහිත ය. වඩා වැඩි වේදනාව හා පීඩාව හැර වෙනත් දෙයක් දීමට පාලක පන්තිය සතුව නැත. අවශ්‍ය වන්නේ, වැඩකරන ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් වදින දේහයන් ලෙස ක්‍රියාත්මක වන ක්‍රියාකාරී කමිටු ය.

කම්කරුවන්ට හා ගම්බද පීඩිතයන්ට සටන් කල හැකි පිලිවෙත් මාලාවක් සසප ඉදිරිපත්කර ඇත: ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරනු! සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! සුපිරි ධනවතුන්ගේ වත්කම් පවරා ගනු! ප්‍රධාන බැංකු හා මහා සංගත කම්කරු පාලනය යටතේ ජනසතු කරනු! මිලියන ගනන් මහජනයා මුහුන දෙන කුසගින්න හා හාමත අවසන් කිරීමටත්, අවශ්‍ය වෛද්‍ය උපකරන හා ඖෂධ රෝහල්වල පවතිනබව සහතික කිරීමටත්, කම්කරු පන්තිය නිෂ්පාදනය හා බෙදාහැරීම ප්‍රතිසංවිධානය කල යුතු ය. දුගී ගොවීන්ගේ ඉරනමට ආමන්ත්‍රනය කිරීම පිනිස, ඔවුන්ගේ නය අහෝසි කොට පොහොර සහනාධාර යලි හඳුන්වා දෙනු ලැබිය යුතු ය. සියලු දෙනාට රැකියා තිබිය යුතු අතර, ජීවන වියදමට අනුව වැටුප් ඉහල දැමිය යුතු ය.

සසප විසින් යෝජිත සම්මේලනය මුහුන දෙන කර්තව්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී වේ. අන්තර්-කාලීන ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා කුමන්ත්‍රනයේ යෙදෙන ධනපති පක්ෂ සියල්ල, රටෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යවස්ථාව ආරක්ෂා කල යුතු යයි ප්‍රකාශ කරති. වෙනත් වචනවලින් කියතොත්, ධනපති රාජ්‍යය, පොලීසිය, උසාවි, බන්ධනාගාර සහ සියල්ලට ඉහලින් විධායක ජනාධිපති ධූරය හා එහි දුරදිග යන බලතල මත අත නො තබා එසේ තිබීමට ඉඩහල යුතු බව ඔවුහු අවධාරනය කරති. විධායක ජනාධිපති ධූරය ද එය සමගින් දශක ගනනාවක් තිස්සේ වර්ධනය කර ඇති සමස්ත මර්දන නීති ජාලය ද වහා ම අහෝසි කරනු ලැබිය යුතු යයි සසප අවධාරනය කරයි.

නො නවතින විප්ලව න්‍යායය තුල ලියොන් ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, ශ්‍රී ලංකාව වැනි කල්පසු වූ වර්ධනයක් සහිත රටවල් තුල ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන්, කම්කරු පන්තිය සමාජවාදය සඳහා කරන සටන සමග ස්ථීරසාර ලෙස බැඳී පවතී. 1948 නාමික නිදහස ලද තැන් පටන් ගත වූ දශක හත තුල, ධනපති පන්තිය හා එහි දේශපාලන පක්ෂ, යලි යලිත් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දමා ඇති අතර, 1971 දී හා 1989-90 සමයේ ගම්බද සිංහල තරුනයන් ලේවැකි සංහාරයන්ට ලක් කිරීම ද 1983-2009 අතර ප්‍රතිගාමී වාර්ගික යුද්ධය ද ඒවාට අඩංගු වේ. අද දින සිය ධනය හා ගෝලීය ප්‍රාග්ධනයේ ආයෝජන ආරක්ෂා කිරීමේ දී, ඔවුහු තවත් විශාල අපරාධයන්ට සූදානම් වෙමින් සිටිති.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම, දෙමල හා අනෙකුත් වාර්ගික සුලුතරයන්ට එරෙහි ව ප්‍රාකාරගත කොට ඇති වෙනස්කම් අවසන් කිරීම, ඉඩම් හිඟය, පොහොර හා අනෙකුත් තීරනාත්මක සැපයුම්වල සුවිසල්ව ඉහල යන පිරිවැය සහ කුඩා නිෂ්පාදකයන් මත විශාල කෘෂිකාර්මික ව්‍යාපාර විසින් යොදනු ලබන අනවරත පීඩනය ඇතුලු, දුගී ගොවීන් හා ගම්බද කම්කරුවන් මුහුන දෙන දැවෙන ප්‍රශ්න විසඳිය හැක්කේ, සමස්ත සමාජ හා දේශපාලන පර්යායට එරෙහි ව කරන අරගලය තුල දී මහජනයා තමන් පිටුපස රැලි කරගන්නා කම්කරු පන්තියට පමනකි.

දෙමල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් සටන් වැදී ඇති සසප, දශක ගනනක් තිස්සේ කම්කරුවන් බෙදීම සඳහා යොදාගෙන ඇති විෂකුරු සිංහල ස්වෝත්තමවාදයට විරුද්ධ වේ. ඒ අතර ම, දෙමල පාලක ප්‍රභූවේ බෙදුම්වාදී දෙමල ජාතිකවාදයට අපි විරුද්ධ වෙමු. “තම” කම්කරුවන් සූරාකෑමට ඔවුන්ට පවතින “අයිතිය” මිස වෙනකක් අවශ්‍ය නො වන දෙමල පාලක ප්‍රභූව, වර්තමානය වැනි අර්බුද කාලයන්හි දී කම්කරු පන්තියට එරෙහි ව අනිවාර්යයෙන් පෙලගැසෙති. එලඹෙන සති හා මාස ගනන්වල දී, මංමුලා සහගත වන පාලක පන්තිය කම්කරුවන් එකිනෙකාට විරුද්ධ ව පිහිටුවීම සඳහා, නින්දිත වර්ගවාදී බේගල්වලට යලි යොමු වනු ඇතැයි අපි අනතුරු අඟවමු.

එහි බලවේග ශක්තිමත් කරගැනීමටත්, ගම්බද ජනයාගේ ක්‍රියාශීලී සහයෝගය දිනාගැනීමටත්, සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේ ම පාලනයට පදනම දැමීමටත්, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කරන කැඳවුම මගින්, කම්කරු පන්තියට දේශපාලන මූලෝපාය සම්පාදනය කරයි. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් හා ගම්බද ජනයා ගෙනයන දේශපාලන සටන වේගවත් වන තරමට, පාලක පන්තිය විසින් සූදානම් කරමින් තිබෙන විනාශයට විරුද්ධ ව කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ සම්මේලනයක් කැඳවනු ලැබීම ඉක්මන් වනු ඇත. මෙම සටන අතට ගැනීම අවශ්‍ය කරන සියල්ලන්ට අපි සියලු දේශපාලනික සහයෝගය සම්පාදනය කරමු.

ලියොන් ට්‍රොට්ස්කිගේ අන්තර්ඥානය අද දින අනුනාද වේ. 1917 දී රුසියාවේ ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දැමීමෙන් පසුව තනන ලද කම්කරු රාජ්‍යය පදනම් වූයේ, සෝවියට් සභා -විප්ලවයේ ගමන් මාවතේ දී ඉස්මතුවුනු කම්කරුවන්ගේ හා දුගී ගොවීන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් කමිටුවලට දුන් නම මෙයයි- මත ය. 1930 දී ස්පාඤ්ඤ කම්කරුවන් ඇමතූ ට්‍රොට්ස්කි, දේශපාලන බලය සඳහා කරන සටනේ දී අවශ්‍ය කරන ලීවරය ලෙස සෝවියට් සභා ස්ථාපිත කරගැනීමේ වැදගත් කම අවධාරනය කලේ ය:


අප සෝවියට් සභා, ඒවා පෙනී සිටි හා අප සමග වර්ධනය වූ රූපාකාරයෙන් ගන්නේ නම්, සෝවියට් සභා පිලිබඳ සටන් පාඨය සමස්ත තත්ත්වය විසින් යෝජනා කෙරෙන බවට මට පෙනෙයි: පලමුව, ඒවා බලගතු වර්ජන කමිටු විය. මේවාට කලින් සහභාගි වූ කිසිවෙක් මේවා වනාහි අනාගත බලයේ උපකරන යයි නො සිතූ හ... සෝවියට් සභා කෘතිම ලෙස නිර්මානය කරනු ලැබිය නො හැකි ය යන්න පොදුවේ දන්නා දෙයකි. එහෙත්, කර්මාන්තයන් බහුතරයක් අලලාගනිමින් දේශපාලනික ස්වභාවයක් අත් කරගන්නා සෑම ප්‍රාදේශීය වැඩ වර්ජනයක් සමයේ දී ම, සෝවියට් සභා ගොඩනගන ලෙස කැඳවීම අවශ්‍ය ය. දෙන ලද කොන්දේසි යටතේ, ව්‍යාපාරයෙහි නායකත්වය එය අතට ගැනීමේ හා විප්ලවවාදී ක්‍රියාවේ විනය එය තුලට ගෙන ඒමේ හැකියාව ඇති එක ම සංවිධාන රූපය වන්නේ මෙය යි. (“ස්පාඤ්ඤ විප්ලවය අනතුරේ,” පෙර සඳහන් කල කෘතිය, 67 පිටුව)

අද දින කම්කරු පන්තිය ඉදිරියේ පවතින හා සසප පමනක් සටන් වදින, සාරභූත දේශපාලන කර්තව්‍යය එය යි.

මෙම දේශපාලන අරගලයේ දී, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියෙහි සගයන් වන්නේ, ලොව පුරා කම්කරුවන් හා පීඩිත ජනයා ය. ඔවුන් ඒ සඳහා සටන් කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් ඉමහත් සහයෝගයක් සොයා ගනු ඇත. පද්ධතිගත අර්බුදයක ගිලී සිටින ගෝලීය ධනවාදයට යුද්ධය, නිම නො වන වසංගතය, ෆැසිස්ට්වාදය සහ සදා තීව්‍ර වන සූරාකෑම හා සමාජ කාලකන්නි භාවය හැර වෙන දෙයක් දිය නො හැකි බව ලොව පුරා මහජනයා අවබෝධ කරගනිමින් සිටිති.

පකිස්තානය හා ඊජිප්තුවෙන් ඇරඹී දැනට ජාමූඅ කප්පාදුවට හා ප්‍රතිව්‍යුහකරනයට ඉලක්ක කරනු ලබන තවත් රටවල් දුසිමක ද, එක්සත් ජනපදය හා එහි අධිරාජ්‍යවාදී රටවල් ඇතුලු ලොව පුරා රටවල පාලක ප්‍රභූන් වටා ශ්‍රී ලංකාවේ-ආකාරයේ සමාජ පිපිරීමක අවතාරය හොල්මන් කරයි. පෙබරවාරි 15දා ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය අනතුරු ඇඟවූ පරිදි:

එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන සන්තාපයන් ජාතික ගැටලුවකට වැඩි දෙයකි - එම සන්තාපයන්, මතු වෙමින් පවත්නා අනෙකුත් වෙලඳපොල ගනනාවක් තුල ලඹ දෙන භව්‍ය දුෂ්කරතාවල කැපී පෙනෙන උදාහරනයකි. ගෝලීය ආර්ථිකය අරක් ගෙන තිබෙන ආර්ථික කම්පන මාලාව කලමනාකරනය කරගැනීම පොහොසත් රටවල් තුල ද අසීරුවන අතර, ලෝක ජනගහනයෙන් බහුතරයකට වාසභූමිය වන දුගීම හා මතුවෙමින් පවත්නා ආර්ථිකයන් බොහොමයක් සඳහා මේ සම්බන්ධයෙන් කනස්සලු වීමට වැඩිමනත් හේතු පවතී. ආර්ථිකය පීඩනයන් දේශපාලන අස්ථාවරත්වය ගෙන එන අතර අද දින සෑම තැනක ම පවතින්නේ ආර්ථික පීඩනයන් ය.

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කිරීමට හා කැඳවීමට, කම්කරු පන්තියේ හා ගම්බද ජනයාගේ පලල් ම කොටස් අලලාගන්නා අව්‍යාජ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය කරයි. සම්මේලනය කැඳවනු ලබන විට, එහි අධිකාරය හා බලය රඳා පවතිනු ඇත්තේ, රටෙහි සෑම කොටසක ම වැඩපොලවල්, කම්හල්, වතු හා නිවහන් ප්‍රදේශ තුල ප්‍රාදේශීය කමිටුවල යෝධ ජාලයක් ගොඩනගා තිබෙන තරමට ය.

කමිටුවල මෙම ජාලය ස්ථාපිත කිරීමට හා විස්තාරනය කිරීමට කරන සටනේ දී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භකත්වය ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය තීරනාත්මක භූමිකාවක් ඉටු කරනු ඇත. ලෝකය පුරා ම, කම්කරුවන් ස්වාධීන ව තමන් ම සංවිධානය වීම ද, සංගත-ගැති හා ජාතිකවාදී වෘත්තීය සමිති යාන්ත්‍රනය විසින් පටවනු ලබන යදම්වලින් නිදහස් වීම ද, ආරම්භ කරන ව්‍යාපාරයක් වැඩී එමින් පවතී.

සම්මේලනය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මහජන ව්‍යාපාරය වර්ධනය කිරීමේදී අත්‍යවශ්‍ය සහයෝගය දීමට සහ දේශපාලන දිශාවනතිය සම්පාදනය කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය සූදානමින් හා අධිෂ්ටානයෙන් පසු වේ.

මානව වර්ගයාට සමාජවාදී අනාගතයක් උදා කරදීම සඳහා වන ඒකාබද්ධ අරගලයකට එක් වන ලෙස ඉන්දියාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ට අපි විශේෂ ආයාචනයක් නිකුත් කරමු. ශ්‍රී ලංකාවේ සටන්කාමී කම්කරුවන්ට හා තරුනයන්ට අපි කැඳවුම් කරන්නේ, සසපට බැඳී, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වන විප්ලවවාදී අරගලය තුල ඔබගේ ස්ථානය තහවුරු කරගන්නා ලෙස යි.

Loading