වටලෑමට ලක් ව පවතින චීන පාලන තන්ත්‍රයේ නායකත්වයට ෂී ජිංපිං යලි පත්කරනු ලබයි

(මෙය Xi Jinping reappointed to head Chinese regime under siege මැයෙන් 2023 මාර්තු 12දා පල වූ ලිපියෙහි පරිවර්තනය යි.)

සිකුරාදා (මාර්තු 10,) තුන්වැනි ධුර කාලයක් සඳහා ෂී ජිංපිං ජනාධිපති ධුරයෙහි නිල වසයෙන් ස්ථාපිත කල චීනයේ ජාතික මහජන සම්මේලනය (එන්පීසී), සෙනසුරාදා ලී කියෑං අගමැති ධුරයට පත් කලේ ය. රටෙහි ව්‍යවස්ථාදායකය ලෙස නාමික ව ක්‍රියා කරන එන්පීසීය, මූලික තානාන්තර සඳහා ෂීගේ ආධාරකරුවන් පත්කරමින්, ආන්ඩුවේ අනෙකුත් පත්කිරීම් අවසානයකට ගෙන එමින් සිටී.

2023 මාර්තු 12 ඉරිදා, බෙයිජිංහි මහා මහජන සභා ශාලාවේ පැවැත්වෙන ජාතික මහජන සම්මේලනයේ සභා වාරයකට පැමිනෙන චීන ජනාධිපති ෂී ජිංපිං සහ චීන අගමැති ලී කියෑං. (ඒපී ඡායාරූප/ඇන්ඩි වොං)

පසුගිය ඔක්තෝබරයේ පැවති පක්ෂ සම්මේලනයේ දී, තුන්වැනි වරට චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) ප්‍රධාන ලේකම් ලස ඔහු පත්කිරීමෙන් පසුව, ජනාධිපති ධුරයට ෂී ව යලි පත්කිරීම කල් තබා ගන්නා ලද තීන්දුවක් විය. රටෙහි ජනාධිපති ධුරයට පැවති ධු ර කාල දෙකේ සීමාව අවසන් කිරීම සඳහා, ව්‍යවස්ථාව සංශෝධනය කරන ලද 2018 දී, ෂී ක්‍රියාවට දැමූ ක්‍රියා දාමයක කූටප්‍රාප්තිය ලෙස මෙම පත්කිරීම පවතී.

පක්ෂයෙහි ප්‍රධාන දේහය වන දේශපාලන බියුරෝවේ ස්ථාවර කමිටුව ෂීගේ අනුගාමිකයන්ගෙන් අඩුක් කල සීසීපී සම්මේලනය, පක්ෂ ව්‍යවස්ථාව තුලට “නව යුගයක් සඳහා චීන ලක්ෂන සහිත සමාජවාදය පිලිබඳ ෂී ජිංපිං චින්තනය” ඇතුලත් කලේ ය. පක්ෂ නායකත්වයේ හා ආන්ඩුවේ “අරටුව” ෂී ලෙස, පක්ෂ නිලධාරීහු සහ රජයට අයත් මාධ්‍ය වතාවතක් ලෙස ප්‍රකාශ කරති.

චීනය තුල ෂී නිල වසයෙන් ප්‍රශංසාවට බඳුන් කරනු ලැබීමෙහි අනෙක් පැත්ත වන්නේ, එක්සත් ජනපද හා බටහිර මාධ්‍ය තුල සිදු කෙරෙන වසන් කිරීම යි. චීනය සමග යුද්ධයට, එක්සත් ජනපද-නායකත්වයෙන් සිදු කෙරෙන වේගවත් සූදානම්වීම් සඳහා වන ප්‍රචාරනයෙහි කොටසක් ලෙස, ඇමරිකානු මාධ්‍ය ෂී දේශපාලන බලවතෙකු හා ඒකාධිපතියෙකු ලෙස -මාඕ සේතුංගෙන් මෙපිට චීනයේ වඩාත් ම බලගතු නායකයා ලෙස- පින්තාරු කරයි. යථාර්ථයේ දී, දේශීය ව හා විදේශයන් යන දෙකේ දී ම වටලෑමට ලක් ව සිටින බිඳෙනසුලු සීසීපී පාලන තන්ත්‍රය විසින් ෂී ව පෙරමුනට තල්ලු කරනු ලැබ ඇත. ඔහු වනාහි, තියුනු වන සමාජ හා භූ-මූලෝපායික ආතතීන් මධ්‍යයේ, පක්ෂය හා ධනපති පන්තිය තුල සිටින ප්‍රතිමල්ලව කන්ඩායම් අතර තුලනයක් ගෙන යන බොනපාට්වාදී චරිතයකි.

තායිවානය සහ දකුනු හා නැගෙනහිර චීන මුහුදු අරබයා, එක්සත් ජනපදය තීව්‍ර කරමින් සිටින මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රකෝපකරනයන්ට ද ඉන්දු-පැසිෆික් කලාපය පුරා කැපීපෙනෙන අයුරින් සිදුවන එක්සත් ජනපද මිලිටරි බලගැන්වීම්වලට හා සන්ධාන ශක්තිමත් කිරීම්වලට ද බෙයිජිනය මුහුන දෙයි. ඊට අතිරේක ව, ට්‍රම්ප් විසින් පනවන ලද වෙලඳ යුද්ධ පියවරයන් නඩත්තු කිරීම පමනක් නො ව, චීනය තුල නිෂ්පාදනයට අවශ්‍ය කරන අභිවර්ධිත අර්ධ-සන්නායක හා යන්ත්‍ර-සූත්‍ර ලබා දීම මත ද එකකට පසු තවෙකක් වසයෙන් තහනම් පැනවීම බයිඩන් පරිපාලනය විසින් කරගෙන ගොස් ඇත.

පසුගිය සතියේ දී, අසාමාන්‍ය පියවරක් ගත් ෂී, චීනයට වලකැපීමට එක්සත් ජනපදය උත්සාහ කරන බවට ඍජු ව චෝදනා කලේ මෙසේ ප්‍රකාශ කරමිනි: “එක්සත් ජනපදය නායකත්වය දෙන බටහිර රටවල්, චීනයේ ආනුභාවය පූර්න-පරිමානයෙන් යටපත් කිරීම, චීනය වටකිරීම හා මර්දනය කිරීම ක්‍රියාත්මක කර තිබෙනවා.” සිකුරාදා එන්පීසීය විසින් අනුමත කරන ලද රාජ්‍ය කවුන්සිලයේ ප්‍රධාන ප්‍රතිව්‍යුහකරනයක්, පාලන තන්ත්‍රය මුහුන දෙමින් සිටින වැඩෙන අර්බුදයෙහි වැදගත් අංශ කිහිපයක් පෙන්නුම් කරයි.

අභිවර්ධිත පරිගනක චිප් නිපදවන කර්මාන්තයක් චීනය තුල නිර්මානය කිරීමේ ප්‍රයත්නයන් වැඩි දියුනු කිරීම සඳහා කැඳවනු ලබනු ඇති විද්‍යාව හා තාක්ෂනය පිලිබඳ මූලික අමාත්‍යාංශය (එම්ඕඑස්ටී) මත සිය පාලනය, චීනයේ ඇමති මන්ඩලය ලෙස ක්‍රියාත්මක වන රාජ්‍ය කවුන්සිලය විසින් ශක්තිමත් කරනු ඇත. අමාත්‍යාංශයේ සියලු මෙහෙයුම් අධීක්ෂනය කිරීම පිනිස රාජ්‍ය කවුන්සිලයේ ඍජු පාලනය යටතේ අලුත් මධ්‍යම විද්‍යා හා තාක්ෂන කමිටුවක් නිර්මානය කෙරෙනු ඇත.

ආනයනික අර්ධ-සන්නායක මත බොහෝ සෙයින් රඳා සිටින චීනයට, එක්සත් ජනපද සම්බාධක වලින් දැඩි ලෙස පහර වැදී ඇත. චින රේගුවේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, මේ වසරේ පලමු මාස දෙක තුල චීනය විසින් ආනයනය කරන ලද අර්ධ-සන්නායක සංඛ්‍යාව, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව ඒකක බිලියන 67.6 දක්වා සියයට 26.5කින් ඇද වැටුනි. පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂ ව, ඩොලර් බිලියන 68.8 සිට ඩොලර් බිලියන 47.8 දක්වා සියයට 30.5කින් ඒවායේ සමස්ත අගය ඇද වැටුනි.

සාපේක්ෂ ව ලාභදායී චිප් විශාල සංඛ්‍යාවක් චීනය ඇතුලත නිෂ්පාදනය කරනු ලැබිය හැකි අතර ම, වානිජමය හා මිලිටරිමය යන දෙවර්ගයේ ම ව්‍යවහාරයන් සඳහා තීරනාත්මක වන අභිවර්ධිත අර්ධ-සන්නායක වෙත ප්‍රවේශය නැති කම හේතුවෙන්, වඩාත් ම හානිකර බලපෑම ඇති වනු ඇත.

“ප්‍රධාන තාක්ෂනයන් තුල දුෂ්කරතා ජයගැනීමට හා ඉහල මට්ටමේ තාක්ෂනික ස්වයං-රඳා පැවැත්ම හා ශක්තිය සාක්ෂාත් කිරීම වේගවත් කිරීමට, විද්‍යාත්මක හා තාක්ෂනික නායකත්ව හා කලමනාකරන පද්ධතිය කාර්යක්ෂමකරනය කිරීම” අවශ්‍ය බව, එන්පීසීය විසින් අනුමත කරන ලද ප්‍රතිසංස්කරන සැලැස්ම ප්‍රකාශ කලේ ය.

එහෙත් සිය ආර්ථිකයේ සුවිසල්බව තිබියදී ම, ගෝලීය ව සංවිධිත කර්මාන්තයක් තුල, අන් රටවල නිපැයුම් හි අනුරූ තැනීමේ දී හා එය සමග තරඟ කිරීමේ දී, චීනය විශාල ගැටලුවලට මුහුන දෙයි. ඇමරිකානු උපකරන හා අර්ධ-සන්නායක චීනයට විකිනීම තහනම් කර ඇති එක්සත් ජනපදය, ජපානය, තායිවානය, නෙදර්ලන්තය හා දකුනු කොරියාවට ද එලෙස කරන ලෙස පීඩනය යොදා තිබේ. වඩාත් ම අභිවර්ධිත චිප් නිෂ්පාදනයේ දී, තායිවාන අර්ධ-සන්නායක නිෂ්පාදන සමාගමට තථ්‍ය ගෝලීය ඒකාධිකාරයක් පවතී.

ජාතික ආරක්ෂාව කඩතුරාවක් ලෙස යොදාගනිමින්, නෙදර්ලන්තය, චීනයට අර්ධ-සන්නායක නිෂ්පාදන උපකරන අපනයනය කිරීම මත තහනම් පැනවීමට සූදානම් වෙමින් සිටින බව, ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය පසුගිය සතියේ වාර්තා කලේ ය. ඒඑස්එම්එල් නමැති නෙදර්ලන්ත සමාගම, ලෝකයේ විශාලතම අභිවර්ධිත චිප් උපකරන සපයන්නා ය. චීනය තුල පවතින ඒඑස්එම්එල් උපකරන සේවා කිරීම හා අලුත්වැඩියා කිරීම මත තහනමක් පැනවීම සලකා බැලෙමින් පවතින බව ලිපිය ඇඟවුම් කලේ ය.

උමතු සමපේක්ෂනයේ වසර ගනනාවකින් අනතුරු ව හා ආන්ඩුවේ නයවල ඉහල මට්ටම් හේතුවෙන්, දේපොල වෙලඳාම් අංශය තුල දියවී යාමක් විසින් තර්ජනයට ලක් ව පවතින චීන මූල්‍ය ක්ෂේත්‍රය අධීක්ෂනය ශක්තිමත් කිරීම ද රාජ්‍ය කවුන්සිල ප්‍රතිසංස්කරනය විසින් සිදු කලේ ය. රාජ්‍ය නය ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 18ක් තරම් ඉහල මට්ටමක පවතින බව තක්සේරු කිරීම් පෙන්වා දෙන අතර, ඉන් ඩොලර් ට්‍රිලියන 10ක් ම දරා සිටින්නේ, සැලෙනසුලු ප්‍රාදේශීය පාලන මූල්‍ය වේදිකාවන් විසිනි.

දැනට පවතින චීන බැංකු හා රක්ෂන නියාමන කොමිසම (සීබීඅයිආර්සී) වෙතින් මූල්‍ය කටයුතු පවරා ගැනීම සඳහා, නව ජාතික මූල්‍ය නියාමන පරිපාලන ආයතනයක් (එන්එෆ්ආර්ඒ) ස්ථාපිත කිරීමට නියමිත ය. කොටස් වෙලඳපොලවල් හැර, රටෙහි බැංකු ක්ෂේත්‍රයෙන් ආසන්න වසයෙන් අඩක් පමන නියෝජනය කරන කුඩා ප්‍රාදේශීය බැංකු ඇතුලු මූල්‍ය කර්මාන්තය මත සැලකිය යුතු අධීක්ෂක බලතල එයට හිමිවනු ඇත. අර්ථභාරී ලෙස, එහි ජාතික නිලධාරීන් ප්‍රාදේශීය නියාමකයන්ගෙන් මූල්‍ය බලතල පවරාගනු ඇත. එන්එෆ්ආර්ඒ ඍජු ව නියාමනය කරනු ලබන්නේ, රාජ්‍ය කවුන්සිලය විසිනි.

ආර්ථිකය සමස්තයක් ලෙස තියුනු ව ඇද වැටී ඇත. 2022 ආර්ථික වර්ධනය, ඉලක්ක සියයට 5ට වඩා බොහෝ පහලට යමින් යන්තම් සියයට 3ක් වූ අතර, එය දශක ගනනාවක් තුල අඩුතම අගයන්ගෙන් එකක් විය. ධුරයෙන් සමුගත් අගමැති ලී කෙකියෑං 2023 වසර සඳහා ප්‍රක්ෂේපිත වර්ධන අනුපාතය “සියයට 5 වටා” පවතින බව නිවේදනය කලේ, එන්පීසීයෙහි ආරම්භක දිනයේ ය. විරැකියාව අඩුකිරීමටත් සමාජ ස්ථාවරත්වය පවත්වාගෙන යාමටත් අවශ්‍ය අවම අගය සියයට 8ක වර්ධනයක් බව, සීසීපී පාලන තන්ත්‍රය දීර්ඝ කාලයක් තිස්සේ සලකා තිබුනි.

චීනය තුල ආසාදන හා මරන අඩු කර තිබුනු ශූන්‍ය-කෝවිඩ් පිලිවෙත, ප්‍රධාන බලවතුන්ගෙන් හා සංගත ප්‍රභූවෙන් එල්ල වුනු තියුනු පීඩනය යටතේ ක්ෂනික ව අවසන් කල චීන ආන්ඩුව, සියලු සෞඛ්‍යමය සීමා කිරීම් පාහේ ඉවත් කලේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, ජනගහනය පුපුරනසුලු ආසාදනයන්ට බඳුන් වී ඇති අතර, මරන සංඛ්‍යවේ තක්සේරුව මිලියනය ඉක්මවා යයි. ශූන්‍ය-කෝවිඩ් පිලිවෙත අවසන් කිරීම තමන්ට ආර්ථික පිම්බීමක් දෙනු ඇතැයි සීසීපී පාලනය අපේක්ෂා කරමින් සිටිද්දී, ලොව පුරා ආන්ඩු මෙන් වෛරසයට පැතිරීමට ඉඩ දීමේ එම මිනීමරු පිලිවෙත අනුයෑම මගින් සිදු කෙරෙනු ඇත්තේ, මහජන සුභසාධන රැකගන්නා බවට එය කරන කියාපෑම්වලට වැඩි දුර වලකැපීම පමනකි.

පසුගිය දශකය පුරා, ලී කෙකියෑං ව නිශ්ශබ්ද කර ඇති ෂී, සාම්ප්‍රදායික ව අගමැතිවරයාට අයත් අංශයක් ව පැවති ආර්ථික පිලිවෙත පාලනය කිරීම තමන්ට පවරාගෙන තිබේ. ලෝක බැංකුව සමග එක් ව තනා ගත් චයිනා 2030 සැලසුමේ කොටසක් ලෙස, චීන ආර්ථිකය විදෙස් ආයෝජන සඳහා වැඩි දුර විවෘත කිරීම වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස ලී කෙකියෑං ක්‍රියා කර තිබුනි. වඩ වඩා ගැටුම්කාරී වන වොෂින්ටනයේ ආස්ථානයට සහ ගෝලීය ආර්ථික කලබැගෑනියට ප්‍රතිචාර ලෙස, තාක්ෂනිකව තරඟ කිරීමට චීනය සතු හැකියාව සහ චීන සංගතයන් අභිවර්ධනය කිරීමට ෂී උත්සාහ දරා ඇත.

නව අගමැති ලී කියෑං, ෂී සමග සමීප ව කටයුතු කරන අයෙකි. 2000 ගනන් මැද, වෙරලබඩ ධනවත් ෂෙජියෑං පලාතේ ආන්ඩුකාරයා ලෙස ෂී ක්‍රියා කරද්දී, ලී කියෑං ඔහුගේ ලේකම් ලෙස වැඩ කලේ ය. 2012 දී ෂී ජනාධිපති ධුරයට පත් වූ විට, ෂෙජියෑං පලාතේ ආන්ඩුකාරයා බවට පත්වුනු ලී, ඉන්පසු ආසන්න ජියැංසූ පලාතේ පක්ෂ නායකයා බවට පත් විය. ටෙස්ලා සංගතයේ ආරම්භක එලන් මස්ක් ව, විදෙස් රටක තිබෙන සංගතයේ පලමු කම්හල ෂැංහයි නගරයේ ඉදිකිරීම සඳහා ඒත්තු ගන්වා ගැනීම හේතුවෙන්, ලී කීර්තියට බඳුන් වන එම නගරයේ සීසීපී ලේකම් යන බලගතු තානාන්තරයට, 2017 ඔහු ව පත්කරන ලදී. ආර්ථික පිලිවෙතේ දිශානතිය පිලිබඳ ව ඔහු අද කතා කිරීමට නියමිත අතර, නිසැකයෙන් ම එහි දී ඔහුගේ උපදේශකයාගේ පිලිවෙතට සමීප වනු ඇත.

Loading