වසංගතය පැතිරුන ද "දැඩි සීමා" නොපැනවීමට ආන්ඩුව තීරනය කරයි

ශ්‍රී ලංකාව තුල පසුගිය සතියේ පමනක්, 50 කට අධික සංඛ්‍යාවකට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, ඉන් වයස අවුරුදු 60ට වැඩි 8 දෙනෙකු මරනයට පත් ව ඇති බවත්, නොවැම්බර් 27 වන දා ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කලේ ය.

නොවැම්බර් 29 වනදාට යාවත්කාලීන කර ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල සංඛ්‍යා ලේඛන අනුව දැනට දිනපතා නව කොරෝනා රෝගීන් 4 දෙනෙකු පමන අලුතින් හඳුනා ගැනෙයි. මෙය සිදු වනුයේ, වයස අවුරුදු 20 ට වැඩි මිලියන හයක ජනතාවක් මෙතෙකුදු බූස්ටර් එන්නත ලබා නොගෙන ඇති තත්වයක් තුල ය.

මෙම සංඛ්‍යාවන් වාර්තා වන්නේ, ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂන ආන්තික ව සීමා කොට ඇති තත්වයක් යටතේ වන බැවින්, අදාල කාලය තුල යතා ආසාදන සංඛ්‍යාව මීට වඩා ඉතා ඉහල අගයක් ගත යුතු බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ආසාදිත නාසයකින් ලබා ගත් SARS-CoV-2 වෛරස අංශූන් (රන් පැහැයෙන්) ගේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂිය ඡායාරූපයක් [Photo: NIAID]

මෙවන් අන්තරායක් වැඩෙද්දී පවා, මාරාන්තික වෛරසය ව්‍යාප්තවීමට එරෙහිව  'දැඩි සෞඛ්‍ය රෙගුලාසි' නොපැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව තීරනය කොට ඇත. ඉහත සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මෙසේ පවසා ඇත: “පොදු ස්ථානවල දී ජනතාව මුහුනු ආවරන පැලඳීම අනිවාර්ය කිරීමේ දැඩි සෞඛ්‍ය රෙගුලාසි පනවන්න බැහැ. සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ලැබෙන ආදායම වැඩිකරන්න පුලුවන්. ඉදිරි සතිවලදි ශීත රටවලින් විශාල සංචාරකයින් සංඛ්‍යාවක් එයි කියලා බලාපොරොත්තු වෙනවා.”

වසංගතයෙන් සහ එක්සත් ජනපද-නැටෝ බලයන් රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල ගෙන යන යුද්ධයෙන් වඩාත් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදයක ගිලී සිටින වික්‍රමසිංහ ආන්ඩුව, තමා මුහුන දී සිටින දැඩි විදේශ සංචිත හිඟය හමුවේ, කෙසේ හෝ විදේශ විනිමය උපයා ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක යෙදී සිටී. සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම එහි මූලික ඉලක්කයකි.

මහ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාවන් වෙනුවෙන් මිනිස් ජීවිත බිලි දෙන ධනපති සමාජ-ආර්ථික ක්‍රමයේ ම්ලේච්ඡත්වය හේරත්ගේ ප්‍රකාශය තුලින් මනාව ඉස්මතු වෙයි. ඔහු වමාරන්නේ, හුදෙක් තම පුද්ගලික අදහස නොව, “වසංගතය සමග ජීවත්වීම” සහ “රංචු ප්‍රතිශක්තිකරනය” ආදී විවිධ නම් වලින්, වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ලොව පුරා ධනපති ආන්ඩු ක්‍රියාවට නංවමින් සිටින නරුම පිලිවෙතයි.

වසංගතය වේගයෙන් පැතිර යද්දී පවා, ධනපති ලාභෝත්පාදනය අඛන්ඩ ව පවත්වා ගෙන යාම සඳහා කම්හල් විවෘත කොට කම්කරුවන් වැඩට දැක්කීමට මෙම ධනපති පාලකයෝ පියවර ගත්හ. දෙමාපියන් රැකියාව සඳහා නිදහස් කර ගනුවස්, පාසල් විවෘත කොට දරුවන් පාසල් වලට ගාල් කලේ ද එම පිලිවෙතේ කොටසක් ලෙසිනි.

මිලියන 20 කට අධික මිනිස් ජීවිත සංඛ්‍යාවක් දැනටමත් බිලි ගෙන ඇති වසංගතය අඛන්ඩව ව්‍යාප්ත වීම එහි ප්‍රතිඵලයයි. 2022 ඔක්තෝබර් මාසයේ ජෝන් හොප්කින් විශ්ව විද්‍යාලය නිකුත් කල සමීක්ෂන වාර්තාවකට අනුව, එම මස දෙවන සතියේ පමනක් ලොවපුරා නව කෝවිඩ් ආසාදිතයන් මිලියන 3.25 ක් හඳුනා ගෙන ඇත. වසංගතයෙන් මිය යන ජනයාට අමතර ව, ආසාදනයට ලක් වන මිලියන සංඛ්‍යාත ජනයාට පශ්චාත්-කෝවිඩ් සංකූලතාවයන්ගෙන් ජීවිතය පුරා දුක් විඳීමට සිදුවන බව විද්‍යාඥයෝ යලි යලිත් පෙන්වා දෙති.

එසේ වුව ද, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අඛන්ඩ පීඩනය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි ප්‍රකෝපකරනයන් යටතේ රටතුල වැඩෙන ආර්ථික අර්බුදය හමුවේ, චීන ආන්ඩුව පවා, මිලියන ගනනකගේ ජීවිත බේරාගත් තම ශුන්‍ය-කෝවිඩ් පිලිවෙත අත් හරිමින්, “වසංගතය සමග ජීවත්වීමේ” පිලිවෙත වැලඳ ගනිමින් සිටී.

“වසංගතය සමග ජීවත්වීමේ” පිලිවෙත අනුයන ශ්‍රී ලංකාවේ පාලකයන් ද, සංචරන සීමා පැනවීම, ප්‍රසිද්ධ ස්ථානයන් හි මුව ආවරන පැලඳීම සහ මීටරයක දුරස්ථභාවය රැකීම අනිවාර්ය කිරීම ආදී පියවර සියල්ල අත්හැර දමා ඇත. මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන මුලුමනින් ම වසා ඇති අතර, රජයේ රෝහල් තුල කොරෝනා රෝගීන් සඳහා වෙන් කරන ලද සියලුම වාට්ටු එම ක්‍රියාවලියෙන් බැහැර කෙරී පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග කතාකල රජයේ රෝහලක වෛද්‍යවරයෙකු මේ තත්වය පිලිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි: “පිසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂන දැන් ඇත්තට ම කරන්නෙ ම නැති තරම්. ඉතා ම කලාතුරකින් තමයි පීසීආර් පරීක්ෂනයක් කෙරෙන්නේ. ඉස්සරනම් තියටර් එකට ගන්න කොට උන තියෙනවා නම් පිසීආර් කරල ගන්නේ දැන් එහෙම කරන්නේ ම නෑ. ටයිම්ස් පත්තරේ තියෙන ඔය දත්ත වලින් පේන්නේ මේ පරීක්ෂන නොසලකා හැර තියෙද්දීත් වෙනත් රෝගී තත්වයක් නිසා අසාධ්‍ය වෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන කොට කරපු පරීක්ෂන වලින් ලැබුන ප්‍රතිඵල වෙන්න පුලුවන්. මේකේ ඇත්ත තේරුම තමයි මේ පරීක්ෂන කලොත් අපිට කී ගුනයක් රෝගීන් හම්බවෙයිද කියන එක. මම පෙරේදා පීසීආර් පරීක්ෂන හයක් කලා තුනක් පොසිටිව් වුනා. ඕක තමයි තත්වය.”

මුව ආවරන නොපැලඳීම, පුද්ගල දුරස්ථභාවයෙන් යුතුව පන්ති කාමර හා දේශන ශාලා සුදානම් නොකිරීම හේතුවෙන්, විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, පාසැල් සහ උපකාරක පන්ති ඇතුලු අධ්‍යාපනික ආයතන වල සිසුන් අතර කෝවිඩ්-19 ව්‍යාප්ත වන ආකාරය පිලිබඳ චිත්‍රයක් පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල එය ව්‍යාප්තවන ආකාරයෙන් සම්පාදනය කෙරේ.

මීට සති දෙකකට පමන පෙර එම විශ්ව විද්‍යාලයේ කරන ලද පීසීආර් පරීක්ෂන වල දී දිනකට කොරෝනා රෝගය වැලඳුන සිසුසිසුවියන් දහ දෙනෙකු පමන හමු වී ඇති අතර, මේ වන විටත් කෝවිඩ් ආසාදිත සිසුන් කන්ඩායමක් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍යය මධ්‍යස්ථානයේ නිරෝධායනය වන බව ලෝසවෙඅ වෙත වාර්තා වී ඇත.

මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් පාලක පංතිය අනුයන පිලිවෙතෙහි විසකුරු ස්වභාවය ජනාධිපති වික්‍රමසිංහ විසින්, 2023 වසර සඳහා ඉදිරිපත් කල අයවැයෙන් ද පැහැදිලි ව ප්‍රකාශයට පත්වෙයි. ආරක්ෂක හමුදාවට සහ පොලිසියට රුපියල් බිලියන 539ක මුදලක් වෙන් කරන විට මහජන සෞඛ්‍යට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 322 ක් වැනි සොච්චමක් පමනි. ධනපති පාලකයන් උත්සුක වනුයේ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට නොව, තම ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල තලා දැමීම සම්බන්ධයෙනි. මේ සා පරිමාන දැවැන්ත මුදලක් මිලිටරියට සහ පොලීසියට ‌වැය කරනුයේ එබැවිනි.

අනුප්‍රාප්තික ආන්ඩු අඛන්ඩ ව කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අද්දරටම පැමින ඇත. වසංගත ඇතුලු බෝවන රෝග වැලැක්වීම සම්බන්ධයෙන් එය මුලුමනින් ම අපොහොසත් ය. 2022 ජනවාරි පලමු වෙනි දා සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් ගනන 57,139 දක්වා වර්ධනය වී ඇති අතර නොවැම්බර් 3 වනදා වන විට වඳුරු උන රෝගීන් දෙදෙනෙකු ශ්‍රී ලංකාව තුල වාර්තා වු බව සෞඛ්‍යය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මෙම සියල්ලෙන් ප්‍රකාශයට පත් වන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ), හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ සමාජවාදී සමානතා පක්ෂ වසංගතය මැඩලීම සම්බන්ධයෙන් ඉදිරිපත්කල වැඩපිලිවෙලෙහි නිරවද්‍යභාවය යි.

කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මානව වර්ගයා හමුවේ විකල්ප දෙකක් ඉදිරිපත් කෙරි ඇත: ලෝක ධනපති පංතියේ විකල්පය වනුයේ, නිමක් නැති මහා ආසාදනය, දුබලවීම සහ මරනය යි. ජාත්‍යන්තර කම්කරු පංතියේ විකල්පය විය යුත්තේ, ධනවාදය විප්ලවීය ලෙස පෙරලා දමා, කෝවිඩ්-19 මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය වීම අවසන් කිරීම සඳහා ගෝලීය තුරන් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමයි. හජාජාක සහ එහි සමාජවාදී සමානතා පක්ෂ ශාඛා පමනක් සටන් වදින මෙම ගෝලීය තුරන් කිරීමේ මූලෝපාය යටතේ, වෛරසයට එරෙහි ව සටන් කිරීමේ අවි ගබඩාවේ සෑම ආයුධයක් ම විශ්වීය වශයෙන් යෙදවීම අවශ්‍ය වේ.

Loading