වාම පක්ෂය හෙලා දකිමින් ෆැසිස්ට්වාදී ඒඑෆ්ඩී ගැන සසප (ජර්මනිය) අනතුරු අඟවයි

[මෙය SGP denounces the Left Party and warns against the fascist AfD මැයෙන් 2023 ජනවාරි 19 ඉංග්‍රීසියෙන් පල කෙරුනු වාර්තාවේ පරිවර්තනයයි.]

ජනවාරි 14 වැනි දා, සෙනසුරාදා, ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) තම මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් වශයෙන් තවත් රැලියක් සංවිධානය කලේ ය. සසප යුද්ධයට එරෙහි වෙමින් සමාජවාදී පදනමක් මත බර්ලින් ප්‍රාන්ත මැතිවරනයට තරග වදී. යුද්ධයට සහ වැඩෙන සමාජ කප්පාදුවට එරෙහි පුලුල් විරෝධයට හඬක් ලබා දෙන එක ම පක්ෂය සසප යි.

සසප ප්‍රධාන අපේක්ෂක ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් ෆැසිස්ට්වාදී “ජර්මනිය සඳහා විකල්පයට” එරෙහි ව කතාවක් පවත්වයි - වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර සිංහල භාෂාව තෝරන්න.

රැලිය පැවැත් වුනේ මාර්සාන්-හෙලර්ස්ඩෝර්ෆ් හි දී ය. නැගෙනහිර බර්ලිනයේ තදාසන්න ප්‍රදේශයක් වන එය, පෙර පැවති නැගෙනහිර ජර්මනියේ ස්ටැලින්වාදී දියකර හැරීමේ ද, පසුකාලීන ව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) සහ නැගෙනහිර ජර්මනියේ පාලක ස්ටැලින්වාදී පක්ෂයෙන් පැන නැගුනු සංවිධාන වන පීඩීඑස් හි සහ වාම පක්ෂයේ ප්‍රතිගාමී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමුනු ඉතිහාසයකට උරුම කම් කියයි. සෙනසුරාදා රැලියට මත්තෙන් සසප සාමාජිකයෝ සහ ආධාරකරුවෝ පක්ෂයේ ක්‍රියාමාර්ගය, ඉතිහාසය සහ විප්ලවවාදී උරුමය පැහැදිලි කරමින් ජවසම්පන්න උද්ඝෝෂනයක් ගෙන ගියහ. මෙම උද්ඝෝෂනයට ඉතා සාධනීය ප්‍රතිචාරයක් ලැබුනි. සසප ඊලඟ රැලිය එලඹෙන සෙනසුරාදා දහවල් 2ට බර්ලින් උපනගරයක් වන වෙඩිං හි දී පැවැත් වෙනු ඇති.

“අප සෙනට් මන්ඩලයට තේරි පත් වුව හොත්, අපි එම අවස්ථාව යොදා ගන්නේ යුද්ධයට සහ ධනේශ්වර සූරා කෑමට එරෙහි අපගේ අරගලය දියුනු කිරීමට ඇති වේදිකාවක් ලෙසයි. අපි යුද කුමන්ත්‍රන එලිදරවු කරන්නෙමු. සෙනට් මන්ඩලය මධ්‍යම ආන්ඩුවේ යුද ප්‍රතිපත්ති රාජ්‍ය මට්ටමින් ක්‍රියාවට දමන්නේ කෙසේ දැයි අපි පෙන්වා දෙන්නෙමු. අපි එයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වන්නෙමු” යැයි සසප ආරම්භක සාමාජික සහ එහි දිගුකාලීන සභාපති වූ උල්රිච් රිපර්ට් පැවසීය.

සසප අපේක්ෂකයන් වන වැන්ඩ්‍රියර් සහ රිපර්ට් වාම පක්ෂය ගැන පැහැදිලි කරති - වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර සිංහල භාෂාව තෝරන්න.

සසප වත්මන් සභාපති වන ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් තම කතාවේ දී, වාම පක්ෂයේ ප්‍රතිගාමී ස්වභාවයත් එහි අධම පාලනයේ වාර්තාවත් සවිස්තරාත්මක ව විවරනය කලේ ය. ඒ අතරම, අන්ත දක්ෂිනාංශික ඒඑෆ්ඩීය සහ රාජ්‍ය යන්ත්‍රය තුල පවතින ෆැසිස්ට් කුමන්ත්‍රනය මතු කරන අන්තරාය ගැන ද අනතුරු අඟවා සිටියේ ය. ඒඑෆ්ඩීයේ ශක්තිමත් වීම සියලු පක්ෂ විසින් තම මිලිටරිවාදී සහ කම්කරු පන්තික විරෝධී පන්ති ක්‍රියාමාර්ගය ක්‍රියාවට දැමීමේ ඍජු ප්‍රතිඵලයක් යැයි ඔහු කියා සිටියේ ය.

රිපර්ට් සහ වැන්ඩ්‍රියර් යන දෙ දෙනා ම, රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලීබ්නෙක්ට් අධිරාජ්‍යවාදයට සහ මිලිටරිවාදයට එරෙහි ව දියත් කල අරගලයේ දේශපාලන උරුමය සිහිපත් කලහ. මෙම විප්ලවවාදී සමාජවාදීන් දෙ දෙනා ම වසර 104කට පෙර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුවක් විසින් බියගුලු සහ ද්‍රෝහී ආකාරයෙන් ඝාතනය කරන ලදහ.

සසප අපෙක්ෂක උල්රිච් රිපර්ට් ස්ටැලින්වාදය සහ සමාජවාදය ගැන කතා කරයි - වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර සිංහල භාෂාව තෝරන්න.

දේශපාලකයන් සහ මාධ්‍යය උද්වේගකාරී ලෙස බල කර සිටි ආකාරයට ජර්මානු හමුදාවට යුරෝ බිලියන 300ක “විශේෂ අරමුදලක්” සම්පාදනය කර, එය සන්නද්ධ කිරීම සමාජය පූර්න පරිමාන මිලිටරීකරනයකට මඟ පාදන තුන් වැනි ලෝක යුද්ධයක් දෙසට පෙර නුවූ විරූ පියවරක් සලකුනු කරනු ඇති බවට, වැන්ඩ්‍රියර් තම සමාප්ති කතාවේ දී අනතුරු අඟවා සිටියේ ය.

සසප සාමාජිකයෝ රැලියට රැස් වූ ජනතාවගෙන් පක්ෂයේ ක්‍රියාමාර්ගය සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රැලිය අතරතුර දී විමසූහ. සමාජ කප්පාදුවේ සහ වැටුප් කප්පාදුවල අරමුන පාලක ප්‍රභූව ගෙන යන යුද්ධයට අරමුදල් සම්පාදනය කර ගැනීම යැයි සසප සාමාජිකයෝ පැහැදිලි කලහ. ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කැඳවුම් කරන සසප මෙම ඉල්ලීම් ඉදිරිපත් කරයි: උද්ධමනයට අනුරූප ව ඉහල යන වැටුප්, ජර්මානු මිලිටරිය විසුරුවා හැරීම, සමාජීය යටිතල පහසුකම්වල අති දැවැන්ත ප්‍රසාරනයක්.

තම කුඩා පුතු සමග රැලිය අසලින් ගමන් ගත් තරුන කම්කරුවෙක් සියලු ධනේශ්වර පක්ෂ කෙරෙහි තම අප්‍රසාදය පල කලේ ය. ඔහු මෙසේ පැවසී ය: “බලයේ ඉන්නේ මොකා වුනත් මුන් ඔක්කොම තක්කඩි. හැම යුද්ධයක් ම තමන්ගේ ලාභය වෙනුවෙන්. ඡන්දය දෙන්න කෙනෙක් නෑ. කිසි ම දෙයක් නොකර තමන්ගේ සුවපහසුවට සියලු ම බදු මුදල් නාස්ති කරනවා. නමුත් මට මගේ ලමයට කොහොම කන්න බොන්න අඳින්න පලඳින්න දෙන්න ද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සියල්ල අතරින් වඩාත් වැදගත් වෙන්නෙ ලමයි වුනාට, එයා චිත්‍රපටියකට එක්ක යනවද නැද්ද කියලා මගේ අතේ සල්ලි තියෙනවද කියලා කල්පනා කරන්න වෙලා තියෙන්නේ.”

පසෙකට වී රැලියට සවන් දෙමින් සිටි ශිෂ්‍යයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: “යුක්‍රේනයට ඇමරිකාවෙන් අවි ආයුද ලැබෙනවා. දැන් හැමෝ ම මේකට පැටලෙමින් ඉන්නේ. මේක ඉවර වෙන්නෙ න්‍යෂ්ටික යුද්ධයකින්. මුදල්වල වටිනාකම කඩා වැටෙනවා. මිනිස්සුන්ට තවදුරටත් බොහෝ වියදම් දරා ගන්න බෑ. ජර්මන් හමුදාව සන්නද්ධ කිරීම කිසි ම සෙතක් වෙන වැඩක් කියලා මම හිතන්නේ නෑ. ජර්මානු ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන.”

එලිසබෙත්, සසප රැලියට සහභාගී වීමට ගිනිකොනදිග බර්ලිනයේ සිට පැමින සිටියා ය. “මම ඔබගේ ක්‍රියාමාර්ගය සැලකිල්ලෙන් අධ්‍යයනය කලා. තුන් වැනි ලෝක යුද්ධයක් ගැන මම බිය වෙනවා. නමුත් එවැන්නක් අපෙන් වැඩි දුරක නෙවෙයි. 2014 තන්ත්‍ර මාරු කුමන්ත්‍රනය අන්තිම වංචනික කටයුත්තක්. දැන් එලිපිට ම යුක්‍රේන සොල්දාදුවන් පුහුනු කරවන්න නැටෝවට ඕන. රුසියානු ජනතාවත් න්‍යෂ්ටික යුද්ධයකට බියෙන් ඉන්නේ. එවැනි යුද්ධයක ජයග්‍රාහකයෙක් නැති බව ඔවුන් දන්නවා” යැයි ඇය පැවසුවා ය.

එලිසබෙත්: තුන් වැනි ලෝක යුද්ධයක් ගැන මම බිය වෙනවා.

“හරිතයෝ අන්තයට ම පිරිහුනු කන්ඩායමක්” යැයි එලිසබෙත් පැවසුවා ය. තම දිස්ත්‍රික්කය තුල සසප මැතිවරන ප්‍රචාරන කටයුතු වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ඇය එහි බෙදා හැරීමට මැතිවරන පත්‍රිකා මිටියක් ලබා ගත්තා ය. “අධික විදුලි බිල් සහ ආහාර වියදම් නිසා මිනිස්සු දැනටත් හරි ම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේක දවසින් දවස නරක අතට හැරෙනවා මිසක් ඉවරයක් වෙන පාටක් නෑ. නිවාස සමාගම් මහල් නිවාසවල කිසිදු දෙයක් වැඩි දියුනු නොකර අමතර සියයට 20ක් කුලිය ලෙස ගන්නවා. අපිව පිස්සු වට්ටනවා. ආන්ඩුව කරන්නේ මහා ව්‍යාපාර නියම කර සිටින දේ විතරයි. මම අවුරුදු 30ක් තිස්සේ ඡන්දය දුන්නේ වාම පක්ෂයට. හැබැයි මේ පාර මම සහතිකෙන් ම මගේ ඡන්දය සසපට ලබා දෙනවා. ජය වේවා!” යැයි ඇය වැඩිදුරටත් පැවසුවා ය.

Loading