මහජන නැගිටීම සැමරීමට මිරිහානේ පැවැත්වූ විරෝධතාවකට ආන්ඩුව මුර්ග පොලිස් ප්‍රහාරයක් එල්ල කරයි

පසුගිය වසරේ ගෝල්ෆේස්හි පැවති විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධවූ කන්ඩායමක් විසින් නුගේගොඩ ජුබිලි කනුව ආසන්නයේ මාර්තු 31 වනදා පැවැත්වූ විරෝධතා දැක්වීමකට පොලීසිය රුදූරු ප්‍රහාරයක් එල්ල කල අතර විරෝධතාකරුවන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගැනිනි. මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ, පසුගිය වසරේ මහජන නැගිටීමේ ආරම්භක අවස්ථාවක් වූ, මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනයක් සැමරීමට ය.

ගාලු මුවදොර පිටියේ පෙලපාලියේ කොටසක් [ලෝසවෙඅ මාධ්‍ය]

විරෝධතාවයට පෙර සිටම මිරිහාන ප්‍රදේශයට තුන්දහසකට ආසන්න පොලිස් භටයන් ඇතුලු ආරක්ෂක අංශ භට පිරිසක් කැඳවා තිබුනි. උද්ඝෝෂනයට සහභාගි වීමට පැමිනෙමින් සිටි අයට රැස්වීමට ඉඩ නොදී ඔවුන් අත තිබූ සටන් පුවරු උදුරා ගැනීමට උත්සාහ කල පොලීසිය විරෝධතාකරුවන් කායිකව තල්ලු කරමින් සහ පහර දෙමින් නුගේගොඩ දෙසට පසු පසින් හඹා ගියේය.

කායික ප්‍රහාර කෙතරම් මුර්ගදැයි වීද කිවහොත් පොලීසියේ මැදිහත්වීම් ඡායාරූප ගතකරමින් සිටි මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය පොලිස් නිලධාරීන් විසින් අල්ලාගෙන ඔහුගේ කමිසය ඉරා දමමින් රුදුරු ලෙස පහර දුනි. එමෙන්ම සිරස රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු වන වින්දන ප්‍රසාද් කරුනාරත්නට ද පොලිස් නිලධාරීන් තර්ජනය කලහ. අත් අඩංගුවට ගත් අනුරුද්ධ බන්ඩාර, සුදාර ජයසිංහ සහ ධානිෂ් අලී එදිනම රාත්‍රියේදී නිදහස් කලේ පොලීසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමේ කොන්දේසිය මතයි.

මිරිහානේ පැවැත්වීමට තිබූ උද්ඝෝෂනය විසුරුවා හැරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් නුගේගොඩ හංදිය අසල සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ. උද්ඝෝෂකයෝ “මැතිවරන කල් නොදමනු!”, “ජන අයිතීන්ට අත නොතබනු!” ආදී සටන් පාඨ අඩංගු පුවරු ප්‍රදර්ශනය කලහ.

මෙම විරෝධතාවයේ සංවිධායකයින්ගේ ධනපති ගැති දේශපාලනයට සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විරුද්ධත්වය ඉතා ප්‍රකට ය. එසේ වුවද, විරෝධතාකරුවන්ට හා ජන මාධ්‍යවේදීන්ට ආන්ඩුව එල්ල කල මෙම රුදුරු පොලිස් ප්‍රහාරය සසප තරයේ හෙලා දකියි. කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල පැන නැගීමේ භීතියෙන් පෙලෙන ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට එරෙහිව පැන නගින ඕනෑම විරුද්ධත්වයකට රුදුරු ලෙස කඩා පනිමින් සිටියි.

පසුගිය වසරේ මාර්තු 31 වනදා මෙම ස්ථානයේම පැවති විරෝධතාවයට හිටපු ජනාධිපති රාජපක්ෂ පොලීසිය මෙහෙයවා දරුනු ප්‍රහාරයක් එල්ල කලේය. මෙම සිදුවීමෙන් අනතුරුව අප්‍රේල් සිට ජූලි දක්වා දිග හැරුනු මහජන නැගිටීමට ලක්ෂ සංඛ්‍යාත ජනයා සහභාගි වූහ. ඔවුන්ගේ ඉල්ලීම් වූයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්වනු! අත්‍යවශ්‍ය භාන්ඩ ලබාදෙනු!, විදුලිය බලය කප්පාදුව නතර කරනු! යනාදියයි. දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ, දුගීන් ද රැලි කරගනිමින්, එක දින වර්ජන දෙකක් දියත් කලහ.

අරගල මධ්‍යයේ ආන්ඩුවට අස්වීමට බලකෙරුනු අතර, අවමානයට හා වෛරයට පාත්‍රව සිටි රාජපක්ෂට ජුලි 9 දා නින්දා සහගත ලෙස රටින් පලාගොස් ඉල්ලා අස්වීමට සිදුවිය.

2023 පෙබරවාරි 4 සෙනසුරාදා කොලඹ දී පැවති 75වැනි නිදහස් දින සැමරුමේ දී, ගුවන් හමුදාපි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන (පිටුපස වමේ) හා පොලිස්පති චන්දන වික්‍රමරත්න (දකුනේ) සමග පෙනී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ධනපති පාලක පන්තිය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගැත්තෙකු හා මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමන්නෙකු ලෙස කුප්‍රකට රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු උපාමරුවකින් ජනාධිපති පදවියේ පිහිටුවා ඔහුට ධනේශ්වර රාජ්‍ය ආරක්ෂා කිරීමේ කාර්යය භාර දුන්නේය.

වික්‍රමසිංහ විසින් දැන් මුදා හරිනු ලබන්නේ, 'මුර්ග අත්හදා බැලීමක්' ලෙස මුල්‍ය අරමුදල විසින් ම නම්කර ක්‍රියාවට දැමීමට අනකර ඇති අලුත් ප්‍රහාර වටයකි. ආන්ඩුවේ මෙම කප්පාදු ප්‍රහාර වලට එරෙහිව කම්කරු පන්තිය යලිත් සටනට පැමින තිබේ.

මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව පසුගිය සති කිහිපය තුල ටෙලිකොම්, ඛනිජ තෙල්, ගුරු, තැපැල්, බැංකු, විදුලිය, වරාය, ජල සම්පාදන ආදී ක්ෂේත්‍ර වල කම්කරුවෝ අරගලයට පැමිනියහ. මාර්තු 31 වනදා සැමරුමට එල්ල කල ප්‍රහාරය මෙසේ අරගලයට ඇදෙමින් සිටින කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි.

කම්කරු පන්තියේ අරගල වැඩෙන තතු තුල සමස්ත ධනපති සංස්ථාපිතයම පසුගිය වසරේ මහජන නැගිටීම යලි පුනර්ජීවනය වනු ඇතැයි භීතියට පත්ව සිටී. අර්ථභාරී ලෙස, මෙවර අරගලයේ වේදිකාවට මුලින් ම අවතීරනවෙමින් සිටින්නේ කම්කරු පන්තියයි. කම්කරුවන් හා සිසුන් ඇතුලු කොටස් අරගලයට ඇදීමත් සමග ම හෝ ඊට පෙරාතුවම මැඩලීමට වික්‍රමසිංහ ආන්ඩුව කටයුතු කරන්නේ එබැවිනි.

වික්‍රමසිංහ ආන්ඩුව ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් පලාත් පාලන මැතිවරනය කල් දැමුවේය. තෙල් සංස්ථාවේ කම්කරුවන් පුද්ගලීකරනයට එරෙහිව වර්ජනය ඇරඹීමත් සමග ම, අත්‍යවශ්‍ය මහජන සේවා පනත ක්‍රියාවට දමමින් හා මිලිටරිය මුදාහරිමින් එය බිඳ දැමීමට පියවර ගත්තේය. විරෝධතාවලට පැමිනෙන ඕනෑම අයෙක් ත්‍රස්තවාදී යැයි නම් කොට දඬුවම් වලට යටත් කල හැකි නීති සහිත නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත පසුගිය මාසයේදී නිකුත් කෙරිනි.

මෙම තතු තුල පසුගිය මහජන නැගිටීමේ පාඩම් වගවිභාග කර ගැනීම තීරනාත්මක කර්තව්‍යයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් ගෝල් ෆේස් විරෝධතාවලට සම්බන්ධවූ කන්ඩායමක් මාර්තු 31 උද්ඝෝෂනය සංවිධානය කලේ කම්කරුවන් හා තරුනයන් යලිත් අවමංගත කිරීමට ය. උද්ඝෝෂනය සංවිධානය කොට තිබුනේ මර්දනය නවතනු, ජනතාවට සහන දෙනු ආදී ඉල්ලීම් මත වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමේ කොටසක් ලෙස ය.

මෙම සැමරුමට ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන ට (ජවිපෙ) සම්බන්ධ සමාජවාදී තරුන සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුනසේකර, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) වෙනසක තාරුන්‍යය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සහ ගෝල් ෆේස් අරගලකරුවන් අතර මුදුනේ සිටිය කොටසක් වන ධානිෂ් අලී, අනුරුද්ධ බන්ඩාර ඇතුලු කන්ඩායම ද සම්බන්ධ වූහ.

පසුගිය වසරේ මහජන නැගිටීම ධනපති අන්තර්වාර ආන්ඩුවක සටන් පාඨය යටතට තල්ලු කොට වික්‍රමසිංහට බලයට ඒමට පාර කැපූ වෘත්තීය සමිති වල පාවාදීම සමග එක්ව ක්‍රියා කලේ මෙම කන්ඩායම් ය. යලිත් මොවුහු නව වටයකින් එම බංකොලොත් ඉදිරි දර්ශනය අරගලයට ඇදෙන මහජනතාව මත පැටවීමට ක්‍රියා කරති.

මෙම සියලු සංවිධාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට ඍජුව හෝ වක්‍රව එකඟ ය. එනයින්, ඔවුන්ට වික්‍රමසිංහගේ ආන්ඩුව සමග කිසිදු මූලික වෙනස්කමක් නොමැත. ජවිපෙ හා එහි ජාතික ජන බලවේගය නමැති පෙරමුනු සංවිධානය තමන් බලයට පැමිනියහොත්, වික්‍රමසිංහට වඩා හොඳින්, අවුරුදු ගනනාවක් දැඩි කප්පාදු ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට දමා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නා බවට සපථ කරමින් බලයට ඒමට ඔට්ටු අල්ලති. ජවිපෙ මෙන් ම ඉන් පැන නැගුනු රිකිල්ලක් වන පෙසප මහජනතාව ධනපති ක්‍රමය හා පාර්ලිමේන්තු රාමුව තුල සිරකරන ඊනියා විසඳුම් ඉදිරිපත් කරයි.

පොලිසියේ පහර දීමෙන් පසු නුගේගොඩ පැවති විරෝධතාවයේදී පෙසප ලහිරු වීරසේකර වංචනික ලෙස සඳහන් කලේ “එදා ඉගෙන ගත්ත පාඩම අපි අත්හදා බලමින්” අභ්‍යාස කරන බවයි. ඉගෙන ගත් පාඩම යන්නෙන් වීරසේකර ඇතුලු පෙසප නායකයන් සඳහන් කරන්නේ 'අරගල' කිරීමයි! ඊට තවත් පලිප්පු දමන ඔවුහු 'මහපාරේ අරගල කිරීම' ඉල්ලීම් දිනා ගැනීමේ මාවත බව කියති. පෙරමුනු ගැසීම හා 'මහජන කවුන්සිල' හදා පලල් බලපෑම් සංවිධානය කිරීම එම පාඩම් වලම කොටසක් බව කියති!

ඔවුන් වික්‍රමසිංහ බලයට ඒම ගැන හා ඔහු රුදුරු මර්දනය හා කප්පාදු ක්‍රියා මාර්ග ගැනීම ගැන ගිරිය පුප්පාගෙන හඬ තලති. එහෙත්, එක ප්‍රශ්නයකට ජවිපෙ හෝ පෙසප හා අනෙකුත් ව්‍යාජ වම්මු මෙන් ම වෘත්තීය සමිති නිලධරයෝ පිලිතුරු නොදෙති. එනම්, මේසා දැවැන්ත මහජන නැගිටීමකින් පසු, මිලියන ගනන් කම්කරුවන් වර්ජනවවලට එලඹුනු තත්වයක, රටේ පාලකයාට පලායාමට සිදුවූ විට, වික්‍රමසිංහට බලයට ඒමට ඉඩ ලැබුනේ කෙසේද? යන ප්‍රශ්නය යි. එම ප්‍රශ්නයට පිලිතුර නම්, ජවිපෙ හා සමගි ජන බලවේගය ඉදිරිපත් කල අන්තර්වාර ධනපති ආන්ඩුවක් පිහිටුවීමේ ඉල්ලීමට සහාය දීම සඳහා කම්කරු පන්තියේ අරගල අවමංගත කරමින් ඉහත කී සංවිධාන සිදුකල තුච්ඡ පාවාදීම එයට ඉඩ ලබාදුන් බවයි.

මෙම ව්‍යාජ වාම සහ විරුද්ධ පක්ෂ වලට මෙන්ම, ගෝල්ෆේස් විරෝධතාවල මුදුන අරක් ගත් කන්ඩායම් වලට ප්‍රතිවිරුද්ධව, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසප පසුගිය වසරේ මහජන නැගිටීම තුල ජාත්‍යන්තරවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත, දුගීන් ඇතුලු අවශේෂ ජන කන්ඩායම් වලට නායකත්වය ලෙස කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් කලේය. එහි ඉලක්කය වූයේ, ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී ක්‍රියමර්ගය් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.

ජාත්‍යන්තර කමිටුවේ දිනපතා ප්‍රකාශය වන ලෝක සමජවාදී වෙබ් අඩවිය අපගේ පිලිවෙත් ඉදිපත් කල වේදිකාවයි. සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ මෙම වැඩපිලිවෙල ඉදිපත්කරමින් උද්ඝෝෂන සංවිධානය කලහ.

මෙම මහජන නගීටීමේ පාඩම මත පදනම් වෙමින්, 2022 ජූලි 20 දින, ධනපති පන්තියට එරෙහිව සටන් කිරීම සඳහා බල කේන්ද්‍රය ලෙස, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා සසප කැඳවුම් කලේය. සෑම වැඩපොලක් ම, වතුකරයක් ම අලලා ගත් සියලු කේන්ද්‍රීය ආර්ථික මධ්‍යස්ථානයක ම හා ගම්බදව කම්කරුවන්ගේ හා දුගින්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ඒවායෙන් තෝරා ගන්නා නියෝජිතයන්ගෙන් එම බල කේන්ද්‍රය ස්ථාපිත කරන ලෙස අපි ඉල්ලා සිටියෙමු. මෙම ක්‍රියාකාරී කමිටුවලට කම්කරුවන්ගේ හා දුගීන්ගේ අවශ්‍යතා සඳහා සටන් කල හැකිවන්නේ, ඒවා ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩ නැගීමෙන් පමනක් බව අපි අවධාරනය කරමු.

එම කැඳවුමේදී, සසප 2011 ඊජිප්තු විප්ලවයේ පරාජය පිලිබඳ සඳහන් කරමින් “කම්කරු පන්තිය සඳහා මෙම ඛේදවාචී පරාජය දරා සිටින සාරභූත පාඩම් මොනවා ද?” යනුවෙන් විමසමින් මහජන නැගිටීමේ පාඩම් විස්තාරනය කලේය.

“එයට [කම්කරු පන්තියට], දේශපාලන ආරම්භකත්වය තම හස්තයෙන් ගිලිහී යාමට ඉඩ දිය නො හැකි ය. ධනේශ්වරයේ සියලු දේශපාලන පක්ෂවලින්, ඔවුන්ගේ ව්‍යාජ-වාම අන්තේවාසිකයන්ගෙන් හා වෘත්තීය සමිති යාන්ත්‍රනයන්ගෙන් එය බිඳී වෙන් වීම අවශ්‍ය ය. තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට හා බලය සඳහා සටන් කිරීමට, එය තමන්ගේ ම දේශපාලන උපකරන ස්ථාපිත කල යුතු ය.”

ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කල මෙම කැඳවුමේ හදිසිභාවය දැන් ඉස්මතු කරයි. තවදුරටත් දේශපාලන බලය ධනපති පංතිය අතේ තිබීමට ඉඩ හැරියහොත් සිදුවන්නේ ව්‍යසනයකි. මූල්‍ය අරමුදලේ නියෝජිතයින් “කුරිරු අත්හදා බැලීම” ලෙස විස්තර කල රුදුරු කප්පාදු නියෝග දැනටමත් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටී.

වික්‍රමසිංහ ආන්ඩුවේ පංති යුද්ධයට එරෙහිව ධනපති ගැති ව්‍යාජවාම සංවිධාන සහ වෘත්තිය සමිති සමග සටන් කල නොහැක. කම්කරු පන්තිය තමන්ගේ විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගා ගැනීම තීරනාත්මක ය.

වැඩිදුර කියවන්න:

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

ශ්‍රී ලංකාවේ ආන්ඩුවට එරෙහිව නැගී ඇති විරෝධතා මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න

Loading