ඇමරිකානු රටවල කම්කරු අරගල

ලතින් ඇමරිකාව:

ආජන්ටීනියානු අධ්‍යාපන කම්කරුවන් අරගලයක !

මෙම වසරේ අප්‍රේල් මාසය උදාවූයේ වැටුප් සහ සේවා කොන්දේසි මත දියත් කෙරුනු ආජන්ටිනාවේ ගුරුවරුන්ගේ සහ අධ්‍යාපන කම්කරුවන්ගේ අරගල සහ වැඩ වර්ජන සමගිනි.

දරිද්‍රතා රේඛාවට ඉහලින් වැටුප් ගෙවන ලෙස, වැඩ වර්ජන දිනවලදීද වැටුප් ලබාදෙන ලෙස සහ සිය වැටුපෙන් අතිමහත් බදු මුදලක් කපාගැනීම වහාම නතරකරන ලෙස බල කරමින් කෝදෝබා හි කර්මාන්ත පුරයේ ගුරුවරු වීදි පුරා විරෝධතා රැලි පැවැත්වූහ. මෙම විරෝධතාවය සිදු කෙරුනේ කෝදෝබා පලාතේ සෞඛ්‍ය කම්කරුවන්ගේ වැඩ වර්ජනයට සමගාමීවය.

පසුගිය සඳුදා සහ අඟහරුවාදා යන දින දෙකෙහි පලාත පුරා දියත් කෙරුනු වර්ජනයකට අමතරව, අප්‍රේල් 3 වැනිදා සිට ආරම්භ වූ වැඩවර්ජන අරගලය, තව තවත් ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් මුලු මහත් පලාතම අලලා ව්‍යාප්ත වෙමින් පවතිී.

පසුගිය සතියේ ආජන්ටිනාවේ පැටගොනියන් ප්‍රාන්තයේ ගුරුවරුන් සහ සෞඛ්‍ය කම්කරුවන්ගේ ජන රැලි සහ විරෝධතා වර්ජන මාලාවක්ද පැවැත්විනි. දෙමවුපියන් සහ සිසු සිසුවියන්ද ගුරුවරුන් හා එක්වෙමින් එම ඉල්ලීම් දිනාගැනීම සඳහා සටන් වැදුනෝය.

කම්කරුවකු සේවයෙන් පහ කිරීමට එරෙහිව බුවනොස් අයර්ස් හි සින්තන් කෙමිකල් කම්හලේ වර්ජනයක් ඇරඹෙයි

නිවැරදි කාර්යපටිපාටියට අනුව සේවය ඉටු නොකල බවට චෝදනා කරමින් ජ්‍යෙෂ්ඨ සහ පලපුරුදු කම්කරුවකු රාජකාරියෙන් දොට්ට දැමීමට විරෝධය පල කෙරෙමින් ආජන්ටිනාවේ, බුවනොස්අයර්ස් හි සැන් ලොරෙන්සෝ නගරයේ සින්තන් කෙමිකල් කම්හලේ කම්කරුවෝ සිය රාජකාරි වලින් බැහැර වී පිකට් වර්ජනයක නියැලුනෝ ය. එම සහෝදර කම්කරුවා නැවත රාජකාරියේ පිහිටුවන තෙක් වැඩබිම් වර්ජනයක නියැලෙන බව කම්කරුවෝ කියා සිටියහ.

වර්ජකයන්ට අනුව, මෙම සේවයෙන් පහ කිරීම සිදුකෙරී ඇත්තේ කම්හලෙහි කම්කරුවන්ට එරෙහිව එම සමාගම විසින් දියත් කරන ලද අඩන්තේට්ටම් මාලාවේ අවසාන පියවර ලෙසිනි. වැඩ වේගවත් කිරීමේ අරමුනින් පාලකයන් විසින් පසුගිය නොවැම්බර් මාසයේදී හඳුන්වාදෙන ලද අර්ධ-කාලීන ශ්‍රමික ක්‍රමයට තිත තැබීම සඳහා කම්කරුවෝ රාජකාරියෙන් බැහැර වූහ. මෙම වසරේ මුල සිට කලමනාකාරිත්වය විසින් කම්කරුවන්ගේ වැටුප් සහ කාර්ය පැය ගනන කප්පාදු කර තිබේ.

මෙක්සිකෝව : ඕක්සාකා සමකාලීන කලා කෞතුකාගාරයේ සේවකයෝ විරෝධතාවක් සඳහා බලමුලු ගැන්වෙති

වසර දෙකකට පෙරාතුව, තම සේවා ස්ථානයෙන් ප්‍රචන්ඩකාරීව ඉවත් කිරීම අනුස්මරනය කරමින් සහ අදාල හිඟ වැටුප් ඉල්ලමින්, ඕක්සාකා සමකාලීන කලා කෞතුකාගාරයේ සේවකයෝ, අප්‍රේල් 11 වැනිදා විරෝධතාවක යෙදී ගත්හ.

වසරකටත් වැඩි කාලයක් වැටුප් නොලබා සිටි කම්කරුවන් කෞතුකාගාරය වසා දැමීමට ඉඩ නොදී එහි වාඩිලාගෙන සිටියදී, 2021 අප්‍රේල් මාසයේ, කර්මාන්ත සහ වානිජ බැංකු සංගමයේ ආරක්ෂක පොලීසිය විසින් ඔවුන් කෞතුකාගාර භූමියෙන් ඉවත් කරන ලදී.

ඕක්සාකා ප්‍රා න්ත බලධාරීන් ඒ පිලිබඳව පරීක්ෂනයක් ආරම්භ කල නමුත්, මෙතෙක් කිසිවක් විසඳී නැත. වසර දෙකක් ගත වුවද, කම්කරුවන්ගේ හිඟ වැටුප් පවා ගෙවා නොමැත.

Loading