ඉදිරිදර්ශන

ධනපති පක්ෂ-වෘත්තීය සමිති පෙරමුනු එපා! ආන්ඩුවේ-ජාමූඅ කප්පාදු පියවර පරාජය කරමු! කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනඟමු!

[මෙය No to capitalist party-trade union fronts! Defeat government-IMF austerity measures! Build a Democratic and Socialist Congress of Workers and Rural Masses! යන මැයෙන් 2022 නොවැම්බර් 02 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන්ට අනුව, තම සමාජ හා ජීවන කොන්දේසි මත ආන්ඩුව එල්ල කරන රුදුරු ප්‍රහාරයන්ට එරෙහිව සටන් වැද සිටින කම්කරුවන් සමග ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) එකට සිටී.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට නය ආපසු ගෙවීමට සහ මහා ව්‍යාපාරිකයන්ගේ සුපිරි ලාබ ආරක්ෂා කිරීමට මුදල් ඇද ගැනීම සඳහා කම්කරුවන් හා දුගීන් මිරිකා දැමීම ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ අරමුනයි.

ආන්ඩුවට, විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම හෙන්චයියන්ට එරෙහි ව, සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තීන්දු තීරන ගැනීම තම අතට ගන්නා ලෙස සහ තම මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරනු වස්, වැඩපොලවල, කම්හල්වල, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසයි. එසේ කරන ලෙස ගම්බද වැඩ කරන ජනයාට ද අපි කැඳවුම් කරමු.

විරෝධතාකරුවන්, 2022 ජූලි 9 සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි ජනාධිපති නිල නිවස දෙසට දිවෙන වීදියක රැස් ව සිටිති. (AP Photo/Amitha Thennakoon) [AP Photo/Amitha Thennakoon]

තම පන්ති අවශ්‍යතා සඳහා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේ දේශපාලන පදනම ලෙස ක්‍රියාකාරී කමිටුවලින් තෝරා පත් කරගත් නියෝජිතයින් මත පාදක වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට ජුලි 20 දා සසප කම්කරුවන්ට හා දුගීන්ට කැඳවීමක් කලේ ය.

වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධ වන බවට ව්‍යාජ ලෙස කියාපාන විරුද්ධ පක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග ඇති සන්ධානය ප‍්‍රතික්ෂේප කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ආන්ඩුව මෙන් ම, මෙම සියලු පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වම ජාමූඅ ප්‍රතිපත්තිවලට කැප වී සිටින අතර මහජනයා තුල වැඩෙන නොසන්සුන්තාවය පීලි පැන්නවීමට හා යටපත් කිරීමට ක්‍රියාශීලී ව යත්න දරයි.

“ජාමූඅ හැර වෙනත් විකල්පයක් නැත” යන මන්ත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුනරුච්චාරනය කරයි. දින කිහිපයකට පෙර ඔහු ප්‍රකාශ කලේ “අමාරු කාලයන් නොවැලැක්විය හැකි” බවයි. දරාගත නොහැකි උද්ධමනය, විරැකියාව සහ මූලික ආහාර සහ ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ හිඟය හේතුවෙන් බොහෝ දෙනා දැනටමත් ආහාර වේල් මඟහරිමින් හෝ අඩු කරමින් සිටින බැවින්, ඔහු කතා කරන භයානක කාලය කෙසේ වේදැයි කම්කරුවන්ට සහ දුප්පතුන්ට සිතාගත හැකි ය.

ජාතික වශයෙන් ගත් කල, සැප්තැම්බර් මාසයේ දී ආහාර උද්ධමනය සියයට 102 ක් සහිත ව සමස්ත උද්ධමනය සියයට 75 දක්වා ලඟා වීමත් සමඟ, වැටුප්වල සහ ගම්බද දුගීන්ගේ සොච්චම් ආදායම්වල සැබෑ වටිනාකම තියුනු ලෙස පහත වැටී ඇත. ලෝක බැංකුව වාර්තා කලේ, ඔක්තෝබර් මාසය වන විට දරිද්‍රතාවය වසරක් තුල දෙගුනයකට ආසන්න ව සියයට 25.6 දක්වා වැඩි වී ඇති බවයි. දරිද්‍රතා රේඛාවට පහලින් සිටින සංඛ්‍යාව ජනගහනයෙන් සියයට 45 ක් තරම් ඉහල මට්ටමක බව පේරාදෙනිය විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි. මේ වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හැකිලීම සියයට 9.2 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, තවත් රැකියා මිලියන භාගයක් විනාශ කිරීමත් සහිත ව එය ලබන වසර පුරා දිගට ම පවතිනු ඇත. ධනපති පන්තිය වැඩකරන ජනතාව මත පටවා ඇති බර මෙයයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම, කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් උග්‍ර වූ ගෝලීය ආර්ථික අර්බුදයේ කොටසකි. උද්ධමනයට එරෙහි ව සටන් කිරීමේ කඩතුරාව මත මහ බැංකු විසින් පොලී අනුපාත ඉහල දැමීම, ශ්‍රී ලංකාව වැනි රටවල් මුහුන දෙන නය අර්බුදය තවත් උග්‍ර කරයි.

කම්කරුවන් අතර නොසන්සුන්තාව වර්ධනය වී ඇති හෙයින්, විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ වම කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන අරගලයක් පීලි පැන්නවීම හා මැඩලීම සඳහා ඔවුන්ගේ උත්සාහයන් තීව්‍ර කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා, වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (වෘසසම) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන ඒකාබද්ධ මහජන ව්‍යාපාරය විසින් කම්කරුවන්ට දීමනාවක් ලබා දෙන ලෙස, උද්ධමනය අඩු කරන ලෙස සහ රාජ්‍ය මර්දනය අවසන් කරන ලෙස ආන්ඩුවට බල කරමින් මහජන විරෝධතාවක් පැවැත් වීය. ජවිපෙ සහ වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කලේ, එක ම විසඳුම වනුයේ “ආන්ඩුව පලවා හැරීම” සහ නව ආන්ඩුවක් පත් කර ගැනීම සඳහා “මහ මැතිවරනයක්” පැවැත්වීම බවයි.

නොවැම්බර් 2 දා, සජබහි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහාය ඇති ව, ඊට සමාන ඉල්ලීම් ඉදිරිපත් කරමින් සමහර වෘත්තීය සමිති විසින් කොලඹ දී තවත් රැලියක් පවත්වනු ඇත. පෙසප සහ එහි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) මෙම පෙරමුන සංවිධානය කිරීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ, මෙය “වික්‍රමසිංහ සහ ආන්ඩුව නෙරපා හැරීමේ පලමු පියවර” වනු ඇති බව පවසමිනි.

.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පාවා දෙමින් ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ධනේශ්වර ශ්‍රීලනිපය සමග සභාග ආන්ඩුවකට ඇතුලු වූ 1964 සිට කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට එවන් පන්ති සහයෝගීතා පෙරමුනු පිලිබඳ කටුක අත්දැකීම් ඇත. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද දශක තුනකට ආසන්න වාර්ගික යුද්ධය තුලින් මෙන් ම, 1971 සහ 1988-90 දී සිංහල ග්‍රාමීය තරුනයින්ට එරෙහි ව ගෙනගිය ලේ වැකි මර්දන දෙකක් හරහා ඔවුන් ගමන් කර තිබේ.

ජවිපෙ සහ සජබ, වෘත්තීය සමිති සහ “වමේ” සහාය ඇති ව නව ආන්ඩුවක් පිහිටුවීමට මහ මැතිවරනයක් සඳහා උද්ඝෝෂනය කරයි. කුමක් සඳහා ද? ඔවුන් කියා සිටින්නේ, වික්‍රමසිංහට එසේ කිරීමට නීත්‍යානුකූල භාවයක් නොමැති බවත්, ඔවුන් ගොඩනගන එවන් ආන්ඩුවකට ජාමූඅ ම්ලේච්ඡ ප්‍රහාර ජීවන කොන්දේසි මත පැටවිය හැකි බවත් ය. ආන්ඩුව පිලිබඳ විරුද්ධ පක්ෂ වල විවේචන කුමක් වුවත්, හදිසි ආර්ථික සහන සඳහා ජාමූඅ කුරිරු කොන්දේසි පිලිගැනීම හැරුනු කොට වෙනත් විකල්පයක් නොමැති බව සම්බන්ධයෙන් ඔවුන් වික්‍රමසිංහ සමග එකඟ ය. විධායක ජනාධිපති ක‍්‍රමයට මතුපිට වෙනස්කම් සිදුකිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙම පක්ෂ පසුගිය සතියේ ආන්ඩුව සමග එක් වූ නමුත් එහි අතිමහත් ඒකාධිපති බලතල රඳවා තබා ගත්තේ ය.

කම්කරුවන් අප්‍රේල් සිට ජූලි දක්වා මහජන නැගිටීමේ දේශපාලන පාඩම් උකහා ගත යුතු ය. ආර්ථික අර්බුදයෙන් බැට කන මිලියන සංඛ්‍යාත කම්කරුවන්, දුගීන් සහ අනෙකුත් කොටස්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්විය යුතු බවට සහ රටේ ව්‍යසනකාරී සමාජ තත්වයන් අවසන් කිරීමට බලකිරීමේ අධිෂ්ඨානශීලී ව්‍යාපාරයකට සම්බන්ධ වූහ. මෙම දැවැන්ත විරෝධතා මධ්‍යයේ අගමැති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව බිඳ වැටුනු අතර ඔහුගේ සහෝදර ගෝඨාභයට රටින් පැන ගොස් ඉල්ලා අස්වීමට සිදු විය.

කෙසේ වෙතත්—අද වික‍්‍රමසිංහ තන්ත‍්‍රයට එරෙහි ව සටන් කරන බව කියන—එම වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම කන්ඩායම්, අප්‍රේල් 28 සහ මැයි 6 එක්දින වැඩවර්ජනවලට කාර්මික ක‍්‍රියාමාර්ගය හිතාමතාම සීමා කර, අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවකට සහ එමගින් කම්කරු පන්තියේ ඕනෑ ම ස්වාධීන දේශපාලන අරගලයක් අවහිර කරන ජවිපෙ සහ සජබ ඉල්ලීම්වලට සහාය දැක්වීමට ඔවුන්ව යටත් කලහ. මෙම පාවා දීම, දක්ෂිනාංශික ආන්ඩුවට නව ප්‍රධානියෙකු, එනම්,කෘතහස්ත ජාමූඅ කප්පාදු පැටවීමේ කප්පිත්තෙකු සහ එක්සත් ජනපද අන්තේවාසිකයෙකු වන වික‍්‍රමසිංහ සමග ඉදිරියට යාමට මග පෑදී ය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, වික්‍රමසිංහ, ඕනෑම විරුද්ධත්වයක් මැඩපැවැත්වීම සඳහා වැඩි වැඩියෙන් සිය අත්තනෝමතික බලතල භාවිතා කර ඇත. ඔහු ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව මිලිටරි-පොලිස් මර්දනයකට නියෝග කලේ ය; ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ අවිශිබම ක්‍රියාකාරීන්ගේ රැඳවුම් නියෝග අත්සන් කලේ ය; කම්කරුවන්ගේ අරගලවලට එරෙහිව අත්‍යවශ්‍ය මහජන සේවා පනත භාවිතා කලේය.

එපමනක් නොව, වික්‍රමසිංහගේ සෘජු සහයෝගය ඇතිව, ගැඹුරින්ම අපකීර්තියට පත් වූ රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) යලි නැගිටීමට සහ ඕනෑ ම මැතිවරනයක් 2025 දක්වා කල් දැමීමට උත්සාහ කරයි.

තවද, නොවැම්බර් 2 විරෝධතාවලට සහය දක්වමින් පෙසප නායක දුමින්ද නාගමුව මෙසේ ප්‍රකාශ කලේය: “රාජපක්ෂලාගේ උත්සාහයන් පරාජය කිරීමට විරුද්ධ පක්ෂ එකට වැඩ නොකලහොත් ඔවුන් යලි නැගිටිනු ඇත.” යථාර්ථයේ දී, මහජන ව්‍යාපාරය පීලි පැන්නවීමට හා රාජපක්ෂලාට යලි හිස එසවීම සඳහා ඉඩ සැලසීමට සෘජු ව ම වගකිව යුත්තේ පෙසප සහ එහි ධනේශ්වර සහචරයින් සහ වෘත්තීය සමිති ය.

රාජපක්ෂලාට සාපේක්ෂ ව සජබ සහ ජවිපෙ “අඩු නපුර” බවට පෙසප සහ අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් කරන ප්‍රකාශය බොරුවකි. විරුද්ධ පක්ෂ පිහිටුවන ඕනෑ ම ආන්ඩුවක් ධනවාදය ආරක්ෂා කිරීමට සේවය කරනු ඇත්තේ වැඩ කරන ජනතාව මත නව බර පටවමින් සහ කම්කරු පන්තියේ ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කරමිනි.

කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයේ හා දේශපාලන ඉදිරිදර්ශනයේ ඌනතාවයෙන් මතුවන අන්තරාය මෙම වසරේ මහජන නැගිටීම විසින් තියුනු ලෙස හෙලිදරව් කර ඇත. සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, මෙම නායකත්වය සැපයීම සඳහා අඛන්ඩව සටන් කර ඇත. ධනේශ්වර රාමුව තුල කම්කරුවන් හා දුගීන් මුහුන දෙන දැවැන්ත සමාජ ගැටලු වලට විසඳුමක් නොමැති බව අපි අවධාරනය කරමු.

කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු, ඔවුන්ගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා පහත ඉල්ලීම් සඳහා සටන් කල යුතු බවට සසප යෝජනා කරයි:

* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු ඉල්ලීම් එපා!

* බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය අත්පත් කර ගනු!

* වැඩකරන ජනතාවගේ ජීවිත සඳහා තීරනාත්මක සියලුම අත්‍යාවශ්‍ය භාන්ඩ සහ අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා! බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

* දිලිඳු හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලුම නය අවලංගු කරනු! ගොවීන් සඳහා පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර නැවත ලබා දෙනු!

* යහපත් සහ ආරක්ෂිත සේවා කොන්දේසි සහිතව සැමට රැකියා සුරක්ෂිත කරනු! ජීවන වියදමට අනුව ඉහල යන වැටුප්!

අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු සහ ඔවුන්ගේ කොල්ලකාරී ජාත්‍යන්තර මූල්‍ය උපදේශකයින් විසින් මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව ජීවමාන නිරයකට ඇද දමමින් සිටින බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම දැවෙන අවශ්‍යතාවයකි.

කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන අපගේ කැඳවීම, කම්කරු පන්තියට සිය බලවේග තහවුරු කර ගැනීමටත්, සමාජවාදී පිලිවෙත් මත සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැපවීගත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේම පාලනයක් ස්ථාපිත කිරීම සඳහා ග්‍රාමීය ජනතාවගේ සහයෝගය ඇති ව ඉදිරියට යාමටත් දේශපාලන මූලෝපායක් සම්පාදනය කරයි.

කම්කරු පන්තියට වික‍්‍රමසිංහ තන්ත‍්‍රයේ මෙන්ම විරුද්ධ පක්ෂවල ද ප‍්‍රතිගාමී උපාමාරු පරාජය කල හැක්කේ මෙම විප්ලවවාදී ක‍්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමෙන් පමනි.

සසප මූලෝපාය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ අත්‍යන්ත කොටසකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහිව ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ බලගතු ව්‍යාපාරයක්, කලාපය පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන්ගේ පන්ති ශක්තිය පිලිබඳ විශ්වාසය අපරිමිතව සවිබල ගන්වා, ගම්බද වැඩකරන ජනයාගේ පීඩිත ස්ථරයන් තම පැත්තට දිනා ගනු ඇත.

ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ සගයින් වන්නේ උද්ධමනයට හා රැකියා විනාශයට එරෙහිව දැනටමත් එක්සත් ජනපදයේ හා යුරෝපයේ ඇතුලු සමාන අරගලවල යෙදී සිටින ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් ය. ජාත්‍යන්තරව කම්කරුවන් සමග ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරනය කිරීම සඳහා ශ්‍රී ලාංකික කම්කරුවන් ක්‍රයාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයට සම්බන්ධ විය යුතුය.

මෙම අරගලයට නායකත්වය දීම සඳහා මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීම සඳහා එයට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading