[මෙය Sri Lankan government detains hundreds fleeing overseas amid economic crisisමැයෙන් 2022 අගෝස්තු 09 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමල ජනතාව ඇතුලු 1,000 කට අධික පිරිසක් රට වෙලා ගෙන සිටින ආහාර හිඟය, කුසගින්න සහ විරැකියාවෙන් ගැලවීමට විදේශගත වීමට උත්සාහ කිරීමේදී 2022 වසරේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ද නවතම සිදුවීමේ දී, ශ්‍රී ලංකාවේ උතුරු දෙසින් තලෙයිමන්නාරම මුහුදේ දී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කාන්තාවන් සහ ලමුන් හය දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු අගෝස්තු 16 වන දින අත්අඩංගුවට ගැනීමයි. නරක අතට හැරෙන සමාජ කොන්දේසිවලින් මිදීමට විදේශගත වීමට උත්සාහ කල බොහෝ දුප්පත් සිංහල හා දෙමල පවුල්, ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
වසරේ මුල් භාගය තුල විදේශ රැකියා සඳහා නීත්‍යානුකූල ව විදේශ ගත වූ සංක්‍රමනිකයන් සංඛ්‍යාව හතර ගුනයකින් වැඩි වී ඇති බව සන්ඩේ ටයිම්ස් මෑතක දී වාර්තා කලේ ය. එය සෑම පැයකට ම ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු ගුවන් යානයකට ගොඩ වූවා හා සමාන රේට්ටුවකි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට බලකෙරුනු, මෑත කාලීන ආන්ඩු විරෝධී මහජන උද්ඝෝෂනවලට හේතු වූයේ දරාගත නොහැකි දරිද්‍රතාවය, දැඩි ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය සහ දිගුකාලීන විදුලි කප්පාදුව ය.
කෙසේ වෙතත්, සමාජ ව්‍යසනය, වසරින් වසර උද්ධමන අනුපාතිකය ජූලි මාසයේදී සියයට 60 දක්වා සහ ආහාර උද්ධමනය සියයට 90 දක්වා වැඩි වී, ගැඹුරු වෙමින් වර්ධනය වෙයි. ආහාරවල මිල කෙතරම් ඉහල ද යත් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ දෛනික ආහාර පරිභෝජනය විශාල ලෙස කපා හැරීමට සිදු වී ඇත.
අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ධූරයට ඔසවා තැබූ රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ප්‍රහාර ජනතාව මත පැටවීමට සූදානම් වන විට, මහජන පෙලපාලි මර්දනය කිරීමට හදිසි අවස්ථාව සහ රාජ්‍ය යාන්ත්‍රනය භාවිතා කරයි.
කොලඹ ආන්ඩුවේ දශක තුනකට ආසන්න වාර්ගික යුද්ධයෙන් සහ මෑත කාලීන COVID-19 වසංගතයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමල ජනතාව වත්මන් ආර්ථික අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත් ව සිටිති.
ශ්‍රී ලංකා බලධාරීන් උපුටා දක්වමින් ශ්‍රී ලංකා මාධ්‍ය විසින් මෑතක දී වාර්තා කලේ ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට සංක්‍රමනය වීමට උත්සාහ කරන පුද්ගලයින් සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් පෙන්නුම් කරන බවයි. 2022 වසරේ මුල් මාස හතර තුල 80 කට අධික පිරිසක් ඉන්දියාවට පලා ගොස් ඇත්තේ ජාවාරම්කරුවන්ට ගෙවීමට හෝ බෝට්ටු කුලියට ගැනීමට තම දේපල විකුනමිනි.
“අපි කොච්චර අසරන වුනාද කියනවා නම් අපි අපේ ජීවිත පරදුවට තබමින් ධීවර යාත්‍රාවකින් ඔස්ට්‍රේලියාවට යන්න තීරනය කලේ මේ රටේ අපේ දරුවෝ තුන්දෙනාට කෑම අරන් දෙන්නේ කොහොමද කියලා අපිට හිතාගන්න බැරි නිසා” යැයි මාලන් (ඔහුගේ සැබෑ නම නොවේ) පැවසීය. ඔහු හලාවත ප්‍රදේශයේ ධීවරයෙකි.
“ධීවර බෝට්ටුවලට ඩීසල් හෝ භූමිතෙල් නැහැ. අපිට ආදායමක් නැහැ. ඉන්ධන සඳහා වූ ඉහල මිල ගනන් අපට දරාගන්න බෑ. අපේ ජීවිත විනාශ වෙලා” යැයි ඔහු වැඩි දුර පැවසී ය.
මාලන්, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරල තීරයේ ත්‍රිකුනාමලය අසල ධීවර බෝට්ටුවක දී නාවික හමුදාව විසින් මැයි 20 දින අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 55 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක සාමාජිකයෝ වෙති. ඔවුහු ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමට උත්සාහ කරමින් සිටියහ.
“කාන්තාවන් හත්දෙනෙක් සහ ලමයි හතර දෙ දෙනෙක් හිටියා. අපෙන් දස දෙනකු පමනක් සිංහල වූ අතර සෙසු අය දෙමල අයයි” යැයි මාලන් පැවසී ය.
බොහෝ මගීන් ධීවරයෝ වන අතර, සමහරක් කුඩා කඩ හිමියෝ ද අනතුරුදායක මුහුදු ගමන සඳහා ක්‍රියාකරුවන්ට රුපියල් 700,000 (ඩොලර් 1,949) සහ රුපියල් 1,500,000 ($ US4,177) අතර මුදලක් ගෙවූහ. ඔවුන් මුදල් සොයා ගත්තේ තම දේපල විකුනා, නයට ගැනීමෙන් හෝ ස්වර්නාභරන උකස් කරමිනි.
“දැන් අපිට හැමදේ ම නැතිවෙලා. අපි කබලෙන් ලිපට වැටිලා. අපට මුදල් නෑ. අපි විශාල වශයෙන් නය වී සිටිමු” යැයි මාලන් පැවසුවේ ඔවුන්ගේ අධිකරන නඩු මාස ගනන් ඇද ගෙන යන බව පැහැදිලි කරන අතරතුර ය.
“ත්‍රිකුනාමලයේ උසාවියේ නඩුවට අපි පස් දෙනාට රුපියල් 25,000කට වඩා වියදම් කරන්න වෙනවා. උසාවියේ නඩුව අපට ශාරීරික ව, මානසික ව සහ මූල්‍යමය වශයෙන් වධ හිංසාවක් වෙලා” යැයි ඔහු පැවසී ය.
වරදකරු වුවහොත් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට වසර දෙකක බරපතල සිරදඬුවමක් සහ දඩයක් නියම කල හැකිය. මෙම ආපසු පැමිනෙන අය, ඕස්ට්‍රේලියානු වීසා සඳහා අනාගතයේ දී අයදුම් කිරීමට ද සුදුසුකම් නොලබති.
දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත සිය පවුලේ සාමාජිකයින් අට දෙනෙකු සමඟ පලා ගිය 41 හැවිරිදි කාන්තාවක් ජර්මානු රාජ්‍ය මාධ්‍ය ආයතයක් වන ඩොයිෂ වෙල (DW) වෙත පැවසුවේ, තම ස්වාමිපුරුෂයාට ලංකාවේ දී රැකියාවක් සොයා ගත නොහැකි වූ බවත්, දෛනික කෑම වියදම පවා සොයා ගත නොහැකි වූ බවත් ය. ශ්‍රී ලාංකික සරනාගතයින් සඳහා වෙන් කර ඇති රාමේෂ්වරම් මන්ඩපම් පුනරුත්ථාපන කඳවුරේ කිසිදු අයිතිවාසිකමක් නොමැති ව, සිරකරුවන් මෙන් ඔවුන් රඳවා සිටින නිසා, ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය ගැන ඇය කනස්සල්ලට පත් ව සිටියා ය.
මාර්තු මාසයේ දී තම බිරිඳ සමඟ ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිනි 26 හැවිරිදි පින්තාරු කාර්මිකයෙක් මෙම අත්දැකීම ම, ප්‍රතිරාවය කලේ ය. “ආර්ථික අර්බුදය නිසා අපිට ලංකාවේ කිසි ම දෙයක් කරන්න බැරි වුනා. අපිව මේ වගේ සරනාගත කඳවුරක රඳවන බව කලින් දැනගෙන හිටියා නම්, මම මේ ගමන කොහෙත්ම එන්නේ නැහැ”යැයි ඔහු DW වෙත පැවසී ය.
ඔවුන් මාසයක කාලයක් කඳවුරේ සිටි බවත්, ඔවුන්ට කුමක් සිදුවේද යන්න ගැන කිසිදු අදහසක් නොමැති බවත් ඔහු පැහැදිලි කලේ ය. ඔහුට අවශ්‍ය වූයේ තම පවුල නඩත්තු කිරීම සඳහා රැකියාවක් සොයා ගැනීමට ය. “අපි ඉල්ලන්නේ එපමනයි” ඔහු පැවසී ය.
DW ට අනුව, තමිල්නාඩුවේ සරනාගත කඳවුරු 108 ක ශ්‍රී ලාංකික දෙමල ජනතාව 59,000 කට ආසන්න ප්‍රමානයක් ජීවත් වූ අතර 34,000 කට අධික සරනාගතයන් මෙම කඳවුරුවලින් පිටත ජීවත් වෙති. 1983 දී ආරම්භ වී 2009 දී අවසන් වූ කොලඹ දෙමල විරෝධී යුද්ධයෙන් පසු බොහෝ දෙනෙක් රට හැර ගියහ.
2012 දී තමිල්නාඩු ප්‍රාන්ත රජය ශ්‍රී ලාංකිකයන් සඳහා ලබාදුන් දේශපාලන රැකවරන ඉවත් කල අතර ඔවුහු මේ වසරේ මාර්තු මාසය දක්වා නීති විරෝධී සංක්‍රමනිකයන් ලෙස සැලකනු ලැබූ හ.
ශ්‍රී ලාංකික සරනාගතයින් අත්අඩංගුවට ගැනීමට එරෙහි ව තමිල්නාඩු ජනතාව විරෝධය පල කල නිසා, එම සරනාගතයින් ඍජු ව ම දිලිඳුකමින් පීඩිත, පහසුකම් නැති, පුනුරුත්ථාපන කඳවුරු වෙත රැගෙන යාමට ප්‍රාන්ත රජයට බලකෙරුනි.
තමිල්නාඩු මහ ඇමතිවරයාගේ මෙම සරනාගතයින් කෙරෙහි දක්වන “යහපත් ආකල්පයේ” කුහකකම හෙලිදරව් වන්නේ, ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලාංකික සරනාගතයින් ඉන්දියාවට ඇතුලු වීම වැලැක්වීම සඳහා පෝක් සමුද්‍ර සන්ධියේ වෙරලාරක්ෂක මුර සංචාර දැඩි කර තිබීමෙනි.
අනුප්‍රාප්තික ඕස්ට්‍රේලියානු ආන්ඩු බෝට්ටුවෙන් පැමිනෙන සරනාගතයින්ව අපහාසයට ලක්කල අතර ඔවුන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වීම වැලැක්වීම සඳහා, එනම්, නාවික හමුදාව බෝට්ටු ආපසු හරවා යැවීම හෝ ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථානවල දින නියමයක් නොමැති ව සිරගත කිරීම වැනි දරුනු ක්‍රියාමාර්ග ගත්තේ ය. 2009 දී බෙදුම්වාදී දෙමල කොටි පරාජය කිරීමෙන් පසු පීඩාවට පත් ව පලා යන දෙමල සරනාගතයින් නැවැත්වීමට 2012 දී ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂ ආන්ඩුව, එවකට විදේශ ඇමති බොබ් කාර්ව, ශ්‍රී ලංකාවට එවී ය.
ශ්‍රී ලංකාවට ආපසු පැමිනි අය පොලිසියේ සහ හමුදාවේ ප්‍රශ්න කිරීම්වලට, වධහිංසාවලට සහ අතුරුදන් කිරීම්වලට ලක් වූහ. ඕස්ට්‍රේලියාව මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වීම ජාත්‍යන්තර සරනාගත ප්‍රඥප්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන අතර, එය තාඩන පීඩනවලින් පලායාමට සරනාගතයින්හට ඇති අයිතිය හා ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ මූලික නීතිමය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද උල්ලංඝනය කිරීමකි.
ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) විසින් මෑතක දී “නීති විරෝධී” ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන් 46 දෙනෙකු කොලඹ බලධාරීන්ට භාර දෙන ලදී. ඕස්ට්‍රේලියානු බලධාරීන් මැයි මාසයේ සිට ශ්‍රී ලාංකිකයන් 183 දෙනෙකු ආපසු ගෙන්වා ඇති බව දකුනු ආසියාවේ ABF කලාපීය අධ්‍යක්ෂ කමාන්ඩර් ක්‍රිස් වෝටර්ස් කොලඹදී මාධ්‍ය වෙත පැවසීය. මෑතකදී තේරී පත් වූ ලේබර් රජය ඕස්ට්‍රේලියාවේ මර්දනකාරී සංක්‍රමනික ප්‍රතිපත්ති කිසිවක් ලිහිල් කර නොමැති බව ඔහු අවධාරනය කලේය.
2013 දී පිහිටුවන ලද මිලිටරිමය දේශසීමා ආරක්ෂක මුලපිරීමක් වන ඔස්ට්‍රේලියාවේ 'ස්වෛරී දේශසීමා මෙහෙයුමේ' කොටසක් ලෙස මේ වසරේ ජුනි 1 සිට ජුනි 30 දක්වා කාලය තුල නීතිවිරෝධී ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන් 125 ක් සහ බෝට්ටු කාර්ය මන්ඩලයන් ශ්‍රී ලංකාවට ආපසු එවා ඇති බව ABF පැවසී ය.
වත්මන් ආර්ථික අර්බුදයෙන් පලා යන ශ්‍රී ලාංකික සරනාගතයින් ගලා ඒම වැලැක්වීම සඳහා, ඕස්ට්‍රේලියාව විසින් ධීවර යාත්‍රාවල සවි කිරීම සඳහා ගෝලීය ස්ථාන නිර්නයන පද්ධති (GPS trackers) 4200 ක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලබා දී ඇති බව ගාඩියන් වෙබ් අඩවිය ජුනි 22 වාර්තා කලේය.
