පාර්ලිමේන්තුව රුදුරු “පුනරුත්ථාපන” නීතිය සම්මත කරයි

[මෙය Sri Lankan parliament passes draconian “rehabilitation” law යන මැයෙන් 2023 ‌ ජනවාරි 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

බදාදා (18), ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත සම්මත කර ගන්නා ලද අතර, එය ඊනියා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම සඳහා යුද හමුදාවට, නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට බලය ලබා දෙයි. මෙම ව්‍යවස්ථාව මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වඩ වඩාත් වෛරයට ලක් ව ඇති පාලන තන්ත්‍රයට, කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් දේශපාලන විරුද්ධවාදීන්, මිලිටරිය විසින් පාලනය කරන රැඳවුම් කඳවුරුවල සිරකර තැබීමේ හැකියාව ලබා දෙනු ඇත.

ජාතික කැබිනට් මන්ඩලය විසින් අනුමත කරන ලද පනත් කෙටුම්පත, අධිකරන, බන්ධනාගාර කටයුතු සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පක්‍ෂ ව ඡන්ද 23 කින් සහ විපක්ෂ ව ඡන්ද 6 කින් සම්මත විය. ආසන 225 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සඳහා පැමින සිටියේ මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පමනි.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය දුන් අතර විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ (ජාජබ) මන්ත්‍රීවරු එයට විරුද්ධ වූහ.

විවාදය අතරතුර සජබ මන්ත්‍රීවරුන් දෙඩූ වාචාල විවේචන නොතකා, ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනාගෙන් පස් දෙනෙකුටත් වඩා අඩු පිරිසකි.

අධිකරන, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය විජයදාස රාජපක්ෂ [Photo: Justice Media Division]

පනත් කෙටුම්පතේ මුල් පිටපත සැප්තැම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නමුත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට ගොනු කරන ලද පෙත්සම් මගින් එය අභියෝගයට ලක් කරන ලදී. පනත් කෙටුම්පත “සම්පූර්නයෙන්ම ව්‍යවස්ථා විරෝධී” බව අධිකරනය විසින් තීන්දු කරන ලද අතර එය, අධිකරන මන්ඩලයේ මෑත ඉතිහාසයේ නොවූ විරූ සොයා ගැනීමක් විය.

මතභේදාත්මක වගන්ති බොහොමයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කල යුතු බවත්, ජාතික ජනමත විචාරනයකින් එම වගන්ති අනුමත කල යුතු බවත් විනිසුරුවරු නියෝග කලහ. ප්‍රධාන වශයෙන් අධිකරනයේ සැලකිල්ල යොමු වූයේ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත “හිටපු සටන්කාමීන්', “ප්‍රචන්ඩකාරී සහ අන්තවාදී කන්ඩායම්” සහ “වෙනත් ඕනෑ ම පුද්ගල කන්ඩායම්” යැවීමට ආන්ඩුවට ඉඩ සලසන විධිවිධාන පිලිබඳ ව ය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරනයකින් තොර ව සම්මත කර ගත හැකි වන පරිදි, මෙම වගන්ති ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පත සංශෝධනය කල යුතු බවට අධිකරනය යෝජනා කලේ ය.

ආරම්භයේ සිට ම, ආන්ඩුවේ නව නීතියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් “පුනරුත්ථාපනය කිරීම” සමග කිසිදු සම්බන්ධයක් නැති නමුත්, එය භාවිතා කරනු ඇත්තේ, කම්කරුවන්, තරුනයන් සහ දේශපාලන විරුද්ධවාදීන් දින නියමයක් නොමැති ව සහ කිසිදු අධිකරන තීරනයකින් තොරව මිලිටරිය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානවල සිරකර තැබීමට ය.

පනත් කෙටුම්පතේ නව පිටපත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, ආන්ඩුව කියා සිටියේ අධිකරනයේ යෝජනාවලට අනුකූලව පනත සංශෝධනය කල බවත්, එය “මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට” සහ “නීතිය මගින් සපයා දෙන වෙනත් පුද්ගලයින්ට” සීමා කර ඇති බවත් ය.

මේ සතියේ පාර්ලිමේන්තු විවාදයේ දී පෙන්වා දුන් පරිදි, “නීතිය මගින් හඳුනා ගත් වෙනත් පුද්ගලයින්” යන වාක්‍ය ඛන්ඩය ඇතුලත් කිරීම, අපැහැදිලි සහ හඳුනා නොගත් කාන්ඩයක් හඳුන්වා දෙයි. “නීතියෙන් හඳුනා ගැනීම” යන්නෙන් අදහස් කරන්නේ “අධිකරන තීරනයක්” ද යන්න පිලිබඳ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේ දී පැහැදිලි පිලිතුරක් ලබා දුන්නේ නැත. මෙය, මෙම මර්දන නීතියේ විෂය පථය සහ භාවිතය පුලුල් කිරීම සඳහා පසුකාලීන සංශෝධන සඳහා ඇති හැකියාව වඩාත් විවෘත කරයි.

ආන්ඩුවේ මන්ත්‍රීන් සහ කැබිනට් ඇමතිවරු, හිටපු ජනාධිපති රාජපක්ෂට එරෙහිව 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම ගැන නිතර සඳහන් කරන අතර, ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ දේශපාලන ක්‍රියාකාරීන් “පුනරුත්ථාපනය” සඳහා නීතිය භාවිතා කිරීම බව පැහැදිලි කරයි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් බ්‍රහස්පතින්දා (19) නීති සම්පාදනයට සිය විරුද්ධත්වය ප්‍රකාශ කලේ, එය “මානව හිමිකම්වලට එල්ල කරන සැලකිය යුතු පහරක්” ලෙස විස්තර කරමිනි. මෙම පනත් කෙටුම්පත “බලය භාවිතා කිරීම හරහා සිය-කැමැත්තට පිටින් 'පුනරුත්ථාපනය කිරීම' සක්‍රීය කරන අතර “මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ ජීවිතය හා සෞඛ්‍යය අවදානමට ලක් කරනු ඇති” බව එය පැහැදිලි කලේ ය.

ඇත්ත වශයෙන්ම, හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන නොව දේශපාලන අරමුනු සඳහා භාවිතා කරන නීතිගත වධකාගාර වනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරනය විසින් යෝජනා කරන ලද සංශෝධන සමඟ වුවද, මෙම ස්ථාන වෙත යවන ඕනෑම අයෙකු බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීමට යටත් කෙරෙන අතර ඔවුන්ගේ හැසිරීම් නියාමනය කිරීම සඳහා “අවසර ලත්” සහ “බලය ලත්” මත්ද්‍රව්‍ය භාවිතා කෙරෙනු ඇත.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇති පරිදි, මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ වෘත්තීය මනෝවිද්‍යාඥයින්, මනෝ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයින් විසින් නිර්මානය කරන ලද පුද්ගල වැඩසටහන් සහ ප්‍රජා මූලික ස්වේච්ඡා ප්‍රතිකාර මිස, සොල්දාදුවන් සහ අශිකිෂිත ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ඉතිහාසයක් ඇති හමුදාව නොවේ.

කන්දකා ඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍ය ස්ථානයට ඇතුලු වන ස්ථානය. [Photo: Facebook]

ආන්ඩුව විසින් දැනට පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිටින රැඳවියන්ගේ දුක්ඛිත තත්වයෙන් පැහැදිලි වන්නේ, මෙම ආයතන බලහත්කාර ශ්‍රම කඳවුරු බව ය. මෙම මධ්‍යස්ථානවල පසුගිය කාලය තුල කැරලි කෝලාහල කිහිපයක් සිදු විය.

පසුගිය ජුනි මාසයේදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 36 හැවිරිදි රැඳවියෙකු අනාරක්ෂිත කොරෝනා වෛරස් තත්වයන් සම්බන්ධයෙන් කෝපයට පත් ව පැවැත්වූ විරෝධතා හේතුවෙන්, සොල්දාදුවන් විසින් පහර දී මරා දමන ලදී. විරෝධතාව අතරතුර දී රැඳවියන් සිය ගනනක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගියහ. පැන ගිය එක් අයෙක් පසුව පුවත්පත්වලට පැවසුවේ, “අපිව පුනුරුත්ථාපනය කරන්න තමයි මෙහෙට එව්වේ. නමුත් ඔවුන් අපට සලකන්නේ නැහැ. ඔවුන් අපිව මරනවා.”

සමහර සොල්දාදුවන් සිරකරුවන්ට ප්‍රචන්ඩ ලෙස ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර, නව ව්‍යවස්ථාව යටතේ හමුදා නිලධාරීන්ට “කාර්යාංශයෙන් පනවා ඇති හෝ පවරා ඇති ඕනෑම බලයක්, රාජකාරියක් හෝ කාර්යයක් ක්‍රියාත්මක කිරීම, කාර්ය සාධනය හෝ ඉටු කිරීම සම්බන්ධයෙන් සද්භාවයෙන් කරන ඕනෑම දෙයක් සඳහා” නඩු පැවරීමෙන් මුක්තිය ලබා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන කප්පාදුවලට එරෙහිව නැගී එන කම්කරු පන්තියේ විරුද්ධත්වය තියුනු ලෙස දන්නා වික්‍රමසිංහ, රාජ්‍ය යාන්ත්‍රය වේගයෙන් ශක්තිමත් කරමින් සිටී.

රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් පසු බලයට පැමිනි වික‍්‍රමසිංහ, සිය ගනනක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය හා මිලිටරිය බලමුලු ගැන්වීය. දැනට මාස පහකට අධික කාලයක් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීමට ද ඔහු කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යොදා ගත්තේය.

වික්‍රමසිංහ රට පුරා හමුදාව සීරුවෙන් තබා ඇති අතර කාර්මික ක්‍රියාමාර්ග සහ විදුලි, සෞඛ්‍ය හා ඛනිජ තෙල් කම්කරුවන්ගේ විරෝධතා තහනම් කිරීම සඳහා අත්‍යාවශ්‍ය සේවා පනත යොදා ගනී.

කෙසේ වෙතත්, කම්කරු පන්තිය, වැඩ වර්ජන හා විරෝධතා සමග මෙම මර්දනකාරී පියවරයන්ට අභියෝග කර ඇත. පෞද්ගලීකරනයට එරෙහිව ටෙලිකොම් සහ රක්‍ෂන සේවකයන්ගේ එක්දින වැඩවර්ජනයක් සහ දෙසැම්බර් මාසයේ අතිකාල දීමනා කපා හැරීමට එරෙහිව ජාතික තැපැල් සේවක වර්ජනයක් ද මෙයට ඇතුලත් ය. ජනවාරි මස මුලදී, සෞඛ්‍ය සේවකයින්, වැටුප් වැඩිවීම් සහ පුද්ගලික නය සඳහා ඉහල පොලී අනුපාත කපා හැරීමට ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය. මේ වසරේ, ග්‍රාමීය ප්‍රදේශ ද ඇතුලුව, රටපුරා සෑම දිනකම පාහේ ආන්ඩුවේ මර්දනකාරී පියවරයන්ට එරෙහිව සිසුන් දහස් ගනනකගේ විරෝධතා ද සමග, බොහෝ පෙලපාලි පැවතුනි.

2022 නොවැම්බර් 2 වැනි දින, ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා සිසුන් සහ තරුනයින් කොලඹ විරෝධතාවයේ නිරත වෙමින්

බදාදා පාර්ලිමේන්තු විවාදය අතරතුර, විපක්ෂයේ මන්ත්‍රීවරු නව ව්‍යවස්ථාව පිලිබඳ ආන්ඩුවේ “අනවශ්‍ය කඩිමුඩිය” විවේචනය කරමින්, එය සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව භාවිතා කිරීම ගැන කනස්සල්ල පල කල නමුත් නීති සම්පාදනයේ කේන්ද්‍රීය හරයට විරුද්ධ වූයේ නැත.

හිටපු ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයෙකු වන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසුවේ, “මෙම පනතෙන් දේශපාලන මර්දනයක් සිදු නොවන්නේ නම්, [පනත ගැන] අපට ප්‍රශ්න කිසිවක් නැත.” වෙනත් වචන වලින් කිවහොත්, ආන්ඩුව ඒ සඳහා අර්ථ විරහිත “සහතිකයක්” ලබා දෙන්නේ නම්, සජබ ඊට සහාය දීමට සූදානම්‍ ය.

සජබ සහ ජවිපෙ වැනි විරුද්ධ පක්ෂ, බලයේ සිටින විට, කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එරෙහිව රාජ්‍ය මර්දනයට පිටුබලය දීමේ වාර්තාවක් ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) නව “පුනරුත්ථාපන” පනතට විරුද්ධ වන අතර එය, මහජන ආරක්ෂක ආඥාපනත, අත්‍යවශ්‍ය මහජන සේවා පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය ද සමග අහෝසි කරන ලෙස ඉල්ලා සිටියි.

මෙම මර්දනකාරී පියවරයන්ට එරෙහිව සහ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වන අරගලය, ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තිය විසින් නායකත්වය දිය යුතු සමාජවාදය සඳහා අරගලය සමග බැඳී ඇත. සියලු ධනේශ්වර පක්ෂවලින් හා ඒවායේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සෑම වැඩබිමකම, කම්හලකම සහ වතුකරයකම, අසල්වැසි ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රදේශවල කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට අපි කැඳවුම් කරමු.

Loading