රැකියා විනාශය සහ උද්ධමනය හමුවේ ලිංගික ශ්‍රමිකයන්ගේ ඉහල යාමක්

රැකියා සොයා ශ්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප වෙත පැමිනෙන ග්‍රාමීය තරුනියන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමේ ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් තිබෙන බව ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය කීපයක පසුගිය දා වාර්තා විය.

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින කන්ඩායමක් වන ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරිය, පසුගිය ජූලි මස අග භාගයේ දී ඒඑන්අයි නමැති ඉන්දියානු පුවත් සේවයට දෙන ලද සම්මුඛ සාකච්ඡාවක දී පවසා ඇත්තේ, ඊට පෙර මාස කීපය තුල රටෙහි ගනිකා වෘත්තිය සියයට 30 කින් වැඩි වී ඇති බව ඔවුන් කල සමීක්ෂනයකින් අනාවරනය වූ බවයි.

වෙලඳ කලාප වෙත පැමිනෙන ග්‍රාමීය දුගී තරුනියන්, සම්බාහන මධ්‍යස්ථානවල ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවයට බඳවා ගන්නා සංවිධානාත්මක තැරැව්කරුවන් සිටිනා බව ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් අධ්‍යක්ෂවරිය එහි දී තවදුරටත් පවසා ඇත.

කෝවිඩ් වසංගතය මධ්‍යයේ රැකියාව අහිමි වූ ඇඟලුම් කම්කරු කාන්තාවක්, තමා ලිංගික ශ්‍රමිකයකු බවට පත්වූ අයුරු ඒඑන්අයි වෙත මෙසේ විස්තර කර තිබුනි: “2021 දෙසැම්බර් මාසයේ දී ඇඟලුම් කම්හලක සේවය කල මගේ රැකියාව නැති වුනා. පසු ව මම දවසේ කුලියට වැඩකට ගියා. එතැන හැමදාම රැකියාව නෑ. ඉන් ලැබුනු ආදායම මගේත් පවුලේ අයගේත් වියදමට ප්‍රමානවත් වුනේ නෑ. පසු ව සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරුවෙක් මාව සම්බන්ධ කර ගත්තා. පවතින ආර්ථික අර්බුදයත් එක්ක මම ලිංගික ශ්‍රමිකයෙකු හැටියට වැඩ කරන්න තීරනය කලා. මුදල් නැත්තට ම නැති තත්ත්වය තුල මේ යෝජනාවට අකමැති වුනත් ඉවත් දාන්න පුලුවන්කමක් තිබුනේ නෑ”

ග්‍රාමීය කාන්තාවන් රැකියා සොයා කොලඹට සංක්‍රමනය වීම 2022 ජනවාරි මස සිට සුවිසල් ව වැඩි වී ඇතිබව මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙයි. 2021 මැයි මාසයේ දී, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පනවන ලද රසායනික පොහොර තහනම හේතුවෙන් ග්‍රාමීය කෘෂිකර්මාන්තය මුලුමනින්ම පාහේ බිඳවැටී ඒ ආශ්‍රිතව ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ආදායම් මාර්ග විනාශ වී යාම මේ තත්වයටට ගාමකය සැපයී ය.

උතුරු-නැගෙනහිර දෙමල කතා කරන පීඩිත ජනතාවට මෙම තත්වය වඩාත් ප්‍රබල ලෙස බල පා ඇත. ජනවාරි 10 දා ඩේලි මිරර් පුවත්පත පලකල වාර්තාවකට අනුව, මෑතක දී මරදානේ සම්බාහන මධ්‍යස්ථානයක් වටලනු ලැබ අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් 19 දෙනෙකුගෙන් 11 දෙනෙකු මන්නාරම සහ වවුනියාව ප්‍රදේශවලින් පැමිනි දෙමල තරුනියන් ය. ඇඟලුම් කම්කරුවන් වන එම තරුනියන් පවසා ඇත්තේ ප්‍රමානවත් ආදායමක් නොලැබෙන බැවින් තම පවුල් ජීවත් කරවීම සඳහා මෙම රැකියාවට යොමු වීමට බල කෙරුනු බවයි.

කොලඹ ධනපති පාලකයන් විසින්, දශක තුනකට ආසන්න කාලයක් පුරා, උතුරු-නැගෙනහිර ගෙනගිය ලේ වැකි සිවිල් යුද්ධය තුල දසදහස් සංඛ්‍යාත සිවිල් වැසියන් මරා දැමුනු අතර, ලක්ෂ සංඛ්‍යාත ජනයාට උන්හිටිතැන් අහිමි කෙරුනි. ඔවුනගේ යැපීම් මාර්ග වනසා දැමුනි. 2009 දී යුද්ධය අවසන් කිරීමෙන් පසු ගෙවී ගිය දශකය තුල තම ජීවිත යලි ගොඩනගා ගැනීමට දැරූ දුෂ්කර ප්‍රයත්නය තුල දැන් ඔවුහු ගැඹුරු වන ආර්ථික අර්බුදයෙන් දරුනු ලෙස බැට කති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකල පසුගිය මහජන නැගිටීම තුල, දෙමල සහ සිංහල කතා කරන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් ඒකාබද්ධ වීම වලකා, ධනපති පංති පාලනය ආරක්ෂා කරගනුවස් දෙමල ධනපති පක්ෂ විසින් තොරොම්බල් කෙරුනු ප්‍රධාන තර්කයක් වූයේ, එම මහජන නැගිටීම තුල, දෙමල ජනයාට අනන්‍ය වියහැකි අවශ්‍යතා නියෝජනය නොකෙරෙන බවයි.

ඖෂධ, ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩයන්ගේ මිල වහා පහත හෙලන ලෙසත්, එම භාන්ඩයන්ගේ දැවැන්ත හිඟය අවසන් කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර නතර කරන ලෙසත් එම නැගිටීම තුල මහජනයා ඉල්ලා සිටියහ. ඔවුනගේ ප්‍රධාන ඉල්ලීම වූයේ මෙම ප්‍රහාර එල්ල කරමින් සිටි ජනාධිපති රාජපක්ෂ තම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

කෙසේ නමුත්, දෙමල පීඩිත ජනයා අතර ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීම මගින්මත් පෙන්නුම් කරනුයේ, දෙමල ධනපති පක්ෂවල මෙම ව්‍යාජ තර්කයන්ට ප්‍රතිකූලව, සියලු ජනවර්ගයන්ට අයත් කම්කරු-පීඩිත ජනයා එකම ප්‍රහාරයේ ගොදුරු බවට පත්ව ඇති බවයි.

දෙමල ධනපති නායකයන්ගේ අරමුන වනුයේ, ධනේශ්වර පන්ති සූරා කෑම පවත්වා ගෙන යන අතර, කොලඹ ආන්ඩුව සමග ගනුදෙනුවකින් තම වරප්‍රසාද තහවුරු කර ගැනීම යි. මේ අරමුන උදෙසා ඔවුන් කම්කරු පන්තිය වාර්ගිකව බෙදීමේ කොලඹ ආන්ඩුවේ ප්‍රතිපත්තියට අනුපූරක ව වැඩ කරති.

යුද සමයේ දී මෙන්, දෙමල තරුනයන් බොහෝ දෙනෙකු, ඉන්දියාවට, ඕස්ට්‍රේලියාවට, උතුරු ඇමරිකාවට සහ යුරෝපයට සංක්‍රමනය වෙමින් සිටීම, මෙම දෙමල ධනපති දේශපාලනය සහ දෙමල පීඩිතයන්ගේ ජීවන කොන්දේසි අතර කෙතරම් අගාදයක් ඇත්ද යන්න පෙන්නුම් කරන තවත් සාධකයකි.

පසුගිය නොවැම්බරයේ දී වියට්නාමය අසල සාගරයේ, “නීති-විරෝධී” ලෙස සංක්‍රමනය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීම හේතුවෙන්, ඔවුන් වියට්නාම් අධිකාරිය යටතට පත්විය. මෙම සංක්‍රමනිකයන් සියලු දෙනා ම පාහේ උතුරු නැගෙනහිර දෙමල ජනතාවට අයත් වෙති. ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීමට එරෙහි වූ ඔවුන් අතරින් එක් තරුනයෙක් සිය දිවි නසා ගනිමින් තම විරෝධය පල කලේ ය.

2022 වසරේ දී නීත්‍යානුකූල ව පමනක් රැකියාවන් සොයා ගෙන විදෙස් රටවලට සංක්‍රමනය වූ කම්කරුවන් ගනන 300,000 ඉක්මවයි. මෙය ඉතිහාසයේ එක් වසරක් තුල රැකියා සොයා විදේශගත වූ ඉහල ම අගයයි.

පොලී අනුපාත ඉහල දැමීම් සහ අමුද්‍රව්‍ය ආනයනය සීමා කිරීම හේතුවෙන් සුලු පරිමාන ව්‍යාපාර දහස් ගනනක් වැසී ගොස් ඇති අතර, පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර වසරට සාපේක්ෂ ව සියයට 12කින් හැකිලී තිබේ. පසුගිය වසරේ තුන් වැනි කාර්තුව අවසන් වන විට විරැකියාව සියයට 5 දක්වා වර්ධනය වී තිබුනි. නැවත රැකියාවලට බඳවා ගැනීම නතර කිරීම, රැකියා වලින් දොට්ට දැමීම්, සහ සේවය අත්හිටුවීම් නිසා මෙම තත්වයට තුඩු දී ඇත.

ඉහල ම ආහාර උද්ධමනයන් ඇති රටවල් 10 අතරේ ශ්‍රී ලංකාව සිටින බව පසුගිය මාසයේ ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දුන්නේ ය. මෙම තත්ත්වය රටේ පෝෂන තත්ත්වය වඩාත් නරක අතට හරවා තිබේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය හුදෙක් ශ්‍රී ලංකාවට හෝ උතුරු නැගෙනහිර පලාත්වලට සීමාවූවක් නොවේ. ලංකාවෙන් ප්‍රකාශයට පත් වන්නේ, වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදයේ සමස්ත බර, කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමේ ධනපති පාලක පන්ති පිලිවෙත හරහා ලොවපුරා වර්ධනය කෙරෙමින් පවතින සමාජ කාලකන්නිභාවයේ පැතිකඩක් පමනි.

ගෝලීයව විරැකියාව වර්ධනය කිරීම හරහා වැටුප් ඉල්ලීම් පාගා දැමීම ලෝකයේ මහ බැංකුවල පිලිවෙත වී ඇත. මෙම පිලිවෙත්වල ප්‍රතිඵලයක් ලෙස, ලොවපුරා ධනපතියන් විසින් පසුගිය වසර තුල පමනක් ඇමරිකානු ඩොලර් බිලියන 337ක් කම්කරු වැටුප් වලින් උදුරා ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් ලෙස මෙම පිලිවෙත ක්‍රියාවට නංවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම පිලිවෙතට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතරින් මතුවන කවර හෝ විරෝධයක් පොලිස්-මිලිටරි බලයෙන් තලා දමා, ‌“ජනප්‍රිය නොවන” පියවර සියල්ල ඉදිරියටම ගෙනයන බවට යලියලිත් සපථ වෙයි. පොලී අනුපාත ඉහල නංවමින්, සමාජ සේවා කප්පාදු කරමින්, කම්කරු පන්තියට ඉසිලිය නොහැකි වන පරිදි බදුබර වැඩි කරමින් සහ කම්කරු නීති සංශෝධනය කරමින් ධනපති ආන්ඩුව මෙම සමාජ ප්‍රහාරය වේගයෙන් ඉදිරියට ගෙන යමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය සහතික කර ගනු වස්, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සමස්ත ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය ම මේ ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට යුහුසුලු ව සිටිති. “ජනවරමක්” නොමැති වික්‍රමසිංහ, මෙම සමාජ ප්‍රහාරය දියත් කිරීමේ ලා දුබලයෙකු බව පවසන මෙම පක්ෂ, “ජනවරමක්” සහිත ව බලයට පැමින එය ක්‍රියාත්මක කිරීමට ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරනයක් ඉල්ලා සිටිති. මෙවර පලාත් පාලන මැතිවරනයේ දී ඔවුනගේ ප්‍රධාන තේමාව වනුයේ එයයි.

ඉහත ධනපති පක්ෂ වලට ද, ධනපති ක්‍රමයේ සුවකල නොහැකි අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාර, ධනපති පාලනයට පීඩනය යොදා පරාජය කල හැකි බවට වන මිත්‍යාව වපුරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ වලට ද එරෙහි ව, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ කම්කරු පංතික වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් මෙම පලාත් පාලන මැතිවරනය තුල සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.

සසප යෝජනා කරන්නේ කම්කරු පන්තියේ අයිතීන් සඳහා සහ රාජ්‍ය මර්දනයට එරෙහි අරගලය, ධනපති පන්ති පාලනයට එරෙහි සහ සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනක් දක්වා වර්ධනය කල යුතු බවයි. මෙම සටන ඉදිරියට ගෙන යා හැක්කේ, සියලු ධනපති පක්ෂවලින්, ඒවායේ වෘත්තීය සමිති ආවතේවකරුවන්ගෙන් සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන ව්‍යාජ-වාම පක්ෂ වලින් ස්වාධීන ව, කම්කරුවන් හා ගම්බද පීඩිතයින්, දිවයින පුරා වැඩපොලවල, කම්හල්වල, වතු, නිවහන් ප්‍රදේශ හා ගම්බද ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තුලිනි.

එම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස් සසප මෙම පලාත් පාලන මැතිවරනයේදී උද්ඝෝෂනය කරයි.

Loading