ඉදිරිදර්ශන

දෙසැම්බර් 10දා රැලියේ සමාප්ති සටහන්

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ යුද්ධයට එරෙහි සටන

(මෙය The International Youth and Students for Social Equality and the fight against war මැයෙන් 2022 දෙසැම්බර් 12දා පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

පහත පලවන්නේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කරන ලදුව, දෙසැම්බර් 10දා “යුක්‍රේනයේ යුද්ධය නතර කිරීම සඳහා ශිෂ්‍යයන්ගේ හා තරුනයන්ගේ ව්‍යාපාරයක් ගොඩනගනු!” යන මැයෙන් පැවැත්වූ රැස්වීමට ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඉදිරිපත් කල සමාප්ති සටහන් ය.

ලොව පුරා සසජාතශි හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සාමාජිකයෝ රැස්වීම ඇමතූ හ. සසජාතශි සමග සම්බන්ධ වීමට වැඩිදුර තොරතුරු සඳහාiysse.com වෙත පිවිසෙන්න.

අද දින ඔන්ලයින් රැලිය, යුක්‍රේනය තුල යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනැගීමේ සැතපුම් කනුවක් සනිටුහන් කරනවා. මෙහි කථිකයන් හුදෙක් එම යුද්ධයෙහි ඓතිහාසික සම්භවයන්, වර්තමාන ඉලක්ක හා දේශපාලනික විපාක විස්තර කර ඇතුවා පමනක් නෙවෙයි. මෙම යුද්ධයේ සාපරාධී ස්වභාවය ද හෙලිදරවු කල ඔවුන්, එය සැලසුම් කිරීමට, පෙලඹවීමට හා දියත් කිරීමට වගකිව යුතු සියලු ආන්ඩුවලට එරෙහි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කලා. මහජන විඥානය නිද්‍රාගත කොට, යුද්ධය සඳහා සහයෝගය නිෂ්පන්න කිරීම සඳහා ආන්ඩු හා මාධ්‍ය ගෙන යන ප්‍රචාරනයේ පදනම සකස් කරන බොරු නිෂ්ප්‍රභා කිරීමට කථිකයන් කටයුතු කලා.

යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ ස්වභාවයත්, එය නැවැත්වීමට කල යුත්තේ කුමක් ද යන්නත් පිලිබඳ නිශ්චිත නිගමන කරා, සමස්තයක් ලෙස අද මෙහි කල කතා යොමු වෙනවා. පහත සඳහන් ආකාරයට මෙම නිගමන සම්පින්ඩනය කල හැකියි:

1. යුක්‍රේනය තුල යුද්ධය, එහි සමාජ-ආර්ථික හා දේශපාලනික සාරය අතින් ගත් විට, එක්සත් ජනපදය සහ නැටෝ සන්ධානයේ අනෙකුත් ප්‍රධාන ධනපති බලයන් විසින් පොලඹවනු ලබන අධිරාජ්‍යවාදී යුද්ධයකි.

2. එක්සත් ජනපදය නායකත්වය දෙන නැටෝවෙහි ඉලක්කය වන්නේ, රුසියානු ෆෙඩරේෂනය බිඳ දැමීමට සහ එම සුවිශාල රට බෙදා එහි යෝධ ස්වාභාවික සම්පත් අධිරාජ්‍යවාදී බලයන් අතර බෙදාගැනීමට තුඩු දෙන මිලිටරි පරාජයක් රුසියාවට අත්කර දීම යි.

3. යුරේසියාව දක්වා නැගෙනහිර දෙසට නැටෝවෙහි ව්‍යාප්තිය කෙරෙහි පවත්නා රුසියානු බාධකය ඉවත් කිරීම චීනය වටලෑමට ආධාරකවනු ඇතැයි ද, යුද්ධයෙහි හෝ ගෝලීය ධනපති ආර්ථික පීඩනය අනවරතව යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස - චීන පාලන තන්ත්‍රය එහි ශූන්‍ය-කෝවිඩ් පිලිවෙත අතහැර දැම්මාක් මෙන්- චීනය තම විධානයන්ට නතුකරගත හැකි වෙතැයි ද අධිරාජ්‍යවාදීන් විශ්වාස කරනවා.

4. විසිවන ශතවර්ෂයේ පැවති ලෝක යුද්ධ දෙකේ දී මෙන්, අවසාන විග්‍රහයේ දී මෙම යුද්ධයෙහි දේශපාලනික ඉලක්කය වන්නේ, අධිරාජ්‍යවාදී බලයන් අතර ලෝකය අලුතින් යලි බෙදාගැනීම. මෙම ක්‍රියා දාමයෙහි තර්කනය රුසියාව හා චීනය සමග ගැටුමෙන් ඔබ්බට ද විහිදී යයි. නැටෝ සන්ධානය සහ ආසියාවේ හා ආසියා-පැසිෆික් කලාපයේ රටවල් අඩංගු කරගන්නා අතිරේක මිලිටරි ගිවිසුම් සමන්විත කරන්නේ, “සහෝදර කන්ඩායමක්” නො ව, අධිරාජ්‍යවාදී හොරුන්ගේ හා බෙලි කපන්නන්ගේ ගුහාවක්. අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිමල්ලතාවන්ගේ තර්කනය, අද දින තාවකාලික මිතුරන් අතර තිත්ත ගැටුම් බවට තුඩු දීමට වැඩි කලක් ගත වීමට ඉඩ තබන්නේ නෑ. උදාහරනයක් ලෙස, එක්සත් ජනපදය හා ජර්මනිය අතර වැනි අතීතයේ හතුරුකම්, අනිවාර්යයෙන් ම යලි ඉස්මතු වෙනවා ඇති.

5. කම්කරු පන්තිය විසින් නවත්වනු නො ලැබුව හොත්, මෙම ක්‍රියා දාමයෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ, අතීත ප්‍රචන්ඩත්වය අඟුටුමිටි බවට පත් කරන පරිමානයේ ගෝලීය ව්‍යසනයක්. යුද්ධය පුපුරා ගිය තැන් පටන්, න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමේ හැකියාව දේශපාලනික කථිකාව තුල සාමාන්‍යකරනය කර තිබෙනවා.

6. යුද්ධය පොලඹවාලීමේ දී එක්සත් ජනපද-නැටෝ සන්ධානයේ කේන්ද්‍රීය වගකීම තිබියදී, 2022 පෙබරවාරි 24දා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම, 1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසුව බලයට ආ පාලක ධනපති කතිපයාධිකාරය වෙනුවෙන්, පුටින් තන්ත්‍රය ක්‍රියාවට දැමූ ප්‍රතිගාමී හා මංමුලා සහගත ක්‍රියාවක්.

7. සාර්වාදයේ හා නව-ස්ටැලින්වාදී ජාතික ස්වෝත්තමවාදයේ ප්‍රතිගාමී උරුමයට ආයාචනා කිරීම මගින්, යුද්ධය සාධාරනීකරනය කිරීමට පුටින් පාලන තන්ත්‍රය ගන්නා උත්සාහයන් නියෝජනය කරන්නේ, නින්දිත ඓතිහාසික ප්‍රතිගමනයක්. ඔක්තෝබර් විප්ලවයෙන් පස් වසරකට පසුව, 1922 දී සෝවියට් සංගමය ගොඩනගන ලද දුර දක්නාසුලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, පුටින් පාලන තන්ත්‍රය විසින් මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම නොවන්නට, නැටෝවේ ප්‍රකෝපකරනයන් සාර්ථක වන්නේ නෑ. ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් බොල්ෂෙවික් ආන්ඩුව, ස්වේච්ඡා ජනරජයක් ලෙස ගොඩනැගූ සෝවියට් සංගමය, සියලු ජාතික හා වාර්ගික කන්ඩායම්වල ප්‍රජාතන්ත්‍රවාදී සමානතාවට ව්‍යවස්ථාවෙන් ම කැප වුනා. රුසියාව තුල ජාතික ස්වෝත්තමවාදය හිතාමතා ම දිරිගැන්වීම -මෙය යුක්‍රේනය තුල එහි විවෘත ෆැසිස්ට්වාදයට අනුරූප වෙයි- දඩයමට යටත් වී සිටින රටවල් දෙකේ ම මහජනයා අතර භාතෘ-ඝාතක යුද්ධයක් (සහෝදරයන් එකිනෙකා මරා ගැනීමේ යුද්ධයක්- පරිවර්තක) සඳහා දෘෂ්ටිවාදාත්මක පූර්වාවශ්‍යතා නිර්මානය කලා.

8. එහි සාරභූත ඓතිහාසික ඉදිරිදර්ශනය තුල බහා විමර්ශනය කරන කල, යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය යලි වතාවක් සනාථ කරන්නේ, ධනවාදය ද එය මූර්තිමත් කරන ජාතික රාජ්‍ය පද්ධතිය ද අවසන් කිරීමේ අවශ්‍යතාව. සත්‍ය වසයෙන් ම, මෙම යුද්ධය වනාහි, නිෂ්පාදන මාධ්‍යයන්හි ධනපති පුද්ගලික අයිතිය හා ලෝකය එකිනෙකට හතුරු ජාතික රාජ්‍යයන්ට බෙදී තිබීම, මානව වර්ගයාගේ ප්‍රගතිශීලී වර්ධනය හා පැවැත්ම සමග ම පවා, මාරාන්තික ලෙස නො ගැලපෙන බව පෙන්නුම් කරන එක් ප්‍රකාශනයක් පමනයි.

9. පෙන්නුම් කරන ලද මේ සියලු කාරනාවන්ගෙන් අවසන් නිගමන ගලා එයි: ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතු වාත්තු කරගැනීම හරහා ද ලෝක සමාජවාදී විප්ලවය මගින් ධනපති පාලනය අවසන් කිරීම හරහා ද යුද්ධයට එරෙහි අරගලය ඉදිරියට යයි.

10. මෙම ලෝක ඓතිහාසික කර්තව්‍යය ජයග්‍රහනය කිරීම සඳහා, කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම අවශ්‍ය ය. එහෙත් මෙම කර්තව්‍යය මුලසිටම කලයුත්තක් නොවෙයි. ට්‍රොට්ස්කි විසින් ගොඩනගන ලද, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ශතවර්ෂයක් පුරා විහිදෙන යෝධ ඓතිහාසික අත්දැකීම මත සිය කටයුතු පදනම් කරන ජාත්‍යන්තර කමිටුව විසින් අද දින නායකත්වය දෙන හතරවැනි ජාත්‍යන්තරය තුල මෙම විප්ලවවාදී පක්ෂයෙහි පදනම් දැනට මත් පවතිනවා.

අද දින ජාත්‍යන්තර රැලිය, සමාජවාදී විප්ලවයේ හා කම්කරු පන්තික බලයේ ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් එය ප්‍රමුඛ වසයෙන් යොමු කෙරී ඇත්තේ ලෝකයේ තරුනයන් වෙත යි. මෙය අපේ ක්‍රියා මාර්ගයට එරෙහි වන්නේ නැහැ. ඒ වෙනුවට, එය, ලෝක සමාජවාදී ඉදිරි දර්ශනයෙහි තීරනාත්මක හා අතහැරිය නො හැකි අංශයක් වෙනවා. කම්කරු පන්තියේ බලගතු හා සමාජීය වසයෙන් තීරනාත්මක ක්‍රියාවලින් තොර ව හා වෙන් ව, තරුනයන්ට ලෝකය වෙනස් කරන්න බැහැ. එහෙත්, තරුන ජනයාගේ සටන් කිරීමේ ශක්තිය, උද්‍යෝගය හා පරමාදර්ශයෙන් තොර ව, කිසි කලෙක අව්‍යාජ විප්ලවවාදී ව්‍යාපාරයක් පැවතී නැති අතර තිබෙන්නේ ද නැහැ.

ලෝකයේ ජනගහනය බිලියන 8 පසුකලා විතරයි. මෙම බිලියන ගනනින් අතිමහත් බහුතරය තරුන ජනයා වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නව යෞවනයන් හා විසිගනන්වල පසුවන්නන් වෙනවා. සූරාකෑම, දරිද්‍රතාව, ලෙඩරෝග, ෆැසිස්ට්වාදය හා යුද්ධය හැර ධනවාදය සතුව ඔවුන්ට දීමට තිබෙන්නේ කුමක් ද?

තරුනයන් ඔවුන්ගේ අනාගතය සඳහා සටන් කල යුතු බව අද මෙහි බොහෝ කථිකයන් පවසා තිබෙනවා. වඩාත්ම වාචික අර්ථයෙන් එය සත්‍යයක්. එසේ වන්නේ, යුද්ධය, වසංගතය හා දේශගුන වෙනස යන සියල්ල, අනාගතයක් සඳහා අයිතිය නිරපේක්ෂ ව නිෂ්ප්‍රභ කරන නිසා. ජීවිතයකින් තොර ව අනාගතයක් නැහැ.

එහෙත්, අනාගතයක් සඳහා තරුනයන්ට පවතින අයිතිය අහිමි කිරීමට නම්, පාලක පන්තිය පලමුව ඔවුන්ට ඔවුන්ගේ බලාපොරොත්තු අහිමි කල යුතු යි. ඒ කියන්නේ, ආන්ඩු හා මාධ්‍ය පාලනය කරන ධනපති ප්‍රභූන්, ලෝකය වෙනස් කිරීම සඳහා තරුනයන්ට කල හැකි කිසිවක් නැති බවත්, අද පවතින අසාධාරනයන් සදාකාලික ව පවතිනු ඇති බවත්, මානව කාලකන්නිභාවයේ හේතු, සමාජයේ ගමන් මාවත සැබෑවට ම තීරනය කරන ආර්ථික අවශ්‍යතා හා සබඳතා තුල නො ව, මනුෂ්‍යයන්ගේ ස්වභාවය හා ඔවුන්ගේ එක්තරා ආකාරයකින් ගූඪ මානසිකත්වය තුල ම මුල් බැස තිබෙන බවත් තරුනයන්ට ඒත්තු ගැන්වීමට හැකි සියල්ල කරන බව යි.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හා සසජාතශිහි විරුද්ධවාදීන්- විශේෂයෙන් ම ධනවත් මධ්‍යම-පන්තික ව්‍යාජ වමේ පක්ෂ හා සංවිධාන- සසජාතශි එහි වැඩකටයුතු ඕනෑවට වැඩි න්‍යායික මට්ටමකින් ගෙන යන බව කියා පාවි. සංකීර්න ඓතිහාසික සැඳහුම්වලින් තොර ව, යමෙක් රැඩිකල් පන්නයේ වාගාලාප හා සටන්පාඨවලට සීමා වීම වඩා හොඳ බව ඔවුන් කියා පානවා.

අපි, නරුමත්වය හා අප්‍රකාශිත එහෙත් ප්‍රතිගාමී න්‍යාය පත්‍රයක් මගින් ප්‍රේරනය කරනු ලබන එවන් විවේචන, අවඥාවෙන් යුතු ව ප්‍රතික්ෂේප කරනවා.

තරුන ජනයාට ලෝකය වෙනස් කිරීම අවශ්‍ය නම්, ඔවුන් එය තේරුම්ගත යුතු යි. ආසන්න වසයෙන් ශතවර්ෂයකට පෙර, 1924 දී, “තරුනයිනි, දේශපාලනය අධ්‍යයනය කරන්න!”යන ලිපියේ ලියොන් ට්‍රොට්ස්කි මෙලෙස ලියා තැබුවා:

'සමාජය තුල ජීවත් වන තරුන ජනයා, නිශ්චිත කොන්දේසි තුල ඉපදෙමින්, සුවිශේෂී ඓතිහාසික වැඩකටයුතුවල ක්ෂේත්‍රයේ ජීවිතයට පිවිසෙන අතර, වැඩිකල් නො යවා ඔවුන් වටා පවතින ලෝකයට දෙනෙත් විවර කරති. ඔවුන් ජීවත් වන කොන්දේසි ගැන ඔවුන් වටහා ගන්නා ආකාරය වඩා හොඳ හා වඩා ප්‍රගාඪ වන තරමට, ඔවුන්ට ජීවිතය ගෙනයාම පහසුවනු ඇත.'

වර්තමාන තත්ත්වයේ දී මෙම වචන අනුනාද වෙනවා. ලෝකය අද පවතින ප්‍රතිගාමී මාවතින් මාරු කොට සමාජවාදයේ මාවතට ගෙන ඒම, යෝධ ඓතිහාසික කටයුත්තක්. එය ජයග්‍රහනය කිරීමට දේශපාලනය -විශේෂයෙන් ම ඉතිහාසය පිලිබඳ මාක්ස්වාදී භෞතිකවාදී සංකල්පය මත පදනම් වන දේශපාලනය- බැරෑරුම් ලෙස අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. ධනපති ක්‍රමයේ හා පන්ති අරගලයේ නීති නියාම විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීම කල හැක්කක් බවට පත් කරන්නේ එම දේශපාලනය යි.

තරුනයන්ගේ විප්ලවවාදී බුද්ධි ප්‍රබෝධයට බිය වන පාලක පන්තිය, තරුන ජනයා මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදය සමග කිසිදු සම්බන්ධයක් පැවැත්වීම නැති කර දැමීමට එයට හැකි සියල්ල කරනවා. ඉතිහාසය පිලිබඳ නො දැනුම, විද්‍යාවට විරුද්ධත්වය, වෛෂයික සත්‍යය සඳහා අවඥාව සම සංස්කෘතික පසුගාමීත්වයේ ගනන් නැති රූපාකාර ඉදිරියට දැමීමට පාලක පන්තිය ක්‍රියා කරනවා. අධිරාජ්‍යවාදී මිලිටරිවාදය උත්කර්ෂයට නැංවීමට, සමාජීය වසයෙන් විවේචනාත්මක චින්තනය වලකපන බව ඔවුන් හොඳින් ම දන්නවා. තරුනයන් අධිරාජ්‍යවාදී යුද්ධයන්ගේ වෙඩි උන්ඩ බවට ලඝු කිරීමට, ඔබගේ කර්තව්‍යය “ඇයිදැයි හේතු සෙවීම නො ව... යුද්ධ කර මිය යාම යි” නමැති පැරනි මිලිටරිවාදී වාක්‍යය මත පදනම් වන අන්ධ කීකරු භාවය අවශ්‍ය කරනවා.

එහෙත්, තරුනයන්ටත් ලොව පුරා වැඩකරන ජනයාටත් ඔවුන්ගේ අනාගතය සඳහා සටනේ දී අවශ්‍ය වන දේශපාලනික අධ්‍යාපනය තරුනයන්ට සම්පාදනය කිරීමට, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය කැප වී සිටිනවා.

සසජාතශි වෙත බැඳී, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ තීරනය ගනිමින්, ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය ඉදිරියට ගෙන යන ලෙස, මෙම රැස්වීම සමාප්ත කරමින් අපි තරුනයන්ට කැඳවුම් කරනවා.

Loading