දඩයමට ලක් වූ වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සසප සහ ක්‍රියාකාරී කමිටු මෙම ඉරිදා විරෝධතාවක් පවත්වයි

[මෙය Socialist Equality Party and action committees in Sri Lanka to demonstrate this Sunday in defence of victimised estate workers යන මැයෙන් 2022 අගෝස්තු 25 පල වූ දැන්වීමේ පරිවර්තනයයි.]

ඕල්ටන් සහ ග්ලෙනුයිජ් වතු ක්‍රියාකාරී කමිටු සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) අගෝස්තු 28 ඉරිදා සවස 2 ට අප්කොට් හි විරෝධතාවක් පවත්වයි. සේවයෙන් නෙරපා හරින ලද සියලු ම ඕල්ටන් වතු කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙසත්, වත්තේ කම්කරුවන් 22 දෙනෙකුට එරෙහි ව ගොනු කර ඇති නඩු ඉවත් කර ගන්නා ලෙසත් එය බල කර සිටිනු ඇත.

ඕල්ටන් වතු කම්කරුවෝ 2022 අප්‍රේල් 29 වැනි දා වැඩ වර්ජනය කර පිකට් කරති. [ලෝසවෙඅ මාධ්‍ය]

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී, වතු කලමනාකරුවෙකුට ශාරීරික ව පහරදීම සහ ඔහුගේ නිවසට හානි කිරීමේ ව්‍යාජ චෝදනා මත කම්කරුවන් 22 දෙනෙකු අප්කොට්හි ඕල්ටන් වත්තේ දී අත්අඩංගුවට ගන්නා ලදී. සමාගම එම චෝදනා මත සේවකයන් 38 දෙනෙකු, විමර්ශනයක් හෝ නොපවත්වා කොටින් ම සේවයෙන් පහ කරන ලදී.

සමාගම සහ පොලිසිය සමඟ කුමන්ත්‍රනයක යෙදෙමින් වෘත්තීය සමිති මෙම දඩයම සඳහා ආධාර සහ අනුබල දුන්නේ ය. කොලඹ ආන්ඩුවේ ආශිර්වාදය සහිත ව දඩයම ඉදිරියට යමින් පවතී.

මුලින් නඩුව පවරා මාස දහඅටක් ගත වී ඇතත් කිසිවකු නඩුව විභාගකොට නැත. ඇත්ත වශයෙන්ම, පොලිසිය කියා සිටින්නේ නීතිපතිවරයා තවමත් කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බවයි. එය චෝදනාවල ව්‍යාජ ස්වභාවය පෙන්නුම් කරයි.

සමාගම මෙම කුරිරු දඩයම මුදා හැරියේ, ඕල්ටන් කම්කරුවන් පමනක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත වතු කම්කරු බලකාය බිය ගැන්වීම සඳහා ය. එය වතුවල වඩාත් දරුනු වැඩ බර පටවා සමාගම් ලාභ වැඩිකර ගැනීමේ ජාතික සැලසුමක කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව දඩයමට ලක්ව ඇති ඕල්ටන් කම්කරුවන් ආරක්ෂා කිරීමට අඛන්ඩ ව සටන් කර ඇත. තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට කම්කරුවන්, වෘත්තීය සමිති, සියලු ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ස්වාධීන ව තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය. රට පුරා සිටින සිය පන්ති සහෝදර සහෝදරියන් සමග එක්සත් වීමේ සහ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කිරීමේ අරගලයේ කොටසක් ලෙස එය අත්‍යවශ්‍ය ය. මෙම උද්ඝෝෂනයට සහයෝගය දී එය ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

අගෝස්තු 28 ඉරිදා පස්වරු 2 ට අප්කොට් නගරයේ දී විරෝධතාව පැවැත්වේ.

Loading