[මෙය IMF announces preliminary bailout loan agreement with Sri Lanka මැයෙන් 2022 සැප්තැම්බර් 09 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධායක මන්ඩලයේ අනුමැතිය ලැබීමේ කොන්දේසියට යටත් ව, එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක නය පහසුකමක් සම්පාදනය කිරීම සඳහා, ලංකාවේ ආන්ඩුව සමග සිවු අවුරුදු මූලික මාන්ඩලික මට්ටමේ එකඟතාවකට පැමින ඇති බව, ජාමූඅ සැප්තැම්බර් 1දා නිවේදනය කලේ ය.
ජාමූඅ එකඟතාව “නව ආර්ථික යුගයක ආරම්භය” ලෙස උත්කර්ෂයට නංවමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කලේ ය: “ආරම්භය දුෂ්කර වූවත් එය පසුකරගෙන යාමේ දී ප්‍රගතියක් ඇති කල හැකි බව අපි දන්නවා.”
මෙම “දුෂ්කර ආරම්භය” සමග එන ඊනියා “නව ආර්ථික යුගය” වනාහි, රටෙහි පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයට කම්කරුවන් හා දුගීන් ලවා වන්දි ගෙවීමට සලස්වන, රුදුරු කප්පාදු පියවරයන්ගේ නව වටයක් මිස අනෙකක් නො වේ.
ජාමූඅ වැඩසටහනේ මූලිකාංග වලට, බරපතල ප්‍රතිවිපාක ඇති කිරීමට නියමිත පහත දැක්වෙන දුර දිග යන දරුනු පියවරයන් ඇතුලත් ය:
* “මූල්‍ය තත්වය ශක්තිමත් කිරීම සඳහා උපකාර වනු පිනිස බදු ආදායම් ඉහල දැමීම.” මේ සඳහා ප්‍රධාන බදු ප්‍රතිසංස්කරන යෝජනා කරනු ලැබ තිබේ. සංගත සඳහා ආදායම් බදු පදනම් පලල් කරන අතර, පුද්ගලික ආදායම් බද්ද “වඩා ප්‍රගතිශීලී” කිරීම සඳහා ජාමූඅ කැඳවුම් කරයි. මෙහි අර්ථය වන්නේ, කම්කරුවන් හා පහල ආදායම් උපයන්නන් ඇතුලත් වන පරිදි බදු දැල පුලුල් කිරීම යි. එකතු කල අගය මත බද්ද (වැට්) තව දුරටත් ඉහල දැමීම ද යෝජනා කර තිබේ. ඉන් සමාජයෙහි දුගී ම ස්ථරයන්ට අනිවාර්යයෙන් පහර වැදෙනු ඇත.
.
මෙම බදු වැඩිකිරීමේ ඉලක්කය වන්නේ, මේ වසරේ දී දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 9.8ක තක්සේරු ගත අයවැය හිඟය 2025 දී සියයට 2.5ක අතිරික්තයක් දක්වා නැංවීම සහතික වන පරිදි, ආදායම් සුවිශාල ලෙස ඉහල දමා ගැනීමයි.
හිඟයක සිට අතිරික්තයක් දක්වා එවන් ආපසු යාමක් වසර දෙකකින් ලඟා කරගත හැක්කේ, සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කෙරෙන ආන්ඩුවේ වියදම් පලල් ලෙස කපා දැමීම සමග බදු සුවිශාල ලෙස ඉහල දැමීම සහ බරපතල රැකියා විනාශ කිරීමක් මගින් රාජ්‍ය අංශය විශාල ලෙස කපාහෙලීමකින් පමනි.
* “රජයට අයත් ව්‍යවසායයන්ගෙන් (එස්ඕඊ) පැන නගින මූල්‍ය අවදානම් අඩු කිරීම පිනිස, ඉන්ධන සහ විදුලිබලය සඳහා වියදම අය කර ගැනීම මත පදනම් වන මිල නියම කිරීමක් හඳුන්වා දීම.”
ජාමූඅ කන්ඩායම, දැනට මත් ක්‍රියාවට දමා ඇති ආන්ඩුවේ මිල ඉහල දැමීම් ගැන “සතුට” ප්‍රකාශ කලහ. මෑත මාසවල දී ඉන්ධන මිල විශාල ලෙස ඉහල දැමීම්, බලශක්ති මිල ගනන් සියයට 75කින් හා ජල ගාස්තු සියයට 127කින් වැඩි කිරීම මේවාට ඇතුලත් වේ. ලෝක වෙලඳපොලේ මිල ගනන් සමගින් මිල ගනන් තවත් ඉහල දැමීමට නියමිත ය. රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම ද “ප්‍රතිසංස්කරන” න්‍යාය පත්‍රයෙහි කොටසකි.
* සමාජ වියදම් ඉහල දැමීම් මගින් දුගීන් හා අනාරක්ෂිත කොටස් මත වත්මන් අර්බුදයෙහි බලපෑම අවම කිරීම සහ සමාජ ආරක්ෂන ජාල වැඩසටහන්වල ආවරනය හා ඉලක්කය අභිවර්ධනය කිරීම.
මෙම ඊනියා අවම කිරීම සිදු කරන්ට යන්නේ වැඩකරන ජනයා මත බර පැටවීමෙනි. අනාරක්ෂිත කොටස් සඳහා සමාජ ආරක්ෂන ජාලයකට අරමුදල් සැපයීමට සියයට 2.3ක නව බද්දක් හඳුන්වා දීම සඳහා, ආන්ඩුව ඊයේ සමාජ ආරක්ෂක පනතක් ඉදිරිපත් කලේ ය. වෙනත් වචනවලින් කියතොත්, මිලියන ගනනකට බලපාන මංමුලා සහගත සමාජ අර්බුදයක් මධ්‍යයේ, ආන්තික දුගීන්ට සොච්චමක් සම්පාදනය කිරීම සඳහා නව බද්දක් පනවනු ලැබ ඇත. “ඉලක්ක කිරීම” යන්නෙන් අදහස් වන්නේ, කිසියම් සහනාධාරයක් ලබන පිරිස තවදුරටත් සීමා කිරීම යි.
* දත්ත අනුව ගනු ලබන මූල්‍ය පිලිවෙත් ක්‍රියාවන් සහ මූල්‍ය අංශය ශක්තිමත් කිරීම මගින් මිල ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම. මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා මහ බැංකුවට ස්වාධීනත්වය තිබිය යුතු ය.
එනම්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයෙහි විධානයන් සමග ගැලපෙන පරිදි පොලී අනුපාත හා මූල්‍ය පිලිවෙත සකස් කරන අතර, ආන්ඩුවේ පිලිවෙත් අනුකම්පා විරහිත ලෙස අධීක්ෂනය කිරීමේ දී ජාමූඅහි පොලිස් කාරයා ලෙස මහ බැංකුව ක්‍රියාත්මක විය යුතු ය. .
* වෙලඳපොල මගින් තීන්දු වන විනිමය අනුපාත පිලිවෙතක් ක්‍රියාවට දමනු ලැබිය යුතු ය.
මේ වසරේ දී මේ දක්වා දැනට මත් සියයට 80කින් අවප්‍රමානය වී ඇති ශ්‍රී ලංකා රුපියල මෙමගින් තව දුර අවප්‍රමානය වනු ඇත.
ජාමූඅ නිලධාරීන් දැක් වූ අදහස් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාවේ ආන්ඩුව කප්පාදු පියවරයන් වේගයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම නිසා මාන්ඩලික මට්ටමේ එකඟතාවකට එලඹුනු බව යි. ජූලි 14දා වික්‍රමසිංහ ජනාධිපති ධූරය භාරගත් තැන් පටන්, වැඩකරන ජනයාගේ ජීවන කොන්දේසි මත ප්‍රහාරය තීව්‍ර වී ඇත. සමාජ ප්‍රහාර ගැඹුරු කරමින්, පසුගිය සතියේ දී ඔහු වසරේ ඉතිරි කාලය සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කලේ ය.
“මූලික එකඟතාව, ශ්‍රී ලංකාවේ බලධාරීන් සර්වග්‍රාහී වූ ප්‍රතිසංස්කරන සිදු කිරීම සඳහා කැප වන බවට සංඥාවක්” හා “ගෙවීමේ හැකියාව පුනස්ථාපනය කරන බවට නය දෙන්නන්ට සහතික වීමක්” බව බ්‍රහස්පතින්දා කොලඹ දී මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකාවේ ජාමූඅ දුත මන්ඩලයේ ජ්‍යෙෂ්ට මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් කීවේ ය.
මෙම කැපවීමේ කොටසක් ලෙස, නොවැම්බරයේ දී ඉදිරිපත් කිරීමට නියමිත 2023 අයවැයේ දී, තවදුරටත් දැඩි පියවරයන් නිවේදනය කෙරෙනු ඇත.
ඩොලර් බිලියන 51ක් වන විදේශ නය ආපසු ගෙවීම ශ්‍රී ලංකාව අප්‍රේල් 12දා “තාවකාලික ව අත් හිටුවුයේය.” මේ වසරේ දී, ලංකාව ඩොලර් බිලියන 7ක් නය සේවා ලෙස යලි ගෙවිය යුතු ය.
ලංකාව කප්පාදු පියවරයන් ක්‍රියාවට දමමින් පවතින බවට ජාමූඅ තෘප්තිමත් වුවහොත් පමනක්, එය නයෙහි පලමු වාරිකය අනුමත කරනු ඇත. “සෑම වාරිකයක් ම ගෙවීමට පෙර විමර්ශනයක් සිදු කරන” බව ජාමූඅ නිලධාරී මසාහිරෝ නොසැක් අනතුරු ඇඟවී ය.
ප්‍රධාන වසයෙන් යුරෝපා සංගමය සහ ඉන්දියාව ඇතුලත් වන පැරිස් ක්ලබ් (පැරිස් සමාජ) රටවල්, ලංකාව ජාමුඅ සමග ඇතිකරගත් එකඟතාව සතුටින් අනුමත කලහ. චීනය ද ශ්‍රී ලංකාවේ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අනෙකුත් රටවල් සමග වැඩ කිරීමේ සූදානම ප්‍රකාශ කලේ ය. රටෙහි නය ප්‍රතිව්‍යුහකරනය සාකච්ඡා කරන ලෙස, ජපාන මුදල් ඇමති ෂුනිචි සුසුකි ශ්‍රී ලංකාවට නය දුන් රටවලට සිකුරාදා කැඳවුම් කලේ ය.
නය ප්‍රතිව්‍යුහගත කිරීම අනුව, නය හිමියන්ට ආපසු ගෙවන දින කල් දැමීම හෝ පොලී අනුපාතවල ඉතා කුඩා අඩුකිරීමක් කල හැකි ය. නමුත්, එසේ කරන්නේ නය සම්පූර්නයෙන් ආපසු ගෙවනු ලබන බව තහවුරු කිරීමට ය. මෙම ජාත්‍යන්තර මූල්‍යාධිපති මෝරුන්ට නය ආපසු ගෙවීම සඳහා, කොලඹ ආන්ඩුව දැනට මත් පීඩා විඳින කම්කරුවන් හා දුගීන් ඇටපොත්තට ම මිරිකා දැමිය යුතු ය.
ජාමූඅ එකඟතාව ගැන ප්‍රකාශයක් නිකුත් කල අගමැති දිනේශ් ගුනවර්ධන මෙසේ ප්‍රකාශ කලේ ය: “දශක කිහිපයක් තිස්සේ, අපි අපේ ඉතිරිකිරීම්වලට වඩා පරිභෝජනය කර තිබෙනවා. එම නිසා, අපේ නය යෝධ ප්‍රමානයන්ගෙන් ඉහල ගොස් තිබෙනවා...අනාගතයේ දී, මෙම අර්බුදයට තුඩු දුන් සාධකවලට පිලිතුරු සොයා ගැනීමේ දී අපට ප්‍රධාන කැප කිරීම් කිරීමට සිදු වෙනවා.”
රටෙහි යෝධ නයවලට වගකිව යුත්තේ කම්කරුවන් හා දුගීන් නො වේ. තම ලාභ පුම්බා ගැනීමට හා ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදයෙහි බලපෑම ඉවත ලීම සඳහා මෙම නය ලබා ගත්තේ ධනපති පන්තිය හා එහි අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් ය. ආර්ථිකය හා දිවයිනේ සමස්ත ප්‍රදේශ විනාශභාග් කල හා දශක තුනක් පැවති ලේවැකි දෙමල-විරෝධී යුද්ධයට නයවලින් විශාල කොටසක් වැයකරනු ලැබී ය.
රටෙහි ප්‍රධාන මහ ව්‍යාපාරික කන්ඩායම වන ලංකා වානිජ මන්ඩලය, ජාමූඅ න්‍යාය පත්‍රයට සිය සහයෝගය තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කලේ ය. අත ලඟ ඇති අර්බුදය වැලැක්වීමේ ද රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය ඇතුලු ව ලාභ උකහා ගැනීමේ නව මාවත් විවෘත කිරීමේ ද ක්‍රමයක් ලෙස සංගත ප්‍රභූව මෙම එකඟතාව දැකගනී.
පසුගිය සිකුරාදා අතුරු අයවැය සඳහා පැවති ඡන්ද විමසීම, විරුද්ධ පක්ෂ හා ආන්ඩුව පිලිබඳ ව ඔවුන් කරන විවේචනවල අමු කුහකත්වය හෙලිදරවු කලේ ය. අයවැය සම්මත කෙරුනේ, ආසන 225ක පාර්ලිමේන්තුවේ ඊට පක්ෂව ලැබුනු ඡන්ද 120 කිනි. විරුද්ධව වැටුනේ ඡන්ද පහක් පමනකි.
විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) ප්‍රකාශක තුෂාර ඉඳුනිල් අමරසේන මෙසේ ප්‍රකාශ කලේ ය: “පක්ෂයක් ලෙස, ජනාධිපති වික්‍රමසිංහගේ අයවැයට පක්ෂ හෝ විපක්ෂ නො වී, ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරනය කර තිබෙනවා.” එසේ කරන ලද්දේ, ජාමූඅ සමග සාකච්ඡා කඩාකප්පල් කිරීමට සජබට අවශ්‍ය නො වූ නිසා බව ඔහු විස්තර කලේ ය.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) අයවැයට විරුද්ධ ව ඡන්දය දුන්න ද, එහි මන්ත්‍රීවරු කිසිවෙක් ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහි ව කතා නො කල හ. අයවැය විවාදයේ දී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සරල ව “නව ජනවරමක්” සහිත “නව ආන්ඩුවක්” සඳහා කැඳවුම් කල අතර, එහි අර්ථය වන්නේ ජාමූඅ විධානයන් වඩා හොඳින් පැටවිය හැකි ආන්ඩුවක් පිහිටුවිය යුතුය යන්නයි.
දෙමල ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්. ඒ. සුමන්දිරන්, ජාමූඅ වැඩසටහන සමග එකඟවෙමින් මෙසේ කිවේය: “ජාමූඅ ආර්ථික ප්‍රතිසංස්කරන වැඩසටහන හා සාර්ව-ආර්ථික රාමුව සමග අයවැය සංගතික විය යුතු යි.”
ශ්‍රී ලංකාවේ පවතින පුපුරනසුලු සමාජ කොන්දේසි පිලිබඳ ව ජාත්‍යන්තර මූල්‍ය කවයන් තුල පවතින භීතිය ප්‍රකාශයට පත්කරමින්, ෆිච් රේටිං ආයතනය මෙසේ අනතුරු ඇඟවී ය: “දේශපාලන අස්ථාවරත්වය ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීමට අනතුරු මතු කරනු ඇත... විශේෂයෙන් ම ආන්ඩුවට පවතින මහජන සහයෝගය දුර්වල ව ඇති තතු යටතේ, මහජන විරුද්ධත්වය වැලැක්වීමට අතිරේක සමාජ වියදම් ප්‍රමානවත් නො වනු ඇත...”
පසුගිය අප්‍රේල් මාසයේ පටන්, කම්කරුවන් හා දුගීන් මිලියන ගනනක් සහභාගි වූ විරෝධතා හා වැඩ වර්ජනවලින් ශ්‍රී ලංකාව ඇලලී ගියේ ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස මෙන් ම, ඉහවහා යන උද්ධමනය, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය සහ දීර්ඝ විදුලි කප්පාදුව අවසන් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිය හ. යෝධ විරෝධතා මධ්‍යයේ, රාජපක්ෂ රටින් පලා ගියේ ය.
එහෙත්, එම මහජන ව්‍යාපාරයේ පරිමාව කොටු කිරීමට හා අන්තර්-කාලීන සර්ව-පාක්ෂික ධනපති ආන්ඩුවක් සඳහා වන ඉල්ලීමට යට කිරීමට සියල්ල කල වෘත්තීය සමිති, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙහි ද පිටුබලය සහිත ව එය පාවාදුන් හ. ප්‍රතිඵලය වී ඇත්තේ, විරුද්ධ පක්ෂවල සහයෝගය සහිත ව, වැඩකරන ජනයා මත තව තවත් රුදුරු බර පැටවීම ක්‍රියාවට දමමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුව බලයට ඒමයි.
පලල් මහජනයා අතර කෝපය යලි වරක් ලියලමින් තිබෙන බව, ලංකාවේ පාලක පන්තිය සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝජිතයෝ හොඳින් දනිති. බලයට පැමිනි තැන් පටන්, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට මතට පොලිස් හා මිලිටරි මර්දනය කඩා පැන්නවීමට වික්‍රමසිංහ ක්‍රියා කලේ ය. සිය ගනනක් දෙනා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. විරෝධතාවේ යෙදුනු ශිෂ්‍යයන්ට ම්ලේච්ඡ පොලිස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගනිමින්, වික්‍රමසිංහ ශිෂ්‍ය නායකයන් තිදෙනෙකු රැඳවුම් කඳවුරු වෙත යැව්වේ ය.
තමන්ගේ ම පන්ති විධික්‍රම යොදාගනිමින් හා ගම්බද දුගීන් රැලි කරගනිමින්, කම්කරු පන්තිය මෙම කප්පාදු ධාවනයට එරෙහි ප්‍රතිප්‍රහාරය සූදානම් කල යුතු ය. සිය සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට, ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව වැඩපොලවල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට හා ගම්බද ජනයාට කැඳවුම් කරයි.
මෙම ක්‍රියාකාරී කමිටුවලින් තෝරාගත් නියෝජිතයන් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට, සසප උද්ඝෝෂනය කරමින් සිටී. කම්කරුවන් හා ගම්බද දුගීන් මෙම අරගලය තුල බලමුලු ගැන්වීම, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන දේශපාලන සටනට පදනම දමනු ඇත.
