මර්දනකාරී නීති, පනත් අහෝසි කරනු! විරෝධතාකරුවන්ට එරෙහි රාජ්‍ය දඩයම නතර කරනු!

මර්දනකාරී නීති සහ අනපනත් භාවිතා කරමින්, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට, මානව අයිතීන් පිලිබඳ ක්‍රියාධරයින්ට සහ ආන්ඩු-විරෝධී උද්ඝෝෂකයන්ට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් තීව්‍ර කෙරෙමින් පවතින රාජ්‍ය මර්දනය කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව තරයේ හෙලා දකී.

ආන්ඩු විරෝධී උද්ඝෝෂනවලට සහභාගිවීම හේතුවෙන් මේවන විට 4,000 කට වැඩි පිරිසක් වරින් වර අත්අඩංගුවට ගනිමින් ද, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යොදා ගනිමින් දීර්ඝ කාලීනව රඳවා තබා ගනිමින් ද, ආන්ඩුව, භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමීම තීව්ර කරමින් සිටී.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම භික්ෂුව රුදුරු පීටීඒ යටතේ තංගල්ල රැඳවුම් කඳවුරක දින 90 ක් රඳවා තැබීමෙන් පසු, නොවැම්බර් 18 දින සිට, අධිකරන නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

පීටීඒ යටතේ මෙම දෙදෙනා සමග අත්අඩංගුවට ගත් හෂාන් ජීවන්ත ගුනතිලක, මාස දෙකකට ආසන්න කාලයක් තංගල්ලේ කඳවුරක රඳවා සිට ඔක්තෝබර් 10 දා නිදහස් කලේ ඔහුට එරෙහිව චෝදනා නොමැතිබව පවසමිනි. රාජ්‍ය මර්දනයේ අත්තනෝමතික ස්වභාවය පිලිබඳව එයමත් සාක්ෂියකි.

මෙම තිදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා, අගෝස්තු මස අග, අවිශිබම සංවිධානය කල උද්ඝෝෂනයේ දී තවත් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනිනි; ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අතුරු සංවිධානයක් වන, “වෙනසක තාරුන්‍යය” සංවිධානයේ ලේකම් ලහිරු වීරසේකර සැප්තැම්බර් 9 දා අත්අඩංගුවට ගෙන පසුදා ඇප මත නිදහස් කෙරුනි.

තම ෆේස්බුක් ගිනුමේ පල කරන ලදැයි කියන පෝස්ටු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීතරිඳු උඩුවරගෙදර අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවටද, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන දෙමටගොඩ පිහිටි කොලඹ අපරාධ කොට්ඨාසයට ද නොවැම්බර් 8 දා කැඳවා තිබුනු බව එදින ලීඩර් පුවත්පත වාර්තා කලේය.

මහජන විරෝධය හමුවේ පලාගොස් ඉල්ලා අස් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රා ප්තිකයා වූ වික්‍රමසිංහ නිසැක ලෙස සංඥා කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය මැඬලමින්, ලේඛකයන්, විවේචකයන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් තියුනුතම මර්දනයට හා තාඩන පීඩනයන්ට ගොදුරු කිරීමේ පිලිවෙතක් තමා විසින් අනුගමනය කරන බවයි.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත, රාජ්‍ය නිලධාරීන්ගේ සමාජ මාධ්‍ය භාවිතයට විලංගු දැමීම ආදී වශයෙන් වූ නෛතික අවි මානමින් වික්‍රමසිංහ ආන්ඩුව මේ කැස කවන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ සියලු ඉඩකඩ මුලුමනින්ම අහුරා දැමීමට ය.

“රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කල යුතු පිලිවෙත්' සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් සැප්තැම්බර් අග නිකුත්කල චක්‍රලේඛයට අනුව රජයේ නිලධරයකු සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බවට පත් කෙරුනි.

මෙම මර්දනකාරී පියවරට මුල පිරුනේ පාසල් තුල සිසු දරුවන් ආහාර නොමැතිව සිහිසුන්වන බවට නිලධාරීන් විසින් කෙරුනු ප්‍රකාශවලින් ද, රෝහල්වල බෙහෙත් හිඟය සම්බන්ධයෙන් ඖෂධවේදීන් හා වෛද්‍යවරුන් මාධ්‍ය අමතා පල කල අදහස්වලින් ද පසුවය.

එහි දිගුවක් ලෙස, හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ලමා මන්ද පෝෂන තත්ත්වය ගැන හෙලිකල, වෛද්‍ය විද්‍යා ව පිලිබඳ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම් කෙරිනි.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට එල්ල කල ප්‍රහාරයන්ට එරෙහිව අප්‍රේල් මස සිට පුපුරා ගිය මහජන නැගිටීම මධ්‍යයේත්, අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජාමූඅ) විධානයන් යටතේ වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවමින් සිටින රුදුරු කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩෙන පංති අරගල රැල්ල හමුවේත්, විරෝධතාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වූ රාජ්‍ය දඩයමේ කැපී පෙනෙන අවස්ථා කීපයක් මෙසේය:

* සැප්තැම්බර් 8: උද්ඝෝෂන අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම හා පොලීසියට බාධා කිරීම ඇතුලු චෝදනා මත පොලීසිය විසින් ප්‍රකට ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිලි දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනුනි.

* සැප්තැම්බර් 27: ඉකුත් ජුලි 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපල වලට හානි කලායයි කියාපාමින් පොලීසිය විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුනි.

* සැප්තැම්බර් 28: 2021 වසරේ මාධ්‍ය හමුවක දී සිදුකල ප්‍රකාශයකින් දන්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකලේ යැයි, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලකට එරෙහිව කොලඹ මහාධිකරනයේ චෝදනා ගොනු කෙරුනි.

* සමාජ මාධ්‍ය තුලින් අරගල ගැන තොරතුරු ලබා දීම වීසා කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස කියාපාමින් කෙලී ෆ්‍රේසර් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනිනි.

රාජ්‍ය මර්දනයේ කොටසක් ලෙස, විරෝධතා වැලැක්වීමේ අරමුනෙන්, කොලඹ නගරයේ ප්‍රදේශ ගනනාවක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කෙරුනු නමුදු, මහජන විරෝධය හමුවේ දැනට තාවකාලිකව අකුලා ගෙන ඇත.

සැප්තැම්බර් 9 වන දින ගැසට් කරන ලද පුනරුත්ථාපන කාර්යාංශ පනත මගින්, ආන්ඩු විරෝධීන් “නොමග ගිය සටන්කරුවන්, අන්තගාමී හෝ විනාශකාරී කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන්, හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්' ලෙස ලේබල් අලවා “පුනරුත්ථාපන මධ්‍යස්ථානවල“ ගාල් කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇත.

කෙටිකතාවක් නිසා සිරගත කරනු ලැබ වසරකට පසු මුදා හල ශක්තික සත්කුමාර ද, වර්ගවාදයේ ගොදුරක්ව අයුක්තිසහගත ලෙස සිරගත කොට සිටි ශ්‍රී ලාංකික මුස්ලිම් කවියෙකු හා ගුරුවරයෙකු වන අහ්නාෆ් ජසීම් ද, තවත් එවැනි බොහෝ දෙනා ද ඉහත රාජ්‍ය මර්දන අන පනත්වලට ගොදුරුවූවෝ වෙති. ජසීම්ට එරෙහිව කිසිදු සාක්ෂියක් හෝ නිශ්චිත තොරතුරක් නොමැති තතු තුල 'ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්' හෝ 'ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම' පදනම් කරගත් පුද්ගලයන් 55 කින් සමන්විත තහනම් ලැයිස්තුවකට ඔහුගේ නම ඇතුලත් කර තිබේ.

අගෝස්තු 20 දා ද ලීඩර් පුවත්පත වාර්තා කල පරිදි, ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරනය පිලිබඳව දැනුවත් කිරීම සඳහා යැයි පවසමින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අගෝස්තු 19 දා පැවති සම්මන්ත්‍රනයකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න සඳහන් කර ඇත්තේ, ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් ජනමාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කල යුතු බවත්, ඒ තුලින් රට අපකීර්තියට පත්වන පුවත් ජාත්‍යන්තරයට යෑම වලක්වාගත හැකි බවත්ය.

තමන්ගේ අනසකට අවනත නොවන මාධ්‍යවේදීන්ට අත්විය හැකි ඇති ඉරනම කුමක්ද යන්න පිලිබඳව ද තිස් අවුරුදු වර්ගවාදී යුද්ධය කොතෙකුත් සාක්ෂි ගෙන එයි. 2012 අප්‍රේල් 9 දා ලෝසවෙඅ වාර්තාවකට අනුව පෙර වසර දහය තුලදී මාධ්‍යවේදීන් ඇතුලු ජනමාධ්‍ය ආශ්‍රිත 17 දෙනෙකු ඝාතනය කෙරුනු අතර 50 කට පමන දිවි බේරා ගැනීමට රටින් පලා යාමට සිදු විය.

කොවිඩ් වසංගතය විසින් ප්‍රේරිත ලෝක ධනපති ආර්ථික අර්බුදයේ බරින් මැඬි ගිය සමස්ත ලෝකය පුරා කම්කරුවන්, පීඩිතයන්, තරුනයන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් මුහුන දෙමින් සිටින්නේ අඩුවැඩි වශයෙන් මේ හා සමාන තතුවලට ය. ආසියානු කලාපය තුලත්, ලෝකයේ සෙසු රටවලත් රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කිරීමේදී ධනපති ආන්ඩු වර්ගවාදය, ස්වෝත්තමවාදය සහ යුදෙව්-විරෝධය අවුලවාලයි.

ඉන්දියානු කාෂ්මීරයේ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රකෝපකරනයන් අවුලුවමින් සිටින හින්දු ස්වෝත්තමවාදී නරේන්ද්‍ර මෝදීගේ ආන්ඩුව මාධ්යවේදීන්ට එරෙහිව රාජ්‍ය මර්දනය මුදා හැර ඇත. ඉන්දියාව විසින් පාලිත කාෂ්මීරයේ ඡායාරූප මාධ්‍යවේදිනියක් වූ සන්නා ඉර්ෂාඩ් මට්ටෝ, පුලිට්සර් (Pulitzer) සම්මානය ලබා ගැනීමේ උත්සවයට සහභාගිවීම පිනිස ඇමරිකාවට සංචාරය කිරීමට නියමිත විය. වලංගු ලේඛන තිබියදී දිල්ලි ගුවන්තොටුපලේ ආගමන විගමන බලධාරීන් විසින් ඇගේ ගමන නැවැත්වූ බව බීබීසී වාර්තා කලේය. මෙය, මාස හතරක් තුල ඇය මුහුන දුන් එවන් දෙවන සිද්ධිය විය. මෝදි තන්ත්‍රය, කෝවිඩ් වසංගතය හමුවේ මහජනයාගේ ජීවිත නොතකා ක්‍රියාත්මක වූ ආකාරය පිලිබිඹු කරමින් ඇය නිර්මානය කල වාර්තා චිත්‍රපටයට මෙම සම්මානය හිමිව තිබූ බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි.

බංග්ලාදේශයේ ඩිජිටල් ආරක්ෂක පනත (Digital Security Act) සහ අංක 1923 දරන නිල රහස් පනත (Official Secrets Act of 1923), මෙවැනි මර්දනකාරී පනත්ය. ප්රොතොම් අලෝ දෛනික පුවත්පතේ ගවේශනාත්මක මාධ්‍යවේදිනියකු වූ රොසිනා ඉස්ලාම් ව්‍යාජ චෝදනා මත නිල රහස් පනත යටතේ 2021 අප්‍රේල් මස අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශයේ රහස් ලියවිලි රහසිගතව ඡායාරූප ගතකල බවට ඇය චෝදනා ලබා ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධකාරී නිරුවත හෙලිදරව් කල ප්‍රමූඛ පෙලේ මාධ්‍යවේදියා වන, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්, එක්සත් රාජධානිය විසින් එකී අපරාධකරුවන් අතටම භාරදීමේ අසික්කිත කුමන්ත්‍රනය උත්සන්න වී ඇත.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එක්සත් ජනපදය හා නැටෝව ගෙන යන යුද්ධයේ හවුල්කාර රටක් වන ජර්මනියේ බලධරයින් විසින් ජර්මනියේ මියුනික් ෆිල්හාර්මොනික් වාද්‍ය වෘන්දයෙහි (Munich Philharmonic symphony orchestra) ප්‍රධාන මෙහෙයවන්නා ලෙස වසර 30 ක් පුරා සේවය කල රුමේනියානු-යුදෙව් ජාතික ලොරෙන්ස් නස්ටුරිකා-හෙර්ෂ්කොවිසි එම තනතුරෙන්නෙරපා හැරිනි. ඔහුට එරෙහි චෝදනාව වූයේ ඔහු රුසියාවට වඩා සමීප බවයි. මෙම වෙනස්කම් කිරීමේ ක්‍රියාව වසර 80 කට පෙර ජර්මනියේ නාසි පාලකයන් විසින් යුදෙව් කලාකරුවන්ට එරෙහිව සිදු කෙරුනු අපරාධයන්ගේ කලු පැල්ලම් සහිත ඉතිහාසය සිහියට නංවයි.

මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ ලංකාවේ ද ලොව පුරා ම ද, අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ ධනපති පාලකයන්, භාෂනයේ හා නිර්මානයේ නිදහසට එරෙහිව එල්ල කර ඇති ඍජු ප්‍රහාරයේ බියකරු පරිමානයයි. මානව වර්ගයා මහා පරිමානයෙන් කායිකවම විනාශ කිරීමේ තාප න්‍යෂ්ටික යුද්ධයක සැලසුම් ක්‍රියාවට නංවමින් සිටින මෙකී ධනේශ්වර ලෝක පර්යාය, මිනිසාගේ සෑම ආකාරයක මූලික අයිතියකට ම ඓන්ද්රීය ලෙස සතුරු ය.

භාෂනයේ සහ ප්රකාශනයේ නිදහස තහවුරු කල හැක්කේ, ලාභය පදනම් කරගත් ධනේශ්වර නිෂ්පාදන සබඳතා තුල සිරවී පවත්නා නිෂ්පාදන මාධ්‍ය ඉන් මුදවා ගනිමින්, මානව අවශ්‍යතා සපිරෙන පරිදි සමාජවාදී පදනමක් මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට සටන් වැදීමෙන් පමනි. එහි කොටසක් ලෙස කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව ගොඩනැගීමටත්, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් දේශසීමා ඉක්මවා ලොව පුරා සහෝදර කම්කරු පීඩිත සටන්කරුවන් සමඟ සන්ධානගත වීමටත් අප සමග එක්වන ලෙස, කම්කරුවන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

අත්අඩංගුවට ගත් සියලුම විරෝධතාකරුවන් වහා නිදහස් කරනු!

මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට සහ මානව හිමිකම් ක්‍රියාධරයින්ට එරෙහිව ඇති චෝදනා, නඩු ඉල්ලා අස්කරගනු!

මර්දනකාරී පනත්, චක්‍රලේඛ, නීති අහෝසි කරනු!

Loading