ඉදිරිදර්ශන

ට්‍රම්ප් අධිකරනය හමුවට පැමිනවීම: ඔහුගේ සැබෑ අපරාධ වසං කරන අධම දේශපාලන සංදර්ශනයක්

[මෙය, Trump arraignment: A degraded political spectacle that covers up his real crimes යන හිසින් 2023 අප්‍රේල් 04 දා පල වූ ලිපියේ පරිවර්තනයකි.]

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2023 අප්‍රේල් 4 වන අඟහරුවාදා නිව් යෝර්ක්හි මෑන්හැටන් උසාවියේ ඔහුගේ නීතිඥ කණ්ඩායම සමඟ ආරක්ෂක මේසයේ වාඩි වී සිටී. [AP Photo/Seth Wenig] [AP Photo/Seth Wenig]

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා මෑන්හැටන් අධිකරනය හමුවට පැමිනවීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල විශ්ලේෂනය සනාථ කරයි. එම විශ්ලේෂනයෙන් පැහැදිලි කෙරුනේ ලිංගික සෝලියක් භාවිත කරමින් ට්‍රම්ප්ට එරෙහි ව චෝදනා එල්ල කිරීම, 2021 ජනවාරි 6 දින ඔහුගේ කුමන්ත්‍රන ප්‍රයත්නයෙන් කූටප්‍රාප්ත කෙරුනු ඔහු විසින් සිදු කරන ලද වඩාත් බරපතල වැරදි මාලාව වසං කිරීමේ අටියෙන් ඩිමොක්‍රටික් පක්ෂය විසින් කල දේශපාලන පීලි පැන්නවීමක් (අපගමනයක්) බව ය.

මෑන්හැටන් අභිචෝදකගේ (නඩු පවරන්නාගේ) කාර්යාලය මගින් නිකුත් කල අධිචෝදනා පත්‍රයෙන් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥ සහ අනීතික වැඩ හසුරුවන්නා වූ මයිකල් කොහෙන් වෙත කල වෙන වෙන ම ගෙවීම් 11 ක් සඳහා 3 බැගින් වෙන් වෙන් ෆෙලනි අධිචෝදනා (එනම්, සිරදඬුවමක් දිය හැකි බරපතල අපරාධ) 34ක් ට්‍රම්ප් වෙත නඟා ඇත. කොහෙන් සත්‍ය වශයෙන් “අපවාදාත්මක කරුනක් යට ගැසීමට දෙන මුදලක්” වශයෙන් ඩොලර් 130,000 ක මුදලක් ලිංගික චිත්‍රපට නිලි ස්ටෝර්මි ඩැනියෙල්ස්ට ගෙවා ඇත. ඒ 2006 දී ඇය සමඟ ට්‍රම්ප්ගේ පැවති ලිංගික හමුවක් ගැන 2016 ජනාධිපතිවරනය පූර්වාසන්නයේ ප්‍රසිද්ධ නොකිරීම සහතික කර ගනු වස් ය.

2017 කාලය අතරතුරේ දී කොහෙන්ගේ ගිනුමට ඩොලර් 130, 000 ක් ද එමෙන් ම ට්‍රම්ප් වෙනුවෙන් කල තවත් නිශ්චිත ව සඳහන් නොකල ක්‍රියාවක් සඳහා ඩොලර් 50,000 ක් ද ඒ සමඟ ම, මේ ගෙවීම් ආදායම් හැටියට ඔහු වාර්තා කල නිසා ඔහුට ගෙවීමට සිදු වන ආදායම් බදු ආවරනය කිරීමට තවත් ඩොලර් 180,000 ක් හා ඩොලර් 60,000 ක ප්‍රසාද දීමනාවක් ද ප්‍රතිපූර්න කර ඇත. මුලු මුදල ඩොලර් 420,000 ක් වූ අතර එය මාසික වාරික වශයෙන් ගෙවිය යුතු විය.

අධිචෝදනා පත්‍රයෙන් ඉදිරිපත් කර ඇති නඩුව අසාමාන්‍ය ලෙස දුර්වල ද නීතිමය ස්ථාවරයකින් සංකීර්න ව ද ඇත. කරුනුමය වශයෙන්, ට්‍රම්ප් කල දේ ගැන කිසිදු සැකයක් නැත. මෙය කොහෙන් සහ අනෙකුත් සාක්ෂිකරුවන් විසින් විස්තර කෙරෙනු ඇති අතර චෙක්පත්, ඉන්වොයිසි සහ වවුචර් මගින් සනාථ කෙරෙනු ඇත. අධිචෝදනා පත්‍රයෙන් මේ සෑම ලේඛනයක් ම සලකනු ලබන්නේ වෙන වෙන ම ෆෙලනි අපරාධ වශයෙන් ය.

නමුත් ලිංගික හමුවීමක් පිලිබඳ ව නිශ්ශබ්ද ව සිටීමට කෙනකුට මුදල් ගෙවීම හෝ එය ප්‍රකාශයට පත් නොවනු පිනිස කෙනකුගේ කතාව මිලයට ගැනීම හෝ නීති විරෝධී නො වේ. එමෙන් ම, ඡන්ද ව්‍යාපාරයක දී කෙනකුගේ පෞද්ගලික හැසිරීම ගැන බොරු කීම ද නීති විරෝධී නො වේ. එවැනි කරුණු සම්බන්ධයෙන් බොරු දෙසා බෑ සෑම දේශපාලනඥයකු ම නීතිය හමුවට ගෙනාවොත් සිරගෙවල් උතුරා යනු ඇත්තේ ය.

එමතු නො ව, ප්‍රතිපත්තිමය කාරනාවක් වශයෙන්, පෞද්ගලික ලිංගික හැසිරීම සාපරාධීකරනය කිරීම මූලික වශයෙන් ප්‍රතිගාමී ය. එමෙන් ම, දැන් මාධ්‍ය විසින් “අපවාදයන් සඟවනු පිනිස ගෙවන මුදල් (hush money)” ලෙස නම් කරන ගෙවීම් සම්බන්ධයෙන් ඇති වර්තමාන උද්වේගය ද ඇතුලු ව සාමාන්‍යයෙන් කෙරෙන ලිංගික අපවාදයන් ද ප්‍රතිගාමී ය. නිරන්තරයෙන් ලිංගික චෝදනා එල්ල වීම ඇමරිකානු ජීවිතය සම්බන්ධ සත්‍ය කරුණකි. එවැනි චෝදනාවන්ට ලක් වන්නන් මෙම චෝදනා සත්‍ය හෝ අසත්‍ය වුව ද ඉන් ලැබෙන අවමන් සහගත ප්‍රසිද්ධිය ගැන කිසිවක් නොකීව ද නීතියේ රැකවරනය ලැබීම සඳහා අධික පිරිවැයක් දැරීමට වඩා පැමිනිලිකරුට ගෙවීම ලාභදායී යැයි ප්‍රායෝගික ගනන් බැලීමක් කරන්නට පුළුවන.

ඇමරිකානු ජනාධිපතිවරයකු සම්බන්ධ වූ සූප්‍රකට පූර්ව නඩුවේ දී, අයුතු හැසිරීමේ චෝදනා මත ඇය පැන වූ නඩුව සමථයකට පත් කර ගනු පිනිස බිල් ක්ලින්ටන්ගේ නීතීඥවරු පෝලා ජෝන්ස් හට ඩොලර් 700,000 ක මුදලක් ගෙවීමට ඉදිරිපත් වූහ. ඇගේ දක්ෂිනාංශික රිපබ්ලිකන් නීතීඥයෝ එම මුදල ප්‍රතික්ෂේප කලහ. ඒ ඔවුන් අවසානයේ දී ක්ලින්ටන්ගේ දෝෂාභියෝගයට තුඩු දුන්නා වූ බොරු සාක්ෂි දීමේ වරදට ඔහු හසු කර ගැනීමේ උගුලක් ලෙස මේ නඩුව පාවිච්චි කරමින් සිටි නිසා ය. ජෝන්ස් නඩුව සමථයකට පත් කර ගැනීමේ ලා ඇයට ගෙවන්නට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ක්ලින්ටන්ට චෝදනා එල්ල කල නොහැකි වූයේ එය අපරාධයක් නොවන බැවිනි. උගුල ගැස්සවිය හැකි වූයේ දිව්රුම් දීමෙන් ඔහුට සාක්ෂි දෙන්නට බල කිරීමත් එහි දී ඔහු මොනිකා ලෙවින්ස්කි සමඟ සිය සම්බන්ධය ගැන බොරු කී විටත් පමණකි.

ට්‍රම්ප්ගේ නඩුවේ දී, මෑන්හැටන් දිස්ත්‍රික් ඇටර්නිවරයා වන ඇල්වින් බ්‍රැග්ගේ පෞද්ගලිකත්වයේ රූපයෙන්, ඩිමොක්‍රටික් පක්ෂය එම විධික්‍රම ම යොදා ගෙන ඇති අතර ඔවුන්ගේ ඉලක්කය ක්ලින්ටන්ට වඩා හොඳ විකල්පයක් ලෙස ට්‍රම්ප් වීම හේතුවෙන් ඒවා වඩාත් ප්‍රගතිශීලී වන්නේ නැත. සීමාවන්ගේ පනත කල් ඉකුත් වී වසර ගනනාවකට පසුව, සුලු වැරදි චෝදනා මාලාවකින් මහා අපරාධයන් ගෙන ඒමේ ප්‍රයත්නය ක්ලින්ටන්ට එරෙහි ව භාවිත කල උපායන් මෙන් ම ප්‍රශ්නකාරී වේ.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හෝ ඔවුන්ගේ මාධ්‍ය ආධාරකරුවන් ක්ලින්ටන් නඩුවේ කෙනත් ස්ටාර් “වාර්තාවේ” කැත විධික්‍රම නැවත වාදනය කරන්නටත් වැඩිහිටි චිත්‍රපට නිලි ස්ටෝර්මි ඩැනියෙල්ස් හා ප්ලේබෝයි නිරූපිකාවක් වන කැරන් මැක්ඩූගල් සමඟ පැවති ට්‍රම්ප්ගේ සම්බන්ධතා පිලිබඳ අශ්ලීල විස්තරයක් ඉදිරිපත් කරන්නටත් හොඳට ම ඉඩ ඇත. මෙය නියෝජනය කරනු ඇත්තේ මහජන විඥානය දූෂනය කිරීමේ තවත් ප්‍රයත්නයක් වශයෙනි. ඒ සමඟ ම, එය ජනාධිපතිවරන පරාජය නොතකා, ජනවාරි 6 දා එක්සත් ජනපද ව්‍යවස්ථාව පෙරලා දමා 2020 ධවල මන්දිරයේ දිගට ම රැඳී සිටීමේ ට්‍රම්ප්ගේ ප්‍රයත්නයට වඩා ස්ත්‍රීපුරුෂ භාවය සහ ලිංගිකත්වය කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දක්වන ඩිමොක්‍රටික් පක්ෂයෙහි පදනමෙහි සිටින ඉතා වැදගත් සමාජ කොට්ඨාසයක් වෙත ආයාචනා කරනු ඇත.

මේ සංදර්ශනය රිපබ්ලිකන් පැත්තෙන් ගත් කල්හි, ට්‍රම්ප් අධිකරණය වෙත පමුණුවා ලීම ට්‍රම්ප් හා ඔහුගේ අනුචරයන්ට මැරයන් මෙන් හැසිරීමට තවත් අවස්ථාවක් විය. කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් විනිසුරු ජුවාන් මර්චාන්ගේ දියනියගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කලේ ය. විනිසුරුවරයා “මට වෛර කරයි” යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ම ලොකු අකුරුවලින් ලියමින් ප්‍රකාශ ප්‍රකාශ කලේ ය. ඔහු විනිසුරුවරයාගේ බිරිඳගේ ඡායාරූපයක් මාධ්‍යයෙහි පල කරමින් ඇයත් ඔහුට වෛර කරන බව කියා සිටියේ ය. ඔහු බේස්බෝල් පිත්තක් ලෙලවන තමාගේ ම පින්තූරයක් පසෙකින් අභිචෝදක බ්‍රැග්ගේ ඡායාරූපයක් ද පල කලේ ය. මේවා මුල් පෙලේ ඩිමොක්‍රටික නැන්සි පෙලොසිගේ සැමියා වන පෝල් පෙලොසි වෙත එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයේ ආකෘතියෙන් යුතු ප්‍රචන්ඩත්වය අවුස්සා ලීමේ විනිවිද පෙනෙන ප්‍රයත්නයන් ය.

ට්‍රම්ප් අධිකරනය හමුවට පැමිණවීම අධීක්ෂනය කරන විනිසුරු, ජුවාන් මර්චන් මෘදු ලෙස නඩුවේ දෙපාර්ශ්වයට ම අවවාද කලේ ගිනි අවුලුවන සුලු හෝ අවුස්සන සුලු භාෂාවෙන් වැලකෙන ලෙස ය. එහෙත් ට්‍රම්ප් සිය මාර්-ඒ-ලාගෝ වතු යායේ දී අඟහරුවාදා හවස කල සඳහන් කිරීම්වල දී විනිසුරුවරයාට සහ ඔහුගේ පවුලට එරෙහි ව පරිභව කිරීම් පුනරුච්චාරනය කලේ ය.

ට්‍රම්ප් දැනට මත් කොන්ග්‍රසයේ රිපබ්ලිකානුවන් අතරේ ද 2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලුම් කරන සිය ප්‍රතිවාදීන් අතරේ ද පවා තමා වෙත සහයෝගය පෙල ගස්වා ගැනීමට මේ චෝදනා භාවිත කර ඇත. මුලින් රුසියානු මැදිහත් වීම පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් වූ ප්‍රෝඩාකාරී ඵමැකකැර විමර්ශනය හරහා ද, දැන් ස්ටෝර්මි ඩැනියෙල්ස් වෙත ට්‍රම්ප්ගේ ගෙවීම් සම්බන්ධ චෝදනා හරහා ද -තමා 2016 ජනාධිපතිවරනය වංචා කිරීමට කටයුතු කලේ යැයි නඟන චෝදනාවට නාභිගත කෙරුනු ඩිමොක්‍රැට්වරුන්ගේ අවධානය, ඔහුගේ ආධාරකරුවන් විසින් කැපිටෝල් වෙත එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරය හරහා 2020 ඡන්ද ප්‍රතිඵල උඩුයටිකුරු කිරීමට ගත් උත්සාහය පිලිබඳ ඔහුගේ ම වගකීමෙන් මහජන අවධානය වෙන අතකට හැරවීම සඳහා ට්‍රම්ප් වාසියක් කර ගනී.

ට්‍රම්ප් සමග ඔවුන්ගේ ගැටුම ගෙන යාමේ දී වඩාත් ප්‍රතිගාමී විධික්‍රම භාවිත කිරීමට ඩිමොක්‍රටිකයන්ගේ පැවති නරුම කැමැත්ත තුල ප්‍රගතිශීලී හෝ ප්‍රජාතාන්ත්‍රීය භාවයේ අංශුමාත්‍රයකුදු නැත. එය විශාල වශයෙන් කැරකුනේ විදේශ ප්‍රතිපත්තිය වටා ය; විශේෂයෙන් යුක්රේනයෙහි රුසියාවට එරෙහි යුද්ධය වටා ය. නිව්යෝර්ක් හා වොෂින්ටන්හි ඩිමොක්‍රටික් පිටුබලැති අභිචෝදකයන් විසින් ඉදිරියට ගෙන එමින් පවතින නඩු දෙක වන්නේ ස්ටෝර්මි ඩැනියෙල්ස්ට කල ගෙවීම සහ සිය නිලය හැර ගිය පසු, ට්‍රම්ප් රාජ්‍ය රහසිගත ලේඛන ධවල මන්දිරයෙන් ඉවත් කර මාර්-ඒ- ලාගෝහි පිහිටි සිය වතු යායට ගෙන යාම යි.

මෙම නඩු පැවරීම් දෙක ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන දේශපාලන පාදක කන්ඩායම් දෙකක උත්සුකතාවන් සමඟ එකට ගැලපෙයි. ලිංගික සෝලිය අනන්‍යතා දේශපාලනයේ සටන්කාමීන්ට රුචිකර වෙයි. ඒ අතරේ ලේඛන රඳවා ගැනීමේ නඩුව මිලිටරි-බුද්ධිමය යන්ත්‍රයේ උත්සුකතාවන්ට කතා කරයි.

මෑන්හැටන් දිස්ත්‍රික් ඇටෝර්නිවරයා වූ ඇල්වින් බ්‍රැග්ගෙන් ඩිමොක්‍රටික් “සභාගයේ ” තුන් වන ප්‍රධාන සංරචකය වන වෝල් වීදියට තමන්ගේ ම ප්‍රශංසාව ලැබුනි. ඔහුගේ මාධ්‍ය හමුවේ දී ඔහු කියා සිටියේ ලෝක මූල්‍ය පද්ධතිය තුල නිව්යෝර්ක් නගරයේ කේන්ද්‍රීය භූමිකාව හේතුවෙන් ඔහුගේ කාර්යාලය ව්‍යාපාර වාර්තා මුසාකරනය කිරීම ඉතා බරපතල දෙයක් හැටියට ගත් බව යි.

වෝල් වීදියේ පොලොං පොදියේ අවංකකම ගැන මේ ප්‍රශස්ති ගැයුම පිලිබඳ ව කෙනෙක් මහ හඬින් හාස නඟයි. ධනේශ්වර දූෂනයේ, මුසාකරනයේ සහ එලිපිට මංකොල්ලකෑමේ සෑම අංශයක් ම මෑන්හැටන් නගරය තුළ සංකේන්ද්‍රිත ව ඇත. එය බර්නි මැඩෝෆ්, මයිකල් මිල්කන් සහ වෙනත් බොහෝ ඩොලර් බිලියන ගනන් වංචාකරුවන්ගේ ද ඔබාමාගේ නීතිපති එරික් හෝල්ඩර්ගේ වචන උපුටා දක්වමින් කිව හොත් ඔවුන් “සිරගත කිරීමට ලොකු වැඩි” නිසා තව මත් නිදහසේ ඇවිදිමින් සිටින ඊටත් වඩා ලොකු වංචාකාරයන්ගේ නිවහන වෙයි.

තමා අධිකරණය වෙත පමුනුවා ලීමට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය වූයේ ඔහුගේ ෆැසිස්ට් ආයාචනා දෙගුන කිරීම ය. ඩිමොක්‍රටික පාක්ෂිකයන්ට සහාය දුන් යුදෙව් බිලියනපතියා ගැන සඳහනක් කරමින්, “සෝරෝස්ගේ පිටුබලය ලත්” අභිචෝදකයා පිලිබඳ හෙලා දැකීම ඔහු පුනරුච්චාරනය කලේ යුදෙව් විරෝධයට විවෘත ආයාචනයක් කරමිනි. ලේඛන නඩුව සහ ජනවාරි 6 ගැන විමර්ශනය යන දෙක ම අධීක්ෂනය කරන අධිකරන දෙපාර්තමේන්තුවේ විශේෂ උපදේශක ජැක් ස්මිත් හට එක් කලක“වෙනස් නමක්” තිබුනු බවට ඔහු ඉඟි කළේ විදේශිකයන් කෙරෙහි ඇති භීතිකාවට සහ යම් වාර්ගික හෝ ආගමික සමාජ කන්ඩායමක මත නොඉවසීමේ ගතියට තවත් ආයාචනයක් කරමිනි.

සංගත මගින් පරිපාලිත ද්වි-පක්ෂ ක්‍රමය මගින් ඉදිරිපත් කර ඇති විකල්ප දෙක මේවා වේ: ෆැසිස්ට්වාදය දෙසට වේගයෙන් දිවෙන රිපබ්ලිකන් පක්ෂයක් සහ යුක්රේනයෙහි රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයටත් චීනය සමඟ තීව්‍ර කෙරෙන ආතතීන්ටත් (මේ අවස්ථා දෙකේ දී ම න්‍යෂ්ටික ලෝක යුද්ධයක් පුපුරා යාමේ අනතුරක් ඇත) අවධානය යොමු කරන ඩිමොක්‍රටික් පක්ෂයක්.

අප්‍රේල් 1 පල කල The indictment of Donald Trump: A politically bankrupt diversion ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය නුදුරේදීම පල කරමු.

Loading