ලංකාවේ සමීක්ෂන වාර්තාව සමාජවාදය සඳහා වැඩෙන සහයෝගය පිලිබිඹු කරයි

මාර්තු 8 වනදා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy) නිකුත් කල සමීක්ෂන වාර්තාවක් මගින් ලංකාවේ මහජනතාව අතරින් 1/3ක් සමාජවාදය සඳහා ශුද්ධ සහයෝගයක් (Net Favorable) දක්වන බව හෙලිදරව් කෙරුනි. සමීක්ෂනයට බඳුන් වූවන්ගෙන් අඩකට ආසන්න (සියයට 49) ප්‍රමානයක් සමාජවාදය පිලිබඳ ධනාත්මක ආකල්පයක් දරයි. මේ අතර සියයට 23 ක ශුද්ධ ප්‍රතිශතයක් ධනවාදය පිලිබඳව පිලිකුල් සහගත හැඟීමක් දක්වයි.

පසුගිය වසරේ අගභාගයේ සිට මෙම වසරේ මුල් භාගය අතර කාලයේදී අරගලය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය සහ ධනවාදයට පවතින සහයෝගය විචලනය වන ආකාරය

පසුගිය වසරේ ඔක්තෝබර් 22 සහ මේ වසරේ පෙබරවාරි 23 අතර කාල පරිච්ඡේදයේදී පුද්ගලයින් 2,720ක් යොදාගනිමින් සිදු කර ඇති මෙම සමීක්ෂනය විවිධ වයස්, ආදායම්, අධ්‍යාපන කාන්ඩ වලට බෙදා වෙන් කරමින් මහජනතාවගේ විඥානය ගමන් කරමින් පවතින දිශානතිය පිලිබඳව යම් අවබෝධයක් ලබා දෙයි. එය “අරගලය, ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය සහ සමාජවාදය” පිලිබඳව මත විමසුමකි.

“අරගලය” යනුවෙන් හඳුන්වන පලල් අර්ථයකින් යුතු වචනයෙන් ඔවුන් නිශ්චිතවම අදහස් කරන්නේ කුමක්ද යන්න සඳහන් කොට නැත. කෙසේ වෙතත් සමීක්ෂනයට බඳුන් වූවන් “අරගලය” යන පදය නිශ්චිතවම අනන්‍ය කොට ගන්නට ඇත්තේ පවතින සමාජ කොන්දේසි වෙනස් කිරීම සඳහා ගෙන යන සටන් සමගය.

“ප්‍රජාතන්ත්‍රවාදය, අරගලය සහ සමාජවාදය පිලිබඳව ලාංකිකයින් අතර ධනාත්මක අදහස් වර්ධනය වෙමින් පවතින නමුත් ධනවාදය පිලිබඳ අදහස් සෘනාත්මක දෙසට ගමන් කරමින්” පවතින බව වාර්තාව පවසයි. ඊට අනුව 2022 අවසන් භාගයේ සිට 2023 මුල් භාගය වනවිට සමාජවාදය පිලිබඳ සහයෝගය ඒකක 14කින් වැඩි වී ඇත. නමුත් ධනවාදය පිලිබඳ පිලිකුල ඒ කාලය තුල ඒකක 4කින් වර්ධනය වී ඇත. අරගලය සඳහා පවතින සහයෝගය ඒකක 16කින් වැඩි වී ඇත.

මෙම සමීක්ෂනය සිදු කෙරෙන්නේ විශාල වශයෙන් ලංකාවේ ආර්ථික අර්බුදය ගැඹුරු වෙමින් පවතින කොන්දේසි තුලය. පසුගිය වසරේ බලගතු මහජන නැගිටීමෙන් අනතුරුව වික්‍රමසිංහ ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත වැඩෙන අර්බුදයේ බර මහජනතාව මත පැටවීමට ගෙන යන කප්පාදු සහ පුද්ගලීකරන ප්‍රහාර වලට එරෙහිව කම්කරු පන්තියේ සහ සෙසු පීඩිත කොටස් වල වැඩෙන අරගල රැල්ලක් පැන නැග ඇත. අරගලයට ඇදෙන මහජනතාව අතර සමාජවාදී විකල්ප ඉදිරිදර්ශනයකට සටන් කිරීම පිලිබඳ ප්‍රශ්නය මතු කරමින් විඥානය වමට ගමන් කරන්නේ මෙම තතු තුලය.

සමාජවාදය සහ අරගලය තරුනයින් අතර පලල් සහයෝගයකට බඳුන් වී ඇත. වයස අවුරුදු 18-29 ත් අතර තරුනයින් අතර සියයට 35 ක් සමාජවාදයට පක්ෂපාතීත්වය දක්වා ඇති අතර අරගලයට සියයට 64ක් සහයෝගය දක්වා ඇත. වයස අවුරුදු 30-39 කාන්ඩයේ සමාජවාදය සඳහා සහයෝගය ඉහලම ප්‍රතිශතයක් ගන්නා අතර එය සියයට 38 කි.

අරගලය පිලිබඳ පක්ෂපාතීත්වයක් සහ ධනවාදය පිලිබඳ වැඩිම පිලිකුලක් දක්වන්නේ තරුන කන්ඩායම් ය. වයස අවුරුදු 18-39 කාන්ඩයේ අරගලය පිලිබඳ ශුද්ධ සහයෝගය සියයට 54 ක ඉහල අගයක් ගනී. ඒ කන්ඩායම තුල ධනපති ක්‍රමය පිලිබඳ පිලිකුල සියයට 54 ක් ශුද්ධ අගයක් වන අතර එය අනෙක් කාන්ඩ වලට සාපේක්ෂව සැලකිය යුතු ඉහල අගයකි. වයස 39ට ඉහල කාන්ඩයේ ධනවාදය පිලිබඳ පිලිකුල සියයට 17ක ශුද්ධ අගයකි. සමීක්ෂනය පෙන්වා දෙන්නේ “සමාජයේ සෑම කොටසක්ම පුරා අරගලය පලල් සහයෝගයක්” දිනා ඇති බවයි.

තරුනයින් අතර මෙම වර්ධනයන් පුදුමයට කාරනාවක් නොවේ. ඔවුන් තරුන වියට එලඹෙන විට මුහුන දෙන්නේ ධනපති ක්‍රමයේ ගෝලීය කඩා වැටීම මගින් අවුළුවා ඇති වැඩෙන විරැකියාව, ඉහල යන උද්ධමනය, දැවැන්ත රැකියා විනාශය, පෙර නොවූ විරූ මට්ටම් වලට නැග ඇති අසමානතාවය, ගෝලීයව නිමක් නැති යුද්ධ ආදී ඛේදජනක කොන්දේසි වලටය.

අධ්‍යාපන මට්ටම් අනුව සමාජවාදය සහ අරගලය වැඩිම සහයෝගයක් දිනා ඇත්තේ උසස් පෙල දක්වා උගත් කාන්ඩයේය. එය පිලිවෙලින් සියයට 41 සහ සියයට 53 කි. සෑම අධ්‍යාපන මට්ටමකම පාහේ සමාජවාදය සඳහා කැමැත්ත සියයට 29න් ඉහල අගයක් ගනී. ධනපති ක්‍රමය පිලිබඳ ඉහලම පිලිකුලක් දක්වන කන්ඩායම උපාධි මට්ටම් සහ ඉන් ඉහල අධ්‍යාපන මට්ටමක් පවතින කාන්ඩයයි. මෙය පෙන්නුම් කරන්නෙ සමාජයේ වඩාත් පලල් ස්ථරයක සමාජවාදය සම්බන්ධයෙන් වැඩෙන උනන්දුවයි.

1991 සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමත් සමග, සමාජවාදය ඓතිහාසික වශයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් බවටත්, ධනවාදය විජයග්‍රහනයකොට ඇති බවටත්, මානව ඉතිහාසය අවසානයකට ලඟා වී ඇති බවටත්, දේශපාලනිකව දිරිසුන් ශාස්ත්‍රාලිකයන් සහ ධනපති මාධ්‍ය ටීකාකරුවන් වැපුරූ දුර්මතයන්ගේ ආයුකාලය, ධනවාදය ඓතිහාසිකව මුහුන දී සිටින අර්බුදය විසින්ම කෙටිකර දමා ඇත.

පසුගිය දශක කිහිපය තුල මහජන දේශපාලන විඥානයේ සිදුවෙමින් පැවති පරිවර්තනය, කෝවිඩ් වසංගතය සහ වැඩෙන ලෝක යුද තර්ජනය මගින් ගැඹුරු කෙරුනු ගෝලීය ධනේශ්වර අර්බුදය විසින් දැවැන්ත පරිමානව වේගවත් කෙරෙන බවට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි නිල මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කල පෙරදැක්ම මෙම සමීක්ෂනයෙන් ද සනාථ වෙයි. සමීක්ෂන වාර්තාව සඳහන් කරන්නේ ධනපති ක්‍රමය කෙරෙහි නිශේධනාත්මක අදහස් “ධනවාදයේ අසමත්කම” පිලිබඳව මහජනතාව අතර පවතින හැඟීමකින් ගලා එන බවයි.

මෙය ජාත්‍යන්තර ප්‍රපංචයකි. 2020 වසරේදී ඇමරිකාව තුල යූගොව් සමීක්ෂන ආයතනය නිකුත් කල වාර්තාවකට අනුව 2019 සිට 2020 දක්වා කාලය තුල වයස අවුරුදු 16 – 23 කාන්ඩය තුල සමාජවාදය සඳහා සහයෝගය ආසන්න වශයෙන් සියයට දහයකින් වර්ධනය වී ඇත. එම කාලය තුල සමස්ත සමාජය තුලම සමාජවාදය සඳහා සහයෝගය සියට 36 සිට 40 දක්වා වර්ධනය වී තිබේ.

පන්ති අරගලයේ දැවැන්ත වර්ධනය මධ්‍යයේ සමාජවාදය සම්බන්ධයෙන් වැඩෙන උනන්දුව ලෝකය පුරා පාලක පන්තීන් භීතියට පත් කොට ඇත. ඔවුන් ෆැසිස්ට් පන්නයේ සහ පොලිස් මිලිටරි ආඥාදායක පාලන රූප සඳහා ගමන් කරන්නේ මෙම තතු තුලය. පලාත් පාලන මැතිවරනය කල් දැමීම ඇතුලුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාවට දමමින් සිටින, ප්‍රජාතන්ත්‍ර සහ සමාජ අයිතීන්ට එරෙහි අඛන්ඩ ප්‍රහාරය ගලා එන්නේ මෙම කොන්දේසි වලිනි.

ධනපති ක්‍රමයට එරෙහිව සමාජවාදය සඳහා වැඩෙන මෙම ජාත්‍යන්තර මහජන සහයෝගය විද්‍යාත්මක සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමකින් තොරව එය සාක්ෂාත් කල නොහේ. එයට ඇති බරපතලම බාධකය වනුයේ, ධනපති පාලක පංතිය සහ එහි අත් උදව්කරුවන් විසින් වපුරන ප්‍රතිමාක්ස්වාදී දෘෂ්ටිවාදයන් ය.

මෙහි ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම පක්ෂයන් ය. සමාජවාදය සඳහා සටන ඈත අනාගතයට තල්ලු කරන ඔවුහු, ධනපති ප්‍රහාරයන්ට එරෙහි වත්මන් සටන එයින් වියෝ කරති. අර්බුදග්‍රස්ත ධනපති ක්‍රමය තුල ප්‍රතිසංස්කරන කිසිවක් දිනාගත නොහැකි බව ජාත්‍යන්තර කම්කරු පංතිය යලියලිත් අත් දකිද්දී, ධනපති ක්‍රමය තුලම කෙටි කාලීන ඉලක්කයන් ලෙස ප්‍රතිසංස්කරන දිනා ගැනීම සඳහා සටන් කල යුතුයැයි ඔවුහු කියාපාති.

කෙසේ නමුත්, ධනවාදයේ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරමින් ඉඳහිට සමාජවාදය ගැන කතා කරන පෙසප පමනක් නොව, ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පවා, සමාජවාදය සමග අනන්‍යකර ගැනීමේ ව්‍යාකූලත්වයක් මහජනතාව අතර පවතී.

දැන් ඡන්දයක් පැවැත්වුවහොත් ජවිපෙ/ජාතික ජන බලවේගයට ඡන්දය දෙන බව සමීක්ෂනයේදී සඳහන් කල අයගෙන් සියයට 61ක් සමාජවාදයට පක්ෂපාතීත්වය පල කිරීමෙන් මෙම ව්‍යාකූලත්වය ප්‍රකාශයට පත්වෙයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වාදී ඇති පරිදි සුළු ධනේශ්වර ව්‍යාපාරයක් ලෙසින් ඇරඹී දැන් මුලුමනින්ම ධනපති පක්ෂයක් බවට පත්වී ඇති ජවිපෙට සමාජවාදය සමග කවර හෝ සම්බන්ධයක් නැත. ඔවුන් ඉතිහාසය තුල මහජනයා රැවටීමට දෙඩවූ සමාජවාදී වාගාලාප පවා අත්හැර දැන් අධිරාජ්‍යවාදීන් සමග පෙලගැසී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට විවෘතවම උද්ඝෝෂනයේ යෙදී සිටිති.

ධනවාදය යටතේ සාක්ෂාත් කල නොහැකි බව සනාථ කර ඇති සමාජ සමානාත්මතාවය, යහපත් වැටුප් සහිත රැකියා, නිදහස් සහ ගුනාත්මක අධ්‍යාපනය සහ විශ්වීය සෞඛ්‍ය රැකවරනය සඳහා ඇති අයිතිය සමාජවාදය තුල සුරක්ෂිත කෙරෙන බවට සාමාන්‍ය හැඟීමක් පවතී.

සමාජවාදය පිලිබඳ වැඩෙන මෙම සහයෝගය ලෝසවෙඅ 2020 දී “සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි” යන හිසින් පල කල ඉදිරි දර්ශනය සනාථ කරයි. එය මෙසේ සඳහන් කලේය. “සමාජවාදය සඳහා සටන් වැදීමට අධිෂ්ඨාන කොටගත් ජනයාගේ හිඟයක් නොවනු ඇත. එහෙත් මේ අධිෂ්ඨානය, සමාජවාදය සඳහා වන ලෝක පරිමානය ව්‍යාපාරයක් තුල කම්කරු පන්තියේ අරගල ඒකාබද්ධ කරන මූලෝපායයකින් සන්නද්ධ කල යුතුය.”

පෙර සඳහන් කල පරිදි, තීරනාත්මකම කාරනාව වන්නේ ඉහත ඉදිරි දර්ශනය මතු කල ආකාරයෙන්ම සමාජවාදය සඳහා වැඩෙන සහයෝගය දේශපාලන අවබෝධය මත පදනම් වන අව්‍යාජ සමාජවාදී ඉදිරි දර්ශනයකින් සන්නද්ධ කිරීමයි. ස්‍ටැලින්වාදය, මාඕවාදය, කැස්ත්‍රෝවාදය, පශ්චාත් නූතනවාදය ආදී ප්‍රති මාක්ස්වාදී දෘෂ්ටිවාදයන්ගෙන් බිඳීම මෙහිදී තීරනාත්මකය. මෙම ප්‍රවනතා වලට එරෙහිව මාක්ස්වාදීන් ගෙන ගිය සටනේ අඛන්ඩතාවය නියෝජනය කරන්නේ ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි.

අව්‍යාජ සමාජවාදය ජාත්‍යන්තරවාදීය. එය පවතින ක්‍රමය තුල සුළු ප්‍රතිසංස්කරන සඳහා සටන් නොවදින අතර සියළු අර්බුද වල මූලය වන ධනපති ක්‍රමය පෙරලීමේ එල්ලය සහිතව ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන් කරයි. එය සමාජයේ විප්ලවවාදී බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුළු ගැන්වීම මත පදනම් වෙයි. සමාජවාදය සඳහා සටන වර්ධනය වන න්‍යෂ්ටික ලෝක යුද්ධයට එරෙහි සටනෙන් වෙන් කල නොහැක. කම්කරු පන්තිය සහ සෙසු පීඩිත ජනතාව අතර මතුවන ඕනෑම අරගලයකට විසඳුම සම්පාදනය කෙරෙන්නේ ජාත්‍යන්තර සමාජවාදය මගිනි.

ලංකාව තුල මෙම ඉදිරි දර්ශනය යටතේ සෙසු පක්ෂ වලට එරෙහිව ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන් වදින්නේ හජජාක ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය යි. සසප කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව අතර ලංකාවේ කම්කරු ගොවි ආන්ඩුවකට පදනම සම්පාදනය කරන ක්‍රියාකාරී කමිටු වල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී හා සම්මේලනයකට සටන් වදියි.

Loading