බෝල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ සංවත්සර රැස්වීමට සුබපැතුම්

මෙය Greetings to the Anniversary Meeting of the Young Guard of Bolshevik-Leninists මැයෙන් 2023 පෙබරවාරි 24දා පල වූ ලිපියේ පරිවර්තනය යි.)

පහත දැක්වෙන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සිය දේශපාලන සහයෝගය පල කර ඇති, රුසියාවේ හා පැරනි සෝවියට් දේශයේ ක්‍රියාත්මක වන බෝල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (Young Guard of Bolshevik-Leninists - වයිජීබීඑල්) සංවිධානය ආරම්භ කිරීමේ පස් වැනි සංවත්සරය සැමරීම සඳහා පසුගිය සතියේ පවත්වන ලද අන්තර්ජාල රැලියට, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සිදු කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි.

***

ප්‍රිය සහෝදරවරුනි,

බෝල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල ආරම්භ කිරීමේ පස්වැනි සංවත්සරය සම්බන්ධයෙන් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ ලෝකය පුරා ඇති එහි ශාඛාවන්හි සුබපැතුම් ඉදිරිපත් කිරීමට මට අවසර දෙන්න.

මෙම සන්ධිස්ථානය උත්සවාකාරයෙන් සැමරීමට උචිත වූවකි. වයිජීබීඑල් හි ඉතිහාසය විසින් වාර්තා කරනු ලබන්නේ, ජාත්‍යන්තර කමිටුව සමඟ සිය සහෝදරාත්මක සම්බන්ධතා සහ සමීප දේශපාලන සහයෝගීතාවය ගොඩ නඟා ගැනීම පසුගිය වසරේ දී කුලු ගන්වා ගෙන ඇති එම සංවිධානය, ට්‍රොට්ස්කිවාදය කරා යන මාවතේ ප්‍රගතියයි. අපේක්ෂා කල හැකි පරිදි ම, වයිජීබීඑල් සංවිධානය අව්‍යාජ විප්ලවවාදී මාක්ස්වාදය කරා යනු ලබන මාවත සංකීර්න හා විසංවාදී එකකි. විද්‍යාත්මක සත්‍යය කරා වැටුනු ගැටලුවලින් තොර 'රාජකීය මාවත'ක් ඇතැයි යන උපයෝගිතාවාදී සංකල්පය, සිය අනුස්මරනීය සාරයේ ප්‍රපංචවේදය (Phenomenology of Spirit) කෘතියේ පෙරවදන තුල හේගල් හෑල්ලුවට ලක් කලේය. එයමත් මතුපිට හා සාමාන්‍යයෙන් කවුරුත් දන්නා දේවලින් සමන්විත වන ග්‍රාම්‍ය චින්තනය පිලිබඳ ඔහුගේ විචාරය, දේශපාලනයේ විෂය පථයට ද අදාල කර ගත හැකි වනු ඇත. කම්කරු පන්තියට අධ්‍යාපනය ලබා දීම හා ධනේශ්වර ක්‍රමය ලෝක පරිමානයෙන් පෙරලා දමා එය සමාජවාදය මඟින් විස්ථාපනය කිරීමට සමත් දේශපාලන බලයක් දිශාවට එය සංවිධානය කිරීම අරමුනු කොට ගත් මාක්ස්වාදී පක්ෂයක් වර්ධනය වන්නේ සමස්ත යුගයක ඓතිහාසික ප්‍රශ්න ක්‍රමානුකූලව තේරුම් බේරුම් කර ගැනීම හා පැහැදිලි කර ගැනීම හරහා ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, රුසියාව තුල ට්‍රොට්ස්කිවාදී සංවිධානය මතුවීමේ අතිමහත් අර්ථභාරය හඳුනා ගනියි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සම්භවය සැලකිල්ලට ගත් කල, 'රුසියානු ප්‍රශ්නය' ලෙස හැඳින්වූ දෙය - එනම්, මාක්ස්වාදයේ ස්ටැලින්වාදී විකෘතියට සහ ඔක්තෝබර් විප්ලවය පාවාදීමට එරෙහි අරගලය විසින් ඉස්මතු කරන ලද ඉතිහාසයේ සහ ක්‍රියාමාර්ගයේ මූලික ගැටලු - අවශ්‍යයෙන්ම හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේය.

හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භාකයාවූ ලියොන් ට්‍රොට්ස්කි

හතරවැනි ජාත්‍යන්තරය තුල ඇති වූ මතභේද එක් හෝ අනෙක් ආකාරයෙන්, සෝවියට් රාජ්‍යයේ පන්ති ස්වභාවය, ස්ටැලින්වාදයේ ඓතිහාසික කාර්යභාරය සහ, සෝවියට් සංගමයේ ඉරනම හා ලෝක සමාජවාදී විප්ලවය කෙරේ එහි ඇති සම්බන්ධය සමඟ බැඳුනු ප්‍රයුක්තීන් අවිකල්පයෙන් ම ඉස්මතු කලේය. 1939-40 කාලයේ හතරවැනි ජාත්‍යන්තරය තුල ඇති වූ ප්‍රථම ප්‍රධාන පෙලේ අරගලය අවුලුවන ලද්දේ, හිට්ලර්ගේ ජර්මනිය සමඟ යුද්ධයක් තුල වුව සෝවියට් සංගමය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල මැක්ස් ෂැට්මන් සහ ජේම්ස් බර්න්හැම් විසින් නායකත්වය දෙන ලද කන්ඩායමක ඉස්මතුවීම විසිනි. එක්සත් සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව පිරිහී ගිය කම්කරු රාජ්‍යයකැයි යන නම් කිරීම තවදුරටත් වලංගු නොවන්නේයැයි ද, සෝවියට් සංගමය මාක්ස්වාදීන් විසින් පෙරදකිනු නොලැබූ සූරාකෑමේ 'රාජ්‍ය ධනවාදී' සමාජයක නව්‍ය ආකාරයක් නියෝජනය කලේයැයි ද එය තර්ක කලේය.

ඉන් අනතුරුව එලැඹී අවුරුදුවල දී විස්තාරනය වූ පරිදි, මෙම න්‍යායයේ න්‍යායික හා දේශපාලන සාරය වූයේ, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය මත පදනම් වූ සමාජවාදයේ සමස්ත ඓතිහාසික ඉදිරි දර්ශනය සාවද්‍ය එකක් වූ බවයි. පලමුව හා ප්‍රමුඛ ලෙස මෙම දිරිසුන් ඉදිරි දර්ශනය ඉදිරිපත් කල ෂැට්මන් හා බර්න්හැම් ද ඇතුලුව සෑම අයෙක් ම පාහේ, ඉනික්බිතිව ඉක්මනින් ම සිය කඳවුර හැර දමා පලා යමින් අධිරාජ්‍යවාදී ප්‍රතිවිප්ලවය සමඟ එක් වූවෝය.

ඊලඟ ප්‍රධාන ප්‍රති මාක්ස්වාදී හා ප්‍රති ට්‍රොට්ස්කිවාදී සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩල් විසිනි. පාවාදුන් විප්ලවය හා හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය තුල ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කෙරුනු විශ්ලේෂනයට පටහැනි ලෙස, ස්ටැලින්වාදය තව දුරටත් විප්ලවවාදී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි 1951 හා 1953 අතරතුර දී ඔවුහු පෙර නොවූ විරූ අවධාරනයකින් යුතුව තර්ක කලෝය. ස්ටැලින්වාදී පක්ෂ විසින් මෙහෙයවනු ලබන විප්ලවවල ප්‍රතිඵල ලෙස 'විකෘති කම්කරු රාජ්‍ය' නිර්මානය කෙරෙනු ඇතැයි තර්ක කරන තාක් දුරට පැබ්ලෝ සහ මැන්ඩල් ගමන් කලෝය!

පැබ්ලෝ හා මැන්ඩෙල්ගේ න්‍යාය ෂැට්මන් හා බර්න්හැම්ගේ න්‍යායයේ ප්‍රතිවිරුද්ධ ධ්‍රැවය ලෙස පෙනෙන්නට ඇති නමුදු, මෙම සංකල්ප දෙක ම ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රයට හා එහි දේශපාලන පක්ෂ ජාලයට තීරනාත්මක ඓතිහාසික කාර්යභාරයක් ආරෝපනය කලේය. ෂැට්මන්වාදීහු ස්ටැලින්වාදී නිලධරය පන්ති සමාජයේ නව ආකෘතියක් බවට හැරවූහ. පැබ්ලෝවාදීහු, ධනේශ්වරය පෙරලා දමනු ඇති තීරනාත්මක විප්ලවවාදී බලවේගය ලෙස නිලධරය උත්කර්ෂයට නැංවූහ. මෙම සංශෝධනවාදී ප්‍රවනතා දෙකම කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය සහ එහි අනුපම ඓතිහාසික කාර්යභාරය ප්‍රතික්ෂේප කලෝය.

1953 නොවැම්බරයේදී සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ජේම්ස් පී. කැනන් විසින් ලියන ලද විවෘත ලිපිය විසින් කරන ලද මුල පිරීමෙන් ආරම්භ කෙරුනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මාක්ස්වාදයේ පැබ්ලෝවාදී සංශෝධන හෙලිදරව් කල අතර, ස්ටැලින්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනය, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය සහ, කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය වර්ධනය කිරීමේ හා විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ අරගලයෙහි දී හතරවැනි ජාත්‍යන්තරයේ තීරනාත්මක වැදගත්කම තහවුරු කලේය.

ජේම්ස් පී. කැනන්

හරියටම 70 වසරකටම පාහේ ඉහත දී ලියන ලද මෙම ඓතිහාසික ලේඛනය තුල, ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනයට පවතින 'ප්‍රධාන සම්බාධකය' වන්නේ, 'හුදෙක් පසුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ග්‍රහනයට, නැතහොත් මන්දෝත්සාහයට, එසේත් නැතහොත් ආපසු ධනේශ්වර ක්‍රමයේ මුලාවන් කරා කම්කරුවන් ඇද දමනු වස් රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයේ කීර්තිය ගසාකෑම හරහා ඔවුන් ආකර්ෂනය කර ගන්නා' ස්ටැලින්වාදය බවට කැනන් අවධාරනය කලේය.

ෆැසිස්ට්වාදී හෝ රාජාන්ඩුවාදී බලවේගවල තහවුරු වීමේ, සහ ධනේශ්වර ක්‍රමය විසින් පෝෂ්‍ය කරනු ලැබ සූදානම් කෙරෙන යුද්ධය ඇවිලයාමේ රූපාකාරයෙන් කම්කරු පන්තියට මෙම පාවාදීම්වල වන්දිය ගෙවීමට සිදු වේ. හතරවැනි ජාත්‍යන්තරය එහි මූලාරම්භයේ සිට ම, සෝවියට් සමූහාන්ඩුව තුල දී හා ඉන් පිටත දී ස්ටැලින්වාදය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම සිය ප්‍රමුඛ කර්තව්‍යයන්ගෙන් එකක් ලෙස පිහිටුවා ගෙන සිටී.

ඉනික්බිතිව එලඹුනු දශකවල දී, ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරය පිලිබඳ මෙම විශ්ලේෂනය, ක්‍රෙම්ලින නිලධරයට එරෙහිව ද, නිලධරයේ කීර්ති නාමය මුක්කු දී එසැවීමට සහ ඊට එරෙහි අරගලය වෙන'තකට හැරවීමට තමාට කල හැකි සියල්ල ඉටු කල පැබ්ලෝවාදීන් ද ඇතුලු 'සැබැවින් පවත්නා සමාජවාදයේ' නිමක් නැති ක්ෂමාලාපකයන්ට එරෙහිව ද ජාත්‍යන්තර කමිටුව විසින් තහවුරු කරන ලදී.

ජාත්‍යන්තර කමිටුව තුල ම පවා, 1970 ගනන්වල මැද භාගයේ සිට 1980 ගනන්වල මුල් කාලය දක්වා කම්කරු විප්ලවවාදී පක්‍ෂයේ (කවිප) නායකත්වය ස්ටැලින්වාදයට වඩවඩාත් අනුගත වන්නට විය. මෙම දේශපාලන පසුබැසීම ඊට එරෙහි විරුද්ධත්වය පුබුදුවා, 1985-86 භේදයට මඟ පෑදූ ගැටුම අවුලවා, එය වඩාත් තීව්‍ර කිරීමට ක්‍රියාත්මක විය. ගොර්බචෙව්ගේ ප්‍රවේශයත් සමඟ සෝවියට් නිලධරය එක්සත් සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව විසුරුවා හැරීම හා ධනේශ්වර ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීම වේගවත් කිරීමේ පිලිවෙතක් දිශාවට තීරනාත්මක ලෙස මාරු වූ අතර, ඒ සමඟ එකී අවුරුදුවල දී ම, - එනම්, සෝවියට් නිලධරය සිය අවසාන අර්බුදයට ප්‍රවිෂ්ඨ වූ 1982 හා 1985 අතරතුර දී ම - (එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ) වර්කර්ස් ලීගය සහ කවිප ය අතර දේශපාලන භේදය විවෘත ව ඉස්මතු වීම අහම්බයක් නොවේ.

භේදයෙන් ඉක්බිති ව උදා වූ ආසන්නතම කාලය තුල කම්කරු විප්ලවවාදී පක්ෂයේ ප්‍රමුඛ නායකයෝ තිදෙනා ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කලෝය. කවිප යේ ප්‍රධාන ලේකම් මයිකල් බන්ඩා ට්‍රොට්ස්කි හෙලා දකිමින් තමන් උද්‍යෝගයෙන් ස්ටැලින් අගය කරන්නෙකු බවට නිවේදනය කලේය. 1937 දී මොස්කව් නඩු විභාගවලට ප්‍රතිචාර ලෙස බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳුනු, 1953 විවෘත ලිපියේ මුල් අත්සන්කරුවන්ගෙන් එක් අයෙකු වූ ජෙරී හීලි, ගොර්බචෙව්ගේ පිලිවෙත් සෝවියට් සමූහාන්ඩුවේ දේශපාලන විප්ලවයේ ආරම්භවීම ලෙස හඳුන්වා දෙමින් එකී පිලිවෙත් වැලඳ ගත්තේය. ක්ලිෆ් ස්ලෝටර් සම්බන්ධයෙන් ගත් කල, ඔහුගේ කල්ලිය ඔක්තෝබර් විප්ලවයේ ප්‍රති-කොමියුනිස්ට්වාදී සතුරන් හා අධිරාජ්‍යවාදයට සහාය දෙන්නන් බවට ශීඝ්‍රයෙන් පරිනාමනය වූවෝය.

මෙකී පලා යන්නන්ගේ කල්ලි තීරනාත්මක ලෙස පරාජය කර සිටි ජාත්‍යන්තර කමිටුව හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිලිවෙල සහ මූලධර්ම දරා හිඳිමින් එය වර්ධනය කලේය. 1986 හා 1991 වර්ෂ අතරතුර දී, ගොර්බචෙව්ගේ පෙරස්ට්‍රොයිකාව නම් වූ මෝඩයාගේ රත්රන් පිලිබඳව හෙලිදරව් කරමින් එය හෙලා දැකීමට ද, එය සෝවියට් සංගමය විසුරුවා හරිමින් ධනේශ්වර ක්‍රමය පුනස්ථානය කිරීමට මඟ පාදන බවට යලියලිත් අනතුරු හැඟවීමට ද හජාජාකය කටයුතු කල අන්දම ඓතිහාසික වාර්තා තුල පවතී.

මෙකී තීරනාත්මක වර්ෂවල දී, සෝවියට් කම්කරුවන්ට සහ, සමාජවාදයට හා ඔක්තෝබර් විප්ලවයේ උරුමයට සහාය දක්වන බවට දිගටම කියා සිටි බුද්ධිමතුන්ගේ කොටස්වලට අනතුරු ඇඟවීමට හජාජාක තමන්ට කල හැකිව තිබූ සියල්ල කලේය. 1989 දී හා 1991 දී මා සෝවියට් සංගමයට ගිය අතර, එහි දී කම්කරුවන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් සැලකිය යුතු සංඛ්‍යාවක් සමඟ කථා කිරීමට මට අවස්ථාව සැලසිනි. මෙකී සාකච්ඡාවලදී පැහැදිලි වූයේ, ඔක්තෝබර් විප්ලවයේ හා ඉනික්බිති කාලයේ ඉතිහාසය පිලිබඳ දැනුමෙන් පරිපූර්නව ම පාහේ තොර වීම විසින් ධනේශ්වර පුනස්ථාපනයේ ප්‍රතිගාමී ස්ටැලින්වාදී පිලිවෙත කෙරේ ඇති විරුද්ධත්වයට යටි වල කැපී තුබූ බවයි. ස්ටැලින්වාදී තන්ත්‍රය වසර 60 කට වැඩි කාලයක් පුරා සෝවියට් ඉතිහාසය ක්‍රමානුකූලව මුසාකරනය කිරීම විසින් දේශපාලන මංමුලාවේ වාතාවරනයක් නිර්මානය කෙරී තුබූ අතර, ඔක්තෝබර් විප්ලවය යනු ව්‍යසනකාරී දෝෂයක් ලෙස ද, සමාජවාදය යනු අපරාධකාරී ව්‍යවසායයක් ලෙස හෝ මනෝරාජික මායාවක් ලෙස ද දැකිය යුතුයැයි කියා සිටීම සඳහා ගොර්බචෙව්ගේ හා යෙල්ට්සින්ගේ ආධාරකරුවෝ එකී පසුබිම ගසා කෑවෝය.

ඔක්තෝබර් විප්ලවය හා සමාජවාදය පිලිබඳ මේ හෙලාදැකීම් පදනම් වූ ආවශ්‍යක මුසාකරනය පදනම් වූයේ, විප්ලවයෙන් පසුකාලයේ පාලන තන්ත්‍රය විසින් අනුයන ලද පිලිවෙත්වලට කවර ආකාරයක හෝ විකල්ප පැවැතියේය යන්න ප්‍රතික්ෂේප කිරීම තුල ය. (ඒ අනුව,) 1917 සිට 1991 දක්වා වූ මාවත නොවැලැක්විය හැකි පරිදි විනාශය කරා ගමන් කල නොනවතින ධාවනයක් විය; ස්ටැලින්වාදය ඔක්තෝබර් විප්ලවයේ අපගමනයක්, දුරාචාරයක් හා පාවාදීමක් නොව, එහි නොවැලැක්විය හැකි හා අත්‍යවශ්‍ය ප්‍රතිඵලය විය.

මෙකී ව්‍යාජ ආඛ්‍යානය ප්‍රතික්ෂේප කිරීම හුදෙක් පැරනි සෝවියට් සංගමයේ පමනක් නොව මුලු ලෝකය පුරා ම ද මාක්ස්වාදය පුනරුත්ථානය කිරීම සඳහා තීරනාත්මක කර්තව්‍යයක් බව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හඳුනා ගත්තේය.

මීට හරියටම 30 වසරකට ඉහත මෙම මාසයේ, එනම් 1993 පෙබරවාරියේ, ඉතිහාසඥ හා සමාජ විද්‍යාඥ වඩිම් රොගොවින් මට කියෙව් හි දී මුල්වරට මුන ගැසුනි. ජාත්‍යන්තර කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද හතරවැනි ජාත්‍යන්තරයේ බුලටිනය ඔහු වසර ගනනාවක් තිස්සේ කියවා තිබින. අවසානයේ හජාජාක සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට රොගොවින්ට හැකි වූ අතර, මා ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය පිලිබඳ දේශන පැවැත්වීමට නියමිතව සිටි කියෙව් නගරයේ දී හමුවීමට අපි යොදා ගතිමු. දින ගනනාවක සාකච්ඡාවල දී අපි ඉතිහාසය පිලිබඳ සියලු ආවශ්‍යක ගැටලු සම්බන්ධයෙන් එකඟ වූයෙමු. අන් සියල්ලටමත් වඩා, ජාත්‍යන්තර කමිටුවේ වැඩපිලිවෙල සාක්ෂාත්වීම රඳා පවතින පදනම වන එහි ශ්‍රේෂ්ඨතම කර්තව්‍යය වන්නේ ඔක්තෝබර් විප්ලවයේ හා ඉන් ඉක්බිති කාලයේ ඉතිහාසය පිලිබඳ පැහැදිලි කිරීම ය යන්න සම්බන්ධයෙන් අපි එකඟ වීමු. මේ සඳහා, අන් සියල්ලටමත් වඩා, 1923 සිට නිලධරය විසින් ලෙව් දෙවිදොවිච් ට්‍රොට්ස්කිට හා වාම විපක්ෂයට එරෙහිව එල්ල කරන ලද සියලු මුසාවාද ප්‍රතික්ෂේප කල යුතුය. ට්‍රොට්ස්කි හා වාම විපක්ෂය ස්ටැලින්වාදයට විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී විකල්පයක් නියෝජනය කල වැඩ පිලිවෙලක් ඉදිරිපත් කර ඒ සඳහා සටන් වැදුනු බව පෙන්වා දිය යුතුව තිබින.

වාඩිම් රොගොවින් 1998 ජනවාරියේ [ඡායාරූපය: ඩේවිඩ් නෝර්ත් / ලෝසවෙඅ] [Photo: David North/WSWS]

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිති කාලයේ රුසියාවේ හා බටහිර රටවල ඉතිහාසඥයෝ, ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදය පිලිබඳ උනන්දුව පුනරුත්ථාපනය වීමට එරෙහි පූර්වභංග ප්‍රහාරයන් එල්ල කිරීමට යත්න දරමින්, හුදෙක් ස්ටැලින්වාදී තන්ත්‍රයේ පැරනි මුසාවාද පුනරුච්ඡාරනය කිරීමෙන් නොනැවතී නව මුසාවාද සොයා ගැනීමට ද ක්‍රියා කලෝය. පැරනි හෝ අලුත් ඒවා වේවා, මේ සියලු මුසාවාද ප්‍රතික්ෂේප කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. ඒ අනුව, ඓතිහාසික මුසාකරනයේ පශ්චාත්-සෝවියට් ගුරුකුලයට එරෙහි ලෝක ව්‍යාප්ත උද්ඝෝෂනයක් තුල ජාත්‍යන්තර කමිටුව සමඟ උරින් උර ගැටී සටන් වැදීමට තම මුලු බුද්ධිමය ශක්තිය ම කැප කිරීම සඳහා රොගොවින් සහෝදරයා කියෙව් හි දී එකඟ වූයේය.

ඉනික්බිතිව එලැඹී පස් වසර තුල ඔහු, 1994 දී පලමු වරට හඳුනා ගන්නා ලද්දා වූ ද, 1998 සැප්තැම්බරයේ දී සිය ජීවිතය බිලි ගත්තා වූ ද මාරාන්තික රෝගය තිබියදී ම, ජාත්‍යන්තර කමිටුව විසින් ලෝකය පුරා ම සංවිධානය කරන ලද රැස්වීම්වල දේශන පැවැත්වූ අතර, ස්ටැලින්වාදයට එරෙහි වාම විපක්ෂයේ හා හතරවැනි ජාත්‍යන්තරයේ අරගලය පිලිබඳ වෙලුම් හතකින් සමන්විත සිය යුගකාරක කෘතිය ද ලිවීය. 'ස්ටැලින්වාදයට විකල්පයක් වී ද?' යන ප්‍රශ්නයට ඔහු තීරනාත්මක ලෙස පිලිතුරු දුන්නේය.

ඔබ බෝල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල පිහිටුවීමේ පස්වැනි සංවත්සරය සමරන විට එහි ක්‍රියාධරයන් (කාඩර්වරුන්) මෙම ශ්‍රේෂ්ඨ ට්‍රොට්ස්කිවාදියා හා විප්ලවවාදී ඉතිහාසඥයාගේ මතකයට ආචාරය පල කිරීම පමනක් නොව, රුසියාව තුල ද, පැරනි සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව පුරා ම ද හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමේ දී, ඓතිහාසික සත්‍යය වෙනුවෙන් සටන් වැදීම වඩාත්ම තීරනාත්මක කර්තව්‍යය ලෙස පවතින බව හඳුනා ගැනීම ද වැදගත් ය.

ඓතිහාසික මුසාකරනයේ පශ්චාත්-සෝවියට් ගුරුකුලයට එරෙහි සමකාලීන අරගලය දැන් වර්ධනය වන්නේ, සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ද, ධනේශ්වර ක්‍රමය පුනස්ථාපනය කිරීමේ ද ව්‍යසනකාරී ප්‍රතිවිපාක හෙලිදරව් කෙරෙන යුද්ධයක තතු යටතේ ය. වයිජීබීඑල් හා ජාත්‍යන්තර කමිටුව අතර දේශපාලන සම්බන්ධය ආරම්භ වූයේ 2022 ජනවාරියේ දී, යුක්‍රේන යුද්ධය ඇවිලයාමේ ආසන්නතම අද්දර දී බව සඳහන් කල යුතුය. එලඹෙමින් පැවැති යුද්ධයේ සෙවනැල්ල යට ඇරඹුනු, හජාජාක සහ රිට්ස්කි හා රෝරිච් සහෝදරවරුන් අතර විස්තීර්න ලිපි හුවමාරු, මෙම උත්සන්න වෙමින් පවත්නා ගැටුමෙන් සංලක්ෂිත වර්ෂය පුරා ම අඛන්ඩව සිදු වූයේය.

මහා සිදුවීම් විසින් දේශපාලන ප්‍රවනතා පරීක්ෂාවට ලක් කරනු ලැබෙත්. රුසියාව හා යුක්‍රේනය යන දෙතැන්හි ම වයිජීබීඑල් සහෝදරවරුන් දක්වා ඇති ප්‍රතිචාර - නැටෝ අධිරාජ්‍යවාදයට හා රුසියානු ජාතික ස්වෝත්තමවාදයට විරුද්ධ වීම - ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරවාදයේ පදනම් මූලධර්ම කෙරේ ඔබේ ඇති කැපවීම සම්බන්ධයෙන් සාක්ෂ්‍ය දරයි. පුටින් තන්ත්‍රයේ ඔලමොල සහ මංමුලා සහගත පිලිවෙත්වලට එරෙහි ඔබේ දෘඩ ආස්ථානය සිදුවීම් විසින් සනාථ කරනු ලැබ ඇත. යුද්ධය පිලිබඳ පුටින්ගේ පෙබරවාරි 21 කථාව ඔහුගේ දේශපාලනික අවගනනයන් (දෝෂ සහගත ගනනයන්) පිලිබඳව පමනක්‌ නොව, ඔහුගේ තන්ත්‍රයේ ඓතිහාසික ඉදිරි දර්ශනයේ බංකොලොත්බව පිලිබඳව ද ශෝකජනක ස්වයං හෙලිදරව්වකි.

කලකිරුනු හා ප්‍රතික්ෂේප වූ ප්‍රේමවන්තයෙකුගේ භාෂාව යොදා ගනිමින්, අධිරාජ්‍යවාදීන්ගේ ආකර්ෂනය දිනා ගැනීමට තමන් දැරූ ප්‍රයත්න අසාර්ථක වූ බවට දැන් පුටින් මැසිවිලි නඟයි. ඔහුගේ 'බටහිර හවුල්කරුවන්' කුරිරු ලෙස ඔහු පාවා දී ඇත. සාමය සඳහා ඔහුගේ වූ ආශාව ඔවුහු ඔහු සමඟ බෙදාහදා නොගත්හ. පුටින් මෙසේ මැසිවිලි නඟයි:

බටහිර පාලකයන්ගේ පොරොන්දු, ඩොන්බාස්හි සාමය පිලිබඳ සිය අභිලාෂය සම්බන්ධ සහතික කිරීම්, දැන් අපට පෙනී යන ලෙස, වංචාවක් බවට, කෲර බොරුවක් බවට පත් වී ඇත. ඔවුහු හුදෙක් කාලය ගනිමින්, ප්‍රවේශම්කාරී ලෙස තම කටයුතු කරගෙන යමින්, දේශපාලන ඝාතන, කියෙව් තන්ත්‍රයට අනවශ්‍ය අයවලුන් මර්දනය කිරීම්, ඇදහිලිකරුවන්ට අයුතු බලය දැක්වීම් නොදුටු සේ සිටිමින්, යුක්‍රේනියානු නව නාසීන්ට ඩොන්බාස්හි ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට වඩවඩාත් දිරි ගැන්වූවෝය. ජාතිකවාදී බලඇනිවල නිලධාරීන්ට බටහිර ඇකඩමිවල හා විද්‍යාලවල පුහුනුව දී, ඔවුන්ට ආයුධ ලබා දී ඇත.

ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනාහි ඇනාගේ රැවටීමට පත් සැමියා වූ ඇලෙක්සෙයි කැරනින් සමඟ පවා තරඟ වැදිය හැකි මට්ටමක ඉවසීමකින් යුතුව පුටින් සිය බටහිර හවුල්කරුවන්ට සියලු සැකයේ වාසි ලබා දෙයි. එහෙත් ඔහු රවටා ඇත.

පෙනී යන අයුරින්, ඩොන්බාස් ගින්නෙන් දැවෙමින් තිබූ, ලේ ගලා යමින් තිබූ මුලු මහත් කාලය පුරා ම, රුසියාව සාමකාමී විසඳුමක් සඳහා අව්‍යාජව ම - මට මෙය අවධාරනය කිරීමට අවශ්‍ය ය - ඔව්, අවංකව ම තැත් කල මුලු කාලය පුරා ම, ඔවුහු ජනයාගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින්, ඔවුන් කියන පරිදි හොඳින් දන්නා හඳුනන කව වල, ස්ප්ලිට් කාඩ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියෝය.

මුලා කිරීමේ මෙම අපුල දනවන විධික්‍රමය මීට ඉහත බොහෝ වාරවල දී තැත් කරනු ලැබ ඇත. යුගෝස්ලාවියාව, ඉරාකය, ලිබියාව හා සිරියාව විනාශ කල අවස්ථාවන්හි දී ඔවුහු මෙම දුෂ්ට, දෙපිටකාට්ටු ආකාරයෙන් ම හැසිරී ඇත්තාහ. මෙම නින්දාවෙන් අත සෝදා ගැනීමට ඔවුන්ට කිසිදා නොහැකි වනු ඇත. ගෞරවය, විශ්වාසය, ශිෂ්ඨ සම්පන්නභාවය, මේවා ඇත්තේ ඔවුන් සඳහා නොවේ.

අවසාන විලාපයක් තුල පුටින් සිය තිගැස්සෙන සුලු සොයා ගැනීම නිවේදනය කරයි:

යටත්විජිතවාදයේ, ආඥාදායකත්වයේ, ආධිපත්‍යයේ දීර්ඝ ශත වර්ෂ තුල ඔවුහු තමන්ට සෑම දෙයකටම ඉඩ දෙනු ලැබීමට පුරුදු වූහ. සමස්ත ලෝකය තඹයකට නොතකා ක්‍රියා කිරීමට පුරුදු වූහ. පෙනී යන පරිදි ඔවුන් තමන්ගේ ම රටවල ජනයාට ද සලකන්නේ එම අවඥා සහගත හා අහංකාර ආකාරයෙන්ම ය - ඔවුහු එම ජනයා ද සාමය සඳහා ප්‍රයත්න දැරීම පිලිබඳ, ඩොන්බාස් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අභියෝජනා පිලිපැදීම පිලිබඳ සුරංගනා කථාවලින් නරුම ලෙස රවටා ඇත්තාහ. සත්තකින් ම බටහිර ප්‍රභූහු මුලුමනින්ම ප්‍රතිපත්ති විරහිත මුසාවන්ගේ සංකේතයක් බවට පත් ව ඇත්තාහ.

අධිරාජ්‍යවාදීහු අධිරාජ්‍යවාදීන් ලෙස ක්‍රියා කර ඇත්තාහ. කෙතරම් තිගැස්සෙන සුලු පුදුමයක් ද! ඉදින් පුටින් අධිරාජ්‍යවාදයේ විෂයය පිලිබඳ ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ ලේඛන අධ්‍යයනය කර තුබුනේ නම් ඔහුට මේ හෙලිදරව්වේ කම්පනයෙන් ගැලැවී සිටින්නට තිබින. එහෙත්, ඔහුගේ කථාව තුල ඔහු පැහැදිලිව පෙන්නුම් කල පරිදි, ඔහු අනුප්‍රානය ලබන්නේ ඔක්තෝබර් විප්ලවයේ දීප්තිමත් මාක්ස්වාදී නායකයන්ගෙන් නොව, සාර්වාදී ප්‍රතිවිප්ලවයේ නිර්මාන ශිල්පියා වූ ප්යෝතර් ස්ටොලිපින් වෙතිනි. එහෙත්, මීට වර්ෂ 100 කට වඩා ඉහත කාලයක දී එලැඹෙන විප්ලවයට ප්‍රතිරෝධය දැක්වීමෙහි ලා අවාසනාවන්ත සාර්වාදී අගමැතිවරයාගේ ඉදිරි දර්ශනය දැක්වූ ඵලදායීතාවයට වඩා වැඩියෙන් 21 වන සියවසේ විප්ලවයේ බලවේග සමඟ සටන් වැදීමෙහි දී ඵලදායී වීමට එයට නොහැකි බැව් සනාථ වනු ඇත.

බෝල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ කටයුතු දැවැන්තතම ඓතිහාසික වැදගත්කමකින් යුතු වේ. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැඟීමේ කර්තව්‍යය පෙරට ගෙන යාම මඟින් ඔබ, ඓතිහාසික 'රුසියානු ප්‍රශ්නය' න්‍යාය හා භාවිතය තුල විසඳමින් සිටින්නාහු ය.

ඔබේ සහෝදර,

ඩේවිඩ් නෝර්ත්

Loading