දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම දුම්රිය සේවය පුද්ගලීකරනයේ පලමු පියවරයි; පුද්ගලීකරනයට එරෙහිව සටන් වදිමු!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කරමින් දුම්රිය සේවය පුද්ගලීකරනය සඳහා ආන්ඩුව දියත් කර ඇති වැඩ කටයුතු ප්‍රසිද්ධ වීමත් සමඟ දුම්රිය සේවකයින් අතර ඊට එරෙහි විරෝධය හා කෝපය වැඩෙමින් පවතී.

දිනකට ලක්ෂ පහකට අධික වැඩ කරන ජනයා සිය යාම් ඊම් සඳහා යොදා ගන්නා දුම්රිය සේවය පුද්ගලීකරනය දුම්රිය සේවකයින්ට මෙන්ම දුම්රිය සේවය භාවිතා කරන අනෙකුත් මහජනයාටද එල්ල කෙරෙන ප්‍රහාරයකි. පුද්ගලීකරනයට ලක් වූ බස් සේවාවට සාපේක්ෂව දුම්රිය ගමනාගමනය තවමත් සහනදායී වීම විශාල පිරිසක් දුම්රිය භාවිතා කිරීමට හේතුවකි. ලාභය ඉහල දැමීම පුද්ගලීකරනයේ ප්‍රධාන ඉලක්කයක් වන බැවින්, පුද්ගලීකරනයෙන් අනතුරුව, වැඩ කරන ජනයා හට දුම්රිය ප්‍රවාහන ගාස්තු වෙනුවෙන් දැවැන්ත මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

මේ වනවිටත් අනුප්‍රාප්තික ආන්ඩු මඟින් දිගින් දිගට ම ප්‍රතිපාදන කපා දැමීම නිසා දුම්රිය සේවය අඩාල වන තැනට ම කටයුතු සිදු කෙරී ඇත. 2022 වසර තුල අද දක්වා, දුම්රිය පීලි පැනීම් සංඛ්‍යාව 43 ඉක්මවා ඇති අතර 2021 හා 2020 වසර වල එම සංඛ්‍යාව පිලිවෙලින් 34 හා 29 වේ. පීලි පැනීම් නිසා, ඇතිවන ප්‍රමාදයන් හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්වනවා පමනක් නොව, මගීන්ගේ මෙන් ම සේවකයන්ගේ ද ජීවිත වලට එල්ල කෙරී ඇත්තේ තර්ජනයකි. නිසි කලට අවශ්‍ය පීලි, සිල්පර හා මැදිරිවල යාන්ත්‍රික කොටස් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොසැපයීම හා පුහුනු ශ්‍රමිකයන්ගේ හිඟය මීට හේතු වන බව ප්‍රකාශයට පත් වී ඇත. මෙය පරිහානියේ එක් දර්ශකයක් පමනි.

2022 නොවැම්බර් 5 යාල් දේවි දුම්රිය පූනෑව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලී පනී. [Photo: Lakshitha naveen & others via Fantastic Travelers Facebook Page ]

ප්‍රවාහන ඇමති බන්දුල ගුනවර්ධන ආන්ඩුවේ පුද්ගලීකරන ක්‍රියාමාර්ගය යුක්තිසහගත කිරීම සඳහා දෙපාර්තමේන්තුව වසරකට රුපියල් බිලියන 10ක පාඩුවක් ලබන බවත්, සේවක අතිකාල සඳහා රුපියල් බිලියන 2.3 ක් සහ වැටුප් සඳහා බිලියන 7 ක් ගෙවා ඇති බවත් පවසා තිබේ.

ගුනවර්ධන ඉලක්ක කරන අයුරින් දුම්රිය සේවය ලාභ ලැබීමට නම් දුම්රිය ගාස්තු අධික ලෙස ඉහල දැමීම මෙන්ම සේවක සංඛ්‍යාව අඩු කර උග්‍ර සූරාකෑමට ලක් කිරීමද අවශ්‍යය. මෑත පරිපාලන වාර්තා අනුව දුම්රිය සේවය පවත්වා ගෙන යාමට සේවකයින් 21,000ක් අවශ්‍ය වුවද සේවක සංඛ්‍යාව මේ වනවිටත් ඇත්තේ 13,590 ක මට්ටමේ ය.

“පාඩුව” ලෙස නම් කෙරෙන්නේ ආන්ඩුව විසින් දුම්රිය සේවාව සඳහා වෙන් කල යුතු මුදල වන අතර වැඩ කරන ජනයාගේ අවශ්‍යතා සඳහා වෙන් කෙරෙන සියලු රාජ්‍යාධාර කපා දැමිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයයි.

පැහැර ඇර ඇති නය ගෙවීම් සඳහා මුදල් සොයාගනුවස් ජාමූඅ පනවා ඇති නියෝග අකුරටම පිලිපදින ආන්ඩුව, විදුලිය, ඉන්ධන, ජලය සහ පොහොර ආදී ක්ෂේත්‍රයන් සඳහා රාජ්‍ය ප්‍රතිපාදන මුලුමනින්ම කපා දමමින් සහ විදුලි සංදේශ, රක්ෂන වැනි ආයතන සම්පූර්නයෙන් විකුනා දමමින් සිටී.

තමන්ට හිමි අතිකාල දීමනා ගෙවන ලෙස ඉල්ලා දෙසැම්බර් 11-12 තැපැල් කම්කරුවන් වර්ජනයට පිවිසීම සමඟ ආන්ඩුවේ කැබිනට් ප්‍රකාශකයෙකුද වන බන්දුල ගුනවර්ධන කියා සිටියේ “රට අර්බුදයකට මුහුන පා තිබෙන මේ අවස්ථාවේ ඔවුන්ගේ ඉල්ලීම් කිසිසේත් ලබා දිය නොහැකි” අතර කම්කරුවන්ගේ කිසිම දීමනාවක් හෝ වැටුපක් වැඩි නොකිරීමට කැබිනට් මන්ඩලය තීන්දු කර ඇති බවයි

මෙම තීන්දුවල ප්‍රතිඵලය වනු ඇත්තේ, බඩු මිල අහස උසට නැගීම හේතුවෙන් වැටුපේ සැබෑ වටිනාකම පහත වැටීම, දීමනා සහ විශ්‍රාම වැටුප් කප්පාදුව ආදී සියලු ප්‍රශ්න උග්‍රවීම පමනක් නොව, රැකියාවෙන් දොට්ට දැමීම්, වැඩ වේගවත් කිරීම් හා නිවාඩු කැපීම් ආදී නව ප්‍රහාරයන්ට දුම්රිය සේවකයින් ගොදුරු වීමයි.

මෙම වාතාවරනය තුල ආන්ඩුව විසින් ක්‍රියාවට දමන, පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ හි ප්‍රහාරය පරාජය කිරීමේ සටන දුම්රිය කම්කරුවන් සිය අතට ගතයුතුව ඇත. එම සටන සඳහා අවශ්‍ය වැඩපිලිවෙල අප විසින්ම සාකච්ඡාකර නිර්නය කල යුතු වෙයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දෙසැම්බර් 13 දා ප්‍රවාහන ඇමති හට ලිපියක් යවමින්, “ප්‍රවාහන අමාත්‍යවරයාගේ අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කල හොත් පසු දිනම කිසිදු දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹෙන බව” පවසා ඇත.

මෙවැනි තර්ජන මඟින් ජාමූඅ හි නියෝග ක්‍රියාවට දැමීම වැලැක්විය හැකි වේ ද? ඇමති විසින් දුම්රිය අධිකාරිය ප්‍රකාශයට පත් කරන තෙක් දුම්රිය සේවකයින් නිහඬ ව සිටිය යුතු ද? මෙවන් පුහු තර්ජනවල අර්ථය වන්නේ පුද්ගලීකරනයට එරෙහි සේවකයින්ගේ විරුද්ධත්වය දියකර හැර, අධිකාරිය පිහිටුවා පුද්ගලීකරනය සඳහා පාලකයන්ට ඉඩ සැලසීම නොවේ ද?

සමිති සන්ධානයේ ලිපියේ පහත සඳහන දෙස බලන්න;

“ආන්ඩුව විසින් රටත් ජනතාවත් බරපතල පීඩාවකට පත් කර ඇති මොහොතක, වෘත්තීය ක්‍රියාමාර්ග වලට පිවිසීම සුදුසු නොවුන ද, සියල්ල විනාශ කර, රට ම අගාධයකට ඇද දැමීමට ආන්ඩුව කටයුතු කරන්නේනම්, අඳ, ගොලු, බිහිරි මිනිසුන් මෙන් නිහඩ ව සිටීමට වෘත්තීය සමිති ව්‍යාපාරයට නොහැකි බවද අවධාරනය කරමු.”

රටේ වැඩකරන ජනයා බරපතල පීඩාවට ලක් කර ඇති මෙම මොහොතේ ඊට එරෙහි ව සම්මුති විරහිත ව සටන් වදිමින් එම පීඩාව පරාජය කල යුතු වුව ද, මෙම සමිති කියා ඇත්තේ එවන් මොහොතක “වෘත්තීය ක්‍රියාමාර්ග වලට පිවිසීම සුදුසු නොවන” බවයි. ආන්ඩුව රටේ වැඩ කරන ජනයා දැනටමත් අගාධයකට ඇද දමා සිටිය දී, සමිති සිය අඳ, ගොලු, බිහිරි නිහඬතාවය බිඳීමට බලා සිටින්නේ කෙදින දක්වා ද?

වෘත්තීය සමිති ක්‍රියාත්මත වන්නේ ආන්ඩුවේ හා පරිපාලනයේ වුවමනා ඉටුකිරීමට මිස කම්කරුවන් මුහුන දී සිටින තියුනු ප්‍රහාරයන් පරාජය කිරීමට නොවන බව මෙම සැඳහුම් වල අර්ථයයි. එපමනක් ද නොව ඔවුහු කම්කරුවන්ගේ සටන්කාමීත්වය මොට කිරීමටත් සටන පීලි පැන්නවීමටත් හිස් වහසි බස් තෙපලති. සංකේත විරෝධතා වලට වැඩි යමක් කිරීමට ඔවුන් සූදානම් නැති බව ඔවුන් යලි යලිත් ප්‍රදර්ශනය කර තිබේ. දුම්රිය සේවකයින් වන අප ස්වාධීන ක්‍රියාකාරී කමිටු ලෙස සංවිධානය වෙමින් මෙම සටන අපේ අතට ගත යුත්තේ එබැවිනි.

පුද්ගලීකරන උත්සාහයට එරෙහි ව සටන් වදිනු වස්, දුම්රිය සේවයේ සේවකයන් සියල්ල හෝ අතිමහත් බහුතරයක් ඒ්කාබද්ධ කර ගත යුතු වෙයි. එය ජය ගැනීම සඳහා, දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව සමග සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

කම්කරුවන් ශ්‍රේනි සහ වෘත්තිය වශයෙන් බෙදා වෙන් කරන වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රයේ ග්‍රහනයෙන් නිදහස් වී එක ම පන්තියක් ලෙස අපි සංවිධානය විය යුතු බව අවධාරනය කරමු. සමිති නිලධාරි තන්ත්‍රය විසින් සිදු කෙරෙන කම්කරු සටන් පාවා දීම වැලැක්වීමටත්, එම සටන් ජයග්‍රහනය දක්වා ගෙනයාමටත්, නිලධාරි තන්ත්‍රයෙන් කම්කරුවන් අතට බලය ලබාගත යුතු ය.

රත්මලාන - දෙමටගොඩ - මරදාන, ඇතුලු මධ්‍යස්ථාන වල මෙන් ම විසිරී සිටින දුම්රිය කම්කරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට සංවිධානය වීමට සහාය ලබා දීම අවශ්‍ය වෙයි.

ඉන් නොනැවතී පුද්ගලීකරනය සඳහා ඉලක්ක කෙරී ඇති, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මන්ඩලය, විදුලි සංදේශ හා ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව වැනි රාජ්‍ය අංශයේ ආයතනවල සේවකයින් සමඟ සබඳතා ගොඩ නගා ගනිමින් ඔවුන් ද පුද්ගලීකරනයට එරෙහි සටනට බද්ධ කර ගැනීමට අප ක්‍රියාත්මක විය යුතුය.

පුද්ගලීකරනයට හා ජීවන මට්ටම් කප්පාදු කිරීමට එරෙහි ව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුලු බොහෝ රටවල කම්කරු පන්ති සටන් පැන නඟිමින් පවතින අතර, එම ජාත්‍යන්තර පන්ති සටන් සමග ඒ්කාබද්ධ වෙමින් අපගේ සටන් ශක්තිය ඉහල දමා ගත යුතු ය. අනෙකුත් සියලු රටවල වෘත්තීය සමිති නිලධරයන් ද, සේවකයන්ගේ නොව ආන්ඩුවල හා සංගතවල අවශ්‍යතාවය මත පෙල ගැසෙන බැවින්, සිය අවශ්‍යතා ජය ගැනීමට ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ලෙස සංවිධානය වීමේ අවශ්‍යතාව සෑම රටක ම කම්කරු පංතිය ඉදිරියේ මතු ව ඇත.

දුම්රිය සේවය පුද්ගලීකරනය කිරීමෙන් වැඩ කරන ජනයාට දුම්රිය ගාස්තු වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදු වීම ඇතුලු කරුනු පහදා දෙමින් පුලුල් වැඩ කරන ජනයා ද අපගේ සටනට ඒකාබද්ධ කර ගැනීමට ක්‍රියාත්මක වීම අවශ්‍ය ය.

දුම්රිය සේවය නගා සිටුවමින්, වැටුප්, දීමනා හා පහසුකම් පිලිබඳ අපගේ දැවෙන ඉල්ලීම් සඳහා සටන පුද්ගලීකරනයට එරෙහි සටන සමඟ ඒකාබද්ධ කිරීමට අප ක්‍රියාත්මක විය යුතුය.

පහත ඉල්ලීම් මත සටන් වැදිය යුතු යැයි අපි යෝජනා කරන්නෙමු;

• දුම්රිය සේවය ඇතුලු රජයට අයත් ආයතනයන්ගේ සියලු පුද්ගලීකරන සැලසුම් හකුලා ගනු!

• දුම්රිය සේවය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන රාජ්‍ය භාන්ඩාගාරයෙන් වහා වෙන් කරනු! දුම්රිය මඟීන්ට සහනදායී ගාස්තු වලට ප්‍රවාහනය ලබා දෙනු!

• දුම්රිය සේවකයන් ඇතුලු රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික මාසික වැටුප රුපියල් 75,000 දක්වා වැඩි කරනු! ජීවන වියදමට සරිලන සේ සියලු සේවකයන්ගේ වැටුප් ඉහල යන පරිමානයක් ලබා දෙනු!

• පූර්න විශ්‍රාම වැටුප් අයිතිය දුම්රිය සේවය ඇතුලු සියලු කම්කරුවන්ට ලබා දෙනු!

මෙම වැඩ පිලිවෙල දියත් කිරීම සඳහා සේවක ඔබේ සහයෝගය අත්‍යවශ්‍යය. මෙම තීරනාත්මක සටන අප විසින්ම සංවිධානය කර ජය ගත යුතු වන අතර, එය අප වෙනුවෙන් අන් කිසිවෙකු නොකරනු ඇත.

පහත දක්වා ඇති අංක වලට කතා කිරීමෙන් හෝ SMS / වට්ස්ඇප් පනිවිඩයක් එවීමෙන්, පුද්ගලීකරන ප්‍රහාරය පරාජය කිරීමට අප සමඟ අදම - කල් නොයවාම - සම්බන්ධ වන ලෙස ද මෙම ප්‍රකාශය ඔබේ සගයන්ගේ අවධානයට යොමු කරමින් අතිනත යැවීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.

දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව

දුරකථනය: 0777601592

2022 දෙසැම්බර් 29

Loading