ජවිපෙ, “රට බේරා ගැනීම” සඳහා බලය ලබා ගැනීමට ඔට්ටු අල්ලයි

[මෙය Sri Lanka’s JVP makes bid for power to “save the country” යන මැයෙන් 2022 දෙසැම්බර් 22 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දෙනු ලබන ජාතික ජන බලවේග (ජාජබ) මහ මැතිවරනයක් ඉල්ලා සිටීමේ රැස්වීම් මාලාවක් රට පුරා පවත්වමින් තමන් බලයට පත් කරන ලෙස මහ ජනතාවට කියා සිටී.

ජාජබ කියා සිටින්නේ, තමන් 1948 නිල නිදහසේ සිට ලංකාව පාලනය කල අනෙකුත් දූෂිත ධනේශ්වර පක්ෂ මෙන් නොව, “ආර්ථික, සමාජීය හා සංස්කෘතික අගාධයෙන් රට ගලවා ගත හැකි” පිරිසිදු සංවිධානයක් බවයි.

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පැරීසියේ පැවති රැස්වීමක් අමතමින් [Photo: Anura Kumara Dissanayake]

මෙය දේශපාලන විකාරයකි. ජවිපෙ/ජාජබ ට 'රට බේරා ගැනීමට' අවශ්‍ය වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) දරුනු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම පිනිස ය. කෙසේ වෙතත්, ප්‍රසිද්ධ වේදිකාවල කතා කරන විට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග අනුගමනය කරමින් ලංකාවේ ධනවාදය බේරා ගැනීම සඳහා තමන්ට පවතින අභිප්‍රාය ගැන කිසිදු සඳහනක් නොකරමින් එය ජනතාව මුලාවේ හෙලයි.

ඔක්තෝබර් 17 වැනිදා ස්වර්නවාහිනී නාලිකාවේ සාකච්චාවක දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ, ලංකාව විදේශ නය පැහැර හැර තිබෙන බැවින් “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි දෙයක් ව පවතින” බවයි. ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේදී “සමාජය යම් දරා ගැනීමක් කල යුතුම යි” ඔහු පැවසී ය. ඔහුගේ තර්කය වූයේ, දැවැන්ත රැකියා අහිමිවීම්, ඉහල යන උද්ධමනය සහ අති මූලික සමාජ සේවා විනාශ කිරීම සඳහා “අලුත් කන්ඩායම”, එනම් ඔහුගේ පක්ෂය, “දෙන ආදර්ශය මත ජනතාව මේක දරාගන්න ලෑස්ති” බවයි.

1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුල් වෙමින් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සිදුකල මහා පාවා දීමේ ඉක්බිත්තෙන්, ජවිපෙ 1960 ගනන් අග භාගයේ දී මතු විය. ලසසපය සමාජවාදී ජාත්‍යන්තරවාදය මුලුමන්ම අත්හැර දැමීම, වාර්ගික දේශපාලනය තුල මුල් බැසගත් රැඩිකල් සුලු ධනේශ්වර කන්ඩායම්වල මතු වීමට දොර විවර කලේ ය. ජවිපෙ පදනම් වූයේ මාඕවාදය සහ කැස්ත්‍රෝවාදය, සමාජවාදී වාක්‍ය දෙඩවීම හා “සන්නද්ධ අරගලය” උත්කර්ෂයට නැන්වීම සමග සිංහල දේශප්‍රේමය එකට කලතා ගත් විෂකුරු සම්මිශ්‍රනයක් මත ය.

ජවිපෙ, ජාත්‍යන්තර ව ඊට සමාන කන්ඩායම් මෙන්, පසුගිය දශක හතර පුරා තුවක්කු සහ කැලෑ ඇඳුම් අත්හැර දමා සුවපහසු පාර්ලිමේන්තු ආසනවල වාඩි ගැනීම සඳහා කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ විය. ජවිපෙ විවිධ මාදිලියේ ශාස්ත්‍රාලිකයන්, වෘත්තිකයන්, ජවිපෙ විසින් පාලිත වෘත්තීය සමිති සහ අනෙකුත් සංවිධාන සමඟ 2015 දී ජාජබ පිහිටුවා ගත්තේ එම වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරනයට තරඟ කිරීම සඳහා ය. එතැන් පටන්, එය මෙම ඉහල මධ්‍යම පන්තික සහ දේශීය ව්‍යාපාරික ස්ථරයන් අතර තම පදනම පුලුල් කර ගෙන ඇත.

ජවිපෙ/ජාජබ අනෙක් පක්ෂ දූෂිත යැයි විවේචනය කල ද, ජවිපෙට ඇත්තේ ද මේ ධනපති පක්ෂ සමඟම පෙල ගැසී ඒවාට සහාය දුන් ඉතිහාසයකි. එහි ප්‍රතිගාමී ජාතිකවාදී ඉදිරිදර්ශනය කරලියට පැමිනියේ, සිංහල ප්‍රභූවේ ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා වසර 26ක දීර්ඝ ලේ වැකි දෙමල විරෝධී වාර්ගික යුද්ධයට සහය දක්වමිනි. වැඩ කරන ජනතාව අතර පුලුල් ලෙස අපකීර්තියට පත් ව ඇති ජවිපෙ, ජාජබ දේශපාලන පෙරමුනක් ලෙස යොදා ගනිමින් සිය අතීතය වසන් කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

ජවිපෙ සහ ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) පලල් ව පිලිකුලට පාත්‍ර ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාමූඅහි දරුනු කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වැඩෙන මහජන විරෝධය පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි කනස්සල්ලට පත් ව නව මැතිවරනයක් ඉල්ලා සිටිති.

දරාගත නොහැකි ජීවන සහ සමාජ කොන්දේසිවලට එරෙහි ව අප්‍රේල් මාසයේ ආරම්භ වූ දැවැන්ත විරෝධතා මාධ්‍යයේ ජූලි 13 දා ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමෙන් පසු ව, අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසින් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී චන්දයකින් ජනාධිපති ලෙස පත් කර ගනු ලැබුනි.

මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා දුගීන් සම්බන්ධ වූ නැගිටීම, ජවිපෙ සමිති ද ඇතුලු වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම් විසින් පාවා දෙන ලදි. ඔවුහු අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සහ පසු ව මහ මැතිවරනයක් පැවැත් වීම සඳහා ජවිපෙ හා සජබ කල ඉල්ලීම් පිටුපසට කම්කරුවන් තල්ලු කලහ.

යහපත් සේවා කොන්දේසි සඳහා ද සහ පුද්ගලීකරනයට එරෙහිව ද තේ වතුකරයේ සහ රාජ්‍ය අංශයේ නව පන්ති අරගල රැල්ලක් මතුවෙමින් තිබේ. ගැමි දුගියෝ ජීවන තත්වයන් සීඝ්‍රයෙන් පිරිහී යාමට එරෙහි ව විරෝධතාවයේ යෙදී සිටිති. විවිධ මැතිවරන කොට්ඨාශවල සිය රැස්වීම්වලට දහස් ගනනක් සහභාගී වන තත්වයේ දී ජාජබ, මහජනයා අතර පවතින දැවෙන කෝපය ගසාකෑමට උත්සාහ කරයි.

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහර පැවති රැස්වීමක් අමතමින් [Photo: Anura Kumara Dissanayake]

දෙසැම්බර් 4 වැනි දා කොලඹට ආසන්න ප්‍රදේශයක් වන මහර දී කතා කරමින් දිසානායක පැවසුවේ, විවෘත වෙලෙඳපොල ආර්ථික ප්‍රතිපත්ති, විශාල විදේශ නය ගැනීම් සහ ජාතික සම්පත් විකිනීම් නිසා ආර්ථිකය කඩා වැටී ඇති බවයි. ඔහු මෙසේ ප්‍රශ්න කලේ ය: “දැන් කුමක් කල යුතුද?” කෙසේ වෙතත්, ඔහු දුන් පිලිතුරු මිලියන ගනන් ජනයා මුහුන දෙන දුක්ඛිත කොන්දේසිවලට විසඳුම් ලබා දෙන්නේ නැත.

දිසානායක කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සියලූ බලතල පාර්ලිමේන්තුවට පවරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කල යුතු බවයි. පොලිසියට, දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, නීතියට අනුව ක්‍රියා කිරීමට ඉඩ සලසන බව ද ඔහු පැවසී ය.

දිසානායක, අනාගත ජාජබ ආන්ඩුවක් පත් කරන්නේ 25 දෙනෙකුගෙන් යුත් කැබිනට් මන්ඩලයක් සහ රාජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකු පමනක් බවට පොරොන්දු වූයේ, වේදිකාවේ සිටින විද්වතුන්ගේ සුදුසුකම් හුවා දක්වමිනි. “වංචාව හා දූෂනය නැති කල හැක්කේ ජාජබට පමනයි. අපි අතර දූෂිතයන් නැහැ,” ඔහු පැවසී ය.

වැඩකරන ජනතාව මුහුනපා සිටින දැවැන්ත සමාජ අර්බුදය දූෂනය පිටු දැකීමෙන් පාර්ලිමේන්තුව හරහා විසඳාගත හැකි බවට ජාජබ නිර්ලජ්ජිත ලෙස මිත්‍යාවන් වපුරයි. ආර්ථීක අර්බුදය නිර්මානය කර ඇත්තේ දූෂනය විසින් නොවේ. ජවිපෙ සහ සියලු ම පාර්ලිමේන්තු පක්ෂ ඉස් මුදුනින් ආරක්ෂා කරන ධනේශ්වර ක්‍රමය විසින් ම ය.ජවිපෙ එකතු වූ හෝ සහාය දුන් ආන්ඩු තුල දූෂනය යහමින් පැවතුනි.

දිසානායක ලංකාව ලෝකයේ පිලිගැනීම ඉහල නංවා ගැනීමටත්, වඩා හොඳ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමටත් පොරොන්දු වූයේ, “ලංකාව ලෝකයේ බබලවන” බව පවසමිනි. එවිට පමනක්, දිවයිනට පිරිසිදු ආයෝජකයින් සහ ධනවත් ව්‍යනවසායකයින් ආකර්ෂනය කර ගත හැකි බව ඔහු ප්‍රකාශ කලේ ය.

අධිරාජ්‍යවාදයේ සහ ගෝලීය ප්‍රාග්ධනයේ ඉල්ලීම් ක්‍රියාවට නංවන ශක්‍ය විකල්ප ආන්ඩුවක් ලෙස පෙනී සිටීමට, විවිධ බලවතුන් අතර තමන්ගේ තත්වය ඉහල දමා ගැනීම සඳහා මෑත මාසවල දී ජවිපෙ නායකයින් විසින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කර තිබේ.

ජූලි මාසයේ දී කොලඹ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් ජවිපෙ නායකයින් හමු වී එම පක්ෂය ඔජ වැඩුවේ, එය “මෑත කාලය තුල මහජනතාව අතර පිලිරැව් දෙන ... වර්ධනයක්” සහිත “සැලකිය යුතු පක්ෂයක්” බවට පත්ව ඇතිබව ප්‍රකාශ කරමිනි. ඔවුන් සමග හමුව “සැබවින්ම ප්‍රබෝධමත් සහ අවංක එකක්” වූ බව තමාට පෙනී ගිය බව පැවසූ ඇය, “අප අතර හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතැයි මම සිතනවා” යයි නිගමනය කර සිටියා ය.

ජවිපෙ නායකයින් 2022 නොවැම්බර් 16 වන දින ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් හමුවෙයි. වමේ සිට: ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, හූල්ටන්, සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක [Photo: JVP]

ජවිපෙ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ නවසීලන්තය යන රටවල මහ කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කලේය. දිසානායක පාර්ලිමේන්තුවේදී කතා කරමින්, ප්‍රධාන රටවල් සමඟ ඇයගේ “ආදර්ශමත්” රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු දැමීම් ගැන බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනාට ප්‍රශංසා කලේ, ජවිපෙ ද එසේ ක්‍රියා කිරීමට ඇති අධිෂ්ටානය පෙන්නුම් කරමිනි.

ජාජබ විසින් ජනවාරි 4 දා හිටපු ජෙනරාල්වරුන් සහ විශ්‍රාදමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග හමුවක් පවත්වන බව දිසානායක මහර රැස්වීමේ දී නිවේදනය කලේ ය. කම්කරුවන් සහ ගම්බද දුගීන් මෙම සූදානම ගත යුත්තේ ජාජබ ක්‍රියාවට නැංවීමට කැප වී සිටින කප්පාදු වැඩපිලිවෙලට ඔවුන් විරුද්ධත්වය පල කරන විට එය මිලිටරි හා පොලිස් මර්දනයට ලක් කෙරෙන බවට අනතුරු ඇඟවීමක් ලෙස ය.

ජනවාරි 24 දා ජාජබ මහා ව්‍යාපාරිකයන් සමඟ රැස්වීමක් පවත්වනු ඇත. දිසානායක මෙසේ ප්‍රකාශ කලේ ය: “රටක් ලෝකයේ බැබලෙන්නේ එහි ආර්ථිකය ශක්තිමත් නම් පමනයි”. මෙම ප්‍රකාශය පෙන්නුම් කරන්නේ, ජාජබ මූල්‍ය ප්‍රාග්ධනයේ නියමයන් ක්‍රිියාත්මක කරන බවට සහතික වීමකි.

නොවැම්බර් 22 දා පාර්ලිමේන්තුවේදී කතා කරමින් දිසානායක ප්‍රකාශ කලේ, ආර්ථිකය ප්‍රකෘතිමත් කල හැක්කේ කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් පමනක් බවයි. “මහජනයා මේ තත්වය දරාගෙන යම් යම් කැපකිරීම් කල යුතුයි. මෙය කල හැක්කේ ජනවරමක් ඇති ආන්ඩුවක් යටතේ පමනයි,” ඔහු අවධාරනය කලේ ය.

ජුලි මාසයේ පැවති සංවාද මන්ඩපයක් අමතමින් දිසානායක කියා සිටියේ දිගට ම විදේශ නය ගැනීම පමනක් ප්‍රමානවත් නොවන බවයි. ඒ වෙනුවට, රටට එහි පරිභෝජන රටාව වෙනස් කිරීමට සිදු වේ. “... අපට සියල්ල භුක්ති විඳිමින් ඩොලර් ඉතිරි කල නොහැක.”

නිදසුනක් ලෙස, කප්පාදු වැඩපිලිවෙල අවසන් කරන බවට පොරොන්දු වෙමින්, 2015 දී ග්‍රීසියේ බලයට පැමින ජීවන තත්වයන්ගේ ගැඹුරු කප්පාදුවක් මගින් මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් ක්‍රියාවට දැමූ ව්‍යාජ-වාම සිරිසා ආන්ඩුව දිසානායක විසින් ඔජවැඩවීමට ලක් කෙරුනි. “ග්‍රීක ආන්ඩුව පුද්ගලයෙකුට දිනකට යුරෝ 20 ක් වියදම් කරන ලෙස නියෝග කලා. බනිස් ගෙඩියකට, කොකා-කෝලා එකකට සහ සිගරට් එකකට විතරයි ඉඩ දුන්නේ,” යනුවෙන් ඔහු කියා සිටියේ, ජවිපෙ ද එවැනි ම ක්‍රියාමාර්ග ගන්නා බව හඟවමිනි.

2022 නොවැම්බර් 2 වන දින, සිය ප්‍රධාන කාර්යාලයේදී, ජවිපෙ නායකයෝ ස්පාඤ්ඤයේ ඇන්ටි-කැපිටලිස්ට් පක්ෂයේ මිගෙල් උර්බන් ක්‍රෙවස්පෝ ඇතුලු යුරෝපීය පාර්ලිමේන්තු නියෝජිතයන් හමුවෙයි. ජාතික සංවිධායක බිමල් රත්නායක අසල සිටින්නේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ය. [Photo: JVP]

දිසානායක පාර්ලිමේන්තුවේදී කතා කරමින්, රාජ්‍ය ව්‍යවසාය විකුනා දැමීමට සහ රාජ්‍ය අංශයේ සේවකයන් සේවයෙන් පහ කිරීමට ජවිපෙ තුල ඇති සූදානම ද ඉඟි කලේ ය. “භාන්ඩාගාරයේ ආදායමෙන් රුපියලකින් ශත 58 ක් වැටුප් හා විශ්‍රාාම වැටුප් ගෙවීමට වැය කරන බවට විවේචනයක් තිබෙනවා,” ඔහු ප්‍රකාශ කලේ, ඇමතිවරුන් තම ආධාරකරුවන්ගෙන් රාජ්‍ය පරිපාලනය පුරවා ඇති බව සඳහන් කරමිනි. “ආර්ථික ප්‍රතිසංස්කරන සිදු කල යුතුයි,” ඔහු පැවසී ය. “සියල්ල රජය විසින් කල යුතු යැයි අපි කියන්නේ නැහැ.”

කම්කරුවන්, දුගීන් සහ තරුනයන් වත්මන් සමාජ ව්‍යසනය අවසන් කිරීමට විකල්පයක් සොයමින් සිටින නමුත්, ජාජබ/ජවිපෙ කැපවී සිටින්නේ, අනෙකුත් සෑම ධනපති පක්ෂයක් මෙන් ම, අන් සියල්ලටමත් වඩා ධනවාදය සහ ධනේශ්වර පාලනය සුරැකීම සඳහායි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැහැදිලි කර ඇති පරිදි, ලංකාවේ සහ ජාත්‍යාන්තර ව දැවැන්ත ආර්ථික හා සමාජ ව්‍යසනයක් නිර්මානය කර ඇති ලාභ පද්ධතිය තුල වැඩකරන ජනතාවට විසඳුමක් නොමැත. ඉතා කුඩා ධනවත් ප්‍රභූ පැලැන්තියක් සතු කර ගෙන තිබෙන නිෂ්පාදනය හා බෙදා හැරීමේ මාධ්‍යවල පාලනය අල්ලා ගෙන, ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන සමාජයේ බහුතරයකගේ යහපත සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කල යුතු ය.

සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරු පන්තියේ සැබෑ මහජන ව්‍යාපාරයක් වර්ධනය කරන ලෙස සසප ඉල්ලා සිටින්නේ මේ කර්තව්‍ය සඳහා ය. මේ සඳහා සෑම වැඩබිමක ම සහ නිවහන් ප්‍රදේශබද ව කම්කරුවන් විසින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ. ග්‍රාමීය ප්‍රදේශවල පීඩිත ගැමි ජනතාව අතර ද ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය.

මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගන ලෙස සසප ඉල්ලා සිටියි. එය, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරුවන් හා ගම්බද ජනතාව බලමුලු ගැන්වීමේ මූලෝපායික කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරනු ඇත. අවශ්‍යවන්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.

අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ සසපට බැඳෙමින් මෙම විප්ලවවාදී වැඩපිලිවෙල සඳහා සටන් කරන ලෙසයි.

Loading