රාජ්‍ය මර්දනයට එරෙහිව පැවැත්වූ ශිෂ්‍යයින්ගේ විරෝධතාවයට පොලිස් ප්‍රහාරයක්

[මෙය Police attack protest by Sri Lankan students against state repression යන මැයෙන් 2023 ‌ ජනවාරි 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සඳුදා (16), ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් මුදා හරිනු ලබන රාජ්‍ය මර්දනයට එරෙහිව ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල සිසුන් 3,000 කට අධික පිරිසක් කොලඹදී විරෝධතාවයක නිරත වූහ. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසින් මෙම විරෝධතාව සංවිධානය කරන ලදී.

2023 ජනවාරි 16 වැනි දින, කොලඹ විශ්වවිද්‍යාල සිසුන්, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා සටන් පාඨ කියමින් පුවරු අතැතිව සිටිති

රාජ්‍ය මර්දනය නතර කරන ලෙසත්, අවිශිබම කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, වැඩ කරන ජනතාවට සුබසාධන සහන ලබා දෙන ලෙසත් ඉල්ලා විරෝධතාකරුවන් සටන් පාඨ කියමින්, පුවරු ප්‍රදර්ශනය කලහ. කොල්ලුපිටිය සහ නෙලුම් පොකුන ප්‍රදේශයේ විරෝධතා පා ගමනේ යෙදී සිටි විරෝධතාකරුවන්ට පොලීසිය ජල ප්‍රහාර දෙකක් එල්ල කලේය. විරෝධතාකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම උද්ඝෝෂනය පැවැත්වූ දිනට, මුදලිගේ අත්අඩංගුවට ගෙන දින 150 ක් සපිරේ. අවිශිබම කැඳවුම්කරු නිදහස් කරන ලෙස ඉල්ලීම් කර තිබියදීත්, ඊයේ කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුව ජනවාරි 31 දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. පසුගිය වසරේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව මහජන විරෝධතා වලදී සිසුන් සංවිධානය කිරීම හේතුවෙන් මුදලිගේ කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ රඳවා ගනු ලැබ තිබේ.

විරෝධතාව ආරම්භ වීමටත් පෙර ම, කුප්‍රකට කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ඇතුලු දැවැන්ත පොලිස් පිරිසක් විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබූ ලිප්ටන් වටරවුමට යොදවා තිබුනි. විරෝධතාකරුවන් කොලඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට ගොස් පැය භාගයක පමන කාලයක් එහි උද්ඝෝෂනයේ නිරත විය. එහි දී, “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හකුලාගනු!” 'සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!' 'බඩු මිල, ජීවන වියදම් සහ බදු අඩු කරනු.' යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කලහ. ඉන් අනතුරුව විරෝධතාකරුවෝ ගාලු පාර දෙසට ගමන් කලහ.

පාගමන ආරම්භ වීමෙන් පසු උද්ඝෝෂනය වැලැක්වීම සඳහා කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලු පොලිසිය සහ ජල ප්‍රහාරක රථ තුනක් ගාලු පාරේ කොල්ලුපිටිය හන්දියට රැස් කලහ. ශිෂ්‍යයන් පොලිස් මාර්ග බාධකයට මුහුන දෙද්දී, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් විරෝධතාව “නීති විරෝධී” බව ප්‍රකාශ කලේ, මර්දනකාරී පොලිස් ආඥාපනත පනතේ, ඕනෑම විරෝධතාවයක් ගැන පැය හයකට පෙර දැනුම්දීමක් අවශ්‍ය වන වගන්තියක් උපුටා දක්වමිනි. විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බවටත් පාගමන නැවැත්වීමට පියවර ගන්නා බවටත් ඔහු අනතුරු ඇඟවීය. අනතුරුව විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේය.

2023 ජනවාරි 16 වැනි දින කොලඹ කොල්ලුපිටිය හන්දියේදී විශ්වවිද්‍යාල සිසුන් පෙලපාලි යාම නැවැත්වීමට කැරලි මර්දන පොලිසිය බලමුලු ගන්වා තිබූ අයුරු

සිසුන් සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලය දෙසට සිය පා ගමන දිගටම ගෙන ගියහ. ඔවුන් විශ්වවිද්‍යාලයට ලඟා වූ විට පොලිසිය සිසුන්ට දෙවන වරටත් ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේය. පෙසප සාමාජිකයෙකු වන ධම්මික මුනසිංහ අත්අඩංගුවට ගනු ලැබීය. අවිශිබම නායකයෝ විශ්වවිද්‍යාලයෙන් පිටත රැස්ව සිටි විරෝධතාකරුවන් ඇමතූහ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන හා ශිෂ්‍ය අංශය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය සංවිධානය (සසජාතශි) විරෝධතා දක්වන සිසුන්ට එරෙහි මෙම පොලිස් මර්දනය හෙලා දකින අතර මුදලිගේ ඇතුලු සියලුම දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් සියලු මර්දනකාරී නීති ඉවත් කරන ලෙසත් බලකර සිටී.

සසප/සසජාතශි මෙම ඉල්ලීම් කරන්නේ, අවිශිබම හා පෙසප සමග එහි ප්‍රකට දේශපාලන වෙනස්කම් නොතකා ය. ඔවුන්ගේ විරෝධතා පදනම් වී ඇත්තේ ආන්ඩුවට එහි මර්දනකාරී පියවර අවසන් කිරීමට බලපෑම් කිරීමේ බංකොලොත් ඉදිරිදර්ශනය මතය. රාජ්‍ය මර්දනයට හා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සිසුන් එමගින් ධනේශ්වර පාලනයේ ප්‍රතිගාමී රාමුවට සීමා කරයි.

ඉරිදා පැවති මාධ්‍ය හමුවකදී අවිශිබම වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු, “ත‍්‍රස්තවාදී විමර්ශන අංශය (ටීඅයිඩී) වැනි මහජනතාවගේ බදු මුදලින් අරමුදල් සපයන ආයතන ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙන්” ආන්ඩුවට දොස් පැවරීය. මෙම ප්‍රකාශයන්, අවිශිබම/පෙසප ධනේශ්වර දේශපාලනයට සහ, ටීඅයිඩීය එහි අත්‍යවශ්‍ය කොටසක් වන ධනේශ්වර රාජ්‍යයට ඔවුන්ගේ වැඳ වැටීම පිලිබඳ හාත්පස හෙලිදරව්වකි.

වික්‍රමසිංහ ආන්ඩුව ටීඅයිඩී භාවිතා කරන්නේ මූලික වශයෙන් පුද්ගලික අරමුනු සඳහා නොව, සියල්ලටත් වඩා ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් සිය ජාමූඅ විසින් අනවන කප්පාදු න්‍යාය පත්‍රයට දක්වන විරෝධය නිර්දය ලෙස යටපත් කිරීමට ය. පෙසප/අවිශිබම, පවතින දේශපාලන සංස්ථාපිතයේ රාමුව තුල ක්‍රියාත්මක වේ.

මර්දනය අවසන් කර මිනිසුන්ට සහන සලසන ලෙස රුද්‍රිගු ආන්ඩුවට ආයාචනා කල අතර, පසුව මෙසේ ගෝරනාඩු කලේ ය: 'ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාමට ජනතාව සංවිධානය කිරීමට, අවිශිබම සාමාජිකයින් සහ සටන්කරුවන් ලෙස, අපි සූදානම්.' මෙම නිෂ්ඵල ආයාචනා සහ හිස් තර්ජන, හුදෙක් බිහිරි කන් වලට ය.

විරෝධතාවට එරෙහිව පොලිස් මර්දනයක් මුදා හැරීමෙන් වික්‍රමසිංහ ආන්ඩුව නැවත වරක් පෙන්නුම් කර ඇත්තේ, තමන්, විරුද්ධත්වයට මර්දනයෙන් ප්‍රතිචාර දක්වන බවයි. දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුව හදිසි නය සඳහා හිලව් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන දැඩි කප්පාදු පියවරයන් පැනවීමට මංමුලා සහගතව සිටී.

2023 ජනවාරි 16 වැනි දින, විශ්වවිද්‍යාල සිසුන්, රාජ්‍ය මර්දනයට එරෙහිව කොලඹදී පාගමනක් පවත්වමින්

සිදුවෙමින් පවතින පොලිස් මර්දනය තුල කම්කරුවන්ට, සිසුන්ට සහ තරුනයින්ට බරපතල දේශපාලන පාඩම් අඩංගු වේ. පසුගිය අගෝස්තු මාසයේ මුදලිගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, පොලිසිය ශිෂ්‍ය විරෝධතාවලට හය වතාවකට වඩා පහර දී ඇත. සිසුන්ට පහර දෙන බලකාරයින්ට ම ආයාචනා කිරීමෙන් තම අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන අරගලය ආන්ඩුවට හා ධනේශ්වර පාලනයට එරෙහි දේශපාලන අරගලයකි. එම සටනට නායකත්වය දිය හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය දෙසට ශිෂ්‍යයන් හැරිය යුතුය.

ඒ අතරම, රාජ්‍ය මර්දනයට එරෙහිව ශිෂ්‍යයන් හා තරුනයන් ආරක්ෂා කිරීමට ස්වාධීනව මැදිහත් වන ලෙස සසප/සසජාතශි කම්කරුවන්ට කැඳවුම් කරයි.

අවිශිබම සහ පෙසප නැඹුරු වන්නේ හාත්පසින්ම විරුද්ධ දිශාවකට ය—එනම්, සමගි ජන බලවේගය (සජබ) වැනි ධනේශ්වර විරුද්ධ පක්ෂ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි අධිරාජ්‍යවාදී සංවිධාන දෙසට ය.

අවිශිබම “වික්‍රමසිංහ ආන්ඩුවේ මර්දනය අවසන් කිරීමේ” කඩතුරාව යටතේ සජබ වැනි විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ ජයග්‍රහනය කිරීමට ඇති එකම මාර්ගය මෙය බව පවසමිනි. කෙසේ වෙතත්, සජබ සහ අනෙකුත් විරුද්ධ පක්ෂ, ජාමූඅ වැඩසටහන සම්බන්ධයෙන් ආන්ඩුව සමග මූලික වෙනස්කම් නොමැත. ඔවුන් උත්සාහ කරන්නේ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ගසාකෑමට සහ එම කප්පාදු පිලිවෙත් ම ක්‍රියාවට නැංවීම සඳහා මහ මැතිවරනයකින් බලයට පැමිනීමට ය. ඔවුන්ගේ ඉතිහාසය පෙන්නුම් කරන පරිදි, රාජ්‍ය මර්දනය මුදා හැරීමේදී ඔවුන් ද නිර්දය වනු ඇත.

පසුගිය වසරේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ මහජන නැගිටීම පීලි පැන්නවීමට පෙසප/අවිශිබම වෘත්තීය සමිති සමග සහයෝගීව වැඩ කලේ, විරුද්ධ පක්ෂ ඇතුලු 'අන්තර්වාර ආන්ඩුවක්' වැඩකරන ජනතාව මුහුන දෙන සමාජ ව්‍යසනයට පිලියම් යොදන බවට ව්‍යාජ ලෙස පවසමිනි. මෙයින් සිදු වූයේ වික්‍රමසිංහට බලයට පැමිනීමට පාර කපා දීම පමනි.

සසප/සසජාතශි අවධාරනය කරන්නේ, රාජ්‍ය මර්දනය සහ නරක අතට හැරෙන සමාජ තත්වයන් නැවැත්විය හැක්කේ වික‍්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනක් බව යි. සියලුම ධනේශ්වර පක්ෂ, ඔවුන්ගේ වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම නියෝජිතයින්ගෙන් ස්වාධීනව, සෑම වැඩපොලකම, කම්හලකම, වතුකරයකම, අසල්වැසි ප්‍රදේශයකම සහ ග්‍රාමීය ප්‍රදේශයකම කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අපි ඉල්ලා සිටිමු. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන දේශපාලන අරගලය වර්ධනය කිරීමේ පදනම ලෙස, එම ක්‍රියාකාරී කමිටු මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් සසප දියත් කර ඇත. එම අරගලයට අප හා එක්වන ලෙස සසප/සසජාතශි සිසුන්ට ආරාධනා කරයි.

Loading