වතු කම්කරුවන්ට එරෙහිව ගොනු කර ඇති බොරු නඩු ඉල්ලා අස්කරගනු! අත්හිටවූ සියලුම සේවකයන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු!

[මෙය Withdraw frame-up cases against Sri Lankan estate workers! Unconditional reinstatement of all suspended workers! මැයෙන් 2023 පෙබරවාරි 06 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

වඩා හොඳ වැටුප් සහ සේවා කොන්දේසි සඳහා සටන් කිරීම නිසා ගොදුරු කරනු ලැබ සිටින ඕල්ටන්, වැලිඔය සහ කටුකැලේ වතුවල වතු කම්කරුවන්ට එරෙහි දඩයම පරාජය කිරීමේ අපගේ අරගලයට එක්වන ලෙස, ශ්‍රී ලංකාවේ වතු ක්‍රියාකාරී කමිටුව (ශ්‍රීලංවක්‍රික) ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්ට ආයාචනා කරයි. අප ඉල්ලා සිටින්නේ උසාවිවල ගොනු කර ඇති බොරු නඩු ඉවත් කර ගන්නා ලෙසත්, එම වතුවල සේවයෙන් නෙරපා හරින ලද සියලුම සේවකයින් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙසත්‍ ය.

* 2021 පෙබරවාරි 5 දින, රුපියල් 1,000 ක දෛනික වැටුපක් ඉල්ලා පැවැත්වූ වතු කම්කරුවන්ගේ එක්දින ජාතික වැඩ වර්ජනයකට ඕල්ටන් වතු කම්කරුවන් 500 ක් පමන සහභාගී වූහ. කෙසේ වෙතත්, ඕල්ටන් කම්කරුවෝ වතු කලමනාකාරීත්වයේ ප්‍රකෝපකරනයන්ට එරෙහිව සිය වැඩ නැවැත්වීම තවත් දින 47 ක් දිගටම කරගෙන ගියහ. පෙබරවාරි 17 දා කම්කරුවන් කලමනාකරුගේ බංගලාවෙන් පිටත විරෝධතා දැක්වූ විට, ඔවුන්ට පහරදීම් සහ දේපල වලට හානි කිරීම් සම්බන්ධයෙන් බොරු චෝදනා එල්ල විය. චෝදනා එල්ල වූ කම්කරුවන් සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

2021 අප්‍රේල් 21 වන දින මස්කෙලිය අප්-කොට්හි ඕල්ටන් වතුයායේ කම්කරුවන් 28 දෙනෙකු සේවයෙන් නෙරපා හරින ලද අතර ඔවුන්ගෙන් 22 දෙනෙකුට එරෙහිව ව්‍යාජ චෝදනා යටතේ අධිකරනයේ නඩු පවරන ලදී. වතු කලමනාකරු සත්‍යමූර්ති සුභාෂ් නාරායනන් සහ සහකාර කලමනාකරු අනුෂාන් තිරුචෙල්වාමන්ඩ් යන අයට ශාරීරිකව පහරදී කලමනාකරුගේ නිවසට අලාභහානි කල බවට 22 දෙනාට චෝදනා එල්ල විය. ඕල්ටන් වතුයාය හොරන වැවිලි සමාගමට අයත් වේ.

2022 අගෝස්තු 28 වන දින, මස්කෙලියේ අප්-කොට් දෙසට විරෝධතා පාගමනක් යන කම්කරුවන්

පොලිසියට චෝදනා කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ නඩු විභාගය නැවත නැවතත් කල් දමා ඇත. මෙම කම්කරුවන්ට අධිකරනයේ පෙනී සිටින ලෙස නියෝග කරන සෑම අවස්ථාවකම පොලිසිය පවසන්නේ නීතිපතිවරයා චෝදනා පත්‍ර යවා නොමැති බවයි. ජනවාරි 11 වැනිදා පවත්වන්නට තිබූ අවසන් නඩු විභාගයද මාර්තු 15 වැනිදාට කල් තැබිනි.

* 2021 ජුනි මාසයේදී, හැටන් වැවිලි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන හැටන්හි වැලිඔය වත්තේ කම්කරුවන් දස දෙනෙකු පාලනාධිකාරිය විසින් සේවයෙන් පහ කරන ලදී. මෙම කම්කරුවන් දස දෙනා මෙන්ම පාසල් ගුරුවරියක්, රජයට අයත් ලංකා ගමනාගමන මන්ඩලයේ බස් කොන්දොස්තරවරයෙක් සහ එම වත්තේම ජීවත් වන සමෘද්ධි සේවකයෙක් අධිකරන නඩු විභාගයකට මුහුන දෙති.

ඔවුන් කල 'අපරාධය' වූයේ කොවිඩ්-19 අගුලු දැමීම අතරතුර ආහාර සහන ඉල්ලා සිටීම සහ වතු කාර්යාලයෙන් පිටත විරෝධතා දැක්වීමයි. වත්තේ තේ කම්හලට හානි කිරීම සහ නිලධාරීන්ට තර්ජනය කිරීම යන චෝදනා යටතේ කම්කරුවන්ට චෝදනා එල්ල වී ඇති මුත් ඔවුන් එය සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරති. වතු කම්කරුවන් 10 දෙනාගෙන් පස් දෙනෙකු පසුව නැවත සේවයේ පිහිටුවන ලද අතර, මෙම සියලු කම්කරුවන්ට එරෙහි අධිකරන ක්‍රියාමාර්ගය තවමත් පවතී. පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනි දිනට නියමිතව තිබූ අවසන් නඩු විභාගය, නඩුව ගොනු කල වතු කලමනාකරු විදේශගත වී ඇති බව අධිකරනයට දැනුම් දීමෙන් පසු කල් තැබිනි.

* 2021 සැප්තැම්බර් 29 වැනි දින, කටුකැලේ වතු කම්කරුවන්, පී. පොන්නිර්සෙල්වි නමැති සේවිකාවක කලමනාකාරීත්වය විසින් ගොදුරු කර ගැනීමට විරෝධය පල කරමින් වැඩවර්ජනය කර, වතුයායේ තේ කම්හල අසල උද්ඝෝෂන කලහ. කම්කරුවන් සහ වතු නිලධාරීන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව පොලිසිය විසින් කම්කරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන දැඩි ඇප කොන්දේසි මත මුදාහැර අධිකරනයේ නඩු පවරන ලදී.

මෙම කම්කරුවන් වැඩිවන වැඩ බරට එරෙහිව සහ රුපියල් 1000 ක දෛනික වැටුපක් සඳහා වන අරගලයේ පෙරමුන ගෙන සිටියහ. වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් තලවාකැලේ පොලිසියෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නැත. දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අවසන් නඩු විභාගය ද පෙබරවාරි 7 වැනිදා දක්වා කල් තැබිනි.

වින්දිත කටුකැලේ වතු කම්කරුවන් ඔක්‌තෝබර් 7 වැනිදා දැඩි ඇප කොන්දේසිවලට යටත්ව නිදහස්‌ වී නිවෙස්‌ බලා යමින් සිටියදී.

මෙම දඩයම වතු සේවකයන්ට පමනක් නොව, සමස්ත කම්කරු පන්තියේ වැටුප්, සේවා කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන පුලුල් ප්‍රහාරයේ කොටසකි.

ලෝක වෙලඳපොලේ ඉල්ලුම පහත වැටීමත් අනෙකුත් තේ නිෂ්පාදනය කරන රටවල් වන කෙන්යාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල තරඟකාරීත්වය ඉහල යාමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අර්බුදයකට ඇද වැටී ඇත. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය ද තේ අපනයනයට බලපා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙලෙඳපොලක් වන රුසියාවට තේ යැවීමේදී ශ්‍රී ලංකා අපනයනකරුවන් ගැටලුවලට මුහුන දෙන්නේ එම රටට එරෙහිව එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක නිසාය.

වතු සමාගම් මෙම අර්බුදය වතු කම්කරුවන් මත පැටවීමට නිර්දය ලෙස උත්සාහ කරන්නේ වැටුප් කපමින් සහ වැඩ බර වැඩි කරමිනි. වෙහෙස මහන්සි වී දිනාගත් විශ්‍රාම වැටුප් අරමුදල් ඇතුළු කම්කරුවන්ගේ සමාජ ප්‍රතිලාභ විනාශ කරමින්, ඔවුන් අඳ ගොවීන් බවට පරිවර්තනය කරන ඵලදායිතාව මත පදනම් වූ ආදායම් බෙදා ගැනීමේ ක්‍රම ද ඔවුන් මත පටවමින් තිබේ.

වතු කම්කරුවන් 2016 සිට රුපියල් 1000 ක දෛනික වැටුපක් ඉල්ලා නැවත නැවතත් අරගල කර ඇති අතර වතු ඵලදායිතාව ඉහල නැංවීමට විරුද්ධ විය. සමාගම් විශාල ලාභයක් ලබන අතරම කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත.

වත්මන් වික්‍රමසිංහ පාලනය ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු, වතු සමාගම්වලට ඔවුන්ගේ මර්දනකාරී ක්‍රියා, අඩු වැටුප් සහ ඉහල වැඩ බර වෙනුවෙන් පිටුබලය සපයමින් ඔවුන්ගේ ආශිර්වාදය ලබා දී ඇත.

වතු වෘත්තීය සමිතිවල කාර්යභාරය

ඕල්ටන්, වැලිඔය සහ කටුකැලේ කම්කරුවන් දඩයම් කිරීම ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), කම්කරු ජාතික සංගමය (එන්යූඩබ්ලිව්) සහ උඩරට ජනතා පෙරමුන විසින් අනුමත කර ඇත. මේවා ද අනෙකුත් සියලුම වතු වෘත්තීය සමිති ද මෙම කම්කරුවන් ආරක්ෂා කිරීමේ මොනයම් හෝ අරගලයක් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ වෙනුවට, ඔවුන් කම්කරුවන් දඩයම් කිරීමේ දී කලමනාකාරිත්වය හා පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කර ඇත. ඕල්ටන් උදාහරනයකි. සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නායකයෝ සමාගමට සහ පොලිසියට අත්අඩංගුවට ගත යුතු කම්කරුවන්ගේ ලැයිස්තුවක් සැපයූහ. ඇතැම් චූදිතයන්ට පොලිසියට භාර වන ලෙස වෘත්තීය සමිතියෙන් පවා දැනුම් දී ඇත.

වැඩ බර වැඩි කිරීමට, වැටුප් කපා හැරීමට සහ ඵලදායිතාව මත පදනම් වූ ආදායම් බෙදා ගැනීමේ ක්‍රම පැනවීමට වතු වෘත්තීය සමිති, සමාගම් සමග ක්‍රමානුකූලව කටයුතු කර ඇත. 2016, 2018 සහ 2021 දී සිය දහස් ගනනක් සම්බන්ධ වූ ජාතික වැඩ වර්ජන ද ඇතුලු වතු කම්කරුවන්ගේ සෑම අරගලයක්ම ඔවුන් පාවා දී ඇත. පාලක හා විරුද්ධ පක්ෂ සමග සන්ධානගතව සිටින මෙම වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ වතු සමාගම්වල සහ ආන්ඩුවේ කාර්මික පොලීසියක් ලෙස ය.

මෙම කටුක අත්දැකීම් නිසා වතු කම්කරුවන්ට තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට මෙම සංවිධාන හරහා නොහැකි බව අපට වැටහී තිබේ. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට වෘත්තීය සමිතිවලින් ස්වාධීනව අපේම ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට අපි මූලිකත්වය ගත්තේ එබැවිනි.

ධනවාදයේ අර්බුදයේ ප්‍රතිඵලයක් වන තේ කර්මාන්තයේ ආර්ථික අවපාතයට අප වගකිව යුතු නැත. සමාජ දුක්ඛිත තත්වයන්ට මුහුන දෙමින් පරම්පරා ගනනාවක් තිස්සේ වෙහෙස මහන්සි වන අපි, තේ සමාගම් විසින් ගොඩ ගසා ගන්නා දැවැන්ත ලාභයේ සැබෑ නිෂ්පාදකයන් වෙමු. වත්මන් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත ක්‍රියාත්මක කරන කප්පාදු පිලිවෙත් වල ප්‍රතිඵලයක් ලෙස අපගේ ජීවන තත්වයන් තවත් පිරිහී ඇත.

අප බොහෝ දෙනා තවමත් ජීවත් වන්නේ පානීය ජලය, වැසිකිලි සහ අපගේ දරුවන්ට නිසි අධ්‍යාපන පහසුකම් වැනි අති මූලික පහසුකම් පවා නොමැති, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරන ලද කුඩා ලයින් කාමරවල ය.

වතු කම්කරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමේ සටනේ කොටසක් ලෙස ඕල්ටන්, වැලිඔය සහ කටුකැලේ අපගේ සගයන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රබල උද්ඝෝෂනයක් දියත් කිරීමට ශ්‍රීලංවක්‍රික තීරනය කර ඇත.

සියලු බොරු චෝදනා ඉවත් කර ගැනීම සහ සේවයෙන් නෙරපා හරින ලද සියලුම කම්කරුවන් වහාම යලි සේවයේ පිහිටුවීම සඳහා වන අපගේ උද්ඝෝෂනය, සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමග වෙන් කල නොහැකි ලෙස බැඳී පවතී.

වින්දිතයින් සියලු දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙසත්, පොලීසියේ සියලු චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් බල කරමින් පහත ලිපිනයන්ට ලිපි සහ ඊමේල් යැවීමෙන් මෙම ආරක්ෂක උද්ඝෝෂනය ගොඩනඟන ලෙස අපි සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

කරුනාකර ඔබගේ ලිපි සහ ඊමේල් වල පිටපත් ශ්‍රීලංවක්‍රික වෙත එවා මෙම සටන ඉදිරියට ගෙන යාමට අප හා සම්බන්ධ වන්න. මෙම උද්ඝෝෂනය සඳහා සහයෝගය ගොඩනැගීමට වතුකරයේ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන රැස්වීම් පැවැත්වීමට අපි සැලසුම් කරමු.

නීතිපති
සංජය රාජරත්නම්
අංක 159, අලුත්කඩේ, කොලඹ 12.
ඊමේල්: administration@attorneygeneral.gov.lk

ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය
පී.වී. ගුනතිලක
ඊමේල්: civilsecurity@defence.lk

පොලිස්පති
සී.ඩී වික්‍රමරත්න
ඊමේල්: telligp@police.lk

ශ්‍රීලංවක්‍රික වෙත පිටපත් යවන්න:
ඊමේල්: plantationacsl@gmail.com

Loading