අවිශිබම කැඳවුම්කරු "ත්‍රස්ත විරෝධී" චෝදනා වලින් නිදහස් කිරීමෙන් පැහැදිලි කෙරෙන්නේ කුමක්ද?

ජනවාරි 31 වනදා කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ එල්ල කෙරුනු චෝදනා වලින් ඔහුව නිදහස් කරනු ලැබින. දින 170 කට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවූ මුදලිගේ එම විෂඝෝර පනතේ චෝදනාවලට පරිබාහිරව කොටුව මහේස්ත්‍රාත් අධිකරනයේ විභාග වූ වෙනත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් යලි බන්ධනාගාර ගත කරනු ලැබූ නමුත් දින දෙකකට පසු ඇප කොන්දේසි යටතේ මුදාහැරුනි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ

මුදලිගේ සමග අත් අඩංගුවට ගැනුනු අනෙක් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගෙන් කෙනෙකු වන, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමන්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම භික්ෂුව පීටීඒ යටතේ තුන් මසක උපරිම කාලය රඳවා ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිය දී නොවැම්බර් 23 වැනි දින නිදහස් කෙරුනි. අත් අඩංගුවට ගත් අනෙක් ශිෂ්‍යයා වන හෂාන් ජීවන්ත, දින 50 ක් රඳවා ගැනීමෙන් පසු නිදහස් කෙරුනේ, ඔහුට එරෙහිව ඉදිරිපත් කිරීමට චෝදනා නොමැති බව පොලීසිය අධිකරනය ඉදිරියේ පිලිගැනීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් ආන්ඩුව මුදලිගේට එරෙහි තම දඩයම නතර කරනු වෙනුවට එය නව වටයකින් පෙරට ගැනීමට මාන බලමින් සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කල පරිදි මුදලිගේ නිදහස් වූ දිනයට පසුදාම, පොලීසිය, කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයේ තීන්දුවට එරෙහිව නීතිපති වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව පසුගිය වසර මැද පුපුරා ගිය මහජන අරගලය තුලට ප්‍රචන්ඩකාරිත්වය ගෙන ඒමට අවිශිබම කටයුතු කලේය යන ව්‍යාජ චෝදනාව යටතේ පොලිසිය මුදලිගේ අත් අඩංගුවට ගැනුනේ අතිශයින් අත්තනෝමතික ආකාරයටයි. එහිදී ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට කවර හෝ සාක්ෂියක් නොමැතිව, හුදෙක් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ දෙන ලද නියෝගයක් මත පොලිසිය ක්‍රියා කලේය. අත්අඩංගුවට ගැනුනු ඔහුව පසුව මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී අධිකරන ක්‍රියාදාමයකට භාජනය කෙරුනු අතර රැඳවුම් කාල සීමාව තුල අධිකරනයේ සෑම නඩුවාරයකදී ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුනි.

මුදලිගේට විදේශ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලැබී ඇති බවට ද, ඔහු ප්‍රචන්ඩත්වය සඳහා අවිශිබමය මෙහෙයවූ බවට ද ඉදිරිපත් කෙරුනු චෝදනා අධිකරනය හමුවේ මුලුමුනින්ම ප්‍රතික්ෂේප විය. ඔහුට එරෙහිව පොලිස් නිලධාරීන් ලබාදුන් සාක්ෂි පවා පරස්පර විරෝධී බව අධිකරනයේදී හෙලිදරව් වුනි.

අවිශිබම කැඳවුම්කරු දින 170කට ආසන්න කාලයක් මෙලෙස සැලසුම් සහගතව රඳවා තබාගැනීම, වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවන්ට එරෙහිව දියත් කර ඇති රාජ්‍ය මර්දනයේ ඉහලම තුඩකි. එමෙන්ම ඉදිරි කාලය තුල අරගල වලට ප්‍රවිශ්ට වීමට නියමිත කම්කරු පන්තියට එරෙහි බරපතල අනතුරු ඇඟවීමකි. මුදලිගේ නිදහස් වූවද ආන්ඩුවේ එකඳු මර්දන නීතියක් හෝ ආපස්සට හැරී නොමැති අතර කම්කරු පන්තිය රුදුරු ලෙස මැඩීම සඳහා එම නීති යොදාගැනීමට ආන්ඩුව සූදානමින් සිටියි.

මුදලිගේ හෙලිදරව් කල පරිදි ඔහුත් සමඟ අත්අඩංගුවට ගැනුනු අනෙකුත් චූදිතයන් දැඩි මානසික සහ කායික වධබන්ධනයන්ට ලක්කෙරී ඇත. තමන් මරාදමන බවට තර්ජනය කරමින් අනෙකුත් සිරකරුවන්ගෙන් හුදෙකලා කොට තැතින් තැනට මාරු කල බවත්, පොලිස් ස්ථානයක අඳුරු බිම් මහලක රෙද්දකින් ඔතා කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව රඳවා තබා ගත් ආකාරයත්, බිම දමන ලද තහඩු කැබැල්ලකට ආහාර ලබාදුන් ආකාරයත් ඇතුලු තවත් අමානුෂික සැලකීම් පිලිබඳව තොරතුරු ඔහු මාධ්‍ය ඉදිරියේ තැබුවේය.

මුදලිගේ නිදහස් කිරීම පිටුපස ආන්ඩුවේ ප්‍රධාන උත්සුකයන් කීපයක් වෙයි: මුදලිගේ අත්තනෝමතිකව රඳවා තබාගැනීමෙන්, තමාට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩී ඇති වෛරය වඩ වඩා ඇවිලීයාම, එම වෛරය සමස්ත ධනපති ක්‍රමයම එරෙහිව වර්ධනය වී යාම ගැන සැලකිලිමත් වන ඇමිනෙස්ටි ඉන්ටනැෂනල්, හියුමන් රයිට්ස් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එල්ල කරමින් තිබූ චෝදනා වලින් ගැලවී ගැනීම සහ එයට එරෙහිව වැඩුනු ශිෂ්‍ය විරෝධතා වැඩෙන කම්කරු අරගල සමග ඒකාබද්ධ වෙතැයි යන භීතිය ඒ අතර වෙයි.

එහෙත් අවිශිබමට සහ ඊට නායකත්වය දෙන පෙරෙටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) තම විරෝධතා දේශපාලන ඔජවැඩවීම සඳහා මුදලිගේ නිදහස් කරගැනීමේ සිද්ධිය ඩැහැගෙන තිබේ. නඩුවෙන් නිදහස ලබා අධිකරන භූමියෙන් පිටතට පැමිනීමෙන් පසු මාධ්‍ය අමතමින් මුදලිගේ පැවැසුවේ, “ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමට මහජන අරගලය සමත් වී තිබෙන” බව ඔහු නිදහස් කිරීමෙන් පැහැදිලි වෙන බවයි. තමන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමට එරෙහි අඛන්ඩ අරගලය ඉදිරියේ ආන්ඩුවට අඩියක් පස්සට ගෙන දනගහන්න සිදුවෙලා තියෙනවා” යැයි ඔහු පැවසිය.

මුදලිගේ “අඛන්ඩ අරගලය” ලෙස හඳුන්වන්නේ, අවිශිබම සහ ඊට නායකත්වය සපයන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් සංවිධානය කල විරෝධතා පාගමන්, විශ්වවිද්‍යාල තුල විරෝධතා පුවරු ප්‍රදර්ශන සහ අත්සන් එකතු කිරීම් ආදී ආන්ඩුවට බලපෑම් දැමීමේ ක්‍රියාකාරකම් ගැනයි.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ අව්‍යාජ උත්සුකයක් සහිත කම්කරුවන් සහ සිසුන් එම විරෝධතාවන්ට සහභාගී වූ නමුත් පෙසප සහ අවිශිබම සුපුරුදු පරිදි තම බංකොලොත් විරෝධතා දේශපාලනය තුල ඔවුන් කොටුකර තබමින්, ප්‍රහාරයේ මූලය වන අර්බුදග්‍රස්ත ධනපති ක්‍රමයට එරෙහි ශක්‍ය දේශපාලන වැඩපිලිවෙලක් වෙත එම කොටස් යොමුවීම වලකාගෙන සිටියේය.

මුදලිගේ පවසන පරිදි “අඩියක් පස්සට ගැනීම” වෙනුවට ආන්ඩුව කලේ ඔහු නිදහස් කරගැනීමේ විරෝධතාවන් සංවිධානය කල ශිෂ්‍ය ක්‍රියාකාරීන්ද අත්අඩංගුවට ගනිමින් මර්දනය දැඩි කිරීමයි. තවද ආන්ඩුව ජනවාරි මස මැදදී කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් දේශපාලන විරුද්ධවාදීන්, මිලිටරිය විසින් පාලනය කරන රැඳවුම් කඳවුරුවල සිරකර තැබීමේ හැකියාව ලබා දෙන ඊනියා පුනරුත්ථාපන කාර්යාංශ පනත සම්මත කලේය.

අවිශිබම සහ පෙසප පාරම්බාන පරිදි මුදලිගේ නිදහස් කිරීම “අධිකරනයේ ස්වාධීනත්වය තහවුරු කල ඓතිහාසික තීන්දුවකි”. ධනේශ්වර රාජ්‍යයේ ප්‍රමුඛ අවයවයක් වන අධිකරනය, ධනපති පන්තියේ අවශ්‍යතාවය වෙනුවෙන් කම්කරු පන්තිය සහ දුගීන් පීඩාවට පත්කිරීම සඳහා තීන්දු සිය දහස් ගනනින් ලබාදී ඇති තතු තුල ධනපති අධිකරන පද්ධතියේ ස්වාධීනත්වය පිලිබඳ සහතික දීම වංචාවකි.

සැබැවින්ම සිදුවූයේ පොලිසිය විසින් ගොනු කරන ලද බොරු චෝදනා මත පදනම්ව දවස් 170ක් වනි දීර්ඝ කාලයක් මුදලිගේ සිරකර තබාගැනීම සඳහා ආන්ඩුව අධිකරනය යොදා ගැනීමයි.

අධිකරනය මෙන්ම රාජ්‍ය මර්දනය යන්ත්‍රයේ කොටසක් ලෙස පවතින පොලිසිය සහ මිලිටරිය පිලිබඳව කම්කරු පන්තියේ අවබෝධයට මෙම ව්‍යාජ වම්මු වල කපති. නිදහස් වී පැමිනීමෙන් පසු පැවති පලමු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් මුදලිගේ මෙසේ පැවසුවේය: “අපි ඇඟිල්ල දික්කරන්නේ පොලිසියේ හැමෝටම නොවෙයි. තරු-පටි ගසාගැනීමේ චේතනාවෙන් කඩේ යන අතලොස්සක් දෙනාට විතරයි. අපිව ආරක්ෂා කරගන්න උත්සාහ කල පොලිසියේ ආදරනීය සහෝදර සහෝදරියන් විශාල ප්‍රමානයක් හිටියා.”

මුදලිගේ ට අනුව, මෙම දුෂ්ඨ පොලිස් නිලධාරීන් අතලොස්ස නොවේනම් පොලීසියමත් ප්‍රජාතන්ත්‍රීයව ක්‍රියාත්මක වන ආයතනයකි.

කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ ඇස්වලට වැලි ගසන ව්‍යාජ වම්මුන්ගේ මෙවැනි තර්කයන්ට විපරීතව, ලෙනින් සිය රජය හා විප්ලවය පොතෙහි සඳහන් කර ඇත්තේ, රාජ්‍යය යනු “තමන්ගේ අනට යටත් බන්ධනාගාර ආදිය සහිත ආයුධ සන්නද්ධ මිනිසුන්ගේ විශේෂ ආයතන' වශයෙනි. ෆ්‍රෙඩ්රික් එංගල්ස් උපුටා දක්වමින් ලෙනින් සඳහන් කලේ, රාජ්‍යය මූලික වශයෙන් “ප්‍රතිවිරුද්ධ පන්ති අතර පවතින සතුරුකම්වල නිෂ්පාදනයක් හා ප්‍රකාශනයක්” බවත්, රාජ්‍යයේ බලය හා ප්‍රචන්ඩත්වය ශක්තිමත් වීම, “රාජ්‍ය තුල පන්ති සතුරුකම් වඩාත් උග්‍ර වීමට සමානුපාතිකව සිදු වන බවත් ය. ”

රාජ්‍ය මර්දනය මෙලෙස තියුනු කිරීම ලංකාව තුල වැඩෙන පන්ති අරගලයට එරෙහිව ධනපති ආන්ඩුව අනුයන පන්ති යුද්ධයේ පිලිවෙතකි. වික්‍රමසිංහ ආන්ඩුව වේගවත්ව ක්‍රියාවට දමමින් සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු පිලිවෙත් සහ වේගයෙන් කඩාවැටෙන ජීවන කොන්දේසි කම්කරු පන්තියේ නව අරගල මාලාවක් පුපුරුවා හැර තිබේ. මේවාට එරෙහිව කම්කරු පන්තියේ අරගල වැඩෙත්ම ඊට සමානුපාතිකව ආන්ඩුවේ ප්‍රචන්ඩත්වය ඉහල දමනු ලැබේ.

ව්‍යාජ වම්මු විසින් තොරොම්බල් කරන ආන්ඩුවට බලපෑම දැමීමේ විරෝධතා වලට එරෙහිව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මුල සිටම ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීමේ ශක්‍ය වැඩපිලිවෙල ඉදිරිපත් කලේය. 'ශිෂ්‍යයනි, අවිශිබම කැඳවුම්කරුට එරෙහි රාජ්‍ය දඩයම සහ සිසු මර්දනය පරාජය කිරීමට කම්කරු පංතිය දෙසට හැරෙනු!' යන මාතෘකාව යටතේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ලිපියක රාජ්‍ය මර්දනයට එරෙහිව අරගලයේදී කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය නායකත්වය ගැන මෙසේ සඳහන් කෙරින:

'මුදලිගේ ඇතුලු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි මර්දනය මෙම සමස්ත රාජ්‍ය මර්දනයේ කොටසකි. මෙම මර්දනය පරාජය කල හැකි, නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කල හැකි බලගතුම සමාජ බලවේගය වන කම්කරු පංතිය, මුදලිගේ ට එරෙහි රාජ්‍ය දඩයම පරාජය කිරීම සඳහා වහා පෙරට පැමිනීම අත්‍යවශ්‍ය ය.'

අවිශිබම පවසන්නේ “මුදලිගේ නිදහස් කරගැනීම අරගලය සඳහා ආරම්භයක් පමනක් බවත්, පීටීඒ ඇතුලු රුදුරු නීති අහෝසි කිරීම සඳහා එම අරගලය පෙරට ගෙන යන” බවත්ය. අවිශිබම සහ පෙසප ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාර වලට එරෙහි තම ව්‍යාජ සටනේදී හැරෙනු ඇත්තේ එම ප්‍රහාරය එල්ල කරනු ලබන ධනපති පංතියේ ම කොටස් වෙත මිස කම්කරු පන්තිය දෙසට නොවේ.

පසුගිය මහජන අරගලය මධ්‍යයේදී පොදුජන පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡාවන් වලට නොයන බවට රැඩිකල් වෙස්පෑමක යෙදුනු අවිශිබම බලයට පැමිනියහොත් මේ හා සමාන හෝ ඊට වඩා රුදුරු ප්‍රහාරයන් දියත් කිරීමට සැදීපැහැදී සිටින, සමගි ජනබලවේගය (සජබ) සහ ජවිපෙ ඇතුලු අනෙකුත් ධනපති පක්ෂ සමග සාකච්ඡාවලට සහභාගී වූහ.

එම මහජන නැගිටීමේදී ද, ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට සහ සමස්තයක් ලෙස ධනපති දේශපාලන සංස්ථාපිතයටම එරෙහිව වැඩුනු විරෝධය, සජබ හි සහ ජවිපෙ හි ඊනියා අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල යටතට ගාල්කල පෙසප, අවිශිබම සහ වෘත්තීය සමිති එම මහජන නැගිටීම පාවාදුනි. රනිල් වික්‍රමසිංහ බලයට පැමිනියේ එය ගසා කමිනි.

මෙම අත්දැකීම් හරහා කම්කරු පන්තිය, ශිෂ්‍යයන් සහ තරුනයන් වෙත තීරනාත්මක පාඩම් ගෙන එයි. සමාජ අයිතීන් මෙන්ම, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලය ධනපති පාලක පන්තියේ කවර හෝ කල්ලි කන්ඩායම් යටතේ හෝ ධනපති ගැති ව්‍යාජ-වම්මුන්ගේ බලපෑම් යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙල යටතේ ජයග්‍රහනය කල නොහැකිය. එය, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින් ධනපති ක්‍රමය පෙරලා දැමිම සඳහා ගෙනයන සටන සමඟ පරිපූර්නව බැඳී පවතී.

Loading