ජනාධිපති තව තවත් කප්පාදු අනවයි

[මෙය Sri Lankan president demands more austerity යන මැයෙන් 2023 ‌ ජනවාරි 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 2 වන දා ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මන්ඩලය අමතා කල නව අවුරුදු දේශනයේ දී, රාජ්‍ය අංශයේ සේවකයින්ගෙන් වැඩි පැය ගනනක් වැඩ කරන ලෙස ඉල්ලා සිටියේ ය.

“සෑම පුද්ගලයෙකුගේ ම රාජකාරි දිනකට පැය අටකට සහ සතියේ දින පහකට සීමා කරන්න බැහැ. අපි හැමෝ ම කැපවීමෙන් වැඩ කරමු. 2023 අවසන් වන විට ඔබ සැමගේ සහයෝගයෙන් මේ රට ඉදිරියට ගෙන ගොස් සාමාන්‍ය තත්වය යලි ඇති කිරීමට මම බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

2023 ජනවාරි 9 වෙනිදා වැඩ වර්ජනය කරන සෞඛ්‍ය සේවකයින්, කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින්.

වික්‍රමසිංහගේ පනිවිඩය තව දුරටත් අවධාරනය කරන්නේ, ශ්‍රී ලංකාව ග්‍රහනය කර ගනිමින් තිබෙන ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය හා දුගීන් මත පැටවීමේ ඔහුගේ අධිෂ්ඨානයයි.

ශ්‍රී ලංකාව “ඉදිරියට” ගෙන යාම යනුවෙන් ජනාධිපති අදහස් කරන්නේ 2023 ආන්ඩුවේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද සහ දෙසැම්බර් 8 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැයට රජයේ වියදම් සඳහා ගැඹුරු කප්පාදු ඇතුලත් වේ. මෙයට සිය දහස් ගනනක් කම්කරුවන් මත විශාල බදු වැඩිකිරීම්, මිල සහනාධාර කප්පාදු, රාජ්‍ය අංශයේ දැවැන්ත රැකියා කප්පාදු සහ විශාල වශයෙන් පුද්ගලීකරනය කිරීම් ඇතුලත් වේ.

වික්‍රමසිංහ, විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සිට 60 දක්වා අඩු කිරීම හේතුවෙන්, දෙසැම්බර් 31 වැනිදා වාර්තාගත රාජ්‍ය සේවකයන් 30,000 ක්—එනම් සාමාන්‍ය ප්‍රමානයට වඩා 8 ගුනයක්—හදිසියෙන් විශ්‍රාම ගිය බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෑතක දී නිවේදනය කලේ ය. රජය දැනටමත් බඳවා ගැනීම් අත්හිටුවා ඇත. රාජ්‍ය නිලධාරීන් කාර්යාල වේලාව තුල ජංගම දුරකථන භාවිත කිරීමට එරෙහි ව දැඩි පියවර ගන්නා බවට ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බන්ඩාර තර්ජනය කර තිබේ.

කාර්ය මන්ඩල හිඟයේ බලපෑම වහා ම දුම්රිය දෙපාර්තමේන්තුවට දැනෙන්නට වූයේ, වසරේ පලමු වැඩ කරන දිනයේ දී අවම වශයෙන් දුම්රිය 11ක් අවලංගු කිරීමටත් සතිය තුල සේවා අඩු කිරීමටත් දෙපාර්තමේන්තුවට සිදු වූ බැවිනි.

සාමාන්‍යයෙන් වාර්ෂික ව ගුරුවරුන් 4000 ක් පමන විශ්‍රාම යන නමුත් මෙවර විශ්‍රාම ගැන්වීම් 10,000 ත් 12,000 ත් අතර ප්‍රමානයකට වැඩි වූ බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පිලිගත්තේ ය. විදුහල්පතිවරුන් 4,500 කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බවත්, මිලියන 4.3 ක් පමන වන සිසුන් සමඟ කටයුතු කිරීමට අමාත්‍යාංශය උත්සාහ කිරීමේ දී බොහෝ බාධාවන්ට මුහුන දෙන බවත් ඔහු ප්‍රකාශ කලේ ය. වික්‍රමසිංහ විසින් වැඩකරන කාලය දීර්ඝ කිරීම සහ දීර්ඝ වැඩ සතියක් සඳහා කරන ලද ඉල්ලීමේ පසුබිම මෙයයි.

සිකුරාදා වික්‍රමසිංහ මාධ්‍යයට පැවසුවේ ආන්ඩුවේ පෞද්ගලීකරන න්‍යාය පත්‍රය වේගවත් කරන බවයි. “මෙම [පුද්ගලීකරනය කරන රාජ්‍ය] ආයතනවල කොටස් තබා ගැනීමට පරිපාලක සමාගමක් පිහිටුවනු ඇති. එය මේ මාසයේ දෙවන සතියේ පිහිටුවන්නයි ඉන්නේ,” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ලංකා විදුලිබල මන්ඩලය, ලංකා හොස්පිට්ල්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ කොලඹ වෝටර්ස් එජ් සහ හිල්ටන් හෝටල් පෞද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳව කොලඹ ආන්ඩුව දැනටමත් නිවේදනය කර ඇත.

වික්‍රමසිංහ, මෙම සමාගම්වල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දුන්නේ මන්දැයි පැහැදිලි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් වාර්තා ද ඉල්ලා තිබේ. මෙම නියෝගය, රජය සතු ආයතනවල ප්‍රසාද දීමනා ගෙවීම අවසන් කිරීම පමනක් නොව කම්කරු පන්තියේ අනෙකුත් අසීරුවෙන් දිනාගත් අයිතීන් කපා හරින බවට අනතුරු ඇඟවීමකි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ගේ වැටුපෙන් රුපියල් දහස් ගනනක් සැබැවින් ම කපා හරිමින් 2023 ආරම්භ වූ වහා ම, ඉපැයූ-විට-ගෙවනු (Pay-as-you-earn tax) බදු වැඩිකිරීම් ක්‍රියාත්මක විය. මෙය සිදු වූයේ ශ්‍රී ලංකාවේ අධි උද්ධමනය අඛන්ඩ ව බලපාමින්, කම්කරුවන්ගේ වැටුප්වල වටිනාකම තවදුරටත් ඛාදනයට ලක් කරමින් පවතින බැවිනි. භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඉහල බදු අනුපාත සාධාරනීකරනය කරමින් ප්‍රකාශ කලේ: “ශ්‍රී ලංකාව තවමත් අසීරු තත්වයක පවතින බැවින් මැයි සහ අගෝස්තු මාසවල හඳුන්වා දුන් 2022 බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදුවනවා.” යනුවෙනි.

සාමාන්‍ය විදුලි බිල සියයට 65 කින් වැඩි කිරීමට ඊයේ අමාත්‍ය මන්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙය වැඩි වන්නේ පසුගිය අගෝස්තු මාසයේ දී සියයට 75 ක ඉහල යාම මතට සිට ය. නවතම වැඩිවීම විශේෂයෙන් ඉලක්ක කර ඇත්තේ, විදුලි ගාස්තු තුන් හතර ගුනයකින් ඉහල ගොස් ඇති අඩු ආදායම්ලාභී කන්ඩායම්වලට එරෙහි ව ය.

සැප්තැම්බර් මාසයේ දී වාර්තාගත සියයට 73 ක අගයක් වාර්තා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වන විට සියයට 57 ක් වන අතර, එයට හේතු වූයේ, ප්‍රධාන වශයෙන් මහා ව්‍යාපාරිකයන්ට වාසි සැලසීම සඳහා රුපියල් බිලියන ගනනින් මුදල් අච්චු ගැසීම විය. ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලම උද්ධමනය සහ ලමා මන්දපෝෂන අනුපාත ඇති රටවල් දහය අතර වේ. ලෝක ආහාර වැඩසටහනට අනුව, මිලියන 6.3 ක ජනතාවක් හෙවත්, ජනගහනයෙන් සියයට 30 ක් පමන “ආහාර අනාරක්ෂිතභාවයට” පත් ව ඇති බැවින් ඔවුන්ට මානුෂීය ආධාර අවශ්‍ය වේ.

2022 දී ශ්‍රී ලංකා ආන්ඩුව විදේශ සංචිත සිඳී යාම නිසා ආපසු ගෙවීමට නොහැකි ව විදේශ නය පැහැර හැරියේ ය. කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එක්සත් ජනපදය ප්‍රමුඛ නැටෝ යුද්ධය මගින් රටේ නය අර්බුදය තීව්‍ර විය.

පසුගිය වසරේ අගභාගයේ දී කොලඹ, නය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ අනුකම්පා විරහිත කප්පාදු පියවරයන්ට යටත් ව, ඩොලර් බිලියන 2.9 ක නය සඳහා ජාමූඅ සමග ගිවිසුමක් ඇතිකර ගත්තේ ය. කෙසේ වෙතත්, නය දෙන රටවල්, ශ්‍රී ලංකාව සඳහා සහනදායී නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට එකඟ වීමට අපොහොසත් වී ඇති අතර, එය ජාමූඅ සිය ඇප නය ප්‍රමාද කිරීමට හේතු වී තිබේ.

ජනවාරි 1දා සීබීඑස්හි “ෆේස් ද නේෂන්” වැඩසටහනට සහභාගී වූ ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අනතුරු ඇඟවූයේ, “නැගී එන වෙලඳපොලවල් වලින් සියයට 25 ක් විපතට පත් ප්‍රදේශ වල වෙලඳාම් කරන නිසා, ලෝක ආර්ථිකය නරක ප්‍රහාරයකට ලක් විය හැක. මෙම රටවලට නය නිරාකරනය සඳහා බලපෑම් කිරීමට ජාමූඅ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ මේ නිසා ය.”

2022 ට වඩා “දුෂ්කර” වසරකට මුහුන දෙමින්, මේ වසරේ ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයකට ගොදුරු වනු ඇතැයි ජෝර්ජිවා තවදුරටත් පැවසීය. යුක්‍රේනයේ යුද්ධය, ඉහල යන මිල ගනන්, ඉහල පොලී අනුපාත සහ චීනයේ කොවිඩ්-19 පැතිරීම ගෝලීය ආර්ථිකයට බලපානු ඇතැයි ඇය පැවසුවාය. වෙනත් වචන වලින් කිවහොත්, ආර්ථික අර්බුදයේ ගැඹුරු වීමක් මිස, ශ්‍රී ලංකාව තබා කිසිදු රටක මූල්‍ය ප්‍රකෘතියක් සිදු නොවනු ඇත.

ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 10 කින් පහත වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එය පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී සියයට 12 කින් පමන හැකිලී ගියේ ය. ඉහල හැකිලීමේ අනුපාතයට අර්ධ වශයෙන් හේතු වූයේ ජාමූඅ නියම කරන ලද ප්‍රතිපත්ති සහ ගෝලීය අර්බුදයේ බලපෑමයි.

වික්‍රමසිංහගේ කප්පාදු පියවරට එරෙහි ව කම්කරු පන්තියේ ප්‍රතිරෝධය වැඩෙමින් තිබේ. ඊයේ රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්ය මන්ඩලයේ දහස් ගනනක්, රැකියා කප්පාදුවලට සහ පොලී අනුපාත ඉහල දැමීමට එරෙහි ව සහ වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩවර්ජනය කලහ.

දෙසැම්බරයේ දී, පෞද්ගලීකරනයට එරෙහි ව සහ වැඩි දියුනු කල සේවා කොන්දේසි ඉල්ලමින් රට පුරා රක්ෂන, බැංකු, විදුලිය, දුම්රිය, තැපැල්, සෞඛ්‍ය සේවා සහ නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ දහස් ගනනක් උද්ඝෝෂන කලහ.

කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දීම සඳහා ආන්ඩුවට බලපෑම් කල හැකි බවට මිත්‍යාවන් ප්‍රවර්ධනය කරමින් වෘත්තීය සමිති මෙම අරගල අවහිර කලේ ය. නිදසුනක් වශයෙන්, ඊයේ සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ප්‍රකාශ කලේ, වැඩවර්ජනයේ යෙදී සිටින රෝහල් සේවකයින් රට මුහුන දෙන අර්බුදය “අවබෝධ කර ගෙන ඇති” බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ කම්කරුවන්ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන බවට ආන්ඩුවෙන් පොරොන්දුවක් ලබා ගැනීම පමනක් බවත්‍ ය.

සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වැනි විරුද්ධ පක්ෂවලට, වික්‍රමසිංහගේ ම්ලේච්ඡ අයවැය කප්පාදු පියවරයන් සමඟ මූලික වෙනස්කම් නොමැත.

සජබ සහ ජවිපෙ මහ මැතිවරනයක් ඉල්ලා සිටින්නේ කම්කරුවන් හා දුගීන් අතර පවතින මහජන විරෝධය අපසරනය කර ගසා කෑමේ උත්සාහයක් ලෙස ය. බලයට පත් වුව හොත් ඔවුන් ද ක්‍රියාත්මක කරනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පියවරයන් ම ය.

ඊයේ, සජබ නායක සජිත් ප්‍රේමදාස පුරසාරම් දෙඩුවේ “විදේශීය පරිත්‍යාගශීලීන් අන් අයට වඩා මා විශ්වාස කරන” බවයි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, තම ආන්ඩුව යටතේ “වසර දෙකක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්” ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගලවා ගත හැකි බව ප්‍රකාශ කරමින් රට පුරා ප්‍රචාරක ව්‍යාපාරයක යෙදී සිටී.

කම්කරුවන් මෙම ධනේශ්වර පක්ෂ සහ ඒවායේ වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කල යුතු ය. ඒ වෙනුවට, කර්මාන්තශාලා, වතු සහ අනෙකුත් සේවා ස්ථානවල සහ ඔවුන්ගේ නිවහන් ප්‍රදේශවල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය. මෙම ක්‍රියාකාරී කමිටු විසින් ඉල්ලා සිටිය යුත්තේ:

*ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය එපා! වැටුප් හා රැකියා කප්පාදු එපා! විශ්‍රාම වැටුප් කප්පාදු එපා!

*සියලු කම්කරුවන් සඳහා ජීවන වියදමට සරිලන යහපත් වැටුප්! ඉහල යන උද්ධමනයට මුහුන දීම සඳහා විශ‍්‍රාම වැටුප යෝග්‍ය මට්ටමකට වැඩි කරනු!

*සහාය අවශ්‍ය සියලු ම දෙනාට සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු!

*සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! සුපිරි ධනවතුන්ගේ වත්කම් අත්පත් කර ගනිමින් කම්කරුවන්ගේ පාලනය යටතේ ප්‍රධාන බැංකු සහ සංගත ජනසතු කරනු!

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා දේශපාලන අරගලයකට කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ මාධ්‍යයක් ලෙස මෙම ක්‍රියාකාරී කමිටු වලින් තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට උද්ඝෝෂනය කරයි.

කම්කරුවන්ට ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් පරාජය කල හැකි අතර, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, විශාල සමාගම් සහ වතු ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පියවර සඳහා මග පෑදිය හැක.

අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ සසපට බැඳෙමින් මෙම වැඩපිලිවෙල සඳහා අරගලය සියතට ගන්නා ලෙසයි.

Loading