ත්‍රස්ත-විරෝධී නීති යටතේ රඳවාගෙන සිටින සිසුන් නිදහස් කරනු!

[මෙය Release students detained under Sri Lanka’s anti-terror laws! මැයෙන් 2022 අගෝස්තු 23 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ, නායක ශිෂ්‍ය ක්‍රියාධරයින් තිදෙනෙකු රඳවා ගැනීමේ නියෝගයකට, ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ අත්සන් තැබී ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

මෙලෙස රඳවා ගත් තිදෙනා වන්නේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමන්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හා කැලනිය විශ්ව විද්‍යාලයෙහි මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාධරයෙකු වන හෂාන් ගුනතිලක වන අතර, ඔවුන් සියල්ලෝ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ආධාරකරුවෝ වෙති.

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, පෙසප සමග පවතින මූලික හා සුප්‍රකට දේශපාලන වෙනස්කම් නො තකා, වික්‍රමසිංහගේ මර්දනීය පියවර හෙලාදකින අතර, මෙම ක්‍රියාධරයන් තිදෙනා ම වහා ම හා කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටී. මෙම රඳවා ගැනීම්වලට විරුද්ධ වන ලෙසත්, වහා ම ඔවුන් නිදහස් කරගැනීම සඳහා බලකරන ලෙසත් අපි කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන්ට කැඳවුම් කරමු.

ආරක්ෂක අමාත්‍යාංශ්‍ය රඳවා ගැනීමේ නියෝග සූදානම් කර ජනාධිපතිවරයා වෙත යවා ඇති බව ඉරිදා දැන ගැනීමෙන් පසුව, ලංකාව පුරාත් ජාත්‍යන්තරවත් මහජන කෝපය පුපුරා ගොස් ඇත. වික්‍රමසිංහ විසින් මෙම රඳවා ගැනීම් අනුමත කිරීමෙන් පැහැදිලි කෙරෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි ව ඔහුගේ පාලනය එල්ල කරගෙන යන ප්‍රහාරවලට කම්කරුවන්, තරුනයන් හා දුගීන්ගෙන් එන ඕනෑ ම ප්‍රතිරෝධයක් තලා දැමීමට ඔහු අධිෂ්ටානවත් ව සිටින බව යි.

1979 දී බලාත්මක කරන ලද කුප්‍රකට පීටීඒ යටතේ, “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන සැකය” මත ආරක්ෂක ඇමතිවරයාට ඕනෑ ම අයෙකු දවස් 90ක් රඳවාගත හැකි ය. ආරක්ෂක ඇමතිට එම රඳවා ගැනීම දවස් 180ක් දක්වා දීර්ඝ කල හැකි ය.

චෝදනාවලින් තොර ව ඕනෑ ම අයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා, පීටීඒ මගින් පොලිසියට පලල් බලතල ලබා දෙයි. පාපෝච්ඡාරන ලබාගැනීම සඳහා වද බන්ධන යොදාගැනීම ගැන කුප්‍රකට ලංකාවේ පොලීසියට, මෙම “පාපෝච්ඡාරන” උසාවියේ දී සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට අවසර ලැබේ. තමන් “ත්‍රස්තවාදී” යි සලකන ඕනෑ ම සංවිධානයක් තහනම් කිරීමට පීටීඒ යටතේ ආන්ඩුවට බලය ඇති අතර, එයට එම සංවිධානයෙහි වත්කම් රාජසන්තක කල හැකි ය.

1983 දී බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව, කොලඹ ආන්ඩුව එහි වාර්ගික යුද්ධය ආරම්භ කල තැන් පටන් දෙමල ජනතාව, විශේෂයෙන් ම තරුනයන් රඳවා ගැනීමට, පීටීඒ පලල් වසයෙන් යොදාගනු ලැබ ඇත. මොවුන් දුසිම් ගනනක් හා රට පුරා අනෙකුත් තරුනයෝ, කිසිදු චෝදනා ඉදිරිපත් කරනු ලැබීමකින් තොර ව, මෙතෙකුදු බන්ධනාගාර තුල පීඩා විඳිමින් කල්ගත කරති.

අගෝස්තු 18දා අවිශිබම සංවිධානය කරන ලද විරෝධතාවකට එරෙහි ව එල්ල කරන ලද ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාරයකින් දවස් හතරකට පසුව, මුදලිගේ, සිරිධම්ම හා ගුනතිලක යන තිදෙනාට එරෙහි රැඳවුම් නියෝග නිකුත් කරන ලදී. ශිෂ්‍යයන් 2,000ක් පමන එම විරෝධතාවට සහභාගි වූ අතර, “රනිල්-රාජපක්ෂ ජුන්ටාව ගෙදර යනු, මර්දනය නවතනු,” “අත්අඩංගුවට ගත් අරගල යේ ක්‍රියාධරයන් නිදහස් කරනු” හා “මහජන සභා ගොඩනගනු” යන ඒවා ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් විය.

2022 අගෝස්තු 18දා කොලඹ කොටුව දක්වන පෙලපාලියෙන් යන ශිෂ්‍යයන් වැලැක්වීමට කොම්පඤ්ඤ වීදියේ රඳවා තිබූ පොලීසිය සහ ජල ප්‍රහාරක රථ

ජල ප්‍රහාරක හා කඳුලු ගෑස් යොදා ගනිමින් පොලීසිය කුරිරු ලෙස විරෝධතාව විසුරුවා හැරියේ ය. කිලෝමීටර කිහිපයක් දුරට විරෝධතාකරුවන් එලවා දමමින් ඔවුන්ට පහර දුන් පොලීසිය, ඔවුන්ගේ ක්‍රියා “නීති-විරෝධී” හා “පොලීසියට බාධා කල” බවට ව්‍යාජ ව චෝදනා කරමින් 19 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.

රුපියල් 500,000ක දරුනු ඇප කොන්දේසි මත, අත්අඩංගුවට ගත් අයගෙන් දහසය දෙනෙකු සෙනසුරාදා නිදහස් කරන ලදී. ඔවුන්ගේ නඩුව සැප්තැම්බර් 12දා විමසීමට නියමිත ය. දවස් 90 පීටීඒ රැඳවුම් නියෝග ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අනෙක් තිදෙනා ව රඳවා ගනු ලැබී ය.

රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් තිදෙනා, “රාජ්‍ය-විරෝධී කුමන්ත්‍රනවල” නිරත වී ඇති බව හා “ත්‍රස්තවාදී ක්‍රියාවන්ට” සම්බන්ධිත බව ඇතුලු ගොතන ලද චෝදනා යටතේ, විමර්ශනයට බඳුන් කරනු ඇති බව පොලීසිය ඉඟි කර ඇත.

ශිෂ්‍යයන් තිදෙනා, අප්‍රේල් 9දා ආරම්භ වූ විරෝධතාවන්හි නිරත වීම පිලිබඳ ව ද ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය කලින් කීවේ ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවති කම්කරුවන්ගේ හා දුගීන්ගේ මෙම මහජන විරෝධතා, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟය හා ඉසිලිය නො හැකි උද්ධමනය විසින් අවුලුවන ලදී.

අවසානයේ රටින් පලායාමේ තැනට රාජපක්ෂ තල්ලු කරමින්, කොලඹ ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන සිටි දසදහස් සංඛ්‍යාත මහජනයා සමග, අප්‍රේල් 28 හා මැයි 6 දිනවල පැවති එක් දින වැඩ වර්ජනවලට කම්කරුවන් මිලියන ගනනක් සහභාගි වූහ.

වෘත්තීය සමිති මෙම වැඩ වර්ජන කැඳවූ නමුත්, රාජපක්ෂ පාලනයට හා ලාභ පද්ධතියට එරෙහි ව කම්කරු පන්තියේ පූර්න-පරිමාන බලමුලු ගැන්වීමකට විරුද්ධ වූ ඔවුහු, අන්තර්-කාලීන ධනපති ආන්ඩුවක් සඳහා වන දේශපාලන ඉල්ලීම් තුලට කම්කරුවන් අපසරනය කලහ. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ හා පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධාන මෙම පාවාදීමට පිටුබලය දුන් හ.

රාජපක්ෂ රටින් පලායාමෙන් පසුව, ජූලි 14දා, ඔහු එක්සත් ජනපද-ගැති හා පලල් ලෙස ගර්හාවට ලක් වූ වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත් කලේය. අපකීර්තිමත් පාර්ලිමේන්තුව ජූලි 20දා වික්‍රමසිංහ එම තනතුරේ නිල වසයෙන් ස්ථාපිත කලේ ය.

ජූලි 17දා, වික්‍රමසිංහ “හදිසි තත්ත්වයක්” ප්‍රකාශ කල අතර, ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පැය 24ක් ඇතුලත, ජනාධිපති ලේකම් කාර්යාලය වාඩිලාගෙන සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමේ විෂකුරු මිලිටරි-පොලිස් මෙහෙයුමක් මුදා හැරියේ ය. නව දෙනෙකු අත්අඩංගුවට ගනිමින් හා තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කරමින්, පොලීසිය ආන්ඩු-විරෝධී ක්‍රියාධරයන්ට ප්‍රචන්ඩ ප්‍රහාරයක් එල්ල කලේ ය. එතැන් පටන්, පොලීසිය විරෝධතාකරුවන්ට එරෙහි ව දඩයමක් දියත් කර ඇත්තේ, මේ දක්වා දුසිම් ගනනක් අත්අඩංගුවට ගනිමිනි. විරෝධතාවන්හි නිරත වූවන් “ෆැසිස්ට්වාදීන්” හා “ත්‍රස්තවාදීන්” යයි වික්‍රමසිංහ ප්‍රසිද්ධයේ මඩ ගසා ඇත්තේ, ඇත්ත වශයෙන්ම, ඔහුගේ ආන්ඩුව මහජනයා ත්‍රස්ත කිරීමට පොලිස් රාජ්‍ය පියවර වලට යොමු වෙමින් සිටියදී ය.

2022 අගෝස්තු 18දා කොම්පඤ්ඤ වීදියේ පෙලපාලියේ යෙදෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

දිගු කාලයක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් බලාත්මක කරන්නෙකු වන වික්‍රමසිංහ, එහි කප්පාදු පියවර පැනවීම කරා ඉදිරියට යමින් සිටී. ඔහුගේ පූර්වගාමියා මෙන් ඔහුගේ ද ඉලක්කය වන්නේ, ලංකාවේ ගැඹුරු ආර්ථික අර්බුදයේ බර මහජනතාව මත පැටවීමයි. රාජ්‍ය අංශයේ රැකියා දසදහස් ගනනක් විනාශ කිරීම, රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය, බදු ඉහල දැමීම, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන මුදල් රුදුරු ලෙස කප්පාදු කිරීම සහ අනෙකුත් දරුනු සමාජ ප්‍රහාර සඳහා ජාමූඅ විධානය කරමින් සිටී.

මෙම පියවරයන් ක්‍රියාත්මක කිරීමට සහ කම්කරුවන් හා දුගීන්ගේ මහජන විරෝධය මර්දනය කිරීමට තම හස්තය ශක්තිමත් කරගනුවස් සර්ව-පාක්ෂික ආන්ඩුවක් ස්ථාපිත කිරීමට වික්‍රමසිංහ උත්සාහ දරමින් සිටී.

ඔවුන් අතර පවතින උපායාත්මක වෙනස්කම් නො තකා, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලු පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති ජාමූඅ කප්පාදු වැඩසටහනට සහයෝගය දෙති.

ශිෂ්‍ය ක්‍රියාධරයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකිරීම සඳහා, ඉරිදා කොලඹ කොටුව දුම්රිය ස්ථානය අසල පැවති ශිෂ්‍ය රැලියක් ඇමතූ පෙසප ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, වික්‍රමසිංහට මෙසේ අවවාද කලේය: “ඔබ දන්නා පරිදි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජීඑස්පී ප්ලස් බදු සහනය සමග සමීප ව සම්බන්ධයි, ඒ නිසා මෙය (ශිෂ්‍යයන් රඳවා ගැනීම) පරිස්සමින් කරන්න.”

ධනපති රාමුවට ගැටගැසී සිටින හා අවිශිබම නායකත්වය පාලනය කරන පෙසප, වික්‍රමසිංහ අඛන්ඩ ව ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කරන්නේ නම්, ජීඑස්පී ප්ලස් යටතේ යුරෝපා සංගමයෙන් ලංකාවේ ධනවාදයට ලැබෙන බදු සහන සහ ලාභ අහිමි වනු ඇතැයි ඔහුට අනතුරු අඟවයි.

වික්‍රමසිංහට හා පාලක ප්‍රභූවට කරන මෙම ආයාචනා ඔවුනගේ ගමන් මාවත වෙනස් කිරීම කෙරෙහි කවර හෝ බලපෑමක් සිදු නො කරනු ඇත. එමෙන්ම, කිසිදු ප්‍රධාන ගෝලීය බලයක්, ලංකාවේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම ද නො කරනු ඇත.

මුදලිගේ, ගුනතිලක හා සිරිධම්ම, වහා ම හා කොන්දේසි විරහිත ව ආරක්ෂා කරගැනීමත්, ඇප මත සිටින ශිෂ්‍යයන්ට එරෙහි ව ගොතන ලද චෝදනා ඉවත් කිරීමත් සඳහා වන සටන, සමාජවාදී ඉදිරි දර්ශනයක පදනම මත වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමත් ගම්බද දුගීන් රැලි කරගැනීමත් හරහා ඉදිරියට ගනු ලැබිය යුතු ය.

පීටීඒ, සියලු හදිසි නීති හා අත්‍යවශ්‍ය මහජන සේවා පනත අවලංගු කිරීමත්, විධායක ජනාධිපති ධූරය හා අනෙකුත් සියලු මර්දනීය පියවරයන් අහෝසි කිරීමත් ඇතුලත් වන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා මෙම සටන පෙරට ගැනීමට, ලංකාවේ ශිෂ්‍යයන් කම්කරු පන්තියට හැරිය යුතු ය.

සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන සියතට ගැනීමට, සියලු වැඩපොල, වතු හා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන මෙන් ම ගම්බද ප්‍රදේශ තුල ද තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරු පන්තියට හා ගම්බද ජනයාට කැඳවුම් කරයි. මෙම සංවිධාන ගොඩනගනු ලැබිය යුත්තේ, වෘත්තීය සමිති හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව ය. තම විශ්ව විද්‍යාලවල සසජාතශි ශාඛා ගොඩනගන ලෙස අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලමු.

මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම් වන, “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” සඳහා සසප සටන් කරන්නේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා අරගලය ඉදිරියට ගැනීමට යි. මෙය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයෙහි කොටසකි.

Loading