යුක්‍රේනය තුල යුද්ධය නතර කරනු! අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පංතිය බලමුලු ගන්වනු!

[මෙය Stop the war in Ukraine! Mobilize the international working class against imperialism! යන මැයෙන් සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) 2023 ‌මාර්තු 15 පල කල ප්‍රකාශනයේ පරිවර්තනයයි.]

පහත දැක්වෙන ප්‍රකාශය යුක්‍රේන යුද්ධයට විරෝධතාවය පල කිරීමට [එක්සත් ජනපදය පුරා] මාර්තු 18 වැනි දා කැඳවා තිබූ විරෝධතා රැලිවලට සහය පල කරමින් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය විසින් කල් තියා බෙදා හරින ලද්දකි.

හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය යුක්‍රේනයේ යුද්ධයට විරෝධය ප්‍රකාශ කරනු පිනිස මාර්තු 18 වැනි දාට කැඳවනු ලැබ ඇති විරෝධතාවන්ට තම විවේචනාත්මක සහය පල කරයි.

වොෂින්ටන් දිස්ත්‍රික්කය සහ රටපුරා සෙසු නගරවල පැවැත්වීමට නියමිත මෙම විරෝධතාවන්ට ශිෂ්‍යයන් තරුනයන් සහ කම්කරුවන් ඉහල ම සහභාගීත්වයකින් සහය දැක්විය යුතු යැයි අපි ඉල්ලා සිටිමු.

ඇමරිකාව ඉරාකය ආක්‍රමනය කිරීමේ විසි වැනි සංවත්සරය හා සමගාමී වන මාර්තු 18 වැනි දා මෙම විරෝධතාවන් කැඳවනු ලැබ ඇත්තේ ආන්සර් කෝලිෂන්, කෝඩ් පින්ක් සහ පීපල්ස් ෆෝරම් ආදී ප්‍රගතිශීලි සහ ප්‍රතිසංස්කරනවාදී සංවිධාන ගනනාවක් විසිනි. නේටෝව අහෝසි කිරීම, චීනයට එරෙහි යුද්ධයට විරුද්ධ වීම, සහ රට තුල සමාජ අවශ්‍යතාවන්ට මුදල් වෙන් කල යුතු යැයි කියා සිටීම විරෝධතාවයේ ඉල්ලීම් අතර වෙයි. මෙම ඉල්ලීම් ඉදිරිපත් කෙරී ඇත්තේ අධිරාජ්‍යවාදී සංවිධානයක් වන ඩිමොක්‍රටික් පක්ෂයට පීඩනය යොදා එය විසින් ම ආරම්භ කෙරුනු යුද්ධයට අවසානයක් කේවල් කර ගත හැකි ය යන අරමුනෙනි. කෙසේ වෙතත් මෙම විරෝධතාවයේ දේශපාලන සීමාසහිතකම් තිබියේ වුවත්, සසජාතශි විසින් එය දැක ගන්නේ උග්‍ර කෙරෙමින් පවතින රුසියාවට එරෙහි ඇමරිකන්-නේටෝ යුද්ධයට එරෙහි ව පුලුල් ව වර්ධනය වන ව්‍යාපාරයක සාධනීය ප්‍රකාශනයක් වශයෙනි.

මෙම විරෝධතාවය සහ පසුගිය මාසයේ දී අන්ත දක්ෂිනාංශය සහ ප්‍රසිද්ධ නව නාසි බලවේග සමග සන්ධානයක පදනමින් පැවැත් වුනු “රේජ් එගේන්ස්ට් වෝර් මැෂීන්” (යුද යන්ත්‍රයට එරෙහි වෛරය) රැලිය අතර මූලධර්මාත්මක වෙනසක් පවතී. දෙ වැනියට කී රැලිය හෙලා දුටු අපි එයට විරුද්ධත්වය ද ප්‍රකාශ කලෙමු. යුදෙවු විරෝධීන් සහ ෆැසිස්ට්වාදීන් සමග යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි යැයි පැවසීම අභූතයක් වන තරමට ම දේශපාලනික ව ප්‍රතිගාමී සහ භයානක ද වෙයි. පෙබරවාරි 19 වැනි දා රැලියේ ප්‍රධාන අරමුනු වූයේ මහජන විඥානය ව්‍යාකූල කොට දූෂිත කිරීමයි; වාමාංශික විරෝධය අන්ත දක්ෂිනාංශයෙන් වෙන් කරනු ලබන මූලධර්මාත්මක දේශපාලන, සමාජ සහ පන්තිමය ආගාධය බොඳ කර දැමීමයි.

මාර්තු 18 වැනි දා විරෝධතාව අනුමත කිරීමෙන් සහ එයට සහභාගී වීමෙන්, සසජාතශි බලාපොරොත්තු වන්නේ යුද විරෝධී ව්‍යාපාරයට කම්කරු පන්තිය දේශපාලනික ව බලමුලු ගන්වා ගත් ධනවාදයට එරෙහි විවෘත අරගලයක් කරා යොමු කරන විප්ලවවාදී සමාජවාදී මූලෝපායක් ඉදිරිපත් කිරීමටයි.

යුද්ධයේ ඓතිහාසික පසුබිම සහ එහි ගාමකයෝ

එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයන් රුසියාවට එරෙහි ව යුක්‍රේනයේ ගෙන යන යුද්ධය, ආර්ථික සහ භූ දේශපාලනික අර්ථයෙන් අධිරාජ්‍යවාදී යුද්ධයකි. පලමු හා දෙ වැනි ලෝක යුද්ධ මෙන් ම, මේ යුද්ධයේ ද අතිමූලික අරමුන ලෝකය යලි සංවිධානය කිරීමත් ගෝලීය සම්පත් අධිරාජ්‍යවාදී බලයන් අතරේ යලි බෙදා ගැනීමත් ය.

දැනටමත්, යුක්‍රේනයේ යුද්ධය දෙ වැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදු කෙරුනු දරුනුත ම ලේ හැලීම බවට පත් ව ඇත. පෙබරවාරි ආරම්භය වන විට, එක්සත් ජනපද මිලිටරි නිලධාරීන් ගේ තක්සේරුවට අනුව යුක්රේනයේ ලක්ෂයකට අධික ජීවිත හානි සිදු වී ඇත. මෙය සැලකිය යුතු අඩු තක්ස‌ේරුගත ගනනක් වන බවට සැකයක් නැත.

මාධ්‍ය යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සමස්ත චිත්‍රය බොරු මත පදනම් වූවකි. යුද්ධයට බිලි දී ඇති යුක්‍රේන ජනතාව සම්බන්ධයෙන් හෝ යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් හෝ, එක්සත් ජනපදය හෝ නේටෝව තකන්නේ නැත.

2022 පෙබරවාරි 24 වැනි දා, රුසියාවේ යුක්‍රේන ආක්‍රමනය ප්‍රතිගාමී නමුත් එය අහේතුක ව සිදු කරන ලද්දක් නොවේ; එය අවුලුවාලනු ලැබුවේ පසුගිය දශක තුන තුල රුසියාවේ ද‌ේශසීමාව දක්වා ම නේටෝව ප්‍රසාරනය කල සහ 2014 දී අන්ත දක්ෂිනාංශික සංවිධාන සහ ෆැසිස්ට් පන්නයේ සංවිධාන නායකත්වය ගත් තන්ත්‍රමාරු කුමන්ත්‍රනයක් යුක්රේනයේ නිර්මානය කල අධිරාජ්‍යවාදීන් විසිනි.

රුසියාවට එරෙහි වැඩපිලිවෙලේ කොටසක් ලෙස අධිරාජ්‍යවාදී බලයන් විසින් අඛන්ඩ ව වර්ධනය කොට සන්නද්ධ කරනු ලැබූ යුක්රේනයේ මෙම ෆැසිස්ට්වාදී බලයන් දැන් තදබල ලෙස මිලිටරියටත් රාජ්‍ය යන්ත්‍රයටත් අන්තර්ග්‍රහනය කෙරී පවතී. රුසියානු හමුදාවට එරෙහි ව පමනක් නොව, එම ෆැසිස්ට් බලයන් යුක්‍රේනය තුල යුද්ධයේ සහ පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන්ට ද එරෙහි ව කඩා පන්නවනු ලබයි.

යුද්ධය පූර්න පරිමාන න්‍යෂ්ටික ව්‍යසනක් කරා පෙරලී යාමේ තර්ජනය අප ඉදිරියේ පවතී. ඩොලර් දස බිලියන ගනනින් අවි ආයුධ වශයෙන් යුක්රේනයට සම්පාදනය කර දී ඇති එක්සත් ජනපදය සහ නැටෝව රුසියාවේ මිලිටරි පරාජය වෙනුවෙන් පරදුවට තබා ඇත්තේ තම සමස්ත වලංගුභාවයයි. ඔවුහු නේටෝ බලකායන් ඍජු ව ම යුද්ධයට මැදිහත් කිරීම දක්වා වන තවත් දැවැන්ත පරිමාන ප්‍රකෝපකරනයක අවශ්‍යතාව ගැන කුමන්ත්‍රනය කරමින් සිටිති.

රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කරන අතරේ ම, එක්සත් ජනපදය සහ යුරෝපීය බලයෝ චීනයට එරෙහි ඊටත් වඩා විශාල ගැටුමකට අර අදිමින් සිටිති. රුසියාව යටපත් කර කැබලි කිරීම අධිරාජ්‍යවාදියෝ දකින්නේ චීනයට එරෙහි යුද්ධයක් සඳහා අත්‍යවශ්‍ය පූර්ව-කොන්දේසිය වශයෙනි. මූලෝපායික ව තීරනාත්මක යුරේෂියානු භූ ස්කන්ධය මත සහ එහි දැවැන්ත ස්වභාවික සහ මානව සම්පත මත ආධිපත්‍ය තහවුරු කර ගැනීම අතිමූලික අරමුනයි.

පසුගිය සතියේ දී, බයිඩන් පරිපාලනය 2024 වසර සඳහා තම අයවැය සැලසුම් ප්‍රසිද්ධ කලේ ය. එහි දී යුද්ධයට ඩොලර් ට්‍රිලියනයක් වෙන් කර තිබුනි. එය එතෙක් මෙතෙක් දැවැන්ත ම යුද විදයමයි. 20 වැනි සියවසේ දී දෙවරක් යුක්‍රේනය සහ රුසියාව ආක්‍රමනය කල සහ දෙ වැනි ලෝක යුද්ධයේ දී මිලියන 27ක් සෝවියට් වැසියන් ඝාතනය කල ජර්මනිය තම මිලිටරි අය වැය තෙගුන කර තම අධිරාජ්‍යවාදී අභිලාෂයන් පුනර්ජීවනය කර ගෙන සිටියි. එක්සත් රාජධානිය සහ ප්‍රංශය ද යලි සන්නද්ධ වීමේ දැවැන්ත ව්‍යාපාරයන්හි යෙදී ගෙන සිටියි.

යුක්‍රේනයේ එක්සත් ජනපද යුද්ධය, 1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදී නිලධරය විසින් බිඳ විසුරුවා හරිනු ලැබීමෙන් පසු එක්සත් ජනපදය විසින් දියත් කෙරුනු යුද්ධ මාලාව නව සහ වඩා බියකරු මට්ටමකට උත්සන්න කිරීමේත් පෙරට ගෙන යාමේත් පියවරකි. මෙම යුද්ධ මාලාව නම්: 1990-91 පලමු ඉරාක ආක්‍රමනය; 1999 දී සර්බියාවට එරෙහි යුද්ධයෙන් කුලුගැන්වුනු යුගෝස්ලෝවියාව විසුරුවා හැරීම; 2001 දී ඇෆ්ඝනිස්ථානය ආක්‍රමනය කිරීම; 2003 දී දෙ වැනි ඉරාක ආක්‍රමනය; 2011 දී ලිබියාවට බෝම්බ හෙලීම සහ සිරියාව තුල ඇමරිකන් පිටුබලය ලත් සිවිල් යුද්ධයක් ආරම්භ කිරීම ආදියයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දිගු කාලීන ආර්ථික කඩා වැටීම ආපසු ප්‍රකෘති කර ගැනීමටත්, රට තුල වර්ධනය වන සමාජ ආතතීන් යටපත් කිරීමටත් දරන උත්සහයේ දී ඇමරිකානු පාලක පන්තිය තම අර්බුදයන්ට එක ම විසඳුම වශයෙන් දකින්නේ යුද්ධයත් මංමුලාවෙන් ගෝලීය ආධිපත්‍ය හඹා යෑමත් ය.

තම භූ දේශපාලන අරමුනු හඹා යාමේ දී පාලක පන්තිය මිලියන ගනනින් ජීවිත බිලි දෙන ක්‍රියාවකට අවතීර්න නොවනු ඇතැයි සිතන ඕනෑම අයෙකු කල යුත්තේ කෝවිඩ් 19 ගෝලීය වසංගතයේ අත්දැකීම සලකා බැලීම පමනි. සංගත සහ මූල්‍ය කතිපයාධිකාරය වෛරසය පැතිර යාම වැලැක්වීමට අවශ්‍ය කෙරුනු අති මූලික මහජන සෞඛ්‍ය පියවරයන් ගැනීම ප්‍රතික්ෂේප කලේ එවැනි පියවරයන් මගින් තම ලාභයට අත තැබෙන නිසා ය. ප්‍රතිඵලය වූයේ මිලියන 21ක් වන ජනතාවකගේ අකල් මරනයයි. එක්සත් ජනපදයේ පමනක් මිලියනයක් මිය ගියහ.

මෙම යුද්ධයේ දී අධිරාජ්‍යවාදී බලයන්ට එරෙහි විරුද්ධතවය මගින් පුටින් ආන්ඩුවේ යුදමය ක්‍රියාමාර්ගයත් ජාතික ස්වෝත්තමවාදයටත් මොන ම ආකාරයක හෝ සහය දීමක් අදහස් වන්නේ නැත. අවසන් විග්‍රහයේ දී, යුද්ධය ස්ටැලින්වාදය විසින් 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවය පාවා දීමේ විනාසකාරී විපාකයයි. මෙම පාවා දීමේ සන්තතිය 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කරමින් සෝවියට් රාජ්‍යය සතු වූ දේපල කොල්ල කා ධනවත් වූ දූෂිත හිටපු නිලධාරීන්ගෙන් සමන්විත කතිපයාධිකාරී තන්ත්‍රයක් නිර්මානය කිරීමෙන් කුලුගැන්වුනි. පුටින් මෙම ප්‍රතිගාමී ධනේශ්වර මාෆියාවේ නියෝජිතයා ය. පුටින් පාලන තන්ත්‍රයේ යුක්රේන ආක්‍රමනය රුසියාවේ “ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් සහන දිනා ගැනීමේ අරමුනින් ඔවුන්ට පීඩනය යෙදීමට සිදු කරන ලද මංමුලා සහගත ක්‍රියාවකි. මෙම “ජාතික ආරක්ෂාව” යනු අන් දෙයක් නොව, රුසියාවේ දැවැන්ත සම්පත් සම්භාරය අධිරාජ්‍යවාදී බලයන්ගේ පමන ඉක්මවා ගිය ඇඟිලි ගැසීමකින් තොර ව තමන්ට කොල්ල කා ගැනීමට කතිපයාධිකාරයට ඇති අයිතියයි.

නව යුද-විරෝධී ව්‍යාපාරයක් සඳහා දේශපාලන පදනම

විරෝධතා දක්වන්නන්ට අවශ්‍ය යුද්ධය නැවැත්වීමට ය. එහෙත් යුද්ධය නැවැත්වීමට නම්, එහි මූල හේතු ඉලක්ක කරගත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. එය, විරෝධතාවන්හි සංවිධායකයින් ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය ලෙස හුවාදක්වන, 'සාකච්ඡා සඳහා මිස උත්සන්න කිරීම සඳහා නොවේ' යන ආකාරයෙන් පාලක පන්තියට සහ එහි දේශපාලන නියෝජිතයින්ට ආයාචනා කිරීම පිලිබඳ කාරනයක් නොවේ.

සසජාතශි, යුද්ධයට එරෙහි මහජන ව්‍යාපාරයක් සඳහා පහත වැඩපිලිවෙල ඉදිරියට ගෙන එයි:

පාලක පන්තියේ පක්ෂ වන ඩිමොක්‍රටිකයින්ට සහ රිපබ්ලිකානුවන්ට විරුද්ධ වනු!

එක්සත් ජනපදය තුල, යුද්ධය සඳහා ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් යන දෙපාර්ශ්වයෙන්ම සහයෝගය ඇත. ඩිමොක්‍රටික් පක්ෂය සම්බන්ධයෙන් ගත්කල එම සහයෝගය වනාහි, එය දශකයකට වැඩි කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන ලද උමතු රුසියානු විරෝධී ප්‍රතිපත්තිය අඛන්ඩ පවත්වාගෙන යාමකි. ට්‍රම්ප්ට එරෙහි ඩිමොක්‍රටිකයන්ගේ විරුද්ධත්වයේ ප්‍රධාන පදනම වූයේ ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය හා විශේෂයෙන්ම රුසියාව සමග වඩාත් ආක්‍රමනශීලී ගැටුමක් සඳහා වූ ඉල්ලීමයි. ට්‍රම්ප්ට එරෙහි පලමු දෝෂාභියෝගය, ඔනු විසින් යුක්‍රේනයට මිලිටරි ආධාර සැපයීම ප්‍රමාද කිරීම වෙතට, ඩිමොක්‍රටිකයන් හිතාමතාම යොමු කලේ මේ නිසාය.

පාලක පන්තිය තුල මතභේද පවතින තාක් දුරට, ඒවා අධිරාජ්‍යවාදී ආක්‍රමනකාරීත්වයේ ප්‍රාථමික ඉලක්ක සහ වේලාව පිලිබඳ උපායික ප්‍රශ්න මත පමනක් වෙයි. යුද්ධයට විරුද්ධ වීමේ නාමයෙන්, මෙම ගැටුමේ දී රිපබ්ලිකන් දක්ෂිනාංශය සහ ෆැසිස්ට්වාදීන් සමඟ සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටින අයට, අවසානයේ ෆැසිස්ට්වාදය සහ යුද්ධය යන දෙකම ලැබෙනු ඇත.

රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට සහාය දීමේ තීරනාත්මක භූමිකාවක් ඉටුකර ඇත්තේ ඇමරිකාවේ ඩිමොක‍්‍රටික් සමාජවාදීන් (ඩීඑස්ඒ)වැනි ව්‍යාජ-වාම කන්ඩායම් විසිනි. කොංග‍්‍රසය තුල ඔවුන්ගේ නියෝජිතයන් වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ “ස්ක්වොඩ්”, යුද්ධයට මුදල් සැපයීමට නැවත නැවතත් ඡන්දය දී ඇත.

ඩීඑස්ඒ සහ එහි ව්‍යාජ-වාම සගයින් සහ ජාත්‍යන්තර සම-චින්තකයන්, යුද්ධය ප්‍රවර්ධනය කිරීම සඳහා නැටෝව විසින් භාවිතා කරන ලද සියලු බොරු පුනරුච්චාරනය කරති. ඒ සමගම, ඩීඑස්ඒ නියෝජිතයෝ—විදේශයන්හි අධිරාජ්‍යවාදයට සහාය දීම සඳහා රට තුල පන්ති අරගලය මැඩපැවැත්වීම අවශ්‍ය බව තහවුරු කරමින්—දුම්රිය කම්කරුවන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ග නීති විරෝධී කිරීමට ඡන්දය දුන්හ. ඩීඑස්ඒ යනු සමාජවාදී සංවිධානයක් නොව ඩිමොක්‍රටික් පක්ෂයේ කන්ඩායමකි.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

මාර්තු 18 විරෝධතාවල කේන්ද්‍රීය ඉල්ලීමක් වන, ගැටුම අවසන් කිරීම සඳහා “සාකච්ඡා” කරන ලෙස පාලක පන්තියට සහ එහි ආන්ඩුවලට කරන ආයාචන මගින් යුද්ධය නතර නොවනු ඇත. ඕනෑම සාකච්ඡාවක්, තාවකාලික විරාමයක් හෝ ඊටත් වඩා පුපුරන සුලු ගැටුමක් සඳහා වන විරාමයකට හෝ සංක්‍රාන්ති කාලයකට වැඩි දෙයක් නොවේ.

අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීමට ඇති එකම ශක්‍ය සමාජ පදනම වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. සමාජයේ සියලු ලාභයේ සහ සියලු ධනයේ උල්පත එයයි. නව ලෝක යුද්ධයක දී දිවි පුදන්නන් වනු ඇත්තේ කම්කරුවන් සහ විශේෂයෙන්ම තරුන කම්කරුවන් ය. එපමනක් නොව, ජාත්‍යන්තරව මහා වැඩ වර්ජන හා විරෝධතා පිපිරවීමට තුඩු දී ඇති කම්කරුවන්ගේ ජීවන තත්වයන්හි දැවැන්ත පරිහානියක් යුද්ධය විසින් දැනටමත් නිර්මානය කර ඇත.

විශ්‍රාම ගැන්වීමේ වයස ඉහල දැමීම මගින් මිලිටරි වියදම් ඉහල දැමීම සඳහා එමානුවෙල් මැක්‍රොන්ගේ ආන්ඩුව දරන උත්සාහයට එරෙහිව, පසුගිය මාසය පුරා, ප්‍රංශයේ මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයින්, විරෝධතා දක්වා ඇත. එක්සත් රාජධානියේ, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් උද්ධමනය සහ වැඩවර්ජන කිරීමේ අයිතියට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරතව සිටිති. ශ්‍රී ලංකාවේ, ගෝඨාභය රාජපක්ෂගේ වෛරයට ලක් වූ ආන්ඩුව පලවා හල මහජන විරෝධතා පුපුරා ගොස් වසරකට පසු, කප්පාදු පියවරයන්ට එරෙහිව ලක්ෂ ගනනක් වීදි බැස ඇත.

ලෝක අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදය යනු සමාජ වෙඩි බෙහෙත් පීප්පයකි. රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කිරීමට සහ චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමට මීලඟ අයවැයෙන් ඩොලර් ට්‍රිලියන 1 ක් වැය කිරීමට බයිඩන් පරිපාලනය යෝජනා කරයි. ඒ අතරම, සමාජ යටිතල පහසුකම් සම්පත් හිඟයෙන් පෙලෙන අතර, ඔහියෝ හි පිහිටි නැගෙනහිර පලස්තීනයේ දුම්රිය පීලි පැනීම වැනි ව්‍යසනයන් ඇති කරයි.

මෝටර් රථ කම්කරුවන්, දුම්රිය කම්කරුවන්, සැපයුම් කම්කරුවන්, ගුරුවරුන්, සෞඛ්‍ය සේවා කම්කරුවන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්, සංස්ථාපිත වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ග්‍රහනයෙන් මිදීමටත්, වාර්තාගත සමාජ අසමානතාවයට සහ පාලක පන්තියේ දැනුවත් ප්‍රතිපත්තිය වන සැබෑ වැටුප් දැවැන්ත ලෙස පරිහානියට පත්කිරීමට එරෙහිව සටන් කිරීමටත් උත්සාහ කරති.

ධනවාදය භංග වේවා! සමානාත්මතාවය සහ සමාජවාදය සඳහා!

එතෙර අධිරාජ්‍යවාදී යුද්ධය සහ රට තුල කම්කරු පන්තියට එරෙහි යුද්ධය යන දෙකම පැන නගින්නේ ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය තුලින්, ධනවතුන්ගේ අවශ්‍යතාවලට මුලු සමාජයම යටත් කිරීම මත ය. මිලිටරිවාදයේ සහ යුද්ධයේ මූලික හේතුව වන මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය සහ ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටනක් හරහා මිස යුද්ධයට එරෙහිව බරපතල අරගලයක් තිබිය නොහැක.

යුද්ධයම පැන නගින්නේ ඇමරිකානු ධනවාදයේ ශක්තියෙන් නොව එහි ගැඹුරු අර්බුදයෙනි. එක්සත් ජනපදයේ සහ ලොව පුරා ධනේශ්වර සමාජය ගැඹුරින් අස්ථාවර කර ඇති කොවිඩ්-19 වසංගතය මගින් මෙම අර්බුදය දැවැන්ත ලෙස තීව්‍ර කර ඇත. වසංගතය අවසන් වී ඇති බව සමස්ත දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය ප්‍රකාශ කරන මුත්, සෑම සතියකම එක්සත් ජනපදයේ පමනක් කොවිඩ් වලින් 3,000 කට ආසන්න පිරිසක් මිය යති.

ලෝකය පුරා 'නිදහස' සහ 'ප්‍රජාතන්ත්‍රවාදය' පතුරුවා හැරීමේ සියලු මවාපෑම් තිබියදී, ජනාධිපතිවරනය පෙරලා දමා ආඥාදායකත්වයක් පිහිටුවීමේ අරමුන සහිතව ට්‍රම්ප් විසින් මෙහෙයවන ලද ෆැසිස්ට් කුමන්ත්‍රන උත්සාහයක් එක්සත් ජනපදය අත් දුටුවේ මීට වසර දෙකකට පෙරය. ලොව පුරා ෆැසිස්ට් හා අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරවල පුනර්ජීවනය යනු, දේශපාලන මර්දනයේ වඩාත්ම ප්‍රචන්ඩකාරී ආකාරවලින් තොරව ක්‍රියාවට නැංවිය නොහැකි, යුද්ධයේ හා කප්පාදුවේ පාලක පන්ති ප්‍රතිපත්තියේ අවයවයකි.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා!

කම්කරුවන් හා තරුනයන් විසින්, 'ජාතික ආරක්ෂාව' යන යල්පැන ගිය සංකල්පය මත පදනම්ව යුද්ධය සඳහා කරන සියලු යුක්ති සහගත කිරීම් ප්‍රතික්ෂේප කල යුතුය. මෙය රුසියාව සහ යුක්‍රේනය යන දෙරටට ම අදාල වේ. තුන්වන ලෝක යුද්ධයක් කරා අධිරාජ්‍යවාදයේ තල්ලුව, කිසිදු ධනේශ්වර ජාතික රාජ්‍යයකට සහාය දීම හරහා නතර නොවනු ඇත. මක්නිසාද යත්, අධිරාජ්‍යවාදී යුද්ධය පැන නගින්නේමත් ගෝලීය ආර්ථිකයක් සහ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අතර ඇති මූලික ගැටුමෙන් බැවිනි.

සසජාතශි, සමාජවාදය සඳහා පොදු විප්ලවවාදී ව්‍යාපාරයක් තුල රුසියාව සහ යුක්‍රේනය ද ඇතුලුව ලොව පුරා කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් කරයි. මෙය ගෝලීය සම්පත්වල තාර්කික, සැලසුම් සහගත සංවර්ධනයට ඉඩ සලසන අතර, මෙම පදනම මත දිලිඳුකම තුරන් කිරීමට සහ මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තැබීමට හැකි වනු ඇත.

යුද්ධයේ වර්ධනය තරුනයින්ට සහ සමස්ත මානව වර්ගයාට විශාල අන්තරායන් මතු කරයි. කෙසේ වෙතත්, සසජාතශි සිය වැඩපිලිවෙල පදනම් කර ගන්නේ අපේක්ෂාභංගත්වය මත නොව, අධිරාජ්‍යවාදී යුද්ධය නිපදවන ධනවාදයේ එම ප්‍රතිවිරෝධතා ම සමාජ විප්ලවයේ පදනම වන ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ වර්ධනය ද නිපදවන බවට වන අවබෝධයෙන් ලබාගත් විප්ලවවාදී ශුභවාදය මත ය.

කම්කරු පන්තියේ මෙම වැඩෙන වෛෂයික ව්‍යාපාරය යුද්ධයට එරෙහි සටන සමග සම්බන්ධ කිරීම සහ අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය අසමානතාවයට, සූරාකෑමට, පරිසර හානියට, ආඥාදායකත්වයට සහ මානව වර්ගයා මුහුන දෙන සියලු අර්බුදවලට මුල වන ධනේශ්වර ක‍්‍රමයට විරුද්ධත්වය ඒකාබද්ධ කිරීම මහා අභියෝගයයි.

යුක්‍රේන යුද්ධයට එරෙහි සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලෝපායක් පිලිබඳ සාකච්ඡා කිරීමට සසජාතශි මේ වන විට එක්සත් ජනපදයේ සහ ලොව පුරා රැස්වීම් පවත්වමින් සිටී. මාර්තු 18 විරෝධතාවලට සහභාගී වන අයගෙන්, සසජාතශි හා සමාජවාදී සමානතා පක්ෂය හා සම්බන්ධ වන ලෙස අපි ඉල්ලා සිටිමු.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය සමග එක්වෙමු! න්‍යෂ්ටික යුද්ධය දෙසට ඉවබව නැති ධාවනය නවත්වනු! දරිද්‍රතාවයෙන්, සූරාකෑමෙන්, යුද්ධයෙන් සහ සියලු ආකාරයේ පීඩනයන්ගෙන් තොර සමාජවාදී අනාගතයක් සඳහා අරගලය භාර ගනිමු!

Loading