“මේ මොහොතේ අඛන්ඩ වැඩ වර්ජනයකට යාම අනුමත කරන්නේ නැහැ” යි ජවිපෙ නායකයා පවසයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව (වෘවෘසඑ) නමැති වෘත්තීය සමිති පෙරමුනක් විසින්, “ජන පීඩක බදු සංශෝධනය සහ රටේ හෙට දවස” යන මැයෙන්, මාර්තු 13දා කොලඹ දී පවත්වන ලද රැස්වීමකට, විරුද්ධ පක්ෂවල, වෘත්තීය සමිතිවල හා සිවිල් සංවිධානවල නියෝජිතයන් කැඳවා තිබුනි.

කේ. ඩී. ලාල්කාන්ත

එහි දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වෙනුවෙන් අදහස් දැක්වූ, එම පක්ෂයේ නායකයෙකු වන කේ. ඩී. ලාල්කාන්ත, “මේ කතා කරන මොහොතේ දී අපි අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට එකඟ නැතැ” යි ප්‍රකාශ කලේ ය.

ඔහු මෙසේ පැවසීය: “ඉස්සෙල්ල ම අපි කියන්න ඕන, මේ මොහොතෙදි 15 දා වැඩ වර්ජනයට අපි සම්පූර්න සහයෝගය දෙනව. අඛන්ඩ වැඩ වර්ජන කතාවට, මේ දැන් කතා කරන මොහොතෙදි, එකඟ නැහැ. 15 වෙනිද ක්‍රියා මාර්ගය සාර්ථක කරලා, නැවත පාලකයොත් එක්ක අවශ්‍ය නම් කතා බහ කරලා, ඒ අය නැවත කියන්නෙ මොකක්ද කියන එක බලල, ඉන් අනතුරු ව නැවත වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගන්න එක වඩාත් සුදුසුයි කියන එකයි අපි කල්පනා කරන්නෙ.”

මෙම අදහස් මගින් පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තිය අඛන්ඩ වැඩ වර්ජනයකට කැඳවුවහොත්, එය සමස්ත දිවයින අලලා ගනිමින්, ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුවට හා කොලඹ ධනපති පන්ති පාලනයට අභියෝග කරන ඒකාබද්ධ අරගලයක් බවට වැඩී යනු ඇතැයි, ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති නායකයන් අතර පවත්නා පොදු භීතිය යි. ලාල්කාන්ත යනු, ජවිපෙට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපතිවරයා ය.

පසුගිය වසරේ මාර්තු මාසයේ අග සිට ජූලි මාසය තෙක් පැවති මහජන නැගිටීම, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකර දැමී ය. එහෙත් එම මහජන ව්‍යාපාරයෙහි මුදුනතට පැනගත් වෘත්තීය සමිති හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන, ධනපති විරුද්ධ පක්ෂ වන සමගි ජන බලවේගය සහ ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලද අන්තර්වාර විකල්ප ධනපති ආන්ඩුවක් සඳහා වන ඉල්ලීම යටතට එය අපසරනයකොට දියකර දැමූහ.

එහි ප්‍රතිඵලය වූයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු විධානයන් නිර්දයව ක්‍රියාත්මක කිරීමෙහි ලා කුප්‍රකට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබීම සහ ඔහුගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආන්ඩුවක් යටතේ ජාමූඅ හි කප්පාදු රුදුරුම ආකාරයෙන් ක්‍රියාවට දැමීම සඳහා මාවත පෑදීම යි.

එහෙත්, කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයින් අරගලය වෙතට තල්ලු කරන ලද කිසිදු මූලික ප්‍රශ්නයකට ආමන්ත්‍රනය කල නො හැකි වන සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින වික්‍රමසිංහ-ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුවට එරෙහි පන්ති අරගල යලි පිපිරී ඉස්මත්තට පැමින ඇත.

වෘත්තීය සමිති මේ වන විට යලි වටයකින් වැඩට බැසගෙන සිටින්නේ, මහජන නැගිටීමක් දෙසට වැඩෙන එම අරගල පීලිපන්නවා අපසරනය කිරීම සඳහා ය. ඊයේ කැඳවූ වැඩ වර්ජනය, බැංකු නය පොලී අනුපාතය හා විදුලි බිල ඉහල දැමීම, උපයන විට අය කරන බද්ද වැඩිකිරීම, ජීවන වියදම වැඩිකිරීම, ආන්ඩුවේ මර්දනය ආදියට විරෝධය පෑමට සීමා කරමින්, කම්කරුවන්ට වැඩ වර්ජනය කොට නිවසට වී සිටින ලෙස ජවිපෙ සමිති හා අනෙකුත් වෘත්තීය සමිති උපදෙස් දී ඇත.

ලාල්කාන්ත සඳහන් කරන ආකාරයට ලංකාවේ කම්කරුවන් මුහුන දී සිටින්නේ, පාලක පන්තිය සමග “සාකච්ඡා කර විසඳාගත” හැකි අර්බුදයකට නො වේ. ලංකාවේ ධනපති පංති පාලනය මුහුන දී සිටින අර්බුදය වනාහි, කෝවිඩ්-19 වසංගතය සහ එක්සත් ජනපද-නැටෝ සන්ධානය යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධය විසින් ගැඹුරු කරන ලද ලෝක ධනේශ්වර අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රන්සය ඇතුලු දියුනු ධනේශ්වර රටවල් තුල ද පාලක පන්තීන් විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පන්තිය, පීඩිත මහජනතාව සහ තරුනයන් දැවැන්ත අරගලවලට පිවිස ඇත. ලංකාවේ ඉස්මතු වන පන්ති අරගල මෙම ජාත්‍යන්තර වර්ධනයෙහි අත්‍යන්ත කොටසකි.

එබැවින්, තරයේ ම ජාතික රාමුවේ සීමාව තුල වැඩ කරන, ජාතික ධනපති පන්තීන් සමග කේවල් කොට තමන්ගේ කොටස ඩැහැගැනීමේ වෘත්තීය සමිතිවල කෝපරේට්වාදී වැඩපිලිවෙලවල් ප්‍රතිගාමී හා යල්පිනූ බවට පත් ව ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ, කලෙක කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් ධනපති පන්තිය මතට පීඩනය යෙදූ වෘත්තීය සමිති, ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ කාර්මික පොලීසි ලෙස ක්‍රියාත්මක වීමයි.

ලාල්කාන්තගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, ඊයේ කැඳවූ වැඩ වර්ජනයෙහි එක ම අරමුන, වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව සාකච්ඡාවක් සඳහා පොලඹවාගනුවස් පීඩනය යෙදීම බව යි. එහෙත්, ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමේ කවර හෝ ක්‍රියාවක් දුටු තැන මඩින බව ජනාධිපති වික්‍රමසිංහ යලි යලිත් ප්‍රකාශ කරයි.

මේ තතු යටතේ කම්කරු පන්තිය අඛන්ඩ වැඩවර්ජනයකට කැඳවීම, එක් පසෙකින් ධනපති පාලක පන්තිය හා එහි ආන්ඩුවත් අනෙක් පසින් කම්කරු පන්තියත් මුහුනට මුහුන ගැ‌ටෙන, පාලන බලය පැවතිය යුත්තේ කවර පන්තිය අත ද යන්න කම්කරු පන්තියට අභිමුඛ කෙරෙන අරගලයක් බවට පත් වන බව ලාල්කාන්ත ඇතුලු වෘත්තීය සමිති නිලධරය හොඳින්ම දනී. 'අඛන්ඩ වැඩ වර්ජන කතාවට, මේ දැන් කතා කරන මොහොතෙදි, එකඟ නැහැ' යි ඔහු පවසන්නේ එබැවිනි.

අනෙක් අතට, ජාමූඅ හි මෙම කප්පාදු වැඩපිලිවෙලට ජවිපෙ මුලුමනින්ම එකඟය. ඔක්තෝබර් 17 වන දින ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට සහභාගි වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ, රට විදේශ නය ගෙවීම පැහැර හැර ඇති බැවින් “ජාමූඅ වෙත යාම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති” බවයි.

ජාමූඅ හි කප්පාදු ක්‍රියාත්මක කිරීමේ ලා, වික්‍රමසිංහ ආන්ඩුව සමග ජවිපෙ ට ඇත්තේ උපායික මතභේදයන් පමනි. ජනවරමක් නොමැති ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව එම කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපොහොසත් බව පවසන ජවිපෙ, මැතිවරනයකින් ජනවරමක් ලබා බලයට පැමිනෙන තමාට, එය මනාව ක්‍රියාත්මක කල හැකි වෙතැයි කියා සිටී.

ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට එරෙහි අඛන්ඩ වැඩවර්ජනයක් මගින් ඉහත න්‍යාය පත්‍රයට වලකපනු ඇතැයි යන ජවිපෙ ගනන් බැලීම් ද ලාල්කාන්තගේ ප්‍රකාශය පිටුපස පවතී.

ලංකාවේ ධනපති පාලනය මුහුන දී සිටින අර්බුදය, ලෝක ධනවාදයෙහි ගැඹුරු වන අර්බුදයේ ප්‍රකාශනයක් බව දැනුවත් ව වසන් කරන ජවිපෙ, එම අර්බුදය, දූෂනය සහ නිසි කලමනාකරනයක් නොමැති කම ආදියට ඌනනය කොට, ධනපති ක්‍රමය පිරිසිදු කර පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටී.

ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය (ලසසප), 1964 දී සිරිමා බන්ඩාරනායක අගමැතිනියගේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග සභාග ආන්ඩුවකට ඇතුලුවීමෙන් නිර්මානය කරන ලද දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයේ, මාඕවාදය, කස්ත්‍රෝවාදය හා සිංහල ජනතාවාදය මිශ්‍ර කරගත් සුලු-ධනේශ්වර ව්‍යාපාරයක් ලෙස පැනනැගි ජවිපෙ, තමන් පැරනි වමෙන් වෙනස් යයි කියාපෑ නමුත්, ආරම්භයේ පටන් ම ක්‍රියාත්මක වූයේ, කම්කරු-පන්ති-විරෝධී හා ඒ හෝ මේ ධනපති කන්ඩායම වෙනුවෙන් කත් අදින දක්ෂිනාංශික ව්‍යාපාරයක් ලෙස යි.

1971 දී ගම්බද තරුනයන්ගේ දේශපාලන අතෘප්තිය ගසා කමින් ගරිල්ලාවාදී කැරැල්ලක යෙදීගත් සහ 1988-89 සමයේ දී කම්කරු පන්තියට සහ එහි සංවිධානයන්ට එරෙහි ෆැසිස්ට් පන්නයේ ප්‍රහාර දියත් කල මෙම පක්ෂය, මේ වන විට සුවපහසු පාර්ලිමේන්තු ආසන වෙනුවෙන් ඊනියා සන්නද්ධ අරගලය අතහැර දමා ඇත.

ලාල්කාන්ත මෙම රැස්වීමේ දී දැක්වූ අදහස්, ජවිපෙ කොතරම් නම් කොලඹ ධනපති දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර වී ඇද්ද යන්න හා කම්කරු පන්තියේ ස්වාධීන අරගලයකට කොතරම් හතුරුදැයි යන්න පෙන්වා දෙයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියට හා ගම්බද පීඩිතයින්ට යෝජනා කරන්නේ, වික්‍රමසිංහ ආන්ඩුවටත් ධනපති ක්‍රමයටත් එරෙහි අරගලය තමන්ගේ ම අතට ගැනීම සඳහා ඉදිරියට එන ලෙස යි. සසප දේශපාලන මග පෙන්වීම යටතේ පිහිටුවා ඇති ක්‍රියාකාරී කමිටු, මාර්තු 14දා පල කල ඒකාබද්ධ ප්‍රකාශය තුල මෙසේ සඳහන් කරයි:

“ධනේශ්වර ක්‍රමයට දහසක් හුයපට වලින් බැඳුනු වෘත්තීය සමිතිවල පාලනය යටතේ අපේ අරගල පැවතියහොත් නිසැකව ම අපව පාවා දෙනු ඇත. අපගේ අයිතීන් සඳහා වන අරගලය අප අතට ගත යුතුය. මෙය කල හැක්කේ වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීනව සෑම වැඩබිමකම, කම්හලකම, වතුකරයකම සහ අපගේ අසල්වැසි ප්‍රදේශවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් පමනි.

“අපි දැනටමත් මෙම ව්‍යාපාරය කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ගොවීන් සහ අනෙකුත් කම්කරුවන් අතර ආරම්භ කර ඇති අතර, ඔබගේම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සඳහා අපි ඔබට අපගේ උපරිම සහයෝගය ලබා දීමට සූදානම් ව සිටිමු.”

Loading