ව්‍යාජ-වාම පෙසප යූඑන්එච්ආර්සීය තුල අධිරාජ්‍යවාදීන්ගේ උපාමාරුවලට පිටුබලය දෙයි

(මෙහි පලවන්නේ ඔක්තෝබර් 3 දින Sri Lankan pseudo-left FSP backs imperialist manoeuvring at the UNHRC යන මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි.)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මූලික නායකයෙක් වන නුවන් බෝපගේ, සැප්තැම්බර් 12දා දැනට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) අමතා කතා කලේ ය.

පෙසප පාලනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) නියෝජනය කරමින් එම රැස්වීමට බෝපගේ සම්බන්ධවූයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව යටතේ ලංකාව තුල සිදු කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉස්මතු කිරීම සඳහා බව ප්‍රකාශ විය. පෙසප තම වෙබ් අඩවිය තුල, බෝපගේ “සහෝදරයාගේ” මැදිහත් වීම උද්දාමයෙන් යුතු ව වාර්තා කලේ ය.

නුවන් බෝපගේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) අමතයි [ඡායාරූපය: ට්විටර්] [Photo: Twitter]



පෙසප මැදිහත් වීම වනාහි, චීනය සමග තම මූලෝපායික ගැටුම සමග පෙලගැසෙන ලෙස වොෂින්ටනය කොලඹ ආන්ඩුව මත පීඩනය යෙදීමේ කඩතුරාවක් ලෙස ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යොදා ගැනීමත් සමග එකතු වීමකි.

යූඑන්එච්ආර්සී සැසිය, එහි මහ කොමසාරිස්ගේ වාර්තාවක් සහ එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය නායකත්වය දෙන රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරන වාර්තාවක් සාකච්ඡාවට ගෙන ඇත. ලංකාවේ “යුද අපරාධ” සහ “ආර්ථික අපරාධ” පිලිබඳ විමර්ශනයක් ඉල්ලා සිටින එම යෝජනාව ඔක්තෝබර් 6 දා ඡන්දයට දැමීමට නියමිත ය. පෙසප කිසිවිටක මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර නැතුවා පමනක් නොව ඊට යටින් ඇති අරමුනු ගැන නිහඬ ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස් වන ලෙස බල කරමින් පැනනැගුනු දැවැන්ත මහජන විරෝධතා මධ්‍යයේ ඔහු ජූලි 13දා රටින් පලා යද්දී, තරයේ ම වෛරයට පාත්‍ර වී සිටින වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති තනතුරට පත් කිරීමට ක්‍රියා කලේ ය. අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසින් ජූලි 21දා පැවැත්වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඡන්දයකින් වික්‍රමසිංහ ජනාධිපති තනතුරේ ස්ථාපිත කරන ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලය වාඩිලාගෙන සිටි පුද්ගලයන් ප්‍රචන්ඩ බලය යොදා ඉවත් කරන ලෙස පොලීසියට හා මිලිටරියට අන දෙමින්, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එරෙහිව කඩාපැනීම ක්ෂනිකව ම තීව්‍ර කිරීමට වික්‍රමසිංහ පියවර ගත්තේ ය. අගෝස්තු මාසයේ පැවති අවිශිබම සංවිධානය කල විරෝධතාවන්ට ද පොලිස් ප්‍රහාර මුදාහැරුනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ, අවිශිබම කැඳවුම්කරු හා තවත් ක්‍රියාධරයන් දෙදෙනෙකු දින 90කට රඳවා ගැනීමේ නියෝගයක්, අගෝස්තු 22දා වික්‍රමසිංහ නිකුත් කලේ ය.

අහස උසට නගිමින් පවතින මිල ගනන් සහ ඉන්ධන, ආහාර හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන්ට එරෙහිව, කම්කරුවන් හා ගම්බද ජනයා අතර පැතිර යමින් පවතින පලල් විරුද්ධත්වය තලා දැමීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටියි. මිලියන ගනන් ජනයා මුහුන දෙන තියුනු සමාජ අර්බුදය තීව්‍ර කිරීමට තුඩු දෙන නය ගිවිසුමකට ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග අත්සන් තබා ඇත.

වික්‍රමසිංහ පාලන තන්ත්‍රයේ මර්දනයට හා ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහි ව කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන කර බලමුලු ගැන්වීමට පෙසප විරුද්ධ ය. ඒ වෙනුවට එය යූඑන්එච්ආර්සී වෙත හැරී වොෂින්ටනයේ නරුම “මානව හිමිකම්” උද්ඝෝෂනයට පැහැදිලිව ම සහයෝගය දෙන අතර ජාමූඅ වැඩසටහනයට සහයෝගය දෙන ලංකාවේ විරුද්ධ පක්ෂ සමග සන්ධානයක් ගොඩනගා ගනිමින් සිටී.

යුද අපරාධ, ආර්ථික අපරාධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ කොලඹ ආන්ඩුවේ “වගවීමක්” නැති කම, යූඑන්එච්ආර්සී අමතා කල ලුහුඬු කතාවේ දී, බෝපෙග් පෙන්වා දුන්නේය. රට තුල විමර්ශනයක් කිරීමට හා මානව හිමිකම් තහවුරු කිරීමට, කවුන්සිලය “පවතින පියවරයන් ශක්තිමත් කරමින් නව ආරම්භකත්වයන් අනුගමනය කල යුතුයි,' ඔහු කියා සිටියේය.

සිය භූ-මූලෝපායික අවශ්‍යතාවන් අභික්‍රමනය කිරීම සඳහා යූඑච්එන්ආර්සීය යොදා ගන්නා වූත් ගනන් නැති ලේවැකි යුද අපරාධවලට ඍජු ව වගකීම දරන්නා වූත් එක්සත් ජනපදය ආවරනය කිරීමට පෙසප හිතාමතාම ක්‍රියා කරයි.

2009 මැයි මාසයේ අවසන් වූ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි 26-අවුරුදු වාර්ගික යුද්ධය සමයේ, ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු යුද අපරාධවලට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීම්වලට වගකිව යුතු බව සත්‍යයකි.

යුද්ධයේ අවසන් සති කිහිපයේ දී, එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා හා ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජාතීන්ගේ තක්සේරු කිරීම්වලට අනුව, අවම වසයෙන් දෙමල සිවිල් වැසියන් 40,000ක් ඝාතනය හා තවත් සිය ගනනක් අතුරුදන් කිරීම අධීක්ෂනය කල හ.

යුද්ධයෙන් පසුව, බෙයිජිනය සමග සබඳතා බිඳ දමන ලෙස මහින්ද රාජපක්ෂට පීඩනය යෙදීම පිනිස, වොෂින්ටනය යූඑන්එච්ආර්සීයට යෝජනා කිහිපයක් ම ඉදිරිපත් කලේය. ඔහුගේ ආන්ඩුව චීනයෙන් ලැබෙන අරමුදල් හා ආයුධ මත රඳා සිටීමටත්, චීනය සමග පැවැත්වූ සබඳතාවන්ටත් තරයේ ම විරුද්ධ වූ වොෂින්ටනයට උවමනා වූයේ ලංකාව එක්සත් ජනපදයේ මූලෝපායික කක්ෂය තුලට ගෙන ඒමයි.

මෙම ප්‍රයත්නයන් අසාර්ථක වූ තැන, වික්‍රමසිංහගේ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සහයෝගය සහිත ව, 2015 දී තන්ත්‍ර-මාරු මෙහෙයුමකට වොෂින්ටනය අනුග්‍රහය දුන්නේ, මහින්ද රාජපක්ෂ ඉවත් කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පත් කිරීමට ය. සිරිසේන-වික්‍රමසිංහ පාලන තන්ත්‍රය, ලංකාවේ විදෙස් පිලිවෙත සැලකිය යුතු ලෙස වොෂින්ටනය දෙසට මාරු කලේ ය.

2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ඒමෙන් පසු, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ලංකාව පිලිබඳ තවත් දැඩි යෝජනාවකට අනුග්‍රහය දුන් අතර, එය පසුගිය වසරේ මාර්තු මාසයේ දී සම්මත විය. මෙම යෝජනාව වර්තමානයේ යූඑන්එච්ආර්සී සැසිය තුල සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. රාජපක්ෂ තව දුරටත් බලයේ නැතත්, රාජපක්ෂලා කිසිදු ආකාරයකින් යලි බලයට ඒම වැලැක්වීමට එක්සත් ජනපදය උත්සාහ කරමින් සිටී. එක්සත් ජනපද-ගැති වික්‍රමසිංහ ජනාධිපති වුවත්, දේශපාලනිකව ජීවිතය බේරාගැනීමට ඔහු රාජපක්ෂගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට හේත්තුවී සිටියි.

පෙසප නායකයෝ, වාර්ගික යුද්ධයට මුලුමනින් පිටුබලය දුන් සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සාමාජිකයෝ වූ හ. කම්කරුවන් ද විශේෂයෙන් තරුනයන් ද අතර ජවිපෙ පලල් ලෙස අපකීර්තියට පත් වූ විට, ඉන් බිඳී වෙන් වුනු ඔවුහු 2012 දී පෙසප සංවිධානය කල හ. සිය සමාජවාදී වාගාලාප දෙඩවීම් පසෙක තබා, රාජපක්ෂ ආන්ඩුවේ සියලු යුද අපරාධවලට පැටලී සිටි සිරිසේන බලයට ගෙන ඒමට 2015 දී එක්සත් ජනපදය සැලසුම් කල තන්ත්‍ර-මාරු මෙහෙයුමට පෙසප පිටුබලය දුන්නේ ය.

පෙසප යූඑන්එච්ආර්සී වෙත හැරීම අර්ථභාරී සංසිද්ධියකි. එයින් සනිටුහන් වන්නේ, ලංකාවේත් ජාත්‍යන්තර වත් කම්කරු පන්තියේ අරගල තියුනු ලෙස පුනර්ජීවනය වීමට ප්‍රතිචාර ලෙස, මෙම පක්ෂය කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල තවත් දකුනට මාරු වීමයි.

ගෝලීය ධනවාදී අර්බුදය විසින් නිෂ්පන්න වූ සමාජ ව්‍යසනයකට ප්‍රතිචාර ලෙස, අප්‍රේල් මාසයේ පටන් මිලියන ගනන් කම්කරුවෝ හා දුගීහු, යෝධ විරෝධතා හා වැඩ වර්ජනවල නියැලුනාහ. මෙම මහජන නැගිටීම හේතුවෙන් පාලක පන්තිය මෙන්ම වෘත්තීය සමිති සහ විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම් භීතියෙන් සැලී ගියහ.

අප්‍රේල් හා මැයි මාසවල එක් දින මහා වැඩ වර්ජන තුලට මෙම මහජන විරුද්ධත්වය අපසරනය කිරීමටත්, විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) හා ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලද අන්තර්-වාර ධනපති පාලන තන්ත්‍රයක් සඳහා වූ ඉල්ලීමට එය යටත් කිරීමටත්, පෙසප වෘත්තීය සමිති පෙරමුනු සමග සමීප ව එක් වී කටයුතු කලේය. ජවිපෙ හා පෙසප වෘත්තීය සමිති, මෙම වෘත්තීය සමිති පෙරමුනුවල කොටසක් වූ හ.

රාජපක්ෂ පාලනයට එරෙහි ව කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වැලැක්වීම මගින්, පෙසප හා වෘත්තීය සමිති වික්‍රමසිංහට බලයට ඒමට පාර කැපූ හ. දැන් පෙසප විරුද්ධ පක්ෂ සමග පෙලගැසෙමින් සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යාජ උද්ඝෝෂනයක් ගෙන යාමට යි.

අගොස්තු මාසයේ, වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාරය (වෘසබජ) විසින් කැඳවූ සම්මන්ත්‍රනයකට පෙසප සහභාගි විය. පෙසප වෘත්තීය සමිති ද වෘසබජ කොටස්කරුවෝ වෙති. මෙම අවස්ථාවට ආරාධනා ලද්දන් අතර, එක්සත් රාජධානිය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව ඇතුලු අධිරාජ්‍යවාදී නියෝජිතයෝ මෙන් ම, සජබ, ජවිපෙ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමල ජාතික සන්ධානය යන විරුද්ධ පක්ෂවල නියෝජිතයෝ ද වූ හ.

ඒකාබද්ධ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැස්වීම.

මෙම ප්‍රතිගාමී පෙලගැසීමට සිය පක්ෂයේ සම්පූර්න සහයෝගය ලැබෙන බව පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සපථ කලේ මෙසේය: “මෙම මර්දනයට එරෙහි සියලු බලවේග පොදු වේදිකාවකට ගෙන ඒමට අපේ උපරිම සහයෝගය දෙන බවට පෙසප පොරොන්දු වෙනවා.”

සජබ හා ජවිපෙ ද ආරාධනා ලැබ සිටි, අවිශිබම සංවිධානය කරන ලද රැස්වීමකට සැප්තැම්බර් 16 දා පෙසප සහභාගි විය. මෑත දී සංවිධානය කෙරුනු උත්තර ලංකා සභාගය ද එයට සහභාගි විය. පැවති රාජපක්ෂ පාලන තන්ත්‍රයේ ඇමතිවරු වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල නායකත්වය දෙන සිංහල ස්වෝත්තමාවදී කන්ඩායම් මෙම සංවිධානයට ඇතුලත් වෙති.

සජබ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා, පුද්ගලික මට්ටමින් සහභාගී වන බව කියමින් රැස්වීම ඇමතුවේ ය. යුද්ධයේ අවසන් වසරවල හමුදාපතිවරයා වූ ෆොන්සේකා අවසාන මාසවල දී, සිවිල් වැසියන් දසදහස් ගනනක් ඝාතනය කල මෙහෙයුම් අධීක්ෂනය කලේය. රැස්වීම ගැන උද්දාමයට පත්ව සිටි ඔහු අවිශිබම හා පෙසප උත්කර්ෂයට නංවමින්, එම ව්‍යාපාරය ගොඩනගන ලෙස වෘත්තිකයන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. “පොලීසියෙන් සියයට 90ක් විතර ඉන්නේ අපිත් එක්ක. මිලිටරියෙන් සියයට 98ක් ම අපිත් එක්ක ඉන්නවා” යි ඔහු ප්‍රකාශ කලේ ය.

පෙසප වැලඳ ගනිමින් සිටින දක්ෂිනාංශික බලවේග එබඳු ය.

පෙසප නායක පුබුදු ජයගොඩ මෙසේ ප්‍රකාශ කලේ ය: “නව නායකයන් බිහිවෙමින් සිටිනවා. සියලු දෙනා එකමුතු වෙමින් සිටිනවා. ඒකට උදාහරනය මේ වේදිකාව යි. මේ සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා මහජන සංවිධාන එකමුතු වී සිටිනවා.” ඔහු මෙසේ ද කීවේ ය: “මෙම මහජන බලවේගය හුදෙක් ශිෂ්‍ය නායකයන් නිදහස් කරගැනීමෙන් නො නැවතී, මෙම මහජන-විරෝධී, සමාජ-විරෝධී කන්ඩායම් හිරගෙදරට යැවීමට මහජන බලයක් ගොඩනගනවා.”

මර්දනකාරී වික්‍රමසිංහ පාලනය පලවා හැරීමට තමන් “මහජන ව්‍යාපාරයක්” ගොඩනගමින් සිටින බව පෙසප කියාපායි. යතාර්ථයේ දී නම්, එය සිදු කරමින් සිටින්නේ, මර්දනය හා කප්පාදු පිලිබඳ එබඳුම රුදුරු වාර්තාවක් සහිත ධනපති පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී සලුපිලි අන්දවා පෙරට වැඩමවීම යි . සජබ හා ජවිපෙ යන දෙක ම ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට කැප වී සිටිති. මෙම පක්ෂවල ආන්ඩුවක් ක්‍රියා කරනු ඇත්තේ, වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට ප්‍රහාර එල්ල කිරීමේ දී වික්‍රමසිංහ තරම් ම රුදුරු ලෙස ය.

මෙම ව්‍යාජ-වාම කන්ඩායම නියෝජනය කරන්නේ, සමාජයෙහි ඉහල මධ්‍යම-පන්තික කොටස් ය. සමාජවාදී පිලිවෙත් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට එහි හතුරුකම ගලා එන්නේ, ලාභ පද්ධතිය කෙරෙහි එය තුල පවතින කැපවීමෙනි.

පෙසපයේ ඊනියා මහජන ව්‍යාපාරය ප්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලයි. එය වනාහි, ආඥාදායක පාලනයට දොර විවෘත කිරීමට පමනක් තුඩු දෙන අයුරු, වැඩකරන ජනයා දේශපාලන සංස්ථාපිතය පිටුපස ගාල් කිරීමට අටවන දේශපාලන උගුලකි. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වෙමින් හා සමාජවාදය සඳහා සටන් කිරීමෙන් පමනක් කම්කරු පන්තියට එහි ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගත හැකි ය.

කම්කරු පන්තිය තීන්දු තීරන ගැනීමේ අයිතිය තමන්ගේ ම අතට ගතයුතු ය. වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ව, සෑම වැඩපොලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරුවන්ට කැඳවුම් කරයි. තම ජීවන කොන්දේසි මත ඒ හා සමාන ප්‍රහාරයන්ට මුහුන දෙමින් සිටින ගම්බද ජනයාගෙන් ද අප ඉල්ලා සිටින්නේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් මෙම අරගලය වටා රැලි වන ලෙසයි.

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එල්ල කෙරෙන් ප්‍රහාර වල මූලය අර්බුද ග්‍රස්ත ධනවාදය යි. බැංකු, මහා සමාගම් හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සහ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම ඇතුලු මෙම අයිතීන් රැකගැනීමට පවතින එක ම පිලිතුර වන සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කරන ලෙස සසප කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරන්නේ මේ නිසා ය.

පාලක පන්තියේ ප්‍රතිගාමී දේශපාලන උපාමාරුවලට විරුද්ධ ව සසප කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත. ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාපත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වන මෙම සම්මේලනය සසප විසින් යෝජනා කරනු ලැබ ඇත්තේ, මහජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීමටත්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය පෙරට ගැනීමටත්, සමාජවාදී පිලිවෙත් සඳහා සටන් වැදීමත් පිනිස ය.

මෙම විප්ලවවාදී ක්‍රියා මාර්ගය සඳහා සටන් කිරීමට සසපට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading