ලංකාවේ කම්කරුවන් ඕමානයේ දී මිනිස් වෙන්දේසි සඳහා යොදාගැනීම වික්‍රමසිංහ ආන්ඩුව නොතකා හරියි

ශ්‍රී ලංකාවේ කම්කරුවන් සිය ගනනක් නීති විරෝධී ලෙස ඕමානයට ප්‍රවාහනය කොට වෙන්දේසි කිරීමේ ජාවාරමක් පිලිබඳ තොරතුරු මාධ්‍ය හරහා හෙලිදරවු වී තිබේ. ධනපති සමාජය ප්‍රතික්ෂේප කොට පැවති මිනිස් වෙලඳාම යලි ඉස්මත්තට පැමිනීම, ධනපති සමාජ ක්‍රමයේ ආන්තික පරිහානිය මෙන්ම, මැදපෙරදිග කම්කරුවන් මුහුනදෙන රුදුරු සුරකෑම මනාව පිලිබිඹු කරයි.

2020 ජූලි 29 වැනි දා, ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවෝ හිඟ වැටුප් ගෙවන මෙන් සහ තමන් වසංගතයෙන් බේරා ගැනීමට ලංකාවට ගෙන්වන මෙන් ඉල්ලමින් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාව. තානාපති කාර්යාලය ජෝර්දාන පොලිසිය කැඳවා මෙම විරෝධතාවට මෘග ප්‍රහාරයක් එල්ල කලේ ය.

වේගයෙන් ඉහල නගින උද්ධමනය හමුවේ දිවිගැටගසා ගැනීමට මගක් සොයා විදේශ රැකියා නියෝජිතයන් වෙත පැමිනි මෙම කම්කරුවන්, නීති-විරෝධී ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හෝ අබුඩාබි වෙත ගුවනින් රැගෙන ගොස්, එතැන් පටන් ගොඩබිමෙන් ඕමානයට ප්‍රවාහනය කොට ඇත.

2022 නොවැම්බර් මස ඩේලිමිරර් හි පල වූ වාර්තාවකට අනුව, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ නාවික අපරාධ පිලිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්. සමරකෝන් බන්ඩා, ලංකාවෙන් ඕමානයට මිනිස් ජාවාරම සිදුවන බව පිලිගෙන ඇත. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, ඕමානයේ සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිලිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) වෙත වාර්තා කිරීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කන්ඩායමක් ඔක්තෝබර් 3 වැනිදා ඕමානය බලා පිටත්ව ගොස් විමර්ශනයක් ද සිදුකර තිබේ.

ඹ්මානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් අතරින් 8 දෙනෙකු ඹ්මානයට නීතිවිරෝධී ලෙස ගෙන්වාගෙන ඇති අය බව මෙහිදී අනාවරනය වී තිබේ. කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍ර, සේවා යෝජකයන් සතුව ඇති බැවින්, ඔවුන්ට ඕමානයේ කොටු වී සිටීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ රැකියා ඒජන්සියක සේවිකාවක් විසින්, ගනිකා වෘත්තිය සඳහා කාන්තාවන් වෙන්දේසි කර ඇති බවත්, සුල්තාන්වරුන් විසින්, ඔවුන් රුපියල් මිලියනයේ සිට රුපියල් මිලියන 2.5 දක්වා මුදලකට මිල දී ගෙන ඇති බවත් අනාවරනය වූ බව බන්ඩා කියා සිටී.

කම්කරුවන්ගේ ඡායාරුප සහිතව ඔවුනගේ විස්තර වෙබ් අඩවිතුල පලකොට ඕමානයේ ගැනුම්කරුවන්ට වෙන්දේසි කරන ආකාරයත් ඉන් අනතුරුව තෝරාගන්නා කාන්තාව ඕමානයට දේශ සීමා හරහා නීති විරෝධි ලෙස ප්‍රවාහනය කොට ඉල්ලුම් කරුවන්ට සපයන ආකාරයත්, 'ඩුබායි සුද්දා' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන නිශ්ශංක ප්‍රියදර්ශන නමැති 'යූ ටියුබ්' ක්‍රියාකාරිකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලේය. වයස අනුව එම කම්කරුවන්ගේ මිල තීරනයවන බවත්, තරුන වයසේ කම්කරුවන් සඳහා ඉහල මිලක් ලැබෙන බවත් ඔහු පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පොරොන්දුවී රැගෙනගිය කාන්තාවන් පිරිසක් ගනිකා වෘත්තිය සඳහා වෙන්දේසි වීම සම්බන්ධ ප්‍රවෘත්ති, සිරස නිවුස් ෆස්ට් නොවැම්බර් මාසයේ යලියලිත් ප්‍රචාරය කලේය.

ඕමානයට රැගෙන යෑම සඳහා දැනට අබුඩාබි හි රඳවාගෙන සිටින තම හිතවතෙකු ඇතුළු 16 දෙනෙකු පිලිබඳ විස්තර, ප්‍රසිද්ධ ගායකයෙකු වන දුෂ්මන්ත වීරමන් යූ ටියුබ් චැනලයකට එලිදරව් කලේය. තම හිතවතා ඇතුළු අබුඩාබියේ කාමරයක් තුල සිරකරගෙන සිටින පිරිස ගෙන්වා ගැනීමට වීරමන් දරන ලද උත්සාහය පලදරා නොමැත. ආන්ඩුව හෝ රැකියා නියෝජිතයන් ඔවුන් ගෙන්වාගැනීම ප්‍රතික්ෂේප කොට තිබේ.

බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඔවුන් සතු විදේශ ගමන් බලපත්‍රය සහ ජංගම දුරකථන අත්පත් කර ගැනීම සහ බලහත්කාරයෙන් කැමැත්ත ප්‍රකාශ කරන ලියවිල්ලකට අත්සන් ගැනීම ඇතුළු අපයෝජනයන්ට මෙම කාන්තාවන් ලක්ව තිබේ. මෙම පිරිස, මිනිස් අවයව ලබා ගැනීමට සහ ගනිකා වෘත්තියේ යෙදවීමට ඕමානය කරා රැගෙන ගොස් ඇතැයි තමන් විශ්වාස කරන බව වීරමන් පැවසිය.

ගෘහයේ තාඩන පීඩන ඉවසීමට නොහැකිව ඕමාන තානාපති කාර්යාලය වෙත පැමිනෙන කම්කරු කාන්තාවන් මිනිස් ජාවාරම්වල යෙදවීම සම්බන්ධයෙන් ඕමාන තනාපති කාර්යාලය ට චෝදනා එල්ල වී තිබේ.

සමාජ මාධ්‍ය තුල සහ ජනමාධ්‍ය තුල මේ පිලිබඳ ප්‍රවෘත්ති පලකිරීමත් සමග උතුරා ගිය සමාජ කෝපය අපසරනය කරනු වස්, ආන්ඩුව ඕමාන තානාපති කාර්යාලයේ තුන්වෙනි නිලධාරියාගේ වැඩ තහනම් කලේය. ලංකාවට පැමිනි ඔහු ද, විදේශ රැකියා ඒජන්සිකරුවන් කිහිපදෙනෙකු ද, ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුනි. විදේශ රැකියා ඒජන්සි සිය ගනනක ලියාපදිංචිය ද අත්හිටුවා තිබේ.

මෙම කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකු සංචාරක වීසා මත රැගෙනගොස් තිබීම හේතුවෙන්, ආන්ඩුව, නොවැම්බර් මුල සිට සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වීම තහනම්කර තිබේ. කම්කරුවන්ගේ සහ අකෙුත් පීඩිතයන්ගේ ඇස්වලට වැලි ගැසීම සඳහා පැවති සෑම ආන්ඩුවක්ම මේ ආකාරයට ක්‍රියාකොට ඇත.

සෞදි අරාබියේ දී ගෘහ සේවිකාවක් ලෙස සේවය කල රිසානා නෆීක් නමැති ලාංකික බාලවයස්කාර ගෘහ සේවිකාවක්, තමා භාරයේ සිටි බිලින්දෙකු ඝාතනය කල බවට එල්ල කෙරුනු චෝදනා මත, 2007 දී හිසගසා මරා දැමීමෙන් පසු, මහින්ද රාජපක්ෂ ආන්ඩුව, ඒ අපරාධයෙන් අත සෝදා ගනුවස් විදේශීය ගෘහ සේවය සඳහා වයස් සීමා පැනවීය.

කෙසේ නමුත් 2022 වසරේ මැද භාගයේ දී, එම වයස් සීමාව යලි පහලට ගෙන ඒමට වත්මන් ආන්ඩුව කටයුතු කලේය. එහි අරමුන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම බව පුන පුනා ප්‍රකාශ කරද්දී සත්‍ය කරුන වුයේ විදේශ ප්‍රේෂන පිලිබඳ ගිජුකමයි. විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පසුගිය දා පාර්ලිමේන්තුවේදී කියාසිටියේ 'අණ්ඩුවට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය විදේශ ප්‍රේෂන වැඩි කර ගැනීම බවයි.'

මැදපෙරදිග ගෘහ සේවක රැකියා සඳහා යන කාන්තාවන් දීර්ඝකාලීන වැඩ දිනවල යෙදවීම වැටුප් නොගෙවීම අමානුෂික වද බන්ධනයන්ට සහ ලිංගික හිංසනයන්ට ලක්වීම, කොවිඩ් වසංගතයත් සමග ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදය හමුවේ තීව්‍ර විය.

කෙසේ නමුත් ආන්ඩුව සහ විදේශ රැකියා ඒජන්සිකරුවන් සෑම උත්සාහයක්ම දරන්නේ මෙම තත්වය වසන් කිරීමටයි. විදේශ රැකියා නියෝජිත බලපත්‍රලාභීන්ගේ සංගමයේ ලේකම් මොහොමඩ් ෆාරුක් හිරු නිවුස් වෙත අදහස් දක්වමින් රජයට අනතුරු අඟවා හිටියේ සංක්‍රමනික කම්කරුවන් ඕමානයේදී මුහුනදෙන ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීම නිසා ඕමානයේ රැකියා කෝටා නොලැබී යෑමේ අවදානමක් පවතින බවයි. මෙම අපරාධයන් හෙලිදරවු කිරීම සම්බන්ධයෙන් ඔහු 'ඩුබායි සුද්දා' ට එරෙහිව අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුවේ පැමිනිල්ලක් ද ගොනු කලේය.

ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ දැනට රඳවා සිටින අසූවකට ආසන්න පිරිස ලංකාවට ගෙන්වා ගැනීම පිලිබඳව හෝ විදෙස් කම්කරුවන් මිනිස් ජාවාරමට යොදාගැනීම සම්බන්ධයෙන් ආන්ඩුවල නොතැකීම අහම්බයක් නොවේ. වසංගත සමයේ රැකියාවලින් දොට්ට වැටුනු සහ රැකියා කොන්ත්‍රාත් අවසන්වුනු දහස් ගනනක් ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රතික්ෂේප කරමින් එවක ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව එම කම්කරුවන් කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත්වීමට ඉඩ හැරියේ ය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය, කම්කරුවන් මුහුනදෙන මෙම තත්වය පිලිබඳ වගකීම පැටවීමට උත්සාහ දරන්නේ තනාපති කාර්යාලයේ නිලධාරීන්ගේ හා විදේශ රැකියා නියෝජිත ආයතන වෙතයි. අත්අඩංගුවට ගැනුනු ඕමාන් හි තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරියා වන ඊ.කුෂාන් ට සියලු වරද පටවමින් නොවැම්බර් 24 දා දිවයින පලකල කතුවැකිය එහි මාතෘකාව ලෙස යොදාගෙන තිබුනේමත් 'කුෂාන්ගේ කරඇඹිය යුත්තේ ඇයි?' යන්නයි.

කුෂාන් නමැත්තා මෙම අපරාධයට සම්බන්ධ වී තිබිය හැක. නමුත්, ඔහු දඩමීමා කර ගැනීම තුලින්, කම්කරුවන් එම තත්වයට ගොදුරු කෙරුනු, රුදුරු සමාජ-ආර්ථික පසුබිම නිර්මානය කල අනුප්‍රාප්තික ධනපති ආන්ඩු සහ ධනපති ක්‍රමය කොක්කෙන් ගලවා දමයි.

විදේශ කම්කරුවන් මුහුන දෙන දැවෙන ප්‍රශ්න ජය ගැනීම වෙනුවට ධනපති ක්‍රමය තුල ඒවා වඩ වඩාත් රුදුරු වන ආකාරය ලංකාවේ මිනිස් ජාවාරම ඉස්මත්තට පැමිනීමෙන් පැහැදිලි වේ.

විදේශ කම්කරුවන් ගත යුතු මග වන්නේ, මෙවන් ප්‍රශ්න වලට මුහුන දී සිටින ලෝකයේ අනිකුත් රටවලින් පැමිනි කම්කරුවන් සමග ඒකාබද්ධතාව ගොඩනඟා ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සටනක් දියත් කිරීම තුලින් තම ප්‍රශ්න ජයගැනීම සඳහා සටන් වැදීමයි.

එවන් ස්වාධීන දේශපාලන සටනකක් වර්ධනය කිරීමේ අරමුනෙන් සමාජවාදී සමානතා පක්ෂය කැඳවා ඇති 'කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනය' ගොඩනැගීමේ වැඩකයුතු වලට සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධ විය යුත්තේ එබැවිනි.

Loading