වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම ඉවත් කරනු! කොන්දේසි විරහිතව ඔහු යලි සේවයේ පිහිටුවනු!

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍ය වෘත්තික සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පනවා ඇති වැඩ තහනම සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව තරයේ හෙලා දකී.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍ය වෘත්තික සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව [Photo by Chamal Sanjeewa]

වෛද්‍ය සංජීව වැඩතහනමට ලක්කොට අත්තේ, ඔහු ඇතුලු වෛද්‍යවරු කන්ඩායමක් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ කලාප කිහිපයක ලමා මන්දපෝෂනය පිලිබඳව කරන ලද සමීක්ෂනයක තොරතුරු මාධ්‍යයට හෙලි කිරීම හේතුවෙනි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ පවතින සෞඛ්‍ය සේවා කොමිටියෙන් පනවා ඇති මෙම වැඩතහනමට හේතුව ලෙස දක්වා ඇත්තේ, 'සාවද්‍ය' තොරතුරු මාධ්‍යයට ලබා දීමෙන් ආන්ඩුව 'අපහසුතාවයට' පත් කිරීමයි.

වෛද්‍ය සංජීව සතු භාෂනයේ සහ ප්‍රකාශනයේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරා ගනිමින් වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන මෙම රාජ්‍ය දඩයමට මුලුමනින්ම විරුද්ධවන අප කමිටුව ඔහුගේ වැඩ තහනම ඉවත්කොට, කොන්දේසි විරහිතව යලි සේවයේ පිහිටුවන ලෙස බලකර සිටී.

ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ක්‍රියාත්මක කරන රුදුරු කප්පාදු සහ දැවැන්ත බදු පැනවීම් හරහා, අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටී. එයට එරෙහිව වැඩෙන පන්ති අරගල කුරිරු ලෙස තලා දැමීම ආන්ඩුවේ පිලිවෙත යි. සංජීවට එරෙහි රාජ්‍ය දඩයම, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන එකී ප්‍රහාරයේ කොටසකි.

වික්‍රමසිංහ ආන්ඩුවට අනුව වෛද්‍ය සංජීව කල වරද වනුයේ, තම කන්ඩායමේ සමීක්ෂනයට අදාල කලාපයන් හි ලමුන් සියයට 30ක් දරුනු මන්දපෝෂනයෙන් ද සියයට 50 ක් මද මන්දපෝෂනයෙන් ද පෙලෙන බව මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කිරීමයි. වැඩෙන ලමා මන්දපෝෂනය පිලිබඳව තමා දැනගත් සත්‍යය අන් අයට ප්‍රකාශ කිරීමේ අයිතිය සංජීව සතුවන අතර, එම සත්‍යය දැන ගැනීම මහජනතාවගේ ද අයිතියකි. ආන්ඩුව පාගා දමා ඇත්තේ එම ප්‍රජාතන්ත්‍රීය අයිතියයි.

අනුප්‍රා ප්තික ආන්ඩුවල අඛන්ඩ කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අද්දරටම පැමින ඇත. මහජනතාව ඉතා සංවේදී වන මෙම ක්ෂේත්‍රය තුල පවත්නා දැවැන්ත ඌනතාවයන් පිලිබඳව කෙරෙන කවර හෝ අනාවරනයක්, තමාට එරෙහිව වැඩී ඇති මහජන විරෝධය තවතවත් අවුලවාලන බව ආන්ඩුව දනී. තම ක්ෂේත්‍රය පිලිබඳ මාධ්‍යයට අදහස් දැක්වීම තහනම් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව රාජ්‍ය සෞඛ්‍ය සේවකයන්ට පැනවූ වාරනය වත්මන් වික්‍රමසිංහ ආන්ඩුව ද ඉදිරියට ගෙන යන්නේ එබැවිනි. මෙම තහනම රාජ්‍ය අංශයේ සියලු සේවකයන්ට එරෙහිව ද ක්‍රියාත්මක කර ඇත.

'අසත්‍ය' තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සංජීවට චෝදනා කරමින්, වැඩෙන මන්දපෝෂනය පිලිබඳ තොරතුරු වසන් කිරීමේ මංමුලාසහගත උත්සාහයක ආන්ඩුව නිරත වුව ද, නොවැම්බර් 30 සිරස නිව්ස් ෆස්ට් සඳහන් කලේ, ලංකාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 42.9 ක් පෝෂන උෘනතාවයන්ගෙන් පෙලෙනබව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය තම මෑතම වාර්තාවකින් පෙන්වා දී ඇති බවයි.

මන්දපෝෂනය උග්‍ර වෙද්දී සහ රජයේ රෝහල්වල ඖෂධ සහ උපකරනවල දැවැන්ත ඌනතාවයක් වැඩෙද්දී ආන්ඩුව, රජයේ රෝහල් තුල ගාස්තු අයකෙරෙන වාට්ටු පිහිටුවීමේ වැඩපිලිවෙල මෙවර අයවැයෙන් සම්මත කර ගත්තේය. මෙය නිදහස් රෝහල් සේවය පුද්ගලීකරනය කිරීමේ බලගතු ප්‍රහාරයකි. අනෙක් අතට මේ සා පරිමාන බරපතල මහජන සෞඛ්‍ය අර්බුදයක් වැඩෙද්දී ආන්ඩුව මෙවර අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 322 කි. ඊට සාපේක්ෂව, පන්ති අරගල තලා දැමීම සඳහා, මිලිටරිය සහ පොලීසියට වෙන්කොට ඇති මුදල රුපියල් බිලියන 539 කි.

මෙම තතු තුල, වෛද්‍ය සංජීවට එරෙහි දඩයම සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පූර්න නිහැඬියාවක නිරතව සිටිති. එය, ආන්ඩුවේ ප්‍රහාරයන් අනුමත කරන සහ එය ශක්තිමත් කරන අන්ත ප්‍රතිගාමී ආස්ථානයකි. මෙම සමිති වනාහි, කම්කරු පන්තියේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් කිසි විටෙකත් පෙනී නොසිටින, ධනපති පන්තියේ කාර්මික පොලීසියක් බව එමගින් යලි සනාථවේ.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍ය සංජීව අනුයන - ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කර ගැනීමේ - බංකොලොත් ඉදිරි දර්ශනය අතර කවර හෝ පෑහීමක් නොමැති වුවද, අප ඔහුට එරෙහි දඩයමට සපුරා විරුද්ධ වෙමින් ඔහුගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් සටන් වදී.

ධනපති ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනේශ්වර ගැති වෘත්තිය සමිති සහ විරුද්ධ පක්ෂ වලින් මුලුමනින්ම ස්වාධීන වූ සහ ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරන ගැනෙන තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඒවා ජාතිකව හා ජාත්‍යන්තර ව ඒකාබද්ධකොට, ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවලට එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීමෙන් පමනි.

මෙම වැඩ තහනමට විරුද්ධත්වය පලකරන ප්‍රකාශ අප වෙත එවන්න. අපි ඒවා පල කරමු.

වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම ඉවත් කරනු!

කොන්දේසි විරහිතව ඔහු යලි සේවයේ පිහිටුවනු!

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව

Loading