සරත් කුමාර: ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී සටන්කරු 57 වැනි වියේ දී මිය යයි

[මෙය Sarath Kumara: Sri Lankan Trotskyist fighter dies at 57 මැයෙන් 2022 ‌ දෙසැම්බර් 27 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), එහි දීර්ඝ කාලීන කම්කරු පන්තික සාමාජිකයෙකු වූ සරත් කුමාරගේ අභාවය ගැඹුරු ශෝකයෙන් හා විප්‍රයෝගී හැඟීමෙන් යුතු ව දැනුම් දෙයි.

සරත් කුමාර [Photo]

57 හැවිරිදි වියේ පසු වූ සරත්, දෙසැම්බර් 21 වන දින, සෞදි අරාබියේ අල් ජුබාර් කාර්මික කලාපය අසල රෝහලක දී හදිසි රෝගාබාධයකින් පසු මිය ගියේ ය. 1991 සිට සසප සාමාජිකයෙකු වන ඔහු තම බිරිඳ සහ දිගුකාලීන සහකාරිය වන නිල්මිනි සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන චතුර (සසප සාමාජිකයෙකි) සහ අනුෂ හැර ගියේ ය.

දක්ෂ යාන්ත්‍රික ශිල්පියෙකු වූ සරත්, කම්කරුවන්ගේ අයිතීන් සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා නොසැලෙන සටන්කරුවෙකු විය. ඔහු නිතර ම කලමනාකාරිත්වයට සහ වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහි ව සහෝදර කම්කරුවන් වෙනුවෙන් කතා කල හා ක්‍රියා කල අතර, ඒ නිසා නිතර පලි ගැනීම් වලට ලක්විය.

සරත්, කොලඹට තදාසන්න මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක් වන වේල්ස් කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඔහුගේ පියා කුඩා වැඩපලක් පවත්වාගෙන ගිය දක්ෂ වාත්තු ශිල්පියෙකි.

සරත්, 1984 දී, ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන කම්කරු සෙවන විසින් පවත්වාගෙන යනු ලැබූ කාර්මික පාසලකට සහ වැඩමුලුවකට සම්බන්ධ විය. ඔහු පාසලේ පලමු සිසුන් කන්ඩායමේ හොඳම යාන්ත්‍රික ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, පසු ව එහි උපදේශකයෙකු ලෙස පත් කෙරුනි.

කම්කරුවන්ගේ අයිතීන් සඳහා වන අරගලයේ දී, වැඩපල තුල ලංකා වෙලඳ සේවක සංගමයේ (සීඑම්යූ) ශාඛාවක් පිහිටුවීමේ දී සරත් සහ ඔහුගේ වැඩපල සගයෙකු සහ මිතුරකු වන ක්‍රිෂාන්ත ජයසිංහ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලහ.

ඒ වන විට එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ලේ වැකි වර්ගවාදී යුද්ධයක් ගෙන යමින් සිටියේ ය.

සසපයේ පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), කොලඹ පාලනය විසින් ගෙනගිය යුද්ධයට සහ එල්ටීටීඊයේ බෙදුම්වාදී වැඩපිලිවෙලට එරෙහි ව, කම්කරු පන්තියේ සියලු ම කොටස් ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය මත එක්සත් කිරීමට සටන් කලේ ය.

1988 සහ 1990 අතර, එජාප ආන්ඩුව දිවයිනේ දකුනේ ගම්බද තරුනයින් 60,000 ක් පමන ඝාතනය කල ලේවැකි මර්දනයක් මුදා හැරීමට කඩතුරාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ෆැසිස්ට්වාදී ප්‍රකෝපකරනයන් ගසා කෑවේ ය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමග සමීප සහයෝගයෙන්, විකොස, මෙම මර්දනයට එරෙහි ව ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරුවන් බලමුලු ගැන්වීමට උද්ඝෝෂනය කලේ ය.

සරත් සහ ක්‍රිෂාන්ත විකොස උද්ඝෝෂන ව්‍යාපාරයට ආකර්ශනය වී, 1991 දී එහි සාමාජිකයන් බවට පත් වූයේ, කොලඹට තදාසන්න මෙම කර්මාන්ත ප්‍රදේශයේ වැඩ කටයුතුවල නිරත වූ රත්මලාන පක්ෂ ශාඛාවට බැඳෙමිනි.

විකොස විප්ලවවාදී ඉදිරිදර්ශනයේ අවශ්‍යතාවය ගැන තම සහෝදර කම්කරුවන්ට ඒත්තු ගැන්වීම සඳහා ඔවුන් සටන් කිරීමට පටන් ගත් පසු, කම්කරු සෙවන කලමනාකාරීත්වය වර්ගවාදී ප්‍රකෝපකරනයක් සංවිධානය කර ඔවුන් නෙරපා හැරියේ ය.

පදම් වූ අවස්ථාවාදියෙකු සහ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ සාමාජිකයෙකු වන බාලා තම්පෝගේ නායකත්වයෙන් යුත් සීඑම්යූ ව, කලමනාකාරිත්වය සමග පෙල ගැසෙමින් ඔවුන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කලේ ය. සරත් සහ ක්‍රිෂාන්ත, තම්පෝට කරුනු ඉදිරිපත් කිරීමට උත්සාහ කල අවස්ථා කිහිපයක දී ම සීඑම්යූ මූලස්ථානයෙන් පන්නා දමනු ලැබූහ.

ඔවුන් යලි සේවයේ පිහිටුවන්නැයි බල කරමින් රත්මලාන කාර්මික කම්කරුවන් අතර බලගතු උද්ඝෝෂනයක් දියත් කල විකොස සීඑම්යූ සාමාජිකයින් ඇතුලු කම්කරුවන්ගේ පුලුල් සහයෝගයක් දිනා ගත්තේ ය. සමිති සාමාජිකයෝ සීඑම්යූ නායකත්වයේ පාවාදීමට එරෙහිව පෙත්සමකට ද අත්සන් කලහ.

විකොස, එකල කම්කරු මාවත පුවත්පතේ මෙසේ ලිවීය:

“සේවයෙන් පහ කරන ලද සීඑම්යූ සාමාජික කම්කරුවන් [සරත් සහ ක්‍රිෂාන්ත], මෙම ප්‍රහාරය සීඑම්යූ ශාඛාව කඩා බිඳ දැමීමට යොදන දේශපාලන මර්දනයේ කොටසක් සහ වර්ගවාදී ප්‍රකෝපකරනයක් බව [සීඑම්යූ නායකත්වයට] පැහැදිලි කරමින් සවිස්තරාත්මක සත්‍ය තොරතුරු සහිත ව ලිඛිත ව සපයා ඇතත්, බාලා තම්පෝ, හාම්පුතුන් සමග එක් ව, එය ‘විනය කඩ කිරීමක්’ බව ප්‍රකාශ කරයි.”

සේවයෙන් පහ කරනු ලැබීමෙන් පසු කුඩා වැඩපලවල රැකියා සොයා ගැනීමට සරත්ට සිදු විය. 1995 දී ඔහු කොලඹට තදාසන්න පිලියන්දල ප්‍රදේශයේ පිහිටි, ‘ඉලාස්ටොමෙරික් ටූල්ස් ඇන්ඩ් ඩයිස්’ හි යාන්ත්‍රික ශිල්පියෙකු ලෙස රැකියාවක් ලබා ගත්තේ ය. ස්විට්සර්ලන්තය පදනම් කරගත් ‘ගිස්ලේව්ඩ් ගමී ඒබී’ සමාගමට අයත් එම සමාගම, ප්‍රධාන වශයෙන් ෆෝඩ්, බීඑම්ඩබ්ලිව් සහ අවුඩි වැනි මෝටර් රථ නිෂ්පාදකයින් සඳහා රබර් උපාංග නිෂ්පාදනය කලේ ය.

1997 දී, කලමනාකාරිත්වය විසින් කම්හල වසා දමා කම්කරුවන් සිය ගනනක් නෙරපා හැරීම නතර කිරීමේ අරගලයේ ඉදිරියෙන් ම සිටියේ සරත් ය. සසප, ඉලාස්ටෝමරික් එක්සත් ක්‍රියාකාරී කමිටුව සංවිධානය කල අතර සරත් එහි සභාපති ලෙස කම්කරුවන් විසින් ඒකමතික ව තෝරා පත්කර ගන්නා ලදී.

උද්ඝෝෂනයට, ප්‍රදේශයේ කම්කරුවන් සහ රැකියා විරහිතයින්ගෙන් මෙන්ම අසල පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් ද සැලකිය යුතු සහයෝගයක් ලැබුනු අතර සමාගමට පසුබැසීමට බල කෙරුනි. කෙසේ වෙතත්, ඉලාස්ටෝමරික් කලමනාකාරිත්වය සරත් ඉවත් කිරීමට අධිෂ්ඨාන කර ගත් අතර වසර කිහිපයකට පසු තවත් දඩයමක් දියත් කලේ ය.

2000 ජූනි මාසයේ දී, සරත් තම සාමාන්‍ය වැඩ මුරය අවසන් වූ පසු කම්හලෙන් පිටවීමට තම ප්‍රධානියාගෙන් අවසර ලබාගෙන තිබියදීත්, අතිකාල කිරීම ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යාජ චෝදනා මත ඔහුගේ වැඩ තහනම් කර සේවයෙන් පහ කරන බවට තර්ජනය කෙරුනි. කලමනාකාරිත්වය සරත්ගේ වැඩ තහනම් කිරීමට පෙර මාස කිහිපය තුල, විවිධ ව්‍යාජ චෝදනාවන් මත කම්කරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සේවයෙන් පහ කරමින්, වැඩ වේගවත් කිරීමේ සහ රැකියා කප්පාදු කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාවට දමමින් සිටියේ ය.

සරත් ගොදුරක් බවට පත් වීම, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව විසින් හදිසි නීති රෙගුලාසි පැනවීම සමඟ සම්පාත විය. උතුරේ අලිමංකඩ හමුදා කඳවුර එල්ටීටීඊය විසින් අල්ලා ගැනීමෙන් පසු කුමාරතුංග සියලු වැඩ වර්ජන, පෙලපාලි සහ මහජන රැස්වීම් තහනම් කලා ය.

කම්හලේ පැවති, ජවිපෙ විසින් පාලනය කෙරුනු අන්තර් සමාගම් සේවක සංගමය (අසසේසං) සරත් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කලේ ය. සසප, ප්‍රදේශයේ ඉලාස්ටෝමරික් සහ අනෙකුත් කම්හල්වල කම්කරුවන් අතර, අත්පත්‍රිකා හා පෙත්සම් බෙදා හරිමින් සහ සරත් වහා ම යලි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් උද්ඝෝෂනය කලේ ය. අසසේසං සාමාජිකයින් තම ශාඛා රැස්වීමේ දී විරෝධතා දැක්වූයේ, සරත්ගේ සේවය අත්හිටුවීමට සංගමය විරුද්ධ නොවන්නේ මන්දැයි හේතු දක්වන ලෙස බලකරමිනි.

විකොසහි ප්‍රබල උද්ඝෝෂනය නිසා මාසයකට අඩු කාලයක දී සරත් යලි සේවයේ පිහිටුවීමට කලමනාකාරීත්වයට බල කෙරුනි. නමුත් කලමනාකාරීත්වය සිය ප්‍රකෝප කිරීම් දිගටම කරගෙන ගියේ ය. කලමනාකාරීත්වයේ වැඩ වාර සටහනට අනුව වැඩ නොකලහොත් වෙනත් කම්හලකට මාරු කරන බවට සරත් සහ අනෙකුත් කම්කරුවන්ට තර්ජනය කරන ලදි. ඔහුට මහ රෑ සහ සති අන්තවල වැඩ කිරීමට නියම කෙරුනි.

මාස පහකට පසු, 2000 ඔක්තෝබර් මාසයේ දී, සමාගම දෙවන වරටත් සරත්ගේ වැඩ තහනම් කරන ලද්දේ, වැඩ කරන වේලාවන්හිදී සේවා ස්ථානයේ දේශපාලන කටයුතුවල නිරත වන බවට චෝදනා කරමිනි. කලමනාකාරීත්වය කම්හලේ ගේට්ටුවෙන් පිටත තිබූ ඔහුගේ පුද්ගලික අල්මාරිය (locker) කඩා 2000 ඔක්තෝබර් මහ මැතිවරනය සඳහා ප්‍රකාශය සහ පක්ෂයේ පුවත්පත වන කම්කරු මාවතේ පිටපත් කිහිපයක් ඇතුලු ව ඔහුගේ සියලු බඩු බාහිරාදිය අත්පත් කරගෙන තිබුනි.

සරත් එම බොරු චෝදනාව ප්‍රතික්ෂේප කලේ ය. තමන් කම්හලෙන් පිටත නීත්‍යානුකූල ව දේශපාලන කටයුතුවල නිරත වූ බවත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමන්ට ඇති බවත් ඔහු පැහැදිලි කලේ ය. නැවත වරක්, අසසේසං සරත් ආරක්ෂා කලේ නැත. මෙම කුමන්ත්‍රනයට එරෙහිව සසප උද්ඝෝෂනය කල මුත් කලමනාකාරීත්වය ඔහු යලි සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කලේ ය.

සොච්චම් වැටුපකට කුඩා වැඩපලවල වසර කිහිපයක් සේවය කල සරත් අකමැත්තෙන් වුවද 2008 වසරේ දී සෞදි අරාබියේ රැකියාවට ගියේ, තම පුතුන් දෙදෙනාගේ අධ්‍යාපනයට සහ තම පවුලට යහපත් ජීවිතයක් ගත කිරීමට වැඩි වැටුප් අවශ්‍ය වූ බැවිනි.

ම්ලේච්ඡ හා ඒකාධිපති සෞදි අරාබි පාලනය යටතේ සරත්ගේ දේශපාලන කටයුතු සීමා විය. කෙසේ වෙතත්, ඔහු තම සහෝදර කම්කරුවන්ට සසප විශ්ලේෂනය හඳුන්වා දීමට සටන් කල අතර පක්ෂය ගොඩනැගීම සඳහා සසප සමාජ මාධ්‍ය ව්‍යාපාරවල ක්‍රියාකාරී ව කටයුතු කලේ ය. ඔහු නිතිපතා ඔන්ලයින් ශාඛා රැස්වීම්වලට සහභාගී වූ අතර අවසාන කාල පරිච්ඡේදයේ දී සංක්‍රමනික කම්කරු ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කිරීමට ද සම්බන්ධ විය.

සරත් කුමාර, යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා විල් ලීමන්ගේ ව්‍යාපාරයට සහය දක්වමින් කතා කරයි

සරත් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිනියේ, ජූලි මාසයේදී සසප සභාපති සහ දීර්ඝ කාලයක් පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ විජේ ඩයස් සහෝදරයාගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ය.

ඔහු ලෝසවෙඅ වෙත මෙසේ පැවසී ය: “මම සෞදි අරාබියේ සේවය කරමින් සිටිය දී විජේ ඩයස් සහෝදරයාගේ වියෝව ගැන දැනගත්තා. ඔහුට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකාවට ආවා. ඔහුගේ වියෝව පිලිබඳ පුවත මා දැඩි ලෙස කම්පනයට පත් කලා. එය මගේ ශරීරයෙන් කොටසක් අහිමි ව යාම හා සමයි. ඔහුගේ දේශන, අදහස් සහ පැහැදිලි කිරීම්, ප්‍රශ්නවලට ඔහුගේ ප්‍රවේශය සහ ඔහුගේ මාක්ස්වාදී විධික්‍රමය තමයි අපිව පක්ෂයට ආකර්ෂනය කලේ.”

පසුගිය වසරේ සරත් ලෝසවෙඅ වෙත පැවසුවේ කොවිඩ්-19 හේතුවෙන් සෞදි අරාබියේ සේවා කොන්දේසි නරක අතට හැරී ඇති බවයි.

“2020 දී කෙටි වසංගත අගුලු දැමීමකින් පස්සේ, රට නැවත විවෘත කල දා ඉඳලා කම්කරුවන්ගේ වැටුප්, අතිකාල ගෙවීම් එක්ක මසකට ඇමරිකානු ඩොලර් 246-394 ක් පමන යි, නමුත් වසංගතයට පෙර මෙන් වැඩ ප්‍රමානය තුන් ගුනයකින් වැඩි වී තියෙනවා,” යැයි ඔහු පැවසී ය.

සෞදි අරාබියේ රැකියාවට යාමට පෙර, ශාඛා රැස්වීම් සහ වෙනත් සාකච්ඡා වැනි පක්ෂ වැඩ සඳහා සරත්ගේ නිවස සැමවිට ම විවෘත විය. ඔහු සහ ඔහුගේ පවුලේ අය දුෂ්කර කාලවලට මුහුන දුන්න ද ඔවුන්ගේ ආගන්තුක සත්කාරය කිසි විටෙකත් අඩු නොවීය. සරත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරාර්ථකාමී පුද්ගලයෙකි.

සරත්ගේ සමීපත ම සටන් සගයා වූ ක්‍රිෂාන්ත ජයසිංහ ඔහු ගැන විස්තර කලේ මෙසේ ය:

“ට්‍රොට්ස්කිවාදයේ ජාත්‍යන්තරවාදී සමාජවාදී මූලෝපාය ගැන තම ඒත්තු ගැනීමෙන් පසුව, ඔහු තම මරනය දක්වා ම ඒ මූලධර්ම සම්බන්ධයෙන් හැම විට ම නොසැලී සිටියා. සරත් සෑම විටම තම ඒත්තු ගැනීම් සහ ඒ ඇයි යන්න ගැන සෙසු කම්කරුවන්ට විස්තර කලා. ඔහු ජවිපෙ වැනි දේශපාලන ප්‍රවාහයන්ට එරෙහිව දැඩි ලෙස තර්ක කලා. ඔහු තම සෙසු කම්කරුවන් අතර ජනප්‍රිය සහ ආදරය ලද කම්කරුවෙකු වූ අතර, ඔවුන් සැම විට ම ඔහුව සැලකුවේ, විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකු ලෙස යි. ඔහු දේශපාලනික ව ගොදුරු වූ විට, කිසි විටෙකත් ව්‍යාජ චෝදනා පිලි නොගනිමින්, තම පෞද්ගලික දුෂ්කරතා නොතකා, විප්ලවවාදී සටන්කරුවෙකු ලෙස සටන් කලා. ඔහු සංවේදී පුද්ගලයෙකු වූ අතර, තම සංගීත කුසලතාවයන් භාවිතා කරමින්, අන් අයට විනෝදාස්වාදය ලබා දුන්නා. මේ දුක්ඛිත මොහොතේ මම මගේ මිතුරාට සහ මගේ දේශපාලන සටන් සගයාට ආචාර කරනවා.”

සරත් සමග රත්මලාන පක්ෂ ශාඛාවේ වැඩ කල දීර්ඝ කාලීන සහෝදරයෙකු වන සුජීව අමරනාත් මෙසේ පැවසී ය: “1990 ගනන්වල අගභාගයේ මම සසපට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සම්බන්ධ වන විට, සරත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ ගැඹුරු දැනුමක් ඇති ජවසම්පන්න තරුනයෙක්. එකල මගේ දේශපාලන නැමියාව තිබුනේ, සමාජවාදය වෙනුවෙන් සටන් කරන බවට බොරු කරන ජවිපෙ දෙසට. ජවිපෙ සුලු ධනේශ්වර ගරිල්ලා වැඩපිලිවෙලේ ප්‍රතිඵල පිලිබඳ විවේචනාත්මක තක්සේරුවක් සරත් මට සැපයූ අතර, එහි දක්ෂිනාංශික ගමන්මග නිවැරදිව පුරෝකථනය කලා, ඒ සියල්ල නිවැරදි බව ඔප්පු වී තිබෙනවා.”

තරුන වියේදී ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතවේදීන්ගෙන් ඉගෙන ගත් සරත් සංගීතයට ඇලුම් කල අයෙකි. ඔහුට පෙරදිග වාද්‍ය භාන්ඩයක් වන සර්පිනාව සහ තබ්ලාව වාදනය කිරීමටත්, වාදනය කරමින් ගායනා කිරීමටත් හැකි විය. ඔහු කලාවට හා කලාකරුවන්ට ඇලුම් කලේ ය.

සරත් අවසානය දක්වා ම ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් ප්‍රතිපත්තිගරුක සටන්කාමියෙකු විය—ධනවාදය විසින් නිර්මානය කරන ලද ආර්ථික තත්වයන් සහ සමාජ දුක්ඛිතභාවය විසින් කෙටි කරන ලද ජීවිතය, ඔහුව තම පවුලෙන්, මිතුරන්ගෙන් සහ සියල්ලටම වඩා තම දේශපාලන සගයන්ගෙන් හුදකලා කලේ ය. ඔහුගේ මතකය සමාජවාදය සඳහා වූ අරගලයට බලවත් ආශ්වාදයකි.

Loading