මූලෝපායික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිනෙයි

[මෙය Indian foreign minister visits Sri Lanka to strengthen strategic ties මැයෙන් 2023 ‌ ජනවාරි 31 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයශංකර්, ජනවාරි 18 වන දින මාලදිවයිනේ සංචාරයක් අතරතුර, මෙම මස මුල දී දින දෙකකට ශ්‍රී ලංකාවට පැමිනියේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2023 ජනවාරි 20 සිකුරාදා, කොලඹදී ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර්ට අතට අත දෙමින්. [AP Photo/Sri Lankan President's Office via AP]

චීනයට එරෙහි මිලිටරි සූදානමේ වොෂින්ටනයේ මූලෝපායික කලාපීය හවුල්කරුවා වන ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ එහි සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සිටියි. රටවල් දෙකම මූලෝපායිකව ඉන්දියන් සාගරයේ පිහිටා ඇත.

ජෙයශංකර් මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් සෝලි සහ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් හමුවිය. චීන ගැත්තෙකු වන ජනාධිපති අබ්දුල්ලා යමීන් නෙරපා හැරීම සඳහා වොෂින්ටනය සහ නව දිල්ලිය විසින් ක්‍රියාවට දමන ලද පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් හරහා 2018 අගභාගයේදී සෝලි බලයට පත් විය. එතැන් පටන් ආරක්ෂක ගිවිසුම් සහ ආයෝජන මාලාවක් සමඟ ඉන්දියාව මාලදිවයිනේ සිය බලපෑම වේගයෙන් ඉහල නංවාගෙන ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය අගෝස්තු මාසයේදී මාලදිවයිනේ සංචාරයක නිරත වෙමින් සෝලි පැවසුවේ, “ඉන්දියාව සහ මාලදිවයින අතර ආරක්‍ෂාව සහ ස්ථායී භාවය සම්බන්ධයෙන් සම්බන්ධීකරනය, සමස්ත කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත්” බවයි.

ජෙයශංකර් කොලඹදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුනවර්ධන, විදේශ අමාත්‍ය අලි සබ්‍රි, පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ දෙමල පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් ප්‍රකාශ කලේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින, ඉන්දියාවේ සමුද්‍ර අසල්වැසියන් වන අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ “සාගර්” [කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය] සහ “පලමුව අසල්වැසියා” දැක්ම තුල ඒවාට විශේෂ ස්ථානයක් හිමිවන බවයි. ජෙයශංකර් කොලඹදී මෙය නැවත අවධාරනය කල අතර, වික්‍රමසිංහට ඉන්දියාවට පැමිනෙන ලෙස මෝදිගෙන් ආරාධනයක් ඉදිරිපත් කලේය.

ඉන්දීය ආන්ඩුව ශ්‍රී ලංකාවේ බරපතල ආර්ථික අර්බුදය තම දේශපාලන බලපෑම ශක්තිමත් කර ගැනීමට යොදා ගෙන ඇත. පසුගිය වසරේ, එය නය මාර්ග, මුදල් අතමාරු කිරීමේ වැඩපිලිවෙලක් සහ ආනයන ගෙවීම් කල් දැමීම ඇතුලුව ඩොලර් බිලියන 4 කට ආසන්න මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ජාමූඅ) අවශ්‍ය කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ “නය ප්‍රතිව්‍යුහගත කිරීමේ” විධිවිධාන සඳහා සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන නය දෙන්නන් වන ඉන්දියාව සහ චීනය ඉල්ලා ඇත. කොලඹට එහි නය ප්‍රතිව්‍යුහගත කල නොහැකි නම්, ජාමූඅ විසින් පොරොන්දු වූ ඩොලර් බිලියන 2.9 ක ඇප නය ලබා ගැනීමට නොහැකි වනු ඇත.

ජෙයශංකර්ගේ කොලඹ සංචාරයට දින දෙකකට පෙර, ඉන්දීය මුදල් අමාත්‍යාංශය ජාමූඅ වෙත ලිපියක් යවමින්, නව දිල්ලිය “ශ්‍රී ලංකාවේ අනාගත (නය) වැඩසටහන සඳහා එහි ප්‍රබල සහයෝගය 'තහවුරු කරන' බවත් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ නය සහන සමඟ සහයෝගය දැක්වීමට කැපවන බවත්” ප්‍රකාශ කලේය. ජාමූඅ පැවසුවේ මෙය ඉන්දියාවෙන් ප්‍රමානවත් සහතිකයක් වන මුත් චීනය තවමත් එවැනි කැපවීමක් කර නොමැති බවයි.

“ඉන්දියාව තීරනය කලේ අන් අය ගැන බලා නොසිට අපි හරි යැයි විශ්වාස කරන දේ කිරීමටයි. ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති මග පැහැදිලි කිරීම සඳහා අපි ජාමූඅ වෙත මූල්‍ය සහතික ලබා දුන්නා. විශේෂයෙන්ම බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වැනි මූලික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආයෝජන සඳහා ඉන්දියාව දිරිමත් කරනු ඇත,” ජෙයශංකර් පැවසීය.

එම රට සමඟ සියලු ජාත්‍යන්තර වෙලඳාම් සඳහා ඉන්දීය රුපියල භාවිතා කිරීමට ශ්‍රී ලංකාව පසුගිය දෙසැම්බර් මාසයේදී එකඟ විය. දකුනු ඉන්දියාවේ කරෙයිකාල් සිට උතුරේ යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ වරාය දක්වා මගී සහ භාන්ඩ යාත්‍රා සේවාවක් ද සැලසුම් කර ඇත.

දෙරට අතර වර්ධනය වන හමුදා සබඳතාවලට සමගාමීව, ඉන්දියානු නෞකාවක් වන අයිඑන්එස් දිල්ලි ජනවාරි 15 දින දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාවික කඳවුර වන ත්‍රිකුනාමලයට ලඟා විය. අයිඑන්එස් දිල්ලි නෞකාවට, මිසයිල විනාශ කිරීමේ හැකියාව ඇති අතර එය ඉන්දීය නාවික හමුදාවේ එම පන්තියේ ප්‍රධාන නෞකාව වේ. මෙම සංචාරය, ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකාවේ වරායන්හි නිරන්තර සංචාර වල කොටසකි.

ඉන්දීය නාවික මාන්ඩලික ප්‍රධානී ආර්. හරි කුමාර් දෙසැම්බර් 12 සිට 16 දක්වා ශ්‍රී ලංකාවට පැමිනියේ, නොවැම්බර් 21 දින ඉන්දීය විදේශ ඔත්තු සේවයේ, පර්යේෂන සහ විශ්ලේෂන අංශයේ ප්‍රධානී සමන්ත් කුමාර් ගොයෙල්ගේ කොලඹ සංචාරයකින් පසුවය.

කොලඹ ආන්ඩුවට බලපෑම් කිරීම සඳහා ඉන්දියාව සහ චීනය අතර පවතින දැඩි භූ දේශපාලන තරගය අවධාරනය කරමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහල පෙලේ දූත පිරිසක් ද ජනවාරි 14 දා ශ්‍රී ලංකාවට දින පහක සංචාරයකට පැමිනියහ.

චීනයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ විසින් නායකත්වය දුන් මෙම දූත පිරිස, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගුනවර්ධන, හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ සහ තවත් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු හමුවිය. “චීනය ඕනෑම පක්ෂයක් සමඟ වැඩ කිරීමට කැමැත්තෙන් සිටින අතර බීජිං සමඟ [එම] සහයෝගීතාවයෙන්, සංවර්ධනය වෙමින් පවතින ලෝකයට විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකිය,” චෙන් පැවසීය.

ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ආයෝජනය කර ඇති බීජිං, එහි බලපෑම පවත්වා ගැනීමට සහ ශක්තිමත් කිරීමට මාර්ග සොයමින් සිටී. චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක් පමන නයට දී ඇති අතර, එය කොලඹ සමස්ත විදේශ නයවලින් විශාලතම තනි පංගුවයි.

වොෂින්ටනයේ පිටුබලය ලබන නව දිල්ලිය, බීජිනය සමග කොලඹ සබඳතා බිඳ දැමීමට අධිෂ්ඨාන කර ඇත. 2021 දෙසැම්බරයේදී, ඉන්දියාවේ විරෝධතා හේතුවෙන්, දකුනු ඉන්දීය වෙරලට කිලෝමීටර් 50 ක් ඔබ්බෙන් ශ්‍රී ලංකාවේ උතුරේ යාපනය අර්ධද්වීපයේ දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීම චීනය විසින් නවතා දමන ලදී.

පසුගිය අගෝස්තු මාසයේදී යුවාන් වැන්ග් 5 නම් චීන නෞකාවේ සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව භූ දේශපාලන සුලි කුනාටුවකට හසු විය. බීජිං එය පර්යේෂන යාත්‍රාවක් බව පවසන මුත් වොෂින්ටනය සහ නවදිල්ලිය එය “ඔත්තු බලන නැවක්” ලෙස හංවඩු ගැසූහ. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මෙම මතභේදයට ප්‍රථමයෙන් ප්‍රතිචාර දැක්වූයේ මෙම සංචාරය දින නියමයක් නොමැතිව කල් දමන ලෙස බීජිනයෙන් ඉල්ලා සිටිමිනි, නමුත් පසුව එය හම්බන්තොට වරායේ නැව්ගත කිරීමට ඉඩ සලසා දුනි.

එක්සත් ජනපදය කලාපයට ආක්‍රමනශීලී ලෙස මැදිහත් වෙමින් සිටී. එය, චීනය සමඟ ගැටුමකදී, මාලදිවයින සහ ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරය හරහා මුහුදු මාර්ග අවහිර කිරීම සඳහා ඉතා වැදගත් ස්ථාන ලෙස සලකයි. මෙම නැව් මාර්ග, අත්‍යවශ්‍ය තෙල් ආනයනය සහ එහි ආයෝජන ආරක්ෂා කිරීම ඇතුලුව වෙලඳාම සඳහා බීජිංහි ප්‍රාන නාලිකා ලෙස සේවය කරයි.

එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමඟ දෙවසරකට වරක් පවත්වනු ලබන නාවික සහයෝගිතා සූදානම සහ පුහුනුව/නාවික අභ්‍යාස (CARAT/MAREX) මේ දැන් අවසන් කලේය. ජනවාරි 19-26 අභ්‍යාසවලට ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සහ මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය ඇතුලත් විය. ගොඩබිම් පුහුනු අංගය ශ්‍රී ලංකාවේ සිදු කරන ලද අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පිහිටි ලැකඩිව් සී හිදී මුහුදු අදියර සිදු කරන ලදී. මෙම අභ්‍යාස 2017 දී ආරම්භ විය.

එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය, 2023 ජනවාරි 19 වැනි දින, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ශ්‍රී ලංකාවේ නාවික සහයෝගිතා සූදානම සහ පුහුනුව (CARAT)/නාවික අභ්‍යාස(MAREX) ආරම්භ කලේය. [Photo: US Embassy in Sri Lanka]

මෙම වර්ධනයන් සිදු වන්නේ යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නැටෝ හමුදා මෙහෙයුම් තීව්‍ර කිරීම මධ්‍යයේ ය. බීජිනය එහි වැදගත්ම මූලෝපායික තරඟකරුවා සහ ප්‍රතිවාදියා ලෙස සලකන වොෂින්ටනය, චීනයට එරෙහිව මිලිටරි ගොඩ නැගීම තීව්‍ර කරමින්, ජපානය යලි සන්නද්ධ කිරීමට සහය දෙමින් සහ යුද්ධයට සූදානම් වීමේ දී තායිවානයට දියුනු ආයුධ සපයමින් සිටී. නව දිල්ලිය මෙම භයානක මිලිටරි-මූලෝපායික ගොඩනැගීමේ ප්‍රධාන කොටස්කරුවෙකි.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවට එක් අතකින් චීනය සහ අනෙක් පැත්තෙන් එක්සත් ජනපදය හා ඉන්දියාව අතර තුලනය කිරීමේ ක්‍රියාවක් පවත්වා ගත නොහැක. කොලඹ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පිටුපස පෙලගැසෙනු ඇති බවට ඇඟවුම් තිබේ. එය තවමත් එක්සත් ජනපදය සමඟ සිය අත්පත් කර ගැනීමේ සහ අන්තර් හුවමාරු සේවා ගිවිසුම (ඇක්සා) පවත්වාගෙන යන අතර, ශ්‍රී ලංකාව තුල ආරක්ෂක සැපයුම් සහය ලබා ගැනීමට ඉඩ සලසයි.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපදය හා නැටෝ යුද්ධය සහ චීනයට එරෙහිව උත්සන්න වන මිලිටරි ප්‍රකෝප කිරීම් න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය මතු කරයි. යුක්‍රේනයේ රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන යුද්ධය, කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ ජීවිත හා සමාජ කොන්දේසි මත විනාශකාරී බලපෑම් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ආර්ථික අර්බුදය ගැඹුරු කර ඇත.

ලෝක යුද්ධයේ තර්ජනය වැලැක්විය හැක්කේ කම්කරු පන්තියේ ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය තුලින් පමනි. ශ්‍රී ලංකාවේ ද දකුනු ආසියාව පුරා ද කම්කරුවන් හා තරුනයින් මෙම අරගලය සියතට ගැනීම හදිසි කර්තව්‍යයකි.

Loading