බෝනස් කප්පාදුවට එරෙහිව කම්කරුවන් 1,500 කගේ විරෝධතාවයක් හේතුවෙන් බ්‍රැන්ඩික්ස් කම්හල අගුලු දමයි

[මෙය SriLanka: Brandixfactorylocksout 1,500 workersprotestingagainstbonuscut යනමැයෙන් 2022 ‌දෙසැම්බර් 05 පලකෙරුනුලිපියේපරිවර්තනයයි.]

නොවැම්බර් 30 දා, කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ (කොනිවෙක) ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්හි කම්කරුවන් 1,500 ක් පමන, ඔවුන්ගේ වාර්ෂික බෝනස් දීමනාව අඩකින් කපා හැරීමට විරෝධය පල කිරීමට සඳහා වැඩ නතර කිරීමෙන් පසු අගුලු දමා ඇත.

කම්හල පාඩු පිට පවත්වාගෙන යන බැවින් ඔවුන්ගේ බෝනස් දීමනාව කපා හරින බව කම්හල් කලමනාකාරිත්වය දින දෙකකට පෙර සේවකයන්ට දන්වා සිටියේය. පසුදින කම්කරුවන් වැඩ කිරීම ප්‍රතික්ෂේප කරමින් කම්හලේ ආපනශාලාවට රැස්ව බෝනස් දීමනාව සම්පූර්නයෙන් ගෙවන ලෙස ඉල්ලා සිටියහ. සේවකයන් නිවෙස් බලා ගිය පසු කලමනාකාරීත්වය ඔවුන්ට කෙටි පනිවිඩයක් මගින් දැනුම් දුන්නේ කර්මාන්ත ශාලාව දින නියමයක් නොමැතිව වසා දැමුනු බවයි.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

රැකියා අහිමිවීමේ බියෙන්, සමහර කම්කරුවන් වැටුප් කප්පාදුව පිලිගන්නා බව ප්‍රකාශ කලහ. කෙසේ වෙතත්, කලමනාකාරිත්වය ඔවුන්ට පැවසුවේ ඔවුන් වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් වැරැද්දක් කල බව පිලිගත් බවට ලිපියක් එවන ලෙසයි. කම්කරුවෝ මෙම නියෝගය ප්‍රතික්ෂේප කලහ.

විදේශ ආයෝජන හසුරුවන ආන්ඩුවේ ආයතනය වන ආයෝජන මන්ඩලයේ නිලධාරීන් ඊයේ කම්හල තුල දී කලමනාකාරිත්වය සහ සේවක සභාව හමුවිය. ඔවුන්, කම්කරුවන් නැවත සේවයට කැඳවීමට එකඟතාවයකට පැමිනි නමුත් ඒ බෝනස් දීමනාවෙන් අඩක් පමනක් ලබා ගැනීමට ඔවුන් එකඟ වුවහොත් පමනි.

නිදහස් වෙලඳ කලාප කර්මාන්තශාලාවල ඊනියා සේවක සභා, කම්කරු සංවිධාන නොවේ. ඒවා පිහිටුවා ඇත්තේ කලමනාකාරිත්වය විසින් පාලනය කරනු ලබන මැතිවරන හරහා වන අතර ඔවුන් සාමාන්‍යයෙන් සමාගමට පක්ෂ වේ.

බ්‍රැන්ඩික්ස් යනු දකුනු ආසියාවේ විශාලතම බහුජාතික ඇඟලුම් සමාගමකි, එය සතුව කම්කරුවන් 53,000 ක් සේවය කරන ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා 23 ක්, ඉන්දියාවේ හතරක් සහ බංග්ලාදේශයේ එකක් පවතී. Owler.com වෙබ් අඩවිය ට අනුව, සමාගමේ ආදායම 2021 දෙසැම්බරයේ ඩොලර් මිලියන 782 සිට 2022 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 820 දක්වා සියයට 4.9 කින් වැඩි විය.

කෙසේ වෙතත්, කොග්ගල කම්හල සැප්තැම්බර් 2 වැනිදා සිට දින 10 ක් වසා දමා තිබුනේ ඇනවුම් නොමැතිකම නිසාය.

බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්හි සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පවසමින් බෝනස් දීමනා කප්පාදුවට විරුද්ධ විය: “අපි ජීවත් වන්නේ ඉහල යන ජීවන වියදම සමඟ අතිමහත් දුෂ්කරතා සමඟයි. මට ඉස්කෝලේ යන වයසේ ලමයි දෙන්නෙක් ඉන්නවා. බෝනස් දීමනාවෙන් ඔවුන්ට පාවහන් සහ පාසල් පොත් මිලදී ගැනීමට මම බලාපොරොත්තු වුනා. මේ පාර සම්පූර්න බෝනස් දීමනාව දෙන්නෙ නෑ කියලා ඇහුනම මම කම්පනයට පත් වුනා. කම්හල වැහුවාම, මම හිතුවා අපිටත් රැකියා නැති වෙයි කියලා.”

නිෂ්පාදන අංශයේ සේවකයෙකුට මසකට ලැබෙන්නේ රුපියල් 28,000 ක් වන අතර නඩත්තු සේවකයින්ට ලැබෙන්නේ 35,000 කි. වාර්ෂික බෝනස් දීමනාව මාසයක වැටුපට සමාන වේ.

නඩත්තු කම්කරුවෙකු පැවසුවේ බෝනස් දීමනාව නොමැති නිසා වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ලිඛිතව සමාව අයැදීමට කලමනාකාරිත්වයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි. “සමාගම සම්පූර්න බෝනස් දීමනාව නොගෙවීම ඉතා වැරදියි. මේ වසරේ කර්මාන්ත ශාලාව පාඩු පිට පවත්වාගෙන යන බව කලමනාකාරීත්වය කියනවා. නමුත් පසුගිය කාලය තුල ඔවුන් ලාභ රැස්කල ආකාරය අපි දන්නවා.”

කර්මාන්තශාලා අගුලු දැමීම, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන පුලුල් ප්‍රහාරයක කොටසකි.

යුනිචෙලා ගාමන්ට්හි සේවිකාවක් ලෝසවෙඅ වෙත පැවසුවේ, මෑතකදී ඔවුන්ගේ දෛනික වැඩ ඉලක්ක සම්පූර්න කල නොහැකි මට්ටමකට වැඩි කර ඇති බවයි.

ඇය මෙසේ පැවසුවාය: “කම්කරුවෙකුට ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත් හෝ නිෂ්පාදනයේදී යම් වැරැද්දක් සිදු වුවහොත්, කලමනාකාරිත්වය එම වැරැද්ද පිලිගන්නා ලෙස සේවකයාගෙන් ලිපියක් ඉල්ලනවා. එවැනි ලිපි තුනකට පසු සේවකයා සේවයෙන් පහ කරනවා.

“මෑතකදී අධීක්ෂකවරයෙක්, නිෂ්පාදන අංශයේ නායකයකුට තම ඉලක්ක වාර්තා කිරීමට අමතක වූ නිසා, වැඩ ඉලක්ක ප්‍රදර්ශනය කරන පුවරුවක වීදුරුව කඩා දැම්මා. නිෂ්පාදන නායකයාගේ මුහුනේ වීදුරු කැබැල්ලක් වැදීමෙන් තුවාල වී රෝහල් ගත කිරීමට සිදු වුනා. ඉලක්ක කරා ලඟා වීම සඳහා, අපට තේ විවේකයේදී සහ ආහාර විවේකයේදී පවා වැඩ කිරීමට බල කෙරිලයි තියෙන්නේ.'

යුනිචෙලා, මාස් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් වන අතර එය රටවල් 17 ක සේවකයෝ 93,000 ක් සහ ශ්‍රී ලංකාවේ විවිධ කම්හල් වල 69,000 ක් සේවය කරයි.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

පසුගිය වසර දෙක තුල ශ්‍රී ලංකා එස්කුවල් සමාගම කොනිවෙක, යක්කල, ජාඇල ඒකල සහ කෑගල්ල යන ප්‍රදේශවල සිය කර්මාන්තශාලා වසා දැමීය. ජූලි සහ ඔක්තෝබර් අතර, අවුරා සහ ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවන්ට ගෙවිය යුතු හිඟ වැටුප් නොගෙවා කොනිවෙක සහ බෙලිඅත්තේ කර්මාන්තශාලා තුනක් වසා දැමීය. මෙම වසා දැමීම් හේතුවෙන් පුද්ගලයන් 7,500 කට පමන රැකියා අහිමි විය.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ඇඟලුම් අපනයනය සියයට 30 කින් පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (ශ්‍රීලංඇඅසං) අනතුරු අඟවා තිබේ. එහි සභාපති ඉන්දික ලියනහේවගේ පැවසුවේ, ඇඟලුම් අපනයන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙලඳපොලවල් වන එක්සත් ජනපදය සහ යුරෝපය අවපාතයකට ඇද දමන උද්ධමන පීඩනයකට ලක්ව ඇති බවයි. “ගෝලීය බාධාකාරී තත්වයන්” ලබන වසරේ මුල් මාස හය තුල අපනයන කෙරෙහි අඛන්ඩව බලපානු ඇතැයි ඔහු පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් මෑතකදී පනවන ලද ආයතනික බදු සහ අපනයන මත බදු සියයට 14 සිට සියයට 30 දක්වා වැඩි කිරීම, අනෙකුත් ඇඟලුම් අපනයනය කරන රටවල්, විශේෂයෙන් බංග්ලාදේශය සහ වියට්නාමය වෙතින් තරඟකාරීත්වය වැඩි වීමේ තර්ජනයක් මතු කරන බවට ඔහු පැමිනිලි කලේය.

ඉහල යන අමුද්‍රව්‍ය මිල සහ හිඟය, ඉල්ලුම පහත වැටීම සහ ඇනවුම් නොමැතිකම යන සියල්ල, කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් උග්‍ර කර ඇත. ඇඟලුම් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් එයට නිර්දය ලෙස ප්‍රතිචාර දක්වන්නේ අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමෙනි.

2020 ඇස්තමේන්තුවකට අනුව ඇඟලුම් කර්මාන්තයේ සෘජුවම සේවය කරන කම්කරුවන් සංඛ්‍යාව 350,000 ක් වන අතර තවත් 700,000 ක් වක්‍ර ලෙස සේවය කරයි.

2020 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ජාකසං) වාර්තාවකට අනුව, ආසියාව තුල දහස් ගනනක ඇඟලුම් හා රෙදිපිලි කම්කරුවන්ගේ රැකියා විනාශ වී තිබේ.

වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කරන ලද ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් පටවද්දී කම්කරු පන්තිය මෙම ප‍්‍රහාරයන්ට මුහුන දෙයි. අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දැමීම, කම්කරුවන් මත බදු වැඩි කිරීම, සමාජ වියදම් කපා හැරීම සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම ඊට ඇතුලත් ය.

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේසං) ඇතුලු වෘත්තීය සමිති, අවම වන්දියක් සහිතව ඊනියා ස්වේච්ඡා විශ්‍රාම ගැනීම් පිලිගැනීමට කම්කරුවන්ට බලකරමින් කරන සේවයෙන් පහකිරීම් වලදී, එස්කුවෙල් සමාගම සමග දැනටමත් සහයෝගයෙන් කටයුතු කර ඇත.

විපක්ෂයේ සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන නිවෙකපොසේසේසං, වානිජ, කාර්මික සහ පොදු සේවක සංගමය සහ අන්තර් සමාගම් සේවක සංගමය, වසංගතය අතරතුර ආන්ඩුවේ සහ සංගතවල රැකියා සහ වැටුප් මත ප්‍රහාරවලට සහාය දැක්වීය. මෙම සංවිධාන කම්කරුවන්ගේ අයිතීන් සඳහා නොව, ලාභය තහවුරු කරන මහා ව්‍යාපාරිකයන්ගේ මෙවලම් වේ.

අවුරා කම්හලේ සේවයේ නියුතු කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: “රැකියාවක් අහිමි වීමෙන් පසු ජීවත් වීම ඉතා අපහසුයි. සේවයෙන් පහකිරීම් සහ හිඟ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කම්කරු කාර්යාලයට කරන ලද පැමිනිල්ල සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂනයක් සිදුවී නැහැ. කම්කරුවන්ට අඩු පඩියට වෙනත් ස්ථානවල තාවකාලික රැකියා කරන්න සිදුවෙලා.

“ධනපති ක්‍රමය යටතේ කම්කරුවන්ට තම ප්‍රශ්න විසඳාගත නොහැකි බව පැහැදිලියි. අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කල යුතුයි. ඒ සඳහා අපි සංවිධානය විය යුතුයි.”

රැකියා සහ වැටුප් ආරක්ෂා කිරීමට සහ වැඩි දියුනු කල සේවා කොන්දේසි සඳහා සටන් කිරීමට එක්සත් අරගලයක් සංවිධානය කිරීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ඇය කොග්ගල සහ සියලුම නිදහස් වෙලඳ කලාප සහ අනෙකුත් වැඩපලවල කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙම කම්කරුවා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මුලපිරීම මත මෑතකදී පිහිටුවන ලද කොග්ගල නිදහස් වෙලඳ කලාප ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකාවකි.

වෘත්තීය සමිති, ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ගේ ව්‍යාජ වාම ක්ෂමාලාපකයන්ගෙන් ස්වාධීනව සෑම වැඩපලකම, කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශයකම සහ ග්‍රාමීය කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප කැඳවුම් කරයි. එවැනි කමිටු ගොඩනැගීම, වික‍්‍රමසිංහ තන්ත‍්‍රයේ ප‍්‍රහාරයට එරෙහිව කම්කරුවන්ට තම ජීවන කොන්දේසි සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට පදනමක් සපයනු ඇත.

සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයට නායකත්වය දීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප උද්ඝෝෂනය කරයි.

Loading