නියම නිදහසක් ද නැතහොත් ව්‍යාජ නිදහසක් ද?

හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උප මහාද්වීපයේ ශාඛාව වූ ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායකයාවූ කොල්වින් ආර් ද සිල්වා විසින් රචිත “නියම නිදහසක් ද නැතහොත් ව්‍යාජ නිදහසක් ද?” යන මාතෘකාවෙන් 1948 පෙබරවාරි 4 පලකල ප්‍රකාශනය 2019 පෙබරවාරි 4 දා අපි මෙහි පල කලෙමු. ඊනියා නිදහස ගැන 75 වනසංවත්සර දින එය යලි පල කරන්නෙමු.

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව විශේෂයෙන් 1947-1948 කාල පරිච්ඡේදයේ දකුනු ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදීන් ඇතිකල සමථයන්ගේ ස්වභාවය පිලිබඳව දුර දක්නා අයුරින් ලියැවී ඇති මෙම ප්‍රකාශනය ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වී ඇති අතර දැන් 75 වසරක කාල පරාසයක් තුල පරීක්ෂාවට ලක්ව තව තවත් දීප්තිමත් වී ඇත.

ලංකාව තුල පමනක් නොව ස්වදේශීය ධනපති පන්තිය තම ඒජන්තයා ලෙස පත් කරමින් බි්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිල නිදහස ලබාදීම ලෙස ස්ථාපිත කෙරුනු ඉන්දියාව, පකිස්තානය හා බුරුමය (පසුව පිහිටුවූ බංග්ලාදේශය) වැනි දකුනු ආසියානු කලාපයේ සියලු රටවල් තුල වැඩ කරන ජනයා හට උරුම කර ඇත්තේ උග්‍ර වන දරිද්‍රතාව, වාර්ගික යුද්ධ, ආගමික පීඩනය, මූලික ප්‍රජාත්නත්‍රවාදී නිදහස වෙනුවට පොලිස්-මිලිටරි මර්දනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය මුදල් ගරන ව්‍යාපාර බවට පිරිහෙලීම ආදී ව්‍යසනයන් වේ.

“නොබැඳි ව්‍යාපාරය” හරහා අධිරාජ්‍යවාදයෙන් ස්වාධීන යැයි පෙනී සිටීමට කල උත්සාහයන්ගේ සලු ගැලවී දැන් ලංකාව ඇතුලු සමස්ත දකුනු ආසියානු කලාපයේම ධනපති පන්තීන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයේ ඒජන්තයන් ලෙස ඉදිරියට පැමින ඇත.

1942 අගෝස්තුවේදී ආරම්භ කල බීඑල්පීඅයි පක්ෂය 1950 ජූනියේදී ලංකා සම සමාජ පක්ෂය තුල දිය කර හරිමින් ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගික පදනම් දියකර හැරියද එම පක්ෂය ට්‍රොට්ස්කිවාදී ක්‍රියා මාර්ගය මත පදනම්ව සටන් වැදුනු සමයේ ඉදිරිපත් කල මෙම ප්‍රකාශයෙහි තීරනාත්මක බව එලෙසම පවතී.

කම්කරුවන්ගෙන්, සිසුන් ඇතුලු තරුනයින්ගෙන්, බුද්ධිමතුන්ගෙන් සහ සියලු සටන්කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ප්‍රකාශය සැලකිල්ලෙන් අධ්‍යයනය කරන ලෙසයි.

***

බී.ඇල්.පී.අයි. පක්ෂයේ පෙබරවාරි 4 වෙනි දින ප්‍රකාශනය

බ්‍රිතාන්‍ය ධජය යටතේ ව්‍යාජ නිදහසක් නොව බ්‍රිතාන්‍ය අධි රාජ්‍යයෙන් පිටත නිදහස සඳහා

පෙබරවාරි 4 වෙනි දින මඟුල් බෙර නාදයෙන් හඳුන්වා දෙති. පසුව එන කෙලි සෙල්ලම් කෙලවර වන්නේ ගිනිකෙලි ප්‍රදර්ශනයකිනි. ඒ කාලය අතරතුර ආන්ඩුකාරයා අග්‍රාන්ඩුකාරයකු වනු ඇත, ඈපානන් කෙනෙකු පැමින යනු ඇත, අපේ මුදලින් ලක්ෂ ගනනක් විනාශ කරන දමන ලදුව ලංකාවට “බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය සමූහය තුල පූර්න වගකීිම් තත්වයක්” ලැබෙනු ඇත. මේ සියල්ල තුල මෙරට ජනතාවට ප්‍රීතියෙන් පිලිගැනීමට කිසිවක් තිබේද?

ඉහත සඳහන් ප්‍රශ්නයට බීඇල්පීඅයි පක්ෂයේ උත්තරය නම් පැහැදිලිව හා නිසැකවම “නැත!” යන්නයි. අප වෙත සේනානායක-මන්ක්- මේසන් මුවර් සංයෝගය මගින් ගෙනැවිත් තිබෙන “අලුත් තත්වය” ගැන ජනතාවට උද්‍යෝගීවීමට කිසිත් නොමැත. ඔවුන් විසින් අන බෙර ගසා ප්‍රකාශ කරන “ස්වාධීනත්වයේ” ජනතාවට “ප්‍රීතිවීමට” කිසිත් නොමැත. මන්ද ඔවුන් ලබා ගන්නා “අලුත් තත්වය” වනාහි “ස්වාධීනත්වය” නොවෙනවා පමනක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව ගැටගසා ඇති වහල්භාවයේ යදමෙහි රූපාකාරය වෙනස් කිරීමක් පමනකි. ඒ වනාහි, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලංකාව තුල තම පාලනය ගෙනයන රූපාකාරයේ වෙනස් කිරීමක් සමග එම පාලනය නොකඩවා ඉදිරියට ගෙනයාමකි.

මෙම පාලනය නොකඩවා ඉදිරියට ගෙන යෑම සිදු වන්නේ කෙසේද? අත්‍යාවශ්‍ය ලෙසම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් ආර්ථික වසයෙන් ලංකාවේ ගෙල මිරිකා සිටීම නොකඩවා ඉදිරියට ගෙනයාමෙනි. අපගේ බැංකු පද්ධතිය, අපගේ වතු පද්ධතිය සහ පිටස්තර ලෝකය සමග අප සම්බන්ධ කරන අපගේ සන්නිවේදන පද්ධතිය පාලනය කරනුයේ ඔවුන් බැවින් ඔවුහු අපගේ ආර්ථිකය පාලනය කරන්නෝ ද වෙති. තවද රටක ආර්ථික ක්‍රමය පාලනය කරන්නේ කවරෙකු වෙත් ද, අවසන් විශ්ලේෂනයේදී හෙතෙම එම රජය ද පාලනය කරයි. වෙනත් වචන වලින් කිවහොත්, අපට අපගේම ධජයක් ඔසවන්නට, ජාතික ගීයක් ගයන්නට සහ (බුරුමයේ මෙන්) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ස්වාධීන වූ රටකැයි කියා ගන්නට ඉඩ ලැබුනත්, බ්‍රිතාන්‍ය ය අධිරාජ්‍යවාදය විසින් අපගේ ආර්ථිකයේ ගෙල මිරිකා සිටීම නොවෙනස්ව පවතී නම් අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ වහලුන් මෙන් ඉදිරියටත් ජීවත් වන්නෝ වෙමු. නිදහසේ සාරය ඇත්තේ මෙම මාරක ගෙල මිරිකීමෙන් නිදහස් වීමෙන් පමනක්‍ ය.

ඒ සමගම, කෙසේ නමුත්, මෙම අලුත් තත්වය වනාහි අපගේ වහල් භාවය ඉදිරියටත් එසේම පැවැත්මක් පමනක් නොව එහි රූපාකාරය වෙනස් කිරීමක් ද බව අවධාරනය කිරීම අත්‍යවශ්‍ය ය. මෝඩයෝ පමනක්, ලංකාවේ “තත්වයෙහි වෙනසක් නැතැ” යි කියා සිටිති. වෙනසක් ඇත්තේමය. නමුත් මෙම වෙනස ඇත්තේ ලංකාව යටත් විජිත තත්වයක සිට ස්වාධීනත්වයකට මාරු වීමක් තුල නොව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලංකාව සෘජුව පාලනය කිරීමේ ක්‍රමවේදයන්ගෙන් වක්‍ර පාලන ක්‍රමවේදයන්ට මාරු වීම තුලයි.

මෙම වෙනසේ අන්තර්ගතය රැඳී ඇත්තේ කොහි ද? හරියටම එය රඳා පවත්නේ ලංකාව තුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අයිතිවාසිකම් බලාකියා ගැනීමේ කටයුත්ත සහමුලින්ම වාගේ ලංකාවේ ස්වදේශික සූරාකෑමේ පංතීන්ට භාරදීම තුලය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය කවර ආකාරයකින් හෝ පහවී ගොස් නැති අතර එය පසුබිමට වී සිටී.

කෙනෙකු විසින් මෙසේ ඇසිය හැකිය. අපගේ ස්වදේශික සූරාකන්නන් විසින් ඔවුන්ගේ බලය යොදා තම ස්වාමිවරුන්ට ‘තට්ටුකිරීම’ වලකන්නට ඇත්තේ කුමක් විසින් ද? එයට බලපෑ කරුනු කීපයකි. ප්‍රථම කරුන වනුයේ බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් ලංකාන්ඩුව වෙත බලහත්කාරයෙන් පටවන ලද “ගිවිසුම්” ය. ඒවායින්, ලංකාවේ ගෙල මිරිකන අන්දමටම, මිලිටරි හා විදේශීය කටයුතු පිලිබඳ බලය බ්‍රිතාන්‍ය විසින් තම අත් අඩංගුවේ තබාගැනීම සදහටම තහවුරු කෙරේ. තවද ලංකාවෙහිම වාසය කරන බ්‍රිතාන්‍ය සහ ලාංකික ධනපති කොටස්වලට හිමි ආර්ථික, දේශපාලන හා මුදල් පිලිබඳ අයිතිවාසිකම් එකට වෙලී තිබේ. එහෙත් මේ සියල්ලටම වඩා වැදගත්වූ කරුන නම්, ලාංකික ධනපතින්ගේ සාමාන්‍ය වුවමනාවන් ද, විශේෂයෙන්ම ලක්වැසි ජනතාවට විරුද්ධව පවත්වාගෙන යන ඔවුන්ගේ අයිතිවාසිකම්ද රඳා පවත්නා මූලික අත්තිවාරම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග දේශපාලන, ආර්ථික සහ මිලිටරිමය ලෙස ඇති ඔවුන්ගේ බැඳීම ය. අප ධනපතියෝ ලංකාවේ ස්වාධීනත්වය කවදාවත් නොඉල්ලූහ. ඔවුහු ඉල්ලා තිබෙන්නේ කුමක් ද? බ්‍රිතාන්‍ය ය අධිරාජ්‍යයේ කොටසක් හැටියටත්, එහි බූදලය හැටියටත්, ලංකාව රැකබලා ගැනීමේ මුලු වගකීම පමනකි. දැන් මොවුන්ට එය ලැබී තිබේ.

ලංකාවේ ජනතාවට ද ඔවුන්ගේ සටනට ද, මේ පාලන පිලිවෙල වෙනස් වීමෙන් ඇතිවන ප්‍රතිඵල කුමක්ද? මේ සමගම පලමුවෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් අධිරාජ්‍ය විරෝධී සටන කෙලවරවුනාද යනුය. ප්‍රශ්නය ඇසීමම එයට පිලිතුරු දීමක් වැනිය. ආර්ථික ක්‍රමය, ආරක්ෂක වැඩකටයුතු විදේශික සම්බන්ධකම් යන මේ සියල්ල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය නැමැති දඬුඅඬුවට අසුවී තිබීමෙන් මුදාගැනීමේ සටන දැනුත් කරගෙන යනු ලැබේ. - කරගෙන යා යුතුම ය. සිය ස්වාමියා වූ සර් හෙන්රි මන්ක් මේසන් මුවර් සමග ලංකාවේ නමින් ඩී. ඇස්. සේනානායක මහතා හවුලේ අත්සන් කල වහල් ගිවිසුම්වලට විරුද්ධව විශේෂයෙන්ම අපිට සටන් කල යුතුව තිබේ. එහෙයින් ඉන්දීය බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂය ජනතාවට මෙසේ ආරාධනා කරන්නීය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී සටන නොකඩවා ගෙනයනු!
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග ඇතිකර තිබෙන වහල් ගිවිසුම් භංග කරමු!

අධිරාජ්‍යවාදයට හා වහල් ගිවිසුම්වලට විරුද්ධව සටන වැඩිදියුනු වීමත් සමගම ලංකාවේ ජනතාවට මුහුනට මුහන ලා සටන් කිරීමට මතුවෙන හතුරා කව්ද? ප්‍රථමයෙන්ම ඔවුන්ට මුහුන දෙන්නට සිදුවන්නේ විදේශික අධිරාජ්‍යවාදීන්ගේ බයිනෙත්තුවලට නොව ස්වදේශික ධනපතීන්ගේ පොලීසිය හා අනෙකුත් ආරක්ෂක හමුදාවලට ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය අප පරම හතුරා මෙන් සලකතත්, ලංකාව තුල අධිරාජ්‍යවාදී පාලන රූපයේ ඇතිවූ අභිනව තත්වය හේතු කොට ගෙන අපට සෘජුව මුහුන දී සිටින හතුරා ලෙස ස්වදේශික පාලක පන්තීහු නැගී සිටිති. අධිරාජ්‍යවාදීහු, අවසාන මෙහොතකට පමනක් පාවිච්චි කිරීම සඳහා, සෘජුව පාලනයට මැදහත්වීමේ අයිතිවාසිකම් සිය අත්අඩංගුවේ තබාගෙන සිටිත්. නැගිටිමින් සිටින පීඩිත ජනතාව මැඩපවත්වා යටහත් කර ගැනීමේ කටයුත්ත පිලිබඳ ප්‍රථම වගකීම ලාංකික ධනපතීන්ට භාර දී තිබේ. විදේශික අධිරාජ්‍යවාදීන් හා ස්වදේශික ධනපතීන් අතර නව සන්ධානය තුල වැඩබෙදීම සිදුවී තිබෙන්නේ යට කී අන්දමට ය. ලංකාවේ අඛන්ඩව පවතින අධිරාජ්‍යවාදී බලය පෙරලා දැමීම කරා යන ගමනේදී ප්‍රථම සටන නම් අපේම ධනපතියන්ට විරුද්ධව කරන සටනයි. අධිරාජ්‍යවාදය භංගවේවා, යන්නෙහි අර්ථය වනුයේ අධිරාජ්‍යවාදී-ධනේශ්වර සන්ධානය භංගවේවා යන්නයි. මේ සන්ධානයේ මූලික ආයුධය වී තිබෙන්නේ සොල්බරි ආන්ඩුක්‍රමය නිසා (දැනට ඇති කොට තිබෙන වෙනස්කම් ඇතුව හා පබ්ලික්සර්විස් කොමිසම සහිතව) සොල්බරි ආන්ඩු ක්‍රමය හා ඊට සම්බන්ධ වූ අංශවලට ද විරුද්ධව අපේ සටන නොකඩවා ගෙනගිය යුතුව තිබේ. එමනිසා බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂය මෙසේ හඬනගා ප්‍රකාශ කරයි.

අධිරාජ්‍යවාදී-ධනපති සන්ධානයට විරුද්ධව සටන් කරනු!

සොල්බරි ආන්ඩු ක්‍රමය හා ඊට අදාල අංශ භංගවේවා!

අධිරාජ්‍යවාදයට හා අධිරාජ්‍ය-ධනපති සන්ධානයට විරුද්ධව සටන් කිරීමට හැකි වන්නේ මහජනතාව නිසි සංවිධානයන් තුල ඒකරාශී වුවහොත් පමනකි. ආර්ථික පෙරමුනෙහි කම්කරුවන්ගේ මහජන ව්‍යාපාරය ඉදිරියට යෑමත් සමගම බලයෙන් වැඩුනු කම්කරු සමිති ව්‍යාපාරය අද දුර්වල අඩියක පවතී. මෙම කම්කරු සමිති යලිත් ප්‍රතිසංස්කරනය කොට ගොඩනැගිය යුතුව තිබේ. පලල් සංවිධානයන් තුල සංවිධානය වී එඩිතර ක්‍රියා මාර්ගයකට ගම්බද ජනතාව පිවිසෙනවාත් සමග ම ජූනි ස්ට්‍රයිකයෙන් ඇතිවූ පරාජයෛන් පසු, කම්කරු පංති මහජන ව්‍යාපාරය පසුබෑමට ලක්වූ නිසා ගම්බද ජනතාවගේ එම ඉදිරි ගමන මඳක් නැවතුනි. එම වෑයමට යලිත් පන පෙවිය යුතුව තිබේ. මහජන ආරක්ෂක පනත හා ආන්ඩුවේ සේවකයින්ට කම්කරු සමිති අයිතිවාසිකම් නොදෙන රෙකුලාසි ආදියෙන් ප්‍රකාශවෙන, අධිරාජ්‍යවාදී-ධනපති සන්ධානය මගින් වැඩ කරන ජනතාවට එල්ල කෙරෙන ප්‍රහාරයන් වැලැක්විය හැක්කේ එමගින් පමනකි. එම නිසා බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂය මෙසේ ප්‍රකාශ කරයි.

අධිරාජ්‍යවාදී-ධනපති සන්ධානයට මුහුන දීමට වැඩ කරන ජනතා සංවිධාන යලිත් ගොඩනගනු. මහජන ආරක්ෂක පනත හා අනෙකුත් මර්දන නීති භංගවේවා! කථාකිරීමේ, ලිවීමේ, රැස්වීමේ හා සංවිධානය වීමේ සම්පූර්න නිදහස සඳහා සටන් කරනු!

වැඩකරන ජනතාවගේ මහජන ව්‍යාපාරයන් යලිත් ගොඩනැගීමට හා ඒවායෙහි දියුනුවට තිබෙන බාධාවන් තුරන් කිරීමට ගෙන යන සටන වූකලී ඉදිරිකාලයේදී වැඩකරන ජනයා විසින් ගෙනගිය යුතු මාරාන්තික සටන්වලට සූදානම් කිරීමකි. එම සටන උග්‍රවන විරැකියාවට හා වැඩිවෙන දරිද්‍රතාවයට විරුද්ධව ගෙන යන සටනකි. මහා වෙලඳ පරිහානියක ලකුනු අප අතර ඇත. රක්ෂාවලින් අස්කිරීම ක්‍රමයෙන් වැඩිවන බව පෙනේ. යුද්ධ කාලයේ ඇතිවූ මුලාකාරී සෞභාග්‍යය තුරන්වෙමින් දරිද්‍රභාවය වැඩෙයි. රැකියා හෝ නඩත්තු ලබාගැනීමේ සටන මෙකල ගෙනයාමේ මාර්ග වශයෙන් බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂය මෙසේ ඉල්ලයි.

* රක්ෂාවලින් නෙරපීම නවත්වනු.

* පඩි අඩු නොකොට වැඩ කරන කාලය අඩු කරනු.

* තිබෙන වැඩ සියලු කම්කරුවන් අතර බෙදනු.

* යුද්ධයෙන් පෙර තිබුන ප්‍රමානයට බඩුමිල අඩුකරනු.

* දුප්පතුන් බදුබරින් නිදහස් කිරීමට පොහොසතුන්ගෙන් අය කරන බදු වැඩිකරනු.

* බඩු මිල නගින ප්‍රමානයට පඩි වැඩි කරනු.

සමස්ත වැඩ කරන ජනතාවගේ සටන සංවිධානය කොට ඉදිරියට ගෙන යා හැක්කේ එකම පන්තියකට පමනකි. එය කම්කරු පන්තියයි. එහෙත් අද කම්කරු පන්තිය පවා අදහස් ව්‍යාකූල කරගෙන, පටලවාගෙන හා අසමගිව සිටී. වහාම හා කඩිනමින් කලයුතු කටයුත්ත කම්කරු පන්තිය ක්‍රියා කිරීමේදී එක්සත් කිරීමය. පන්තිය ආරක්ෂා කල හැක්කේ එමගින් පමනකි. මුලු වැඩකරන ජනතාව සටනට ඇදගත හැක්කේ එමගින් පමනකි.

වැඩකරන ජනතාව ක්‍රියා කිරීමේදී එක්සත් කිරීම උදෙසා කම්කරු පන්ති සමගිය ගොඩනගමු. වැඩ කරන ජනතා සටනේ නායකත්වය කම්කරු පන්ති නායකත්වය විය යුතුයි.

කම්කරු පන්ති සමගිය ඇති කිරීමේ මාර්ගය, කම්කරු පන්ති දේශපාලන පක්ෂ අතර ක්‍රියා කිරීමේදී එක්සත් කිරීම ය. ක්‍රියාමාර්ග හා වැඩපිලිවෙලවල් සම්බන්ධව එම පක්ෂ අතර වුවමනා කරන සටන් තිබේ. එහෙත් මේ පක්ෂ අතර තිබෙන භේද, කම්කරු පන්තියට, ක්‍රියා කිරීමේදී අසමගියක් වීමට හේතු නොවිය යුතු යි. මේ කාලය අතරතුරේදී බොල්ශෙවික්-සමසමාජ-කොමියුනිස්ට් එක්සත් පෙරමුනක් ඇති නොවන්නේ නම් නැගී එන අධිරාජ්‍යවාදී-ධනපති ප්‍රහාරයට විරුද්ධව ඇති කලයුතු වැඩ කරන ජනතා ව්‍යාපාරය දුර්වල වෙනවා ඇත. එමනිසා බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂය මෙසේ ප්‍රකාශ කරයි.

බොල්ශෙවික්-සමසමාජ-කොමියුනිස්ට් එක්සත් පෙරමුනක් ඕනෑ!

ධනපති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව භංගවේවා!!

කම්කරු ගොවිකරු ආන්ඩුවක් කරා මගට බසිමු!!!

විප්ලවයට ජයවේවා

Loading