යුක්‍රේන යුද්ධයට එරෙහි සසජාතශි කැඳවුමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් උද්‍යෝගිමත් ප්‍රතිචාරයක්

යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රමුඛ නැටෝ බලයන් විසින් ගෙන යන යුද්ධය හා ඒ තුලින් වර්ධනය වන න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් දිසාවට වන ධාවනය නතර කිරීම සඳහා, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය, කම්කරු පන්තික මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂනයක් අරම්භ කර ඇත. 

ලොව පුරා තරුනයන්ට කැඳවුමක්: යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනගනු“ යන හිසින් යුත් බලගතු ප්‍රකාශයක්, සසජාතශි විසින් මේ මස 09 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කරන ලදී. ඒ මත, ලබන දෙසැම්බර් මස 10 දා ජාත්‍යන්තර වෙබිනාර් රැස්වීමක් සංවිධානය කිරීමට ද සසජාතශි පියවර ගෙන තිබේ. 

සමාජවාදී සමානතා පක්ෂවල (සසප) තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය වන සසජාතශි මේ වන විට කාර්මික මධ්‍යස්ථාන තුල, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව කම්කරුවන් සහ තරුනයන් අතර මෙම උද්ඝෝෂනයේ නිමග්න වී සිටී.

කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නියෝජනය කරන ලොවපුරා සමාජවාදී සමානතා පක්ෂවල (සසප) තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය වන සසජාතශි මේ වන විට කාර්මික මධ්‍යස්ථාන තුල, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව කම්කරුවන් සහ තරුනයන් අතර මෙම උද්ඝෝෂනයේ නිමග්න වී සිටී. 

එහි කොටසක් ලෙස ලංකාවේ සසප හා සසජාතශි සාමාජිකයෝ කොලඹ, ජයවර්ධනපුර, මොරටුව, පේරාදෙනිය හා යාපනය යන විශ්වවිද්‍යාල කිහිපයක ම ශිෂ්‍යයන් අතර පසුගිය සතියේ උද්ඝෝෂනයේ නිරත වූහ. 

යුක්ක්‍රේන යුද්ධය පැන නැගීමේ ඓතිහාසික සහ ජාත්‍යන්තර මූලයන් පැහැදිලි කරමින් ද, ලොව පුරා ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ගනන් ඉහල යෑම, තරුන විරැකියාව, මහජන අධ්‍යාපනය සහ සෞඛ්‍යය කප්පාදුව වේගවත් වීම වැනි ගෝලීයව මහජනයා මුහුන දෙන පොදු ගැටලුවලට යුක්ක්‍රේන යුද්ධයට ඇති සම්බන්ධය පිලිබඳව අවධානය යොමු කරමින් ද, යුද්ධයේ වැඩෙන අන්තරායට එරෙහිව කම්කරු පන්තියේ නායකත්වයෙන්, සමාජවාදී ජාත්‍යන්තර යුද විරෝධි ව්‍යාපාරයක් ගොඩ නැගීමේ හදිසි අවශ්‍යතාවය පිලිබඳව උනන්දු සහගත සාකච්ඡාවක් වර්ධනය කිරීමට උද්ඝෝෂකයින්ට හැකි විය. 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරන පීඨයේ ශිෂ්‍යයෙක්, “යුද්ධය තරුනයින්ගේ අනාගතය ඉතාමත් අවිනිශ්චිත තැනකට ඇද දමා තිබෙනවා“ යයි පවසමින් සාකච්ඡාවට අවතීර්න විය. “අපි අනාගතය ගැන කෙසේ සැලසුම් කලත් ලෝක බලවතුන් න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමට ගන්නා එක් තීරනයකින් ඒ සියල්ල විනාශ වෙලා යන්න පුලුවන්. යුක්‍රේන යුද්ධය ගැන ලංකාවේ මාධ්‍ය තුල වාර්තා පල නොවන තරම්. ඒ නිසා තරුනයන් අතර යුද්ධය පිලිබඳ එතරම් යාවත්කාලීන වූ අදහසක් නැහැ. එහෙත් මෙම ගෝලීය අර්බුදය ගැන තරුනයන් සංවේදී විය යුතු“ යයි ඔහු ප්‍රකාශ කලේ ය. 

යුද්ධයේ මූලාශ්‍රය වන අධිරාජ්‍යවාදී  ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීමේ ශක්‍යතාව සහිත සමාජයේ එකම විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය යන්නත්, යුද්ධයට එරෙහිව එම පන්තිය ජාත්‍යන්තරව බලමුලු ගැන්විය යුතුය යන්නත් තමන්ට අලුත් ම අදහසක් වූ බව ඔහු ප්‍රකාශ කලේ ය. 

අනතුරුව ඔහු මෙසේ කීවේය: “කම්කරු පන්තිය අනෙකුත් සියලු ධනපති සංවිධානවලින් ස්වාධීන කරගත යුතුයි කියන කාරනයටත් මම එකගයි. ලංකාවේදී අපි දකිනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වාමාංශික කියල කියාගත්තත් ධනපති පක්ෂත් එක්ක කෙලින්ම සන්ධාන ගතවෙලා ඉන්නේ. මට මුලදී හිතුනා වික්‍රමසිංහව බලයෙන් පන්නන්න හැකිතාක් කන්ඩායම් එකතු කරගෙන බලපෑම් දැමීමයි කල යුත්තේ කියල. එහෙත් මේ සාකච්ඡාව අතුලෙදි මට පැහැදිලි වුනා තවත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමේ එවන් වැඩපිලිවෙලක් වෙනුවට කම්කරු පන්තියට ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් අවශ‍්‍යයි කියලා“ 

සසජාතශි සමග සාකච්ඡාවට සම්බන්ධ වූ රන්ජිත් නමැති, කැලනිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී තරුනයෙක් මෙසේ විමසීය: 'රුසියාව ඇයි යුක්ක්‍රේනය ආක්‍රමනය කලේ. දැන් විශාල ගැටුමකට මේ තත්වය හේතුවෙලා තියෙනවා. මේක ඒ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් නෙවෙයිද?' 

පූටින් තන්ත්‍රයේ රුසියානු ආක්‍රමනයට ද විරුද්ධ වන බව සඳහන් කල සසජාතශි සාමාජිකයෝ, 1991 සෝවියට් සංගමය බිඳ විසිර වීමෙන් පසු එයට අයත්ව පැවති රාජ්‍යයන් නැටෝ සංවිධානයට ඈඳා ගනිමින් රුසියාව ප්‍රකෝපකොට යුද්ධයකට පෙලඹවා ගැනීම සඳහා කුමන්ත්‍රනකාරීව කටයුතු කල ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාකලාපය දීර්ඝ ලෙස පැහැදිලි කලහ. බටහිර ගැති වත්මන් සෙලෙන්ස්කි තන්ත්‍රය 2014 දී බලයට ගෙනාවේ යුක්ක්‍රේනයේ පැවති යැනුකොවිච්ගේ ආන්ඩුව 2014 දී කුමන්ත්‍රනකාරීව පෙරලා දැමීමෙනි. සෙලෙන්ස්කි ආන්ඩුව ආයුධවලින් සන්නද්ධ කිරීමට අධිරාජ්‍යවාදී බලයන් ක්‍රියාත්මක වී ඇත. රුසියාව දුර්වල කර එරට සතුව පවතින දැවැන්ත සම්පත් කොල්ලකෑම ඇමරිකාවේ එල්ලයයි.  

ඇමරිකාව මේ වන විට විශාල ආර්ථික අර්බුදයක සිටින බවත් ඔවුන් එය විසඳාගැනීම සඳහා මැද පෙරදිග යුද්ධ මාලාවක තුල නිරත වූ බව රන්ජිත් සඳහන් කලේය. “ලෝක යුද්ධයේ සැබෑ ප්‍රකෝපකාරියා රුසියාව නොව ඇමරිකා එක්සත් ජනපදය බව මට පැහැදිලියි. ඇමරිකාව මුහුන දෙන බරපතල ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමේ මාර්ගයක් ලෙස ඔවුන් රටවල් අල්ලා ගෙන ඒවායේ සම්පත් කොල්ලකන්න හමුදා බලය යොදවනවා. පසුගිය අවුරුදු 30 ක් තිස්සේ මැදපෙරදිග විනාශයන් ගෙන ගියෙත් ඒ අරමුනෙන්' යයි ඔහු පැවසුවේය.

ඇමරිකාව ඇතුලු දියුනු ධනපති රටවල්වලත් සමාජ අර්බූදය උත්සන්න වී ඇති තත්වය තුල වැඩෙන සමාජ විරුද්ධත්වය වෙනතකට යොමු කිරීම සඳහා යුද්ධය යොදා ගනිමින් තිබෙන බව රංජිත් ප්‍රකාශ කලේ ය. ලංකාවේ සිංහල-දෙමල මහජනයා මත එල්ල කරන ප්‍රහාරවලට එරෙහි විරුද්ධත්වය වෙනතකට යොමු කිරීම සඳහා දෙමල විරෝධී වර්ගෝත්තමවාදය ඇවිලවීම හා මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකෝපකරනයන් උදාහරනයට ගනිමින් ඔහු එය පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ය. 

ලෝක ආර්ථිකයත් එකිනෙකට සතුරු ජාතික රාජ්‍ය පද්ධතියත් අතර වන  ධනේශ්වර ක්‍රමයේ අභ්‍යන්තර පරස්පර-විරෝධය මගින් යුද්ධය නිෂ්පන්න කෙරෙන බව සසජාතශි සාමාජිකයන් පෙන්වා දුන්විට ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය. 'මේක හුදු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් නොවේ. අපේ මුලු අනාගතයම ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා සඳහා ගෙන යන යුද්ධයකට පරදුවට තියලයි තියෙන්නෙ. මේ යුද විරෝධී ව්‍යාපාරය ගොඩනගන්න මගේ සහයෝගය පලකරනවා. ඒ වගේම දෙසැම්බර් 10 රැස්වීමට මම සම්බන්ධ වෙනවා' ඔහු අවසානයේදී සඳහන් කලේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයෙක් වන සන්දීප තමන්ට මුහුන දීමට සිදුව ඇති ආර්ථික සහ සමාජයීය ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වූයේය. නේවාසිකාගාර පහසුකම්වල සීමා සහිතභාවය හේතුවෙන් කුරුනෑගල පදිංචි සන්දීපට පවා එම පහසුකම් හිමි වී නැත. රුපියල් 7,000 ක් ගෙවා බෝඩින් කාමරයක නවාතැන් ගැනීමත් දුෂ්කර නිසා ඔහු නිවසේ සිට ම විශ්වවිවිද්‍යාලයට පැමිනීමට තීන්දු කර තිබේ. නමුත් ප්‍රවාහන ගාස්තු දැරීම පහසු නොවේ.  

'කැන්ටිමේ කෑම එකක් රුපියල් 130ක් වෙනවා. මට එක දවසකට රුපියල් පන්සීයක් විතර වැය වෙනවා. ඒ වගේම ලිපි ද්‍රව්‍ය අවශ්‍යයි. ඒවායේ අධික මිල ගනන් ගොඩක් ශිෂ්‍යයන්ට දරා ගන්න බෑ“ යයි සන්දීප සඳහන් කලේය.

සසජාතශී සමාජිකයෝ මෙම ආර්ථික ප්‍රහාර හා වර්ධනය වන ලෝක යුද්ධය අතර ඇති සම්බන්ධය පිලිබඳව සාකච්ඡා කලහ. රටක් රටක් පාසා පෙර නොවූ විරූ සමාජ අසමානතාවයක් නිර්මානය කර ඇති  ධනේශ්වර ක්‍රමය, යුද්ධය සඳහා බිලියන ගනන් මුදල් වැය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සූභසාධන සඳහා “මුදල් නැතැ“යි ප්‍රකාශ කරයි.  

පෙබරවාරි මාසයේ සිට බිහිසුනු ආකාරයෙන් ඉදිරියට යන යුක්ක්‍රේන යුද්ධය ලෝකය පුරා සැපයුම් ජාලයන් අවහිරකොට ආහාර මිල ගනන් ඉහල නංවා ඇත. මේ තත්වය ආසියාවේ, මැද පෙරදිග, අප්‍රිකානු කලාපීය දිලිඳු රාජ්‍යයන්ගේ අපනයන ආදායම් පහල හෙලමින් නය අර්බූදයන් උග්‍ර කර තිබේ. 

විදේශ නය ගෙවා ගත නොහැකි බංකොලොත් තත්වයක් යටතේ පසුවන ලංකාවේ වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) හදිසි නයක් ලබා ගැනීමේ එල්ලයෙන් එහි රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවේ යොදවා ඇත. ඒ අනුව, අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් කප්පාදු කරමින්, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය කරමින් මහජනයා මත බදු බර වේගවත් කර තිබේ. 

දැනටමත් අධ්‍යාපන කටයුතු බිඳ වැටීම හා විරැකියාව වැනි ප්‍රශ්න නිසා අනාගතය පිලිබඳව අවිනිශ්චිතතාවයට තරුනයින් මුහුන දී ඇති බව සඳහන් කල කොලඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයා යුද්ධය තවදුරටත් ඉදිරියට ගියහොත් මේ තත්වය විනාශකාරී ලෙස තීව්‍රවනු ඇතැයි කියා සිටියේ ය. ඔහු සසප හා සසජාතශි ඉදිරිදර්ශනය වැඩිදුරටත් හැදෑරීමට රැස්වීමට සම්බන්ධ වන බව සඳහන් කලේය.

කොලඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයෙකු වන ඉසිවර

අනුරාධපුරයේ සිට පැමිනි කොලඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයෙකු වන ඉසිවර පත්‍රිකා බෙදීම, සුපිරි වෙලඳසැල්වල භාන්ඩ ප්‍රවර්ධනය කිරීම වැනි අර්ධ කාලීන රැකියාවල නිරත වී සිටී. බහුතරයක් ශිෂ්‍යයන්ට නේවාසිකාගාර හිමි නොවීම සම්බන්ධයෙන් ඔහු බලයට පත් ආන්ඩු හෙලා දැක්කේ ය. ඔහුට නේවාසිකාගාර නො ලැබෙන්නේ පියා රජයේ සේවකයෙක් වීම හේතුවෙනි. මාසික වැටුපෙන් නය වාරික කැපී ගිය පසු පියාට ලැබෙන මුදල පවුලේ ආහාර වියදම් පිරිමසා ගැනීමටවත් නො සැහෙන බව ඉසිවර ප්‍රකාශ කලේ ය. 

“හැම ආන්ඩුවකම පිලිවෙත වෙලා තියෙන්නේ අධ්‍යාපනයට මුදල් කැපීම. වර්ධනය වන විරුද්ධත්වය මැඩීම සඳහා මිලිටරියට විශාල වශයෙන් මුදල් වෙන් කරනවා. මම ගෝල්ෆේස් අරගලයටත් සහභාගී වුනා. මිනිස්සු නැගිට්ටේ උහුල ගන්න බැරි ප්‍රශ්න උඩ. දැන් ඒ ප්‍රශ්න තව තවත් වැඩි වෙලයි තියෙන්නෙ” යැයි ඔහු පැවසුවේය.

මහජන නැගිටීම ධනපති පක්ෂවල අන්තර් කාලීන ආන්ඩු වැඩපිලිවෙල යටතට හරවා යෑවීටට ව්‍යාජ-වාම පෙසප, වෘත්තීය සමිති හා අවිශිබමය, ක්‍රියාත්මක වූ ආකාරය සසජාතශි පෙන්වා දුන්නේ ය. 

“ඔබ ඉදිරිපත් කරන කාරනාව වැදගත්. හැම ධනපති ආන්ඩුවක්ම වැඩ කරන්නේ මහජනතාවගෙන් කපලා ධනපතියන්ගෙ ගොඩ වැඩි කරන්න. ධනපති ආන්ඩුවලට බලපෑම් දමලා අපේ ඉල්ලීම් දිනා ගත බෑ‘ යයි ඔහු ප්‍රකාශ කලේ ය.

“මේ ඉදිරි දර්ශනය මට මීට පෙර හමුවෙලා නෑ. අනිවාර්යෙන්ම ලෝක යුද්ධයට වෙන් කරන වියදම් අපෙන් තමා කපනවා ඇත්තේ. ලෝකය පුරා සිටින ශිෂ්‍යයින් තරුනයින් මේ කාරනා දැනගත යුතුයි. මම සසජාතශි රැස්වීමට සහභාගී වීමට උනන්දුවෙන් ඉන්නවා”.

Loading