ඉදිරිදර්ශන

ලෝක යුද්ධය සඳහා බයිඩන්ගේ ඩොලර් ට්‍රිලියන 1 ක අයවැය

[මෙය Biden’s $1 trillion budget for world war යන මැයෙන් 2023 ‌මාර්තු 09 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ජෝ බයිඩන් 2023 මාර්තු 9 වන බ්‍රහස්පතින්දා ෆිලඩෙල්ෆියා හි ෆිනිෂින් ට්‍රේඩ්ස් ආයතනයේදී ඔහුගේ 2024 අයවැය යෝජනාව ගැන කතා කරයි. (ඒපී ඡායාරූප/ඉවාන් වුචි) [AP Photo/Evan Vucci]

ධවල මන්දිරය 2024 මූල්‍ය වර්ෂය සඳහා සිය අයවැය ඉල්ලීම බ්‍රහස්පතින්දා එලිදක්වන ලද අතර, එය මිලිටරිය සඳහා මෙතෙක් යෝජිත විශාලතම වියදමයි. එය ලෝක යුද්ධය සඳහා ඩොලර් ට්‍රිලියන 1 ක අයවැයකි. බයිඩන් පරිපාලනයට යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව සටන් කිරීමටත්, ඈත පෙරදිග චීනය සමඟ යුද්ධයක් කරා එහි ගොඩනැගීම තීව්‍ර කිරීමටත්, මැද පෙරදිග එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනය පවත්වා ගැනීමටත් සම්පත් අවශ්‍ය වේ.

කොන්ග්‍රසය තුල ඊටත් වඩා ඉහලට තල්ලු කෙරෙනු ඇති පෙන්ටගනය සඳහා ඩොලර් බිලියන 842 ට අමතරව, එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව පවත්වාගෙන යන බලශක්ති දෙපාර්තමේන්තුවට ඩොලර් බිලියන 24 ක් සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව, සීඅයිඒ සහ අනෙකුත් ආයතනවල මිලිටරි සම්බන්ධ වැඩසටහන් සඳහා ඩොලර් බිලියන 20 ක් සමග මුලු නිල මිලිටරි වියදම් ඩොලර් බිලියන 886 දක්වා ගෙන එයි.

ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ වන 2024 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 6 ක් පමනක් ලෙස ලැයිස්තුගත කර ඇති යුක්‍රේනයේ යුද්ධයේ සැබෑ පිරිවැය මෙයට එකතු කල යුතුය. පෙර මූල්‍ය වර්ෂයේදී බයිඩන් පරිපාලනය ඩොලර් බිලියන 6.9 ක් ඉල්ලා සිටි නමුත් එය අවසන් වූයේ ඩොලර් බිලියන 114 ක් වියදම් කිරීමෙනි. යුද්ධය අවසන් වීමේ සලකුනක් හෝ නොමැති හෙයින්—ඊට පටහැනිව, එය ශීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතී—කියෙව්හි බංකොලොත් තන්ත්‍රය සඳහා එක්සත් ජනපද සහයෝගයේ පිරිවැය වර්තමාන මට්ටම ඉක්මවා යාමට ඉඩ ඇත. මෙනයින්, මුලු මිලිටරි වියදම් ඩොලර් ට්‍රිලියන 1 සීමාවට වඩා ඉහල යනු ඇත.

බයිඩන් බලයට පත් වූ දා සිට, පෙන්ටගනය සඳහා පමනක් අයවැය ඔහුගේ පරිපාලනයේ පලමු සම්පූර්න වසර වන 2022 මූල්‍ය වර්ෂයේ ඩොලර් බිලියන 718 සිට පසුගිය වසරේ ඩොලර් බිලියන 816 දක්වා ඉහල ගොස් ඇත. මෙම වසර සඳහා ඉල්ලා ඇති ඩොලර් බිලියන 842, කොන්ග්‍රසය සහ ආයුධ නිෂ්පාදක කන්ඩායම් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කල පසු ඩොලර් බිලියන 900 සීමාව ඉක්මවා යා හැකිය. කොන්ග්‍රසයේ රිපබ්ලිකානුවන් දැනටමත් මිලිටරිය සඳහා ඉතා කුඩා අරමුදලක් සැපයීම නිසා අයවැය හෙලා දැක ඇත.

'ආරක්ෂක දෙපාර්තමේන්තුව' යන නමම ගොරහැඩි විකෘතියක් වන්නේ, බාහිර සතුරෙකුට එරෙහිව ආරක්ෂා කල යුතු එක බිම් අඟලක් හෝ ඇමරිකාවේ නොමැති බැවිනි. පෙන්ටගනයෙන් තර්ජනයට ලක්ව ඇත්තේ ලෝකයයි. එක්සත් ජනපද ආන්ඩුව ඉතිහාසයේ නොවූ විරූ පරිමානයකින් ගෝලීය මිලිටරි පැවැත්මක් පවත්වා ගෙන යන අතර, ලොව පුරා එක්සත් ජනපද කඳවුරු 700 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇත, එහි ප්‍රධාන ඉලක්ක වන රුසියාව සහ චීනය සඳහා ඔවුන්ගේ දේශසීමාවෙන් පිටත ඇත්තේ එක් කඳවුර බැගින් පමනි.

දෙපාර්තමේන්තුව, ඇමරිකාවේ ගෝලීය අධිරාජ්‍යය නඩත්තු කිරීමේ දෙපාර්තමේන්තුව ලෙස හෝ සමහර විට වඩාත් සරලව ලෝකය විනාශ කිරීමේ දෙපාර්තමේන්තුව ලෙස නම් කල යුතුය. පෙන්ටගනයේ අයවැයෙන් ඩොලර් බිලියන 38 ක් පමන න්‍යෂ්ටික අවි නවීකරනයට යන අතර, මේ වසරේ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව සඳහා වන මුලු වියදම, එනම් ශිෂ්ටාචාරය සහ සමහර විට පෘථිවියේ සියලුම ජීවීන් විනාශ කිරීම සඳහා යන වියදම ඩොලර් බිලියන 60 කට වඩා වැඩි මුදලක් දක්වා ගෙන එනු ඇත.

“මිලිටරි නොවන” අයවැයෙන් වැඩි ප්‍රමානයක් ද ලොව පුරා යුද්ධ කිරීමට එක්සත් ජනපදයේ හැකියාවට දායක වේ. එක් ධවල මන්දිර ප්‍රකාශයක් ප්‍රකාශ කරන්නේ, අයවැය “ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික් උපකරන, සබ්මැරීන ඉදිකිරීම්, යුධෝපකරන නිෂ්පාදනය සහ ජෛව නිෂ්පාදන වැනි එක්සත් ජනපද කාර්මික පදනමේ ප්‍රධාන තාක්‍ෂනයන් සහ අංශවල ආයෝජනය කරන” බවයි. “අනාගත සබ්මැරීන සහ ගුවන් යානා ප්‍රවාහන නෞකා නඩත්තු අවශ්‍යතා සපුරාලීම සඳහා පොදු නාවික තටාකාංගන හතරේ ප්‍රාග්ධනීකරනය සහ ප්‍රශස්තකරනය” ද එයට ඇතුලත් ය.

පසුගිය වසරේ ඩොලර් බිලියන 250 ක චිප්ස් පනතෙන් (CHIPS Act) වැඩි ප්‍රමානයක් වානිජ දෙපාර්තමේන්තුව හරහා අධිතාක්ෂනික ආයුධ සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධාන අර්ධ සන්නායක චිප් නිෂ්පාදනය එක්සත් ජනපදය වෙත පවරා ගැනීම සඳහා අරමුදල් සපයන ලදී.

බලශක්ති දෙපාර්තමේන්තු අයවැය එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය අතර චීන විරෝධී ඕකුස් (AUKUS) ගිවිසුම සඳහා 'තාක්ෂනික හා ඉංජිනේරු පදනම ශක්තිමත් කිරීමට' සහාය වනු ඇත. සඳුදා සැන් ඩියාගෝහි පැවැත්වෙන ඕකුස් සමුලුවේදී බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහා සත්කාරකත්වය සපයනු ඇත.

රේගු සහ දේශසීමා ආරක්ෂනය (සීබීපී) සහ ආගමන සහ රේගු බලාත්මක කිරීම (අයිසීඊ) සඳහා ඩොලර් බිලියන 25 ක් සහ ආගමන උසාවි ඇතුලු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනෙකුත් සංක්‍රමන විරෝධී ක්‍රියාකාරකම් සඳහා ඩොලර් බිලියන 14.5 ක් ඇතුලුව, පොලිස් මර්දනය සඳහා අයවැයේ තවත් බිලියන ගනනක් වෙන්කර තිබේ. සහ රැඳවුම් පහසුකම් විශාල ජාලයක්. තවත් බිලියන ගනනක් එෆ්බීඅයි සහ අනෙකුත් අධිකරන දෙපාර්තමේන්තු ආයතන වෙත සහ ප්‍රධාන වශයෙන් ප්‍රාන්ත සහ ප්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තු වෙත කෙලින්ම යැවේ.

සමාජ ආරක්ෂනය, මෙඩිකෙයා සහ මෙඩිකේඩ් වැනි පොලී ගෙවීම් සහ හිමිකම් වැඩසටහන් සඳහා භාන්ඩාගාරයෙන් ස්වයංක්‍රීයව වියදම් කිරීමට ප්‍රතිවිරුද්ධව, සෑම වසරකම කොන්ග්‍රසය විසින් අවසර දිය යුතු නියමිත ප්‍රමානය වන ඩොලර් ට්‍රිලියන 1.7 ක අභිමත වියදම්වලින් වැඩි කොටසක් සමන්විත වන්නේ මිලිටරි ප්‍රචන්ඩත්වය සහ පොලිස් මර්දනය සඳහා ය.

බයිඩන් පරිපාලනය විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද අයවැය ඉල්ලීම හුදෙක් වියදම් සැලැස්මක් නොව දේශපාලන ඉදිරිදර්ශනයකි. කොතැනක සහ කොපමන වියදම් කල යුතුද යන්න පිලිබඳ ඔවුන්ගේ උපායික වෙනස්කම් කුමක් වුවත් එය, රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන ධනේශ්වර පක්ෂ දෙකටම පොදු ය. ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට උත්සාහ කරන අතර, එය දැන් අවධානය යොමු කර ඇත්තේ එහි ප්‍රධාන විරුද්ධවාදීන් ලෙස සලකන රුසියාව සහ සියල්ලටම වඩා චීනය පරාජය කිරීමට ය.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි කුලීකාර යුද්ධය, 2025 වන විට විවෘත යුද්ධයක් වනු ඇතැයි එක් ප්‍රධාන ජෙනරාල්වරයෙකු යෝජනා කල දෙය දෙසට වේගවත් මිලිටරි ගොඩනැගීමක ස්වරූපයක් ගන්නා, චීනය සමඟ ඊටත් වඩා විශාල ගැටුමක පෙරගමන්කරු පමනි. රුසියාවේ ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමනය පිලිබඳව ප්‍රචාරාත්මක ප්‍රහාරයක් සමග මහජන මතය වෙනස් කිරීමට උත්සාහ කරමින් ද, සාමාන්‍ය ඇමරිකානුවන් පිලිබඳ බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා බීජිං විසින් කරන ලද නින්දිත යෝජනා ක්‍රමයක් ලෙස නිරූපිත චීන “ඔත්තු බලන බැලූන්” සහ සමාජ මාධ්‍ය යෙදුමක් (app) වන ටික්ටොක් (TikTok) සම්බන්ධයෙන් හිස්ටීරියාව අවුලුවාලමින් ද, සංගත මාධ්‍ය මෙම යුද්ධවලට එරෙහි මහජන විරෝධය මැඩලීමට සිය කාර්යභාරය ඉටු කරයි.

තම අයවැය මහජනතාවට 'තොරොම්බල් කිරීම' සඳහා බයිඩන් ප්‍රථම වරට ප්‍රචාරක විලාසයෙන් පෙනී සිටීමේ දී, ඔහු මිලිටරි වියදම් ගැන කිසිදු සඳහනක් නොකල අතර, ඒ වෙනුවට සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ සුබසාධන වැඩසටහන් සඳහා වන වියදම් මට්ටම අතිශයෝක්තියට නැංවීය. රිපබ්ලිකානුවන් සමඟ අයවැය සාකච්ඡා වලදී ඒවා වැඩි කරනවා වෙනුවට කප්පාදු කරනු ඇත.

කොංග‍්‍රසයේ අනුමැතිය කිසිසේත් නොලැබෙන බව ඔහු හොඳහැටි දන්නා, සංගත සහ සුපිරි ධනවතුන් මත බදු ඉහල දැමීමේ යෝජනා පිලිබඳ ජනතාවාදී වාචාල කතා ද මෙය සමග විය. ධවල මන්දිරයට 2021-2022 දී, ඩිමොක්‍රටික් පක්ෂයෙන් පාලනය වූ කොංග්‍රසයක් හරහා ධනවතුන් මත බදු වැඩි කිරීම් බිලියන සිය ගනනක් ලබා ගැනීමට නොහැකි විය. රිපබ්ලිකන් පාලිත නියෝජිත මන්ත්‍රී මන්ඩලයක් මූල්‍ය ප්‍රභූ පැලැන්තිය මත එවැනි අයකිරීම් වලින් ඩොලර් ට්‍රිලියන 5 ක් සම්මත කරනු ඇතැයි යෝජනා කිරීම අමූලික බොරුවකි.

වැඩකරන ජනතාව අතර ප්‍රචලිත ධනවතුන් සඳහා බදු වැඩිකිරීම් සහ සමාජ වියදම් වැඩි කිරීම් යන සරුවපිත්තල සැරසිලි පෙන්වමින්, යුක්‍රේනය තුල රුසියාව සමඟ යුද්ධය දිගටම කරගෙන යාම සහ උත්සන්න කිරීමත්, චීනය සමඟ ඉදිරි යුද්ධය සූදානම් කිරීමත් යන ඔහුගේ වැඩපිලිවෙලේ සැබෑ හරයෙන් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා බයිඩන් ගොරහැඩි අඬබෙරකරුවෙකු මෙන් ඉදිරියට යයි.

වෝල් වීදියේ සහ මිලිටරි ඔත්තු සේවා යාන්ත‍්‍රනයේ පක්ෂයක් වන ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රතිපත්තිවල කේන්ද්‍රීය අක්ෂය මෙය වන අතර, එය බොහෝ කලකට පෙරම වැඩකරන ජනතාවට සමාජ සහන ලබා දීමේ පිලිවෙත්වලට මොනම අව්‍යාජ සම්බන්ධයක් හෝ අත්හැර දමා තිබුනි. රිපබ්ලිකානුවන් සමඟ බයිඩන්ගේ එකම ආරවුල වන්නේ මුලින්ම ඉලක්ක කරන්නේ රුසියාව ද නැතහොත් චීනය ද යන්න පමනි. නමුත් මෙම ගැටුම ද්විතියික ය. පක්ෂ දෙකම ඇමරිකානු කතිපයාධිකාරයේ ලෝක ව්‍යාප්ත අවශ්‍යතා ආරක්ෂා කරයි.

Loading