ආන්ඩුව නීතීඥ සාලිය පීරිස්ට එරෙහිව ප්‍රකෝපකාරී උද්ඝෝෂනයක් අවුස්සයි

ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කරන බවට චෝදනා කරමින් වික්‍රමසිංහ ආන්ඩුව සහ ඇතැම් ධනපති මාධ්‍ය ප්‍රතිගාමී උද්ඝෝෂනයක් අවුස්සා ඇත. ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පෙබරවාරි 23 වනදා සාලිය පීරිස් “දේශපාලන” නීතීඥයෙකු බවට කල ප්‍රකාශයෙන් ඇරඹුනු උද්ඝෝෂනය, පසුව, ඔහුට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා මැර නඩ උසිගැන්වීම සහ මැර තර්ජන සිදු කිරීම දක්වා ඉහලට ගෙන ඇත.

මෙම උද්ඝෝෂනය කේන්ද්‍රගත කොට ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දිමුතු චින්තක නොහොත් “හරක් කටා” ආරක්ෂා කිරීමට සාලිය පීරිස් පෙනී සිටින බවට කරන චෝදනාව මතය. මේ මත සිදු කෙරෙන ව්‍යාජ සදාචාරය දෙපැත්තෙන් බේරෙන ප්‍රකාශ, ලිපි හා වීඩියෝ සාකච්ඡා සමහර මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පලකොට ඇත.

මෙහි මෑතම සිදුවීම වූයේ මාර්තු 29 වනදා පීරිස්ට එරෙහිව “කුඩු සාලිය” ආදී පුවරු සහිතව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ප්‍රකෝපකාරී උද්ඝෝෂනයක් පැවැත්වීමය. මීට පෙර ඔහුගේ කාර්යාලය ඉදිරිපිට දී ද මෙවන් විරෝධතාවයක් පැවැත්විනි. පොලීසියේ හා ආන්ඩුවේ කොටස්වල සහාය නොමැතිව මෙවන් ව්‍යාපාරයක් ගෙන යා නොහැක.

සාලිය පීරිස් මාර්තු 24 වනදා වොයිස් ටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග තමන් සම්බන්ධ ය යන චෝදනාව හෙලා දුටුවේය. ඔහු සඳහන් කලේ, තමන් පෙනී සිටින්නේ චින්තකගේ පියා විසින් ඉදිරිපත් කල “අත්අඩංගුවේ පසුවන සැකකරු මරන්න එපා” යනුවෙන් ගොනුකල “ජීවිතාරක්ෂාව සම්බන්ධ නඩුවක ට පමනක් බවයි.

සමාජවාදී සමානතා පක්ෂය, ධනපති සංස්ථාපිතයේ දේශපාලනයට පීරිස්ගේ සම්බන්ධය පිලිබඳව ගැඹුරු විරුද්ධත්වය පවත්වාගනිමින් ම ඔහුට දේශපාලන අදහසක් දැරීමට හා වෘත්තීයමය වසයෙන් ඇති අයිතිය ආරක්ෂා කරන අතර ඔහුට එරෙහිව ගෙන යන ප්‍රතිගාමී උද්ඝෝෂනය හෙලා දකී. ආන්ඩුව පිටුබලය දෙන මෙම උද්ඝෝෂනය පිටුපස ඇති ඇඟවුම නම් ඊට එරෙහි සීමිත විවේචන හෝ තලා දමන බවයි.

පලාත්පාලන මැතිවරනය නතර කිරීමේ තම ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහත්කාරී ක්‍රියාව පිලිබඳව පාර්ලිමේන්තුවේ මතුවූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ජනාධිපති වික්‍රමසිංහ, පීරිස් මැතිවරන කොමිසම වෙනුවෙන් පෙනී සිටීම ගැන අප්‍රසාදය පල කරමින් මෙසේ සඳහන් කලේය: 'කොමිසම ගිහින් ඒ වෙනුවට සාලිය පීරිස් මැති තුමාව මැතිවරන කොමිසමේ නීතිඥයෙක් ලෙස තියා ගත්තා. සමහර ආන්ඩුවේ මන්ත්‍රීවරුන් ඇවිල්ලා මට කිව්වා කොහොමද සාලිය පීරිස් [මැතිවරන කොමිසමේ නීතිඥයෙක් ලෙස] තියා ගන්නේ, එයා දේශපාලනයේ ඉන්න නීතිඥයෙක්. … නීතිඥයෙක් අරගන්නවා නම් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති නීතිඥයෙක් අරගන්න ඕනේ කියල මමත් පිලිගන්නවා. මෙතන අරගත්තේ ආන්ඩුවට බලයක් නැ මේ ආන්ඩුව ක්‍රියාත්මක කරන්න බෑ කියන නීතීඥයෙක්.'

ආන්ඩුවේ මැතිඇමතියන් හරහාම ප්‍රකාශයට පත්වී ඇති පරිදි, පීරිස්ට එරෙහි උද්ඝෝෂනය ඉහල නැංවීමට තවත් හේතුවක් වී ඇත්තේ පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් නීතීඥ සංගමය පලකල සීමිත විවේචනයන් ය. පොලිස්පති ලෙස දැනට බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නම යෝජනාවී තිබූ අතර, පොදුජන පෙරමුනු මන්ත්‍රීන් හා ඇමතියන් ඔහු පොලිස්පති ලෙස පත්කර ගනීමට බලපෑම කරමින් සිටි බව වාර්තා විය. ඔවුන්ගේ කැමැත්තට හේතු වූයේ, තෙන්නකෝන්, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මැඩීමට අත්තනෝමතික ලෙස බලය යෙදුවෙකු බව ලෙස කුප්‍රකටයෙකු වීමයි.

මාර්තු 21 වනදා පාර්ලිමේන්තුවේදී බලශක්ති ඇමති ඉන්දික අනුරුද්ධ චෝදනා කලේ පීරිස් “මත්ද්‍රව්‍ය ජාවාරමේ කප්පිත්තා” වෙනුවෙන් පෙනී සිටින බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ පීරිස් [නියෝජ්‍ය] පොලිස්පතිට දූෂිත යැයි චෝදනා එල්ල කලත් 'නරකම දූෂිතයා” ඔහු බවයි. පොදුජන පෙරමුනේ මන්ත්‍රී ඩී.වී.චානක ද ඊට එක්වෙමින් පීරිස් එක පැත්තකින් “ කුඩු ගෙන්වන නායකයා වෙනුවෙන් උසාවියට යනවා, අනෙක් පසින් කියනවා පොලිස්පති පත් කරන හැටි!” යයි චෝදනා කලේය.

පීරිස් පසුගිය වසරේ මහජන නැගිටීමේ කාල පරිච්ඡේදය තුල සහ ඉන් පසුවත් ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එරෙහිව පැවරූ නඩු වලදී ඔවුන් නිදහස් කරගැනීමට දායකත්වය ලබා දුනි. මෑතකදීම ඔහු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට එරෙහිව නීතීඥයෙකු ලෙස මැදිහත් වූ අතර ආන්ඩුවේ ඇතැම් ආඥාදායක පියවර පිලිබඳ සීමිත විවේචන ගෙන ආවේය.

තම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා විවේචනය කරන්නන්ට එරෙහිව ආන්ඩුව සිදුකරන සාහසික කඩා පැනීම, එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක්‍රියාවට දමමින් කම්කරු පන්තියට විරුද්ධව බලගන්වන ආඥාදායක පියවරයන් සමග සමපාත වේ. ආන්ඩුවට එරෙහිව විරෝධතා වලට ඇදෙන පිරිස් ත්‍රස්තවාදීන් යැයි හංවඩු ගසා දඬුවම් ලබා දිය හැකි කුරිරු නව ප්‍රති-තස්ත්‍ර පනතක් ප්‍රසිද්ධ කලේය.

පීරිස් ට එරෙහිව ධනපති මාධ්‍ය ගොතන පච වලට ප්‍රතිවිරුද්ධව ඕනෑම චූදිතයෙක් සම්බන්ධයෙන් “ජීවිතාරක්ෂක” නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය කරන සාධාරන පසුබිමක් හැම අතින්ම පවතී. ලංකාවේ ආන්ඩුවලට සහ එහි මිලිටරියට වසර තිහකට අසන්න කාලයක් ගෙන ගිය වර්ගවාදී යුද්ධය තුලදීත් ඉන් පසුවත් පුද්ගලයින් බලහත්කාරයෙන් අත් අඩංගුවට ගෙන, ඔවුන්ගෙන් ව්‍යාජ පාපොච්චාරන බලහත්කාරයෙන් ගෙන ඔවුන්ට ම එදිරිව යොදා ගැනීමේ ඉතිහාසයක් පවතී. බොහෝ අවස්ථාවල අත්අඩංගුවට ගත් අපරාධකරුවන් 'ආයුධ පෙන්වීමට' යි ගෙනගොස් , “පලා යාමට උත්සාහ කල බවට” චෝදනා කරමින් අධිකරන ක්‍රියාමාර්ගවලට පිටින් කල ඝාතනය කිරීම පිලිබඳව යුක්ති සහගත විවේචන එල්ල වී ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පීරිස් ට එරෙහි ප්‍රචාරය සම්බන්ධයෙන් මාර්තු 30 වනදා නිකුත් කල නිවේදනයේදී පෙන්වා දුන්නේ මෙම උද්ඝෝෂනය “නීතියෙන් සුරක්ෂිත කොට ඇති සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටිමට ඔහුට ඇති අයිතිය පමනක් නොව පලල් වශයෙන් වෘත්තිය අයිතියටද” විශාල ප්‍රහාරයක් බවයි. එය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපරාධ නඩු විධි විධාන අනුව, ඕනෑම සේවාදායකයෙකු නියෝජනය කිරීමට නීතීඥයෙකු සතු අයිතිය තහවුරු කර ඇති බවයි.

සාලිය පීරිස්ට එරෙහිව උසිගන්වා ඇති ප්‍රචාර හුදෙක් ඔහු සහා නීතීඥ සංගමය එල්ල කොට ගත් ඒවා නොවේ. මුල්‍ය අරමුදලේ විධාන ක්‍රියාවට නගන ප්‍රහාර සමග අවුලුවා ඇති පන්ති යුද්ධය මධ්‍යයේ ආන්ඩුවට එරෙහි සීමිත විවේචනයක් හෝ ඉවසීමට එය සුදානම් නැත.

පීරිස්ම ඉහත යූටියුබ් සාකච්ඡාවේදී සඳහන් කරන පරිදි ඔහු උදහසට ලක්ව ඇත්තේ “අධිකරනයේ ස්වාධීනත්වයට රජයේ පාර්ශව මැදිහත් වීම” සම්බන්ධයෙන් විවේචන කිරීම සහ “පොලිස්පති ධූරයට නිකැලැල් පුද්ගලයෙක්” පත් කරන ලෙස ඉල්ලා නීතීඥ සංගමය කල මැදිහත්වීම නිසාය.වොයිස් ටියුබ් සාකච්ඡාවේදී ඔහු සඳහන් කලේ පොලීසිය බිඳවැටීමක්, මහජන විශ්වාසය කඩවීමක් තියෙන කාලයක “මහජන විශ්වාසය ඇතිකරන්න පුලුවන්” අයෙක් පොලිස්පති ධූරයට පත් කිරීම තමා ඇතුලු සංගමයේ ඉල්ලීම වූ බවයි. ඇතැම් විට ලිබරලෙක් ලෙස පෙනීසිටීමට උත්සාහ කරන ඔහු ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ජාමුඅ කප්පාදු පියවරයන් වලට එකඟ ය.

පොලිස්පති ධූරයේ පුරප්පාඩුව පිරවීමේදී සැලකිල්ලට ගතයුතු කරුනු පිලිබඳව ධනපති විපක්ෂ හා මධ්‍යම පන්තික කන්ඩායම් ඉදිරිපත් කල ප්‍රකාශ හා පීරිස්ගේ ප්‍රකාශ එක පෙලට සිටී.

කම්කරු පන්තියට, ධනපති ක්‍රමයේ ආරක්ෂාව සදහා ඉදිරිපත්වන මෙම ඊනියා විවේචන සමග කිසිදු පොදු දෙයක් හෝ සම්බන්ධයක් නැත. ඊට ප්‍රතිවිරුද්ධව, කම්කරු පන්තිය සුදානම්විය යුත්තේ ධනපති පන්ති පාලනය ද එහි ආරක්ෂාව සඳහා පවත්නා ධනේශ්වර රාජ්‍ය ද පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්වූ කම්කරු රාජ්‍යයක් ස්ථාපිත කිරීම කිරීමේ අරගලය සඳහා යි.

Loading